Pages

Sunday, December 8, 2013

අල්ලස හා දූෂණය

අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති, විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජගත් බාලපටබැඳි මහතා විසින් කරන ලද අනාවරණයකට අනුව ශ්‍රී ලංකාව දූෂණය හා අල්ලස සම්බන්ධයෙන් කුප්‍රකට කීර්තියක්‌ ලබාගෙන තිබේ. ට්‍රාන්ස්‌පේරන්සි ඉන්ටර් නැෂනල් ආයතනය ද සඳහන් කර තිබුණේ 2012 වසරට වඩා 2013 වසර තුළ ශ්‍රී ලංකාවේ දූෂණය වැඩි වී තිබෙන බවය.

කිසියම් රටක්‌ හෝ කිසියම් සමාජයක්‌ තුළ දූෂණය, භීෂණය, ඝාතනය, වංචාව රජයන්නේ නම් ඒ රටට, ඒ සමාජයට ශීඝ්‍රයෙන් ළඟා වන්නේ ව්‍යසනය මිස අන් දෙයක්‌ නොවන බව ද අපි දනිමු. ශ්‍රී ලංකාව වසා ගත් භීෂණයේ හා ඝාතනයේ අඳුර දැන් දුරුව ගොස්‌ ඇතැයි සමහරු උදන් අනති. එහෙත් දිනපතා වාර්තා වන භීෂණ හා ඝාතන සිදුවීම් කොපමණ දැයි අමුතුවෙන් කිව යුතු නැත. දූෂණය, වංචාව හා නාස්‌තිය සම්බන්ධයෙන් ලැබෙන වාර්තා ද ඊට නොදෙවැනිය.

ලෝකයේ කිසිම රටක්‌, කිසිම සමාජයක්‌ දූෂණයෙන් හෝ එබඳු නරක ක්‍රියාකාරකම්වලින් සපුරා මිදී ඇතැයි කිව නොහැක. එබඳු පරමාදර්ශී සමාජයක්‌ ගැන ද අපි අසා නැත්තෙමු. අප අපේක්‍ෂා කරන්නේ ද ඒවා අවම කරගත් අඩු කරගත් රටකි. එහෙත් අද අප ජීවත් වන මේ සමාජ ප්‍රපංචය මොනතරම් දුසිරිත් ආකරයක්‌ද? දූෂණ ගුහාවක්‌ද? හොරු ද තක්‌කඩියෝ ද මැරයෝ ද කොමිස්‌ කාක්‌කෝ ද වෙනත් අපචාරවල නිරත ගහලයෝ ද පාදඩයෝ ද නොඅඩුව සිටිති. ඇතැම් විට මහත්වරු ලෙස ද වැජඹෙති.

මේ සියලු ක්‍රියාකාරකම් තිස්‌ වසරකට නොඅඩු යුද්ධයේ අනිටු ඵලයක්‌ බව ද කියනු ඇසෙයි. එහෙත් ඒ පිළිතුරෙන් මේ දුගඳ හමන ජරපත් අසංස්‌කෘතික නරුම ක්‍රියාකාරකම් සියල්ල වසාගත හැකිද? වසරක කාලයක්‌ ඇතුළත මෙරටේ මිනී මැරුම් 599 ක්‌ද, සොරකම් 5650 ක්‌ද, ස්‌ත්‍රී දූෂණ 2295 ක්‌ ද සිදු වී ඇතැයි කියති. මේ සාපරාධී ක්‍රියාවන්ට හමුදාවලින් පැන ගිය ඇතැම් අය ද සම්බන්ධව සිටිති.

මේ අපකීර්තිමත් වාර්තා සමග සම්බන්ධ වූ දේශපාලන දූෂිතයෝ ද සිටිති. අල්ලස්‌ චෝදනා එල්ලවූ අය අතර ඇමැතිවරු හා මන්ත්‍රීවරු ද සිටිතියි මාධ්‍යවලට ප්‍රකාශ කර තිබුණේ වෙනත් අයෙක්‌ නොව අල්ලස්‌ හෝ දූෂණ කොමිසමේ සභාපතිවරයාමය. දේශපාලනඥයන්ගේ දූෂණ පිළිබඳව මීට පෙර කෝප් වාර්තාව තුළින් ද යම් යම් තොරතුරු දක්‌වා තිබිණි.

අද මේ රටේ නරක්‌ වූ හෝ විනාශයට ගිය යම් දෙයක්‌ වේ නම් බොහෝ විට එතැනට දේශපාලනය ගෑවී තිබෙන බව රහසක්‌ නොවේ. දේශපාලනය නරා වළක්‌ බවට පත් කරගෙන, කර වටක්‌ එහි ගිලී සිය නෑ හිතමිතුරන් ද, අනුගාමික වෘෂභයන් ද සමග සිත් සේ ජරාව අනුභව කරන අමනයන් නිසා අදටත් ගෞරවනීය දේශපාලනයක නිරතව සිටින මහත්මාවරු ද බලවත් අපහසුතාවන්ට පත්වෙති. අවමන් ගැරහුම් විඳිති. අපි කිසිසේත් එබඳු යහපත් දේශපාලනඥයන්ට දොaෂාරෝපණ නොකරන්නෙමු. එහෙත් සිය පක්‍ෂවලට, නිලතලවලට නිගා දෙමින් සකලවිධ අවක්‍රියාවන්හි නිරත වන දේශපාලන විකටයන්, නරුමයන් දැක දැකත් කරබාගෙන සිටීම ගැන නම් අපට දුකක්‌ තිබේ.

අද වන විට ප්‍රාදේශීය දේශපාලනය පිරිහී තිබෙන ප්‍රමාණය සුළුපටු නැත. මිනීමරණ, මංපහරන, ස්‌ත්‍රී දූෂණය වීරකමක්‌ සේ පෙන්වන තක්‌කඩි, අමන නරුමයන්ගෙන් ප්‍රාදේශීය දේශපාලනය වැනසී යමින් තිබෙන බව රටම දනී. මේ නොබෝදා සංගීත ප්‍රසංගයකට කඩා පිනූ දේශපාලන අපතයෙක්‌ ගැන ද වාර්තා විය.

ප්‍රාදේශීය දේශපාලනයේ මෙම කුණු වීම ප්‍රධාන දේශපාලන ධාරාව තුළට කාන්දු වී තිබේද? නැතහොත් එහි තිබෙන කුණු වීම ප්‍රාදේශීය මට්‌ටම දක්‌වා ගොස්‌ තිබේද? යන්න අපි නොදනිමු. මේ හැම තැනම වසා ගත් දුර්ගන්ධය වංචාව, දූෂණය, අල්ලස, භීෂණය යනාදී විවිධ වේෂයෙන් සමාජය පෙළන බව නම් අපි දනිමු.

අද ඇතැම් රාජ්‍ය ආයතන මෙන්ම පොදු සේවාවන් ද බරපතළ ලෙස ගරා වැටෙමින් තිබේ. අල්ලස, දූෂණය, නාස්‌තිය හා අකාර්යක්‍ෂමතාව ඒ බොහෝ තැන්වල දොරේ ගලමින් තිබේ. ඒවායේ මුදුන්වල සිටින අයගේ ක්‍රියාකාරකම් ඉතා ලැඡ්ජා සහගතය. පසුගියදා අල්ලස්‌ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ අධ්‍යාපනය, පොලිසිය හා සෞඛ්‍ය සේවය අල්ලස්‌ හා දූෂණවලින් මුලටම පැමිණ තිබෙන බවය. අනෙක්‌ තැන්වල දූෂණය, වංචාව, නාස්‌තිය නැතුවා නොවේ. එහෙත් මේ ආයතනවල බරපතළ දූෂණ හා වංචා සිදු වන බව ඔහුගේ නිරීක්‍ෂණයට ලක්‌ වූවකි.

වංචනික ලෙස මුදල් උපයාගෙන ඉසුරුමත් ජීවිත ගෙවන ඇතැම් පුද්ගලයන් පිළිබඳ කතා බොහෝ තිබේ. මේවා පාවෙන චෝදනා බව ද කෙනෙක්‌ කිව හැකිය. එහෙත් ඒවායින් ඔවුහු නිදහස්‌ වී සිටිත්ද? ඇතැම්හු අල්ලස්‌ චෝදනාවලින් ගැලවීමට දේශපාලන කරණම් ගසතියි ද චෝදනා නැඟෙයි. මත්කුඩු, හොර ජාවාරම් ගැන නම් කියෑවෙන දේශපාලනඥයෝ ද සිටිති. හොරු සුරකින, මැරයන්ට සෙවණ දෙන, දූෂිතයන් හා පෙළට සිටින දේශපාලනඥයෝ නොවෙත්ද? නීති විරෝධීව මේ රටට එන එතනෝල්, වෙනත් භාණ්‌ඩ රේගුවෙන් පන්නා ගැනීමට අත දෙන දේශපාලනඥයෝ නොවෙත්ද? 

පොලිසියට නීතිය ඉටු කිරීමට බාධා කරන ආකාරය පිළිබඳව දැන් අලුත්ම කතාන්දර ඇසෙයි. රාජපාක්‍ෂික භාවය පෙන්වමින් ආණ්‌ඩුවේ ප්‍රබලයන් ද අන්දවා වැජඹුණු මේ ඇතැම් පට්‌ටා හොරුන් විසින් රටට හා ආයතනවලට කරන ලද විනාශය සුළුපටු නැත. ඔවුහු ආණ්‌ඩුව ඇතුළේම සිට එයම අනුභව කරමින් ආණ්‌ඩුව කෙරෙහි ජනතාව ද කලකිරවන්නෝය.

මේ අයුරින් ප්‍රාදේශීය දේශපාලුවන් ගම කද්දීත් ඇතැම් මධ්‍යම දේශපාලනඥයන් රට කද්දීත් රටේ සංවර්ධනයක්‌ සිදුවීම ද එක්‌ අතකින් විස්‌මිතය. ඒ සංවර්ධන ව්‍යාපෘතිවලින් ද බඩ වඩා ගන්නෝ වෙති. කොමිස්‌ ගහන්නෝ වෙති. ඇතැම්විට ඒවා මේ ගර්හිත දේශපාලනයත් සමග බැඳී පෑහී තිබෙන දේවල් ද විය හැකිය. ඒවා මැඬීම ද දුෂ්කර විය හැකිය. එහෙත් එහි අවසාන ප්‍රතිඵලය නම් ඉතා භයානක බව අපි කියමු.

රාජපක්‍ෂවරුන්ගේ ඓතිහාසික විජයග්‍රහණය මේ රට ත්‍රස්‌තවාදයෙන් බේරා ගැනීමය. ඒ වෙනුවෙන් වත්මන් ජනාධිපතිවරයාට ජනතාව දක්‌වන කෘතවේදිත්වය ඉමහත්ය. එහෙත් අද ජනපතිවරයාගෙන් ජනතාව අපේක්‍ෂා කරන්නේ එසේ බේරාගත් රට යහපත් දේශයක්‌ බවට පත් කරවනු ඇතැයි යන්නය. නාස්‌තිය, භීෂණය, දූෂණය, අල්ලස වෙනුවට නැවුම් අපේක්‍ෂාවන් සහිත දේශපාලන සංස්‌කෘතියක්‌ රටට ලබාදෙනු ඇතැයි ද ජනතාව කල්පනා කරති. කොටින්ම ජනතාවට වුවමනා අල්ලස, වංචාව, දූෂණය, භීෂණය, නාස්‌තිය නැති රටකි. මේ අශ්ලීල, ග්‍රාම්‍ය දුෂ්ට දේශපාලන හැසිරීම්වලින් මිදුණු යහපත් පැහැපත් දේශයකි.

http://www.divaina.com/2013/12/08/editorial.html

Picture Source

0 comments: