Pages

Tuesday, December 10, 2013

කප්පම්කරුවන් නැති රාජ්‍යයක්‌ කරා...

හොරා සහ කප්පම්කරුවා අතර පවත්නා වෙනස නම් කප්පම්කරුවා හොරාට වඩා භයානක ය යන්න පමණක්‌ නොවේ. ඒකා හොරාට වඩා කැත ය යන්නද වේ. මක්‌නිසාද "කප්පමා" සොරකමට අමතරව බලහත්කාරයද භාවිතා කරන නිසා ය. දැන් අප රටේ සොරුන් තරමට ම කප්පම්කරුවෝද බහුලයහ. නැතහොත් සොරුන් විසින් ම කප්පම්කරුවන්ගේ භූමිකාවන්ද රඟදක්‌වනු ලැබේ. පුදුමය නම් රටේ ජනතාවගේ ප්‍රශ්න මොනවාදැයි අසමින් හරි හරියට කරදර වන බොහෝ දේශපාලනඥයනට මේ පිළිබඳව වගේ වගක්‌ නො තිබීම ය.

සාමාන්‍යයෙන් මේ රජය හැඳින්වෙන්නේ නිදහසින් පසුව බිහි වූ ශක්‌තිමත් ම සහ බලසම්පන්නම රජය වශයෙනි. මේ කපේදී අවසන් කළ නොහැකි යෑයි බොහෝ දෙනා විසින් හැමවිට ම විශ්වාස කරනු ලැබූ ත්‍රස්‌තවාදයක්‌ ඇඩ්‍රස්‌ නැති තත්ත්වයකට පත්කරනු ලැබුවේ මේ රජය විසින් වේ. එහෙත්, එහෙව් රජයට ද රටේ කප්පම්කරුවන් මර්දනය කරනු නොහැකි ද? කප්පම්කරුවන් යනු මේසා බලවත් යක්‍ෂ වර්ගයක්‌ ද?

කොළඹ පිටකොටුවේ පදික වෙළෙඳුන්ගෙන්ද කඩසාප්පුවලින්ද, ත්‍රිරෝද රථවලින්ද බස්‌ රථවලින්ද කප්පම් ගන්නා එක්‌තරා කල්ලියක්‌ පිළිබඳව ඊයේ "දිවයින" ට අනාවරණය කළෝ දේශමාමක ත්‍රිරෝද රථ කර්මාන්තකරුවන්ගේ ජාතික සංවිධානයේ සභාපති ඌවතැන්නේ සුමන හාමුදුරුවන් වහන්සේය.

උන්වහන්සේ ප්‍රකාශ කරන පරිද්දෙන් පිරිත් සඡ්ජායනය කරමින් පවතින රන්සිවිගෙය සහිත වාහනයද පිටකොටුවේදී කප්පම්කරුවන්ගේ තර්ජනයට ලක්‌වෙමින් පවතින අතර, පිරිත් සඡ්ජායනයටද දිනකට රුපියල් හාර දහසක පමණ කප්පම් මුදලක්‌ ගෙවීමට සිදුව තිබෙන්නේය. මරණ තර්ජන ඊට අමතරවය.

කිසිවකුත් එළිපිට ප්‍රකාශ නොකරන එක්‌තරා සත්‍යයක්‌ නම් ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරවල මතු නොව කුඩා කුඩා නගරවල පවා ක්‍රියාත්මක විවිධ කප්පම් කල්ලි සිටිනා බවය. බුලත්විට වෙළෙන්දාගේ පටන් මහා ව්‍යාපාරිකයා දක්‌වා වන සියල්ලන්ගෙන් දෛනිකව හෝ සතිපතා හෝ මාස්‌පතා හෝ කප්පම් ලබාගන්නා, මේ නිකමුන් ඇතැම්විට හැඳින්වෙන්නේ ඒ ඒ පළාතට ප්‍රදේශයට අයත් දේශපාලනඥයාගේ හිතුවතුන්ද වශයෙනි.

ඒ නිසා පළමුව, ඔවුනට කප්පම් ගෙවන්නන් බය ය. (රටේ බදු හරි හැටි නොගෙවන අප්‍රමාණ ව්‍යාපාරිකයන් පිරිසක්‌ ඇති නමුත් පෙරකී නිකමුන්ට කප්පම් නොගෙවන ව්‍යාපාරිකයන් නම් ඇත්තේ සුළු පිරිසකි.) දෙවනුව ඔවුනට පොලිසිය බය ය. ඉන්පසු ඔවුනට හැම එකාම බය ය. තමන්ගේ කිසිදු ශ්‍රමයක්‌, ශක්‌තියක්‌ නොයොදවා අනුන් උපයන දෙය බලහත්කාරයෙන් කඩා වඩා ගනිමින් අන්තිම කාලකණ්‌ණි ජීවිත ගත කරන පාහරයින් පිරිසකට තම දේශපාලන උණුසුම හා රැකවරණය ලබාදෙන දේශපාලනඥයන් සිටීනම් ඔවුන් තෝරා යෑවිය යුත්තේ පාර්ලිමේන්තුවට, පළාත් සභාවට, ප්‍රාදේශීය සභාවට, නගර සභාවට නොව කුණු ගොඩකට බව තවමත් අවබෝධ කර නොගත් ඡන්ද දායකයන් මේ රටේ සිටිනා බවට වාදයක්‌ නැත. තමන් සතු ඡන්ද බලයේ වටිනාකම තේරුම් නොගත් එබඳු මැට්‌ටන් ඡන්දදායකයන් වශයෙන් සිටිනා තාක්‌ කල් දේශපාලනඥයන් හා කප්පම්කරුවන් අතර ඕනෑ තරම් අශුද්ධ සන්ධාන පැවතිය හැකි බවටද සැකයක්‌ නැත.

එහෙත්, මේ අයහපත නොරිසි ප්‍රධාන පෙළේ දේශපාලන නායකයන් අතලොස්‌සක්‌වත් මේ රටේ ඇතැයි යන්න තවමත් අපගේ විශ්වාසය ය.

මෙබඳු කප්පම්කරුවන්ගෙන් අපරාධකාරයන්ගෙන්, පාතාල බහිරවයන්ගෙන් පිරී තිබුණු තම නගර සංස්‌කෘතිය වෙනස්‌ නොකර රට සංවර්ධනය කළ නොහැකි බව දුටු එදා සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී ක්‌වාන් යූ කළේ කුමක්‌දැයි සොයා බලන ලෙස අපි අපේ සද්භාවයෙන් යුතු දේශපාලනඥයන්ගෙන් සහ නිලධාරීන්ගෙන් ඉල්ලා සිsටිමු.

මුලින්ම ඔහු සොයා ගත්තේ ඉතාම කාර්යශූර පොලිස්‌පතිවරයෙකි. පොලිස්‌පතිවරයා දැඩි විනයක්‌ සහිත පොලිසියක්‌ නිර්මාණය කර ගත්තේය. මේ සුවිශේෂ පොලිසිය සිංගප්පූරු නගරය අපායක්‌ බවට පත්කරමින් තිබූ සියලුම පාහරයන් නීතියේ රැහැනට ගත්තේ දෙසතියක්‌ ඇතුළත ය.

තිස්‌ වසරක්‌ රට නටබුන් කළ ලෝකයේ කුරිරුම ත්‍රස්‌තවාදය හොම්බෙන් යෑවූ රජයකට, රටේ කප්පම් කල්ලි ද, අපරාධ කල්ලි ද, පාතාල කල්ලි ද අඩුම තරමින් තනි අණ්‌ඩෙන්වත් යෑවීමට තවමත් නොහැක්‌කේ මන්ද යන්න නම් පිටකොටුවල සිටින ජනතාවට සේම ඇතුල් කොටුවල සිටින ජනතාවටද ප්‍රශ්නයක්‌ බව කිව යුතුය.

http://www.divaina.com/2013/12/10/editor.html

0 comments: