Pages

Saturday, December 28, 2013

ශිෂ්‍යත්වය අවශ්‍ය පාසල් යැමට ද?

ගලේවෙල අධ්‍යාපන කලාපයේ පාසල් 18 ක වැසිකිළි පහසුකම් සහ පානීය ජල පහසුකම නැති බව ඊයේ (27 දා) 'දිවයිනේ' ප්‍රාදේශීය ප්‍රවෘත්ති පිටුවක සඳහන් විය. මේ නිසා ගුරුවරුන් සහ සිසුන් අහල පහල ගෙවල්වල වැසිකිළි පාවිච්චි කරන බව දැන ගන්නට තිබේ. ඇතැම් අවස්‌ථාවල එම අසල්වැසියන් මේ කාරණය සම්බන්ධයෙන් සිසුන්ට ගරහන බවද දැන ගන්නට තිබේ. ඔබේ නිවසට අල්ලපු වත්තේ පිහිටි පාසලේ ළමයි වැසිකිළි යැමට සහ වතුර බීමට නිතර නිතර එන්නට පටන් ගත් විට එය දරා ගැනීමට බැරි තරම් වාතයක්‌ බවට පත් වන්නේය. සතියේ දිනවල උදේ 8 සිට සවස 2 පමණ වනතුරු හැම විටකම පාහේ වැසිකිළි යැමට පැමිණි දරුවකු ඔබේ නිවස ඉදිරිපිට සිටගෙන සිටීම, ඔබට පවා එය අසාගෙන සිටින අපටවත් දරන්නට බැරිය. මේ අතර ගලේවෙල කලාපයේ පාසල් 16 කට ගුරු නිවාස නැති බවද පාසල් 11 කට විදුලිය නැති බවද දැනගන්නට ඇත.

පස්‌වන වසරේ ශිෂ්‍යත්ව විභාගය කඩඉම් විභාගයක්‌ බවට පත් වන්නේත් ජාතික පාසල් සංකල්පය ජාතියේ තීරණාත්මක සාධකයක්‌ බවට පත් වන්නේත් මෙවැනි තත්ත්වයන් නිසාය. අවසානයේදී ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් ඇති පාසලකට යැම සඳහා ශිෂ්‍යත්ව විභාගය සමත්වීමට ගලේවෙල වැනි පළාත්වල දරුවන්ට සිදු වන්නේය. තිබහට වතුර ටිකක්‌ බීමට ටැප් එකක්‌ තිබෙන විදුහලකට යැම සඳහා ශිෂ්‍යත්වය සමත්වීමට දරුවන්ට සිදු වන්නේය. මෙය ශ්‍රී ලංකාව වැනි රටවල පවතින ලොකු ප්‍රශ්නයකි. සම්පත් බෙදී යැම විෂම වීම මෙයට හේතුවය. අධ්‍යාපනය නමැති සම්පත රටේ හැම තැනකටම සමානව බෙදී යා යුතුය. එහෙත් රටේ පිටිසරබදට වන්නට සම්පත් බෙදී යැමක්‌ නැත. පිටිසරබදට වන්නට වැසිකිළිත් අවශ්‍ය නැති බවට ආකල්පයක්‌ තිබෙන බව පෙනෙයි. එහි තේරුම සිසුන් ළඟම පිහිටි බැද්දට එළි බැසි යුතු බවද? පිරිමි ළමයකුට එවැන්නක්‌ කළ හැකි වුව ද ගැහැනු ළමයකුට එවැන්නක්‌ කරන්නට බැරිය. සකලාංග සම්පූර්ණ පිහිනුම් තටාකයක්‌, අධ්‍යාපන චාරිකා යැම සඳහා සුඛෝපභෝගී බස්‌ රථයක්‌ යනාදිය තම විදුහලට ලැබීමෙන් කොළඹ පාසල්වල ළමෝ සතුටු වෙති. ගලේවෙල පාසල්වල ළමයින්ට එවැන්නක්‌ උවමනා නැත. සමහරවිට ඔවුන් එවැනි දේ ගැන අසාවත් නැතුවා වන්නට පුළුවන. ඔවුන්ට උවමනා වැසිකිළියක්‌ සහ ටැප් එකක්‌ පමණි.

කොළඹ සහ වෙනත් නගර ආශ්‍රිතව පිහිටි සුපිරි පාසල් හැර රටේ පිහිටි පාසල් වැඩි හරියක සනීපාරක්‍ෂක කටයුතු නඩත්තුවීමක්‌ දක්‌නට නොමැත. මේ කියමන "සිංහලෙන්" පරිවර්තනය කළ විට එන අදහස වන්නේ ඉස්‌කෝලවල කක්‌කුස්‌සි නොසෝදන බවය. එවැනි වැසිකිළි අපායට වඩා ස්‌වල්පයක්‌ වෙනස්‌ වන්නේ යම රජතුමා එහි නැති වීම යන සාධකය මත පමණි. පානීය ජලය නම් සුවිශාල ප්‍රශ්නයකි. ජල පහසුව නැති පාසලක පයිප්පවලට ජලය ලබාගැනීමට හැකි වන්නේ ළිඳෙන් ගත් ජලය ටැංකියකට පොම්ප කිරීමෙන් පමණි. එවැනි පාසලකට විදුලි බලය ද නැතිවූ විට සිසු දරුවන් පත්වන දුෂ්කර තත්ත්වය ඉතාම නරකය. ගලේවෙල වැනි දුෂ්කර පළාත්වල ළිඳක්‌ කණින විට අපායේ වහළ දක්‌වාම කැණිය යුතුය. ජලය හමුවන්නේ ඒ තරම් දුරක්‌ පහළට ගිය විටය. බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා පහ වසරේ ශිෂ්‍යත්ව විභාගය අත්හිටු වන්නේය යන අදහසට අප ගිය සතියේ එකඟ වීමු. මේ සතියේ දී අප එයට විරුද්ධ වෙමු. මන්ද ළමයකු ශිෂ්‍යත්වය සමත් විය යුත්තේ හොඳට අධ්‍යාපනය ලබාගැනීමට පමණක්‌ නොව වැසිකිළි පහසුකම් ලබාගැනීමටත් එක්‌කය.

http://www.divaina.com/2013/12/28/editor.html

0 comments: