Pages

Monday, December 16, 2013

නරේන්ද්‍ර මෝඩිගේ ශ්‍රී ලංකාව

2014 මැයි මාසයේ පැවැත්වීමට නියමිත ඉන්දීය මහමැතිවරණය ශ්‍රී ලංකාවේ අනාගතයටද ඉතා වැදගත් බව අමුතුවෙන් කිවයුතු නැත. 2014 මැයි 31 වැනිදාට පෙර මෙම මැතිවරණය පැවැත්විය යුතු අතර එහිදී පත් කරනු ලබන්නේ 16 වැනි ලෝක්‌ සභාවයි. ඉන්දීය ලෝක්‌ සභාව එනම් පහළ මන්ත්‍රී මණ්‌ඩලයේ ආසන 543 ක්‌ ඇති අතර ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට නම් ආසන 272 කට වඩා ලබාගත යුතුය. පසුගිය මැතිවරණයේදී කොංග්‍රස්‌ පක්‍ෂ සන්ධානයට ආසන 262 ක්‌ හිමිවී තිබුණු අතර භාරතීය ජනතා පක්‍ෂයට ආසන 137 ක්‌ හිමි විය.

දෙසැම්බර් මුල් සතියේදී පැවැති දිල්ලි, රාජස්‌ථාන්, මධ්‍ය ප්‍රදේශ් හා චැටිස්‌ගාර් යන ප්‍රාන්ත මැතිවරණවලදී භාරතීය ජනතා පක්‍ෂයට ජය අත්විය. එනිසාම 2014 දී බලය හිමිකරගන්නේ භාරතීය ජනතා පක්‍ෂය බව තවදුරටත් පැහැදිලි විය. ඒ අනුව 16 වැනි ලෝක්‌ සභාවේ අගමැති වන්නේ 63 හැවිරිදි නරේන්ද්‍ර දමොදරාස්‌ මෝඩි බව පැහැදිලිය. පිට පිට හතරවතාවක්‌ ගුජරාට්‌ ප්‍රාන්තයේ මහ ඇමැති වූ 63 හැවිරිදි නරේන්ද්‍ර මෝඩි වටා ඉන්දීය මධ්‍යම පන්තිය ඒකරාශිවන බව පැහැදිලිය. 2002 දී ගුජරාට්‌ ප්‍රාන්තයේ මුස්‌ලිම්වරුන්ට එරෙහිව එල්ලවූ ප්‍රහාර පිළිබඳව කෙලින්ම චෝදනා එල්ල වූයේ නරේන්ද්‍ර මෝඩිටය. එම නිසාම ඇමරිකාව ඔහුට වීසා දීමත් ප්‍රතික්‍ෂේප කළේය. නමුත් දැන් මේ මහ ඇමැතිවරයා ලබන වසරේදී ඉන්දීය අගමැතිවරයා ලෙස පත්වන බවට අනාවැකි පළවීම නිසා ඇමරිකාව ප්‍රමුඛ බටහිර ලෝකය ඔහු කෙරෙහි දැඩි සුහදතාවක්‌ පළ කරන බව පෙනී යයි. ඉන්දියාව පුරාම කොංග්‍රස්‌ පක්‍ෂ විරෝධයක්‌ පැතිරයන බව දේශපාලන විචාරක ස්‌වපාන්දාස්‌ ගුප්තා පවසයි. ''අළුත් පරම්පරාව මේ ඡන්දයේදී විශාල මතයක්‌ නියෝජනය කරනවා. ඔවුන් කැමැති නැහැ දුර්වල නායකයින්ට. ඒ දුර්වල නායකයින්ට ඇති විරෝධය තමයි මේ මැතිවරණයේදී හොඳින් පැහැදිලි වුණේ'' යෑයි දාස්‌ගුප්තා ප්‍රකාශ කරයි.

නරේන්ද්‍ර මෝඩි නම් දුර්වල නායකයකු නොවේ. ඔහු 80 හැවිරිදි වර්තමාන අගමැති මන් මෝහන් සින්ට වඩා ප්‍රබලයකු බව ඉන්දීය ඡන්ද දායකයා හඳුනාගෙන ඇත. 2014 මහ මැතිවරණයේදී මෝඩිගේ ප්‍රතිවාදියා වන්නේ රාහුල් ගාන්ධි යෑයි අනාවැකි පළ වුවද මේ ප්‍රාන්ත මැතිවරණ පරාජයත් සමග ඉන්දිරා ගාන්ධිගේ මුණුපුරා අගමැති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් නොවන බව ප්‍රකාශවී ඇත. එයින්ම කොංග්‍රස්‌ පක්‍ෂය 2014 මැයි මහ මැතිවරණයේදී අත්වන ඉරණම පිළිබඳව දැන් සිටම අවබෝධ කරගෙන ඇති බව පැහැදිලිය. දිල්ලියේ පුරා වසර 15 ක්‌ බලය අල්ලාගෙන සිටි කොංග්‍රස්‌ පක්‍ෂය මෙවර පරාජයට පත් විය. මහ ඇමැතිනී ශීලා ඩික්‌සිත් සිය ආසනයෙන්ද පැරදුණාය. දූෂණ වංචා චෝදනා නිසා කොංග්‍රස්‌ ආණ්‌ඩුව බලවත්සේ අප්‍රසාදයට පත්ව සිටින බව අමුතුවෙන් කිවයුතු නැහැ. එදා ඇමරිකාව නරේන්ද්‍ර මෝඩිට වීසා ලබාදීම ප්‍රතික්‍ෂේප කළද මෙදා ටයිම් සඟරාව 2013 වසරේ පුද්ගලයා තේරීම සඳහා නම් කළ 25 දෙනා අතරටත් නරේන්ද්‍ර මෝඩි නම් කර ඇත. එසේනම් මේ හින්දු ජාතිකවාදී නායකයා බලයට පත්වුවහොත් ශ්‍රී ලංකාව දෙස කවර කෝණයකින් බලයිද? නරේන්ද්‍ර මෝඩි ශ්‍රී ලංකා විරෝධියෙක්‌ වෙයිද? නැත්නම් ඔහු අපට වඩා හිතවත් වෙයිද යන්න පිළිබඳව අප අවධානය යොමු කළ යුතුය. දෙමළ දේශපාලන බලපෑම් නිසා අගමැති මන්මෝහන් සින් කොළඹ පැවැති පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවට සහභාගි වූයේ නැත. එහෙත් භාරතීය ජනතා පක්‍ෂ නායකයකු වන එම්. මෙත්තයියා නායිදු ප්‍රකාශ කර සිටියේ කවරක්‌ද අගමැතිවරයා ශ්‍රී ලංකාවට යා යුතු බවයි.

ලංකාවේ බහුතර දෙමළ ජනතාව හින්දු ආගමිකයින්වේ. එසේ නම් හින්දු පදනම මත ගොඩ නැගෙන භාරතීය ජනතා පක්‍ෂ ආණ්‌ඩුව මෙරට දෙමළ ජනයා කෙරෙහි වඩාත් අනුකම්පාවක්‌ දක්‌වයිද? නරේන්ද්‍ර මෝඩි බලයට පැමිණි පසු අන්‍යාගමික ඉන්දියාව වෙනස්‌වෙයිද? කෙසේ වෙතත් 2013 මාර්තු මාසයේදී කරුණානිධිගේ පක්‍ෂය මහින්ද රාජපක්‍ෂ ජනපතිවරයා යුද අපරාධකරුවකු ලෙස නම් කරන්නැයි කළ ඉල්ලීම හමුවේ භාරතීය ජනතා පක්‍ෂය දැරූ ස්‌ථාවරය කුමක්‌ද? එහි ප්‍රකාශක රවි ශන්කර් ප්‍රසාද් පවසා සිටියේ තමන් එම ඉල්ලීමට එකඟ නොවන බවයි. ඉදිරි මැතිවරණයේදී තම පරාජය නියත බව දැන ගෙන පාලක කොංග්‍රස්‌ පක්‍ෂය තමිල්නාඩුව ජය ගැනීමට උත්සහ කරන්නේ දෙමළ ජාතිවාදය ඇවිස්‌සීම මගින් බව රහසක්‌ නොවේ. කොංග්‍රස්‌ රජයේ මුදල් ඇමැති පලනිඅප්පන් චිදම්බරම් චෙන්නායි නුවරදී ප්‍රකාශකර සිටියේ ලංකාවේ සිදුවූ යුද අපරාධ ගැන පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතු බවයි. ඉදිරි මැතිවරණයේදී ලංකාවේ දෙමළ ජනයාගේ ප්‍රශ්න තම ප්‍රධාන සටන් පාඨය කර ගැනීමට කොංග්‍රස්‌ පක්‍ෂය උත්සාහ කරන බව රහසක්‌ නොවේ. එහෙත් භාරතීය ජනතා පක්‍ෂය නම් මෙතෙක්‌ ලංකාවට යුද අපරාධ චෝදනා ඉදිරිපත් කර නැත. බලය පැමිණි පසු ඔවුන්ද කොංග්‍රසය මෙන්ම යුද අපරාධ චෝදනා නගයිද? ඇත්තෙන්ම ශ්‍රී ලංකා රජය දැන් සිටම භාරතීය ජනතා පක්‍ෂය විශේෂයෙන්ම නරේන්ද්‍ර මෝඩි දිනා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක්‌ ආරම්භ කළ යුතුව ඇත. කොංග්‍රස්‌ ආණ්‌ඩුව මෙන්ම භාරතීය ජනතා පක්‍ෂ ආණ්‌ඩුවටද තමිල්නාඩුවේ බලපෑම් එල්ල වුවහොත් රාජපක්‍ෂ පාලනය අපහසුවට පත්වීම වැළැක්‌විය නොහැකි වනු ඇත.

මේ අතර තමිල්නාඩුවේ භාරතීය ජනතා පක්‍ෂ විධායක කමිටුවේ සාමාජිකයකු වන එල්. ගනේෂන් ඉන්ද්‍රීය මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ජය ලලිතාගේ පක්‍ෂය සමග සන්ධානගතවීමට තමන් සූදානම් නැති බවය. ජය ලලිතාගේ පක්‍ෂ ආධාරකරුවන් ප්‍රකාශ කරන්නේ 2014 මහ මැතිවරණයේ අගමැති අපේක්‍ෂිකාව වන්නේ තම නායිකාව බවයි. නරේන්ද්‍ර මෝඩි තම පක්‍ෂයේ අගමැති අපේක්‍ෂකයා නිසා තමන් අගමැති අපේක්‍ෂිකාවක්‌ සමග සන්ධානගත විය නොහැකි බව ගනේෂන් කියයි. ජයලලිතා කවර සිහින මැවුවද ඇයට ඉන්දියාවේ අගමැතිවීමට නොහැකිය. මීට පෙර උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත මහ ඇමතිනිය ලෙස කටයුතු කළ මායාවතීද අගමැති වීමට පෙරුම් පිරුවාය. කෙසේ නමුත් භාරතීය ජනතා පක්‍ෂය හා ජයලලිතා අතර සන්ධනයක්‌ ඇති නොවීම ශ්‍රී ලංකාවට වාසිදායක බව පැහැදිලිව සටහන් කළ යුතුය. සන්ධානයක්‌ ඇති වූවානම් එය ලංකා රජය බලවත් අපහසුතාවට පත්වන අශුද්ධ සන්ධානයක්‌වීම වැළැක්‌විය නොහැකි වන්නේය. කොංග්‍රස්‌ විරෝධයක්‌ සමග ඇතිව තිබෙන භාරතීය ජනතා පක්‍ෂ ජයග්‍රාහී රැල්ල නිසා තමිල්නාඩුවේ දෙමළ ජාතිවාදී පක්‍ෂ සමග සන්ධානගත නොවී ආසන 272 ලබා ගැනීමට නරේන්ද්‍ර මෝඩිට අපහසු නොවන බව අපේ හැඟීමයි. රාජස්‌ථාන් ප්‍රාන්තයේ බලය භාරතීය ජනතා පක්‍ෂය දිනා ගත්තා පමණක්‌ නොව කොංග්‍රසයේ බලය ආසන 95 සිට 21 දක්‌වා අඩු කරනු ලැබීය. එයින්ම ඉන්දීය ජනතා මනාපය ගමන් කරන්නේ කවර දෙසටද යන්න හොඳින්ම පැහැදිලි වේ.

2014 වසර ලංකා ආණ්‌ඩුව අභියෝගාත්මක වසරක්‌ වන බව රහසක්‌ නොවේ. මාර්තු මාසයේදී නැවතත් ජිනීවා මානවහිමිකම් කවුන්සිලයට ලංකාවට එරෙහිව යෝජනාවක්‌ ඉදිරිපත් වේ. එලෙසම ඉන්දීය මැතිවරණ උණුසුමද ලංකා දේශපාලනය රත්කරන බව රහසක්‌ නොවේ. එනිසාම භාරතීය ජනතා පක්‍ෂය දිනා ගැනීම වෙනුවෙන් වූ රාජතාන්ත්‍රික මෙහෙයුම දැන් සිටම ආරම්භ කළ යුතුය. නරේන්ද්‍ර මෝඩි අගමැති වී පළමුවෙන්ම ලංකාවට පැමිණෙන ලෙසත් ආරාධනා කළ යුතුව ඇත.

චතුර පමුණුව
http://www.divaina.com/2013/12/15/forign.html

Pic Source

0 comments: