Pages

Sunday, December 8, 2013

ෆයිනල් එකට කලින් දා කාටත් හොරෙන් ටැක්‌සියකින් ග්‍රවුන්ඩ් එකට ගියා - අර්ජුන

ලෝක ක්‍රිකට්‌ පිටියේ එදා නායකයකු ලෙස දැක්‌වූ දක්‍ෂතාව හේතුවෙන් අර්ජුන රණතුංගව ලොව ක්‍රිකට්‌ විස්‌තර විචාරකයන් 'කැප්ටන් කූල්' නමින් හැඳින්වීමට පටන් ගත්තේය. පාසල් කාලයේ සිට විවිධ දුෂ්කරතා හමුවේ මුවහත් වූ අර්ජුන රණතුංග ක්‍රීඩා පිටියේත් ඉන් එපිටත් නායකයකු ලෙස කළ දැවැන්ත මෙහෙය අසීමිතය. එබැවින් 96 වන විට ඔහුගේ නායකත්වය පරිපූර්ණත්වයේ හිණි පෙත්තේ තිබිණි. 

එදා පිට පළාත්වලින් කොළඹ ක්‍රිකට්‌ ගසන්නට ඇවිත් ඉන්න හිටින්න තැනක්‌ නැතිව හතර අතේ කල්පනා කරන ඇතැම් ක්‍රීඩකයන්ට අර්ජුන ශක්‌තියක්‌ විය. ඔහු නවාතැන් ගෙන සිටි නිවස අනිකුත් පිට පළාත් ක්‍රීඩකයන්ගේ නිවහන බවට පත්විය. ලොවක්‌ වසඟයට ගත් දැන් ක්‍රිකට්‌ පිටියෙන් සමුගෙන සිටින කෝටිපති ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ද එදා අර්ජුනගේ නිවහනේ කාලය ගෙවමින් රැකියාව සහ ක්‍රිකට්‌ පුහුණුව කරගෙන ගියේය. ඒ සියලු දෙනාට අර්ජුන ලොකු අයියා කෙනෙක්‌ වෙද්දී අර්ජුනගේ මව සියලු දෙනාට මවක්‌ විය.

"මමත් ඉස්‌සර ගම්පහ ඉදන් කොළඹ ක්‍රිකට්‌ ගහන්න ආපුවහම නැවතිල හිටියෙ මරදානෙ අපේ ඥති ගෙදරක. පස්‌සෙ ඒ ගෙදර පිට පළාත්වලින් ආපු ගොඩක්‌ ක්‍රීඩකයන්ව මම නවත්ත ගත්තා. සමහර දවස්‌වලට දහයක්‌ පහළොවක්‌ විතර ඉන්නවා. ඒ සියලු දෙනාට අපේ අම්මා තමන්ගේ දරුවකුට මෙන් සැලකුවා. අපි එදා මැද සාලයේ පැදුරක්‌ දාගෙන කට්‌ටියත් එක්‌ක නිදා ගන්නවා. උදේට වැසිකිළි යන්න කට්‌ටිය පෝළිමේ ඉන්නවා. හැමදාම කමිස කලිසම් දහයක්‌ පහළොවක්‌ වැලේ තියෙනවා."

අර්ජුන රණතුංග ක්‍රිකට්‌ පිටියට අහසින් කඩා පාත්වූ කෙනෙක්‌ නොවන බව ඔහු සිය සහෝදර ක්‍රීඩකයන්ට සැලකූ ආකාරයෙන් පෙනී යයි. මේ නිහතමානී ක්‍රිකට්‌ වීරයා පිටියේදී ජයග්‍රහණය වෙනුවෙන්ම සටන් වැදුනේය. ඒ සටන එදා පහසු නැත. නමුත් පියවරෙන් පියවර ලෝක ක්‍රිකට්‌ කුසලානය තම සුරතින් ශ්‍රී ලංකාවට දිනා දීමට හේ වාසනාවන්ත විය. ඒ අර්ජුන පියවරෙන් පියවර කට්‌ට කමින් ක්‍රිකට්‌ වෙනුවෙන් කැප කළ දහඩිය මහන්සියේ ප්‍රතිඵලයකි.

"මම අවුරුදු එකහමාරක්‌ තිස්‌සේ ලෝක කුසලාන සඳහා 20 දෙනෙක්‌ව ලැහැස්‌ති කරගෙන හිටියා. කොහොම හරි ලෝක කුසලාන තරගාවලියේදී අපිට ගොඩක්‌ ශක්‌තියක්‌ වුණා අරවින්ද සහ සනත් ජයසූරිය. මොකද ඒ දෙන්න බැට්‌ කරනව විතරක්‌ නෙමෙයි ඕනම වෙලාවක පන්දු යවන්නත් පුලුවන්. බැරි වෙලාවත් ටිකක්‌ හයියෙන් බෝල් කරන්න මමයි ගුරුසිංහයි හිටියා. ධර්මසේනටයි වාස්‌ටයි බෝල් කරන්න විතරක්‌ නෙමෙයි ඕනෑම වෙලාවක බැට්‌ කරන්නත් පුලුවන්. උපුල් චන්දනටත් බෝල් කරන්න, බැට්‌ කරන්න සහ පන්දු රකින්න පුළුවන්. එහෙම තුන් ඉරියව් ක්‍රීඩකයන් සිටීම කණ්‌ඩායම තෝරා ගැනීමට පහසුවක්‌ වුණා."

"මට එදා ලොකු හයියක්‌ වුණේ තේරීම් කමිටුවත් එක්‌ක වැඩ කරන්න තිබුණ ලේසිය. මොකද එදා තේරීම් කමිටුවේ හිටියේ දුලිප් මෙන්ඩිස්‌, රෝයි ඩයස්‌, රන්ජන් මඩුගල්ල සහ සිදත් වෙත්තමුණි. මේ අයත් එක්‌ක වැඩ කරන්න ලේසියි. හැබැයි මම ගිහිල්ල එක පාරටම මේ ටීම් එක මට දෙන්න කිව්වට මේ අය දෙන්නෙ නැහැ. ඒ ගොල්ලන් මගෙත් එක්‌ක ප්‍රශ්න කරනව ඇයි මෙයා ඉන්නෙ අරයා නැත්තෙ කියල. ඉතිං මම දැනගන්න ඕන ඒ ප්‍රශ්නවලට හරියට හේතු සමග උත්තර දෙන්න. විශේෂයෙන් රන්ජන්. ඔහුට හුඟක්‌ හොඳ ක්‍රිකට්‌ දැනුමක්‌ තිබුණා. ඒක මටත් හොඳට හිටියා මොකද තේරීම් කමිටුව කියන්නෙ නිතරම මට අභියෝගයක්‌. ලංකාවෙ හිටිය හොඳම ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් තේරීම් කමිටුවක්‌ තමයි එදා හිsටියෙ."

"96 අපි දිනයිමද කියල විශ්වාසයක්‌ තිබ්බෙ නැහැ. හැබැයි අපි ඉන්දියාවට ගැහුවට පස්‌සෙ තමයි කට්‌ටියට ලෝක කුසලාන දිනන්න පුළුවන් කියන හැඟීම එන්න ගත්තෙ. තරගාවලියේ ක්‍රීඩා කරන විලාශය අනුව මගෙ ඔළුවෙ ටිකක්‌ තිබ්බා මේක දිනන්න පුළුවන් වෙයි කියල. ඒත් අනිත් කට්‌ටියට මම ඒක කියන්න ගියොත් ඒ ගොල්ලන් මානසික පීඩනයට පත්වන හින්ද සද්ද නොකර ඒ අයගෙ කටින්ම ලෝක කුසලාන දිනන්න පුළුවන් කියන මතය එනකම් බලාගෙන හිටියා."

"අපි ඉන්දියාවට ගැහුවට පස්‌සෙ උපුල් චන්දන, රවීන්ද්‍ර පුෂ්පකුමාර වගේ කණ්‌ඩායමේ ඉන්න පොඩිම කට්‌ටිය කියන්න පටන් ගත්තා අපිට මේක දිනන්න පුළුවන්. අපේ බැටින් හොඳයි. අපේ තමයි ගොඩක්‌ හොඳ තුන් ඉරියව් ක්‍රීඩකයන් ඉන්නෙ කියල. අපේ පන්දු යෑවීම තව පොඩ්ඩක්‌ හදා ගන්න ඕන. හැබැයි වාස්‌, ප්‍රමෝදය වගේ අය එදා කරන්න ඕන දේ කරල දුන්නා. ධර්මසේන ඕවර් 15 යන්න ඉස්‌සරවෙලා ඇවිල්ල බෝල් කරනවා. එයා කියනව අයියා මම දාන්නම් දෙන්න කියල ඉල්ලන් බෝල් කරනවා. මට තිබුණ හයිය තමයි මේ දේ කරන්න ඕන කියල කිව්වහම හැම එක්‌කෙනාම අත උස්‌සල ඒ අභියෝගය බාර ගන්න ඉදිරිපත් වෙන එක."

"කවුරුත් බලාපොරොත්තු වුණේ නැහැ අපි අවසන් මහා තරගයට එයි කියල. අවසන් තරගයට ආවට පස්‌සෙ මම අපේ කට්‌ටියට කිව්වෙ අපි එන්න ඕන ඉහළම තැනට ඇවිල්ල ඉන්නෙ, ඒක නිසා පීඩනයක්‌ නැතිව ක්‍රීඩා කරන්න කියල. අපි ඔස්‌ට්‍රේලියානු කණ්‌ඩායමේ දුර්වල තැන් මොනවද කියල නැරඹුවා. ෆයිනල් මැච් එකේදී අපි මුලින්ම බැට්‌ කරන්න ඕන කියල අරවින්ද සහ ඩේව් වට්‌මෝර් කිව්වා. අනිත් හැමෝම කිව්වා අපි මෙච්චර කල් ගොඩක්‌ දිනල තියෙන්නෙ පස්‌සෙ බැට්‌ කරල ඒක හින්ද එහෙම කරමු කියල. තවත් සමහරු කියන්න ගත්තා ඉතිහාසයේ ෆයිනල් එකක්‌ එලවල දිනල නැහැ. ඒක නිසා මුලින් බැට්‌ කරන්න ඕන කියල. මම එතකොට කිව්වා අපි ඉතිහාසයේ අලුත් දෙයක්‌ කරමු කියල දෙවැනියට පන්දුවට පහර දෙමු කියලා. මම හිතන් හිටියේ ඔස්‌ට්‍රේලියාව එදා මුලින් 270-300 ක්‌ ගැහුවත් අපිට ඒක ගහන්න පුළුවන් පිතිකරු ලැයිස්‌තුවක්‌ හිටිය කියලා. නමුත් පන්දු යෑවීමේදී 270 ක්‌ ආරක්‍ෂා කරගන්න එක ගැන පොඩි ප්‍රශ්නයක්‌ තිබ්බා."

"ෆයිනල් එක දවසෙ ඇඟට පොඩ්ඩක්‌ වෙනසක්‌ දැනුණා. පොඩි ප්‍රෙෂර් එකක්‌ ආවා. මම හිතන්නෙ ඕනම ජගතෙකුට ඔය ප්‍රෙෂර් එක එනවා. ඒක ඇඟට දැනෙනවා. එහෙම නැහැ කිව්වොත් ඒක බොරුවක්‌. මම ෆයිනල් එකට දවස්‌ දෙකකට ඉස්‌සර වෙලා අම්මට කතා කරල කිව්වා ලංකාවෙන් මැච් එක බලන්න එන කට්‌ටියට ගුවන් යානයක්‌ ලැහැස්‌ති කරල තියෙනවා ඒකෙ මැච් එක බලන්න එන්න කියල. පස්‌සෙ අම්මා කිව්වා සනීප නැහැ ඕවට ගොඩක්‌ සල්ලි යනවා කියල අදිමදි කරන්න ගත්තා. මම අම්මට කිව්ව ෆයිනල් එකක්‌ බලන්න තියෙන අවස්‌ථාවක්‌ මේක. හැබැයි අම්මගෙ පුතෙක්‌ ලෝක කුසලාන ෆයිනල් එකක්‌ ගහනව බලන්න ඉස්‌සරහට තව අවස්‌ථා එන්න පුළුවන්. ඒත් අම්මගෙ පුතෙක්‌ කැප්ටන් කරල කප් එක උස්‌සන වර්ල්ඩ් කප් එකක්‌ බලන්න ආයිත් චාන්ස්‌ එකක්‌ අම්මට එන්නෙ නැහැ, ඒ අවස්‌ථාව නැති කරගන්නෙ නැතිව එන්න කියල. පස්‌සෙ අම්මයි මගේ බිරිඳ සමදරයි පුතායි කට්‌ටියම මැච් එක බලන්න ආවා."

"මැච් එක දවසෙ උදේ මට පොඩි පීඩනයක්‌ තිබ්බා. කන්න යන කොට රොෂානුයි හෂානුයි කන්න යනවා. මමත් ඒගොල්ලන් එක්‌ක කන්න හදන කොට අපේ අනිත් කට්‌ටිය කවුරුවත් පේන්න හිටියෙ නැහැ. හැබැයි ඔස්‌ට්‍රේලියානු කණ්‌ඩායමේ හැමෝම ඇවිල්ල කනවා දැක්‌කා. එතන තිබ්බා කාපට්‌ ප්‍රදර්ශනයක්‌. අපේ කට්‌ටියත් එතන ඉන්නවා. එතනදිත් මට හිතුණා අපේ කට්‌ටියට ෆයිනල් එක කියල ඔළුවෙ දාගෙන නැහැ කියලා. ෆයිනල් එකට ඉස්‌සර වෙනිදා කණ්‌ඩායම් දෙකටම ඩිනර් එකක්‌ තිබ්බා. ඒකට කණ්‌ඩායම් දෙකේම තිහක්‌ විතර හිටියා. මම එක කෙළවරක. මාර්ක්‌ ටේලර් අනිත් කෙළවරේ. හැබැයි ලෝක කුසලානය තිබ්බෙ මගේ ඉස්‌සරහ. ඔස්‌ට්‍රේලියානු කණ්‌ඩායමේ කට්‌ටිය ඇවිල්ල පින්තූර ගන්නවා. හැබැයි අපේ කට්‌ටියට එහෙම පින්තූර ගන්න උවමනාවක්‌ තිබුණෙ නැහැ. එතනට ඇවිල්ල හිටපු ඔස්‌ට්‍රේලියානු ක්‍රිකට්‌ සභාපති මගෙන් ඇහුවා ඇයි ඔයගොල්ලන්ගෙ කට්‌ටිය පින්තූර ගන්නෙ නැත්තෙ කියලා. මම කිව්වා මේක අපි ලංකාවට ගෙනිච්චම ඕන තරම් පින්තූර ගන්න පුළුවන් කියල කිව්වා."

"ෆයිනල් එක දවසෙ රෑ මමයි දුලිප් අයියයි මැච් එක තියෙන ක්‍රීඩාංගණයට ගියා ටැක්‌සියක. ඒක කවුරුත් දන්නෙ නැහැ. අපි ගියෙ රෑට පින්න වැටෙනවද කියල බලන්න. ලාහෝර් ක්‍රීඩාංගණයේ එදා හිටියෙ 83 හිටපු තණතිලි සකසන්නාම තමයි. ඔහු මට කියන්නෙ රනා කියල. ඔහු මගෙන් ඇහුවා රනා ඔයාට මොන වගේ තණතීරුවක්‌ද ඕනෙ කියල. මම කිව්වා අපිට හොඳට බැට්‌ කරන්න පුළුවන් එකක්‌ දෙන්න කියල."

"ෆයිනල් එකට ඉස්‌සර අපි ඔස්‌ට්‍රේලියානු කණ්‌ඩායම මානසිකව වට්‌ටන්න පුළුවන් දේවල් කළා. මාධ්‍ය සාකච්ඡාවලදීත් අපි උපරිමයෙන් ඔස්‌ට්‍රේලියාවට එරෙහිව කරන්න පුළුවන් දේවල් කළා. වෙනදට ඒගොල්ලන් අපිට කරන දේවල් අපි මේ පාර ඒ ගොල්ලන්ට කළා. ෆයිනල් එක පටන් ගන්න පැයකට ඉස්‌සර වෙලා මම කිව්ව මේක ඔළුවට ගන්නෙ නැතිව සුපුරුදු විදිහට ක්‍රීඩා කරන්න කියලා. මම මුලින්ම කණ්‌ඩායමත් එක්‌ක පිට්‌ටනියට යන කොට රෝද පුටුවක ආබාධිත අයෙක්‌ ඉස්‌සරහට හමුවුණා. හැබැයි ඒක මම අහම්බෙන් දැක්‌කෙ. ඔහුගෙ මූණෙ හිනාවෙන් ඇත්තටම අපේ ජය වෙනුවෙන් සුබ පතන එක්‌කෙනෙක්‌ කියල තේරුණා. මම එයාට අතට අත දීල තමයි පිට්‌ටනියට ගියේ. ඊට පස්‌සෙත් මට ඒ මනුස්‌සයව හම්බ වෙලා මම අපේ ෙඩ්‍රෙසින් රූම් එකටත් ගෙනාවා. එයා හැම මැච් එකක්‌ම බලන එක්‌කෙනෙක්‌."

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ඉතිහාසයේ දක්‍ෂතම කණ්‌ඩායම 96 කණ්‌ඩායම නොවන බවත් එහිදී පිතිකරු ලැයිස්‌තුව ශ්‍රී ලංකාවේ මෙතෙක්‌ බිහිවූ හොඳම පිතිකරු ලැයිස්‌තුව බවත් අර්ජුන පවසයි. 

96 ක්‍රිකට්‌ කිරුළ දිනා ගැනීමෙන් පසු අර්ජුන ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නව මාවතකට හැරිණි. එහෙත් ඉන් වසරට හතරකට පසුව එනම් 99 ලෝක කුසලාන වෙන විට අර්ජුන ඇතුළු කණ්‌ඩායම දෙකඩ කිරීමට ප්‍රතිවාදී කණ්‌ඩායමක්‌ උත්සාහ කළේය. ඒ අනුව 99 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවට 96 එකමුතුකම නැති විය.

"99 දී ලොකු ලොකු ප්‍රශ්න ආවා. කණ්‌ඩායමේ බේද ඇති වුණා. කට්‌ටියට ලොකු උවමනාවක්‌ තිබුණා අපිව වෙනස්‌ කරන්න. 99 ලෝක කුසලානයට යනකොට ක්‍රිකට්‌ වලට දේශපාලන රිංගුවා. ඔයාට ඊළඟට කැප්ටන් කරන්න පුළුවන් කියල එක එක මත හැදුවා. හැබැයි 99 දී යනකොට 96 දී තිබුණ එකමුතුකම තිබුණෙ නැහැ. මම කොච්චර ඒක ගොඩ නගන්න හැදුවත් කණ්‌ඩායමක්‌ හැටියට එකට සෙල්ලම් කරන්න බැරි වුණා. කාසියේ වාසිය පැරදුණා. හැම පැත්තෙන්ම වාසනාව තිබුණෙ නැහැ." 

"99 ලෝක කුසලානය ඉවර වෙලා එනකොට මට අයින් වෙන්න කියලා කිව්වා. මම ඇහුවා ඇයි මම විතරද මේකට වැරදි කියලා. ඊට පස්‌සෙ මට කවදාවත් එක්‌දින තරග ගහන්න දුන්නෙ නැහැ. ටෙස්‌ට්‌ තරග විතරයි දුන්නෙ. ක්‍රිකට්‌ ආයතනයේ කට්‌ටිය මාව ලැඡ්ජා කරල එලවන්න ප්ලෑන් කළා. 2000 දී තමයි මට මේක හරියටම තේරුණෙ. මම අන්තිම ටෙස්‌ට්‌ තරගයෙදිත් හොඳට කළා. හැබැයි හුඟ දෙනෙක්‌ කැමැති වුණේ නැහැ මම අයින් වෙනවාට. සමදරයි සංජීව මල්ලියි කිව්වා අයියා අයින් වෙන එක හොඳයි ඔයාට ලොකු කැපිල්ලක්‌ එනවා කියලා.

"මට ටෙස්‌ට්‌ 100 ක්‌ ගහන්න ඕන වුණා. එක්‌දින 300 ක්‌ ගහන්න ආසාවක්‌ තිබ්බා. ඒක මට කරන්න දුන්නෙ නැහැ. දැන් ආපහු හැරිල බලන කොට මගේ ක්‍රිකට්‌ ජීවිතය ගැන මට ගොඩාක්‌ සතුටු වෙන්න පුළුවන්. අනිත් අයට වඩා මම තරග දිනවල තියෙනවා. මම වෙනම ක්‍රිකට්‌ සංස්‌කෘතියක්‌ හැදුවා. ඒ නිසා මට මේ රටේ ජනතාව තවම ආදරය කරන්නෙ මම ගහපු 100 හෝ පනහේ ඒවාට නෙමෙයි. මම ක්‍රිකට්‌ වලට කරපු හොඳ දේවල් නිසා."

අර්ජුනට ක්‍රිකට්‌ පිටියේ කැපිලි කෙටිලි මෙන්ම අමතක නොවන සිදුවීම් රාශියක්‌ද තිබේ. පාකිස්‌තානය සමග තරගයකදී කාසියේ වාසිය උරගා බැලීමට විනාඩි කිහිපයක්‌ තිබියදී අර්ජුන වැසිකිළියට ගොස්‌ ඇත. එහිදී වැසිකිළියේ දොර ලොක්‌ වී ඔහුට එළියට ඒමට නොහැකිව සිටියදී දොර කඩා අර්ජුනව එළියට ගෙන තිබේ. ඒ වන විට කාසියේ වාසිය උරගා බැලීමට උපනායක අරවින්ද ද සිල්වා පිට්‌ටනියට ගොස්‌ ඇත. ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ෂේන් වෝන්ට දිව දික්‌කර බවට බොහෝ දෙනෙක්‌ පැවසුවද අර්ජුන පවසන්නේ එය හිතා මතා කළ දෙයක්‌ නොවන බවත් අහම්බෙන් එවැනි සිදුවීමක්‌ සිදුවී ඇති බවත්ය. 

ක්‍රිකට්‌ වලින් විශ්‍රාම යැමෙන් පසුව අර්ජුන දේශපාලන වේදිකාවට පිවිසුණේය. එහෙත් ඔහු ක්‍රිකට්‌ සමග ජීවත් විය. එබැවින් ක්‍රිකට්‌ හැදීමේ අරමුණින් අර්ජුන ක්‍රිකට්‌ සභාපතිකම අපේක්‍ෂාවෙන් සිටියේය. නමුත් දේශපාලන වාතාවරණය උඩ ඔහුට එහි වැඩි කලක්‌ රැඳී සිටීමට සෙසු පුද්ගලයන් ඉඩ නොදුන්නේය.

"එදා මම ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ සභාපතිව ඉන්න කාලයේ නුසුදුසු පුද්ගලයන් දැම්මෙ නැහැ. එදා සිටි ක්‍රීඩා ඇමැති එයාගෙ උත්සවයකට ක්‍රිකට්‌ ආයතනයෙන් සල්ලි ඉල්ලුවා. මම දුන්නෙ නැහැ. මැයි පෙළපාලිවලට සල්ලි ඉල්ලුවා. එතකොට මමත් ආණ්‌ඩුවේ. හැබැයි වැරදි දේවල් කරන්න මම අවස්‌ථාව නොදුන් නිසා තමා මට යන්න වුණේ. මම හිටියනම් 2011 ලෝක කුසලානයත් දිනනවා. අද පාසල් ක්‍රීඩාවත් මීට වඩා හොඳ තැනකට ගේනවා."

කෙළින් වැඩ කරන කෙළින් කතා කරන අර්ජුන රණතුංග නමැති හැඩකාර වමත් පිතිකරුවා, කැප්ටන් කූල්, අපේ ක්‍රිකට්‌ වල ලොකු අයියා ගැන තවත් බොහෝ දැ සටහන් කළ හැක. එහෙත් ඔහුගේ ක්‍රිකට්‌ දිවියේ බොහෝ දැ 'අපි නොදන්න ක්‍රිකට්‌' ලිපි මාලාව ඔස්‌සේ අපි සටහන් කළෙමු. අනාගතයේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ දිනවන්න අර්ජුනට තවත් බොහෝ දැ කළ හැකිය. දේශපාලන වර්ණ භේදය අමතක කොට රටට වැඩක්‌ කළ, තවත් වැඩක්‌ කළ හැකි අර්ජුනගෙන් ක්‍රිකට්‌වලට වැඩක්‌ ගැනීම අදාළ බලධාරීන්ගේ යුතුකමකි.

අසේල විතාන
http://www.divaina.com/2013/12/08/sports01.html

සබැඳි ලිපි -
[

'පා දඟ පන්දුවට නෝ බෝල් කිව්වහම මම ගිහිල්ල කිව්වා මෙයා දැම්මෙ පා දඟ පන්දුවක්‌ ඒක කොහොමද දමල ගහනව කියල අල්ලන්නෙ කියල' - අර්ජුන
http://denethharinna.blogspot.com/2013/12/2.html අර්ජුන ක්‍රිකට් අතීතය ස්මරණය කරයිhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_25.html
]

0 comments: