Pages

Thursday, December 26, 2013

අනේ ඒ දැරිවි විලාප දෙද්දී එක හුස්‌මට අලියා කැලේට අරගෙන දිව්වා l කොළඹට නෑසෙන නිකවැරටිය අලි පහරේ වේදනාව

කණුකැටිය රස්‌නායකපුර පාරේ අනාත පාරට හැරෙන හන්දිය ළඟට මම එද්දී ඉදිරියෙන් පාපැදියක්‌ පැදගෙන ගැහැනු දරුවකු එනවා දුටුවා. අනාත පාර පැත්තේ කැලෙන් එක පාරටම සද්දන්ත අලියෙක්‌ මතුවුණා. ඇසිපිය හෙලන මොහොතින් අලියා අර දැරිවි හොඬ වැලෙන් ඇදලා අරගත්තා. හොඬවැලෙන් උස්‌සාගෙනම අනේ ඒ දැරිවි විලාප දෙද්දී එක හුස්‌මට කැලේට අරගෙන දිව්වා. මම කෑ ගැසුවා. අලියා ගිය පාරේම කැලේ ඇතුළට මම යන කොට දැරිවි බිම දමලා අලියා යන්න ගිහින් තිබුණා. නහයෙන් කටින් ලේ පෙරාගෙන දැරිවි බිම වැටී සිටියා.

නිකවැරටිය මොන්නෑකුලම පදිංචි 22 හැවිරිදි ඒ. එම්. මධුභාෂිණී ලක්‌මාලි අධිකාරි කැලණිය විශ්වවිද්‍යාල බාහිර උපාධි අපේක්‍ෂිකාව වල් අලියකු පහරදීමෙන් මිය ගියාය. සිද්ධිය සියෑසින් දුටු මොන්නෑකුලමේ පදිංචි ඩී. එච්. එම්. ප්‍රේමරත්න මහතා එසේ ''දිවයින'' ට පැවසීය.

බාහිර උපාධි පළමුවන විභාගය සඳහා පෙනී සිටීමට කුරුණෑගල බලා යැමට පා පැදියෙන් සැතපුම් තුනක පමණ දුර කණුකැටිය මංසන්ධියට යමින් සිටියදී ඇය වල් අලියකුගේ පහරදීම නිසා මරණයට පත්විය.

මෙම ශෝචනීය සිද්ධිය දුටු ඩී. එච්. එම්. ප්‍රේමරත්න මහතා - උදේ 6.45 ට විතර ඇති උඩප්පුවට විකුණන්න මාළු අරගන්න මෝටර් බයිසිකලයෙන් එමින් සිටියේ. තව විනාඩියක්‌ ඉස්‌සර වුණා නම් මමයි අලියට බිලිවෙන්නේ. අනාථ පාර හන්දිය පෙනි පෙනී පා පැදිය පැදගෙන ගෑණු ළමයෙක්‌ එනවා දැක්‌කා. අම්මෝ..... මහත්තයෝ මේ බලන්න ඇඟේ මයිල් කෙලින් වෙනවා. මට දැනුන බය මෙච්චරයි කියන්න බෑ. මගේ ජීවිතේටම දැකලා නෑ එච්චර සද්දන්තයෙක්‌ (අලියෙක්‌) දෙන්නට දෙන්නා මුහුණට මුහුණ මුලිච්චි වුණා. පාපැදිය පදිමින් සිටිය දැරිවි අලියා හොඬවැලෙන් ඇදල ගත්තා. එක හුස්‌මට කැලේට අරගෙන පැන්නා. අලියා ගිය පාරේ මම කැලේ ඇතුළට ගියා. එක තැනක ලේ ගෑවිලා තිබුණා. ටිකක්‌ ඉස්‌සරහට යන කොට බිම වැටිලා හිටිය දැරිවි නහයෙන් කටින් ලේ දාගෙන පොත් බෑග් එකත් එක්‌ක වැටිලා හිටිය. එතකොටයි මම දැරිවි හඳුනා ගත්තේ. මා දැරිවිව අත්දෙකට උස්‌සාගෙන කැලෙන් පාරට අරගෙන ආව. එතකොටත් පණ තිබුණා.

මියගිය මධුභාෂිනී දැරියගේ පියා වන ඒ. එම්. කරුණාරත්න මහතා (55) - බොහෝම දුක්‌ විඳලා දරුවට ඉගැන්වුවා. දුවයි පුතයි විතරයි අපට ඉන්නේ. නිකවැරටිය මහසෙන් විද්‍යාලයෙන් වාණිජ අංශයෙන් උසස්‌ පෙළ කළා. ලකුණු කිහිපයක්‌ මදි වුණා විශ්වවිද්‍යාලයට යන්න. ඒ නිසා දරුවා බාහිර උපාධිය කරන්න හැදුවේ. අපි ගොවිතැන් කරලා ජීවත් වෙන අසරණ මිනිස්‌සු. මුළු පවුලම ගොඩදාන්න වෙර ඇද්ද දරුවට මෙහෙම දෙයක්‌ වුණා කීවම කොහොමද අපි ඉවසන්නේ. දැතින් මුහුණ වසාගෙන හඬන්නට විය. මගේ දෑසටද කඳුළුÊනැගිණි.

මව කීවේ මේ ටිකයි.....

හීන් බණ්‌ඩාර මැණිකෙ, අනේ මගේ දරුවට මේ ගම් තුලානේ කිසිම හතුරෙක්‌ හිටියේ නැහැ. හැම කෙනාගේම සිත දිනාගෙන සිටිය හොඳ දරුවෙක්‌. පළමු වැනි දවසේ බාහිර උපාධි විභාගය ටිකක්‌ අමාරුයි කියල ගෙදරට ඇවිත් ඒ ඇඳුම් පිටින්ම පාඩම් කළා. බැංකුවේ විභාගය කළා. ප්‍රතිඵල අද හෙට එනවා කියලා මග බලාගෙන හිටියා. සාරියක්‌ ඇඳගෙන ලස්‌සනට බැංකුවේ වැඩට යන්න බලාගෙන හිටියේ. ආච්චිගෙයි අම්මාගෙයි ආසාවන් මම ඉෂ්ට කරනවා කියලමයි දුව නිතරම කිව්වේ. මල්ලිටත් මගේ වියදමින් අම්මලට බරක්‌ නොවී උගන්වනවා කියල දහසක්‌ සිහින මැව්වා. මගේ දරුවට මේ වෙච්ච කරුමේ මොකක්‌ද දෙවියනේ.

බණ්‌ඩාර මැණිකේ මව දරු දුක වාවාගත නොහැකිව දෙන විලාපයෙන් පළාතම සසලවී ඇත.

මහත්තයා පත්තරෙන්ද? අපේ නම් ගම් පිංතූර පත්තරේ දාන්න එපා. රජයේ නිලධාරීන් ළඟට වැඩක්‌ කර ගන්න ගියාම පෝර ටික වුණත් ගන්න ගියාම අපිට කැපිල්ල. මේ වල් අලි පහරදීමෙන් ගල්පාත කොටවෙහෙර පලුගස්‌ හන්දිය රස්‌නායකපුර ලීකොළපිටිය පාහිමඩුව, හලඹේ මල්පානව, ඕලුපැලියාව, ගම්වල මේ වනවිටත් විසිපහක්‌ පමණ පිරිසක්‌ වල්අලි ගහලා මැරිලා. තනි අලියා කීදෙනෙක්‌ මිනිස්‌සු මැරුවද කියලා දන්නේ නෑ. වනජීවි එක, රස්‌නායකපුර ප්‍රා. ලේකම් කාර්යාලය මේ සිද්ධියේදී ගන්නේ අලින්ගේ පැත්ත.

අලි වෙඩිල්ලක්‌ වත් අපි ළඟ නෑ. අතයි පයයි විතරයි අපිට තියෙන්නේ. අලි පැන්නුම නමට විතරයි. කණුකැටිය රස්‌නායකපුර පාර සැතපුම් හයයි. හැම ඡන්දෙකදිම පාර හදල දෙනවා කියල කියනවා. ලංගම සහ පුද්ගලික බස්‌ රථ පාර කැඩිලා කියලා යන්න බෑ කියලා නවත්වලා. වසර ගණනාවකට පස්‌සේ දැයට කිරුළ යටතේ පාර හදලා දෙනවා කියලා කිව්වා. ඒකත් බොරු පොරොන්දුවක්‌. පාර හදලා බස්‌ සේවය ලබා දෙනවා නම් මේ වගේ මේ විදියට මැරෙන එක නවත්ව ගන්න පුලුවන්. වල් අලි හානිවලට ශතපහක්‌වත් ගෙවීම් කරලා නෑ. වල් අලි පහරදීලා උද්ඝෝෂණය කරපු හළඹේ තරුණයෝ පිරිසක්‌ අත්අඩංගුවට අරන් උසාවි දැම්මා. අපේ වගා බිම් ගේ දොර ජීවිත වල් අලි විනාශ කරනවා. ඒවට බලධාරීන් නිහඬයි. අපේ දුක කියන්න කෙනෙක්‌ නෑ. පුලුවන් නම් මේ ටික පත්තරේට ලියන්න. මේ මෑණියන්ගේ ඉල්ලීමයි. 

මියගිය දැරියගේ අවසන් කටයුතු ඊයේ (25 වැනිදා) සවස මල්පානව පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.

නිමල් දයාරත්න සහ ආණමඩුව - ටෙරන්ස්‌ වනිගසිංහ, (අම්පිටිගම සම්පත් ප්‍රබුද්ධ මහතා දැක්‌වූ සහාය අගයමි)

http://www.divaina.com/2013/12/26/news08.html

0 comments: