Pages

Saturday, December 28, 2013

ප්‍රමිතිගත කළ යුතු අටපිරිකර

අටපිරිකර බෞද්ධයා සතු උතුම් වස්‌තුවකි. මහේච්ඡතාවයන්ගෙන් පිරි ලෞකික ගිහි ජීවිතය අතහැර අල්පේච්ඡතාවයෙන් යුත් භික්‍ෂු ජීවිතයකට එළඹුණු බෞද්ධ භික්‍ෂුවකගේ මූලික උවමනා සියල්ල ඉෂ්ට සිද්ධ කර ගැනීමට අටපිරිකර උපකාරි වන්නේය. එනිසා ම බෞද්ධ භික්‍ෂු ජීවිතය තුළ අටපිරිකරට හිමිවනුයේ සුවිශේෂී ස්‌ථානයකි. මෙවන් උතුම් වූ ද සුවිශේෂී වූ ද අටපිරිකර කවදා කොතැනක දී ආරම්භ වූයේ ද යන්න නිශ්චිතව කිව නොහැකිය. එසේ ම බුද්ධ දේශනාවේ අන්තර්ගත පැරණිම ලේඛනය වන ත්‍රිපිටකය තුළ පවා අටපිරිකර පිළිබඳ සඳහන් වීමක්‌ සොයා ගත නොහැකිය. එසේ වුවත් 'අනාගත වංශය' නම් කෘතියෙහි ලෝකයේ පළමුවරට අටපිරිකර ඇති වීම පිළිබඳ කථා ප්‍රවෘත්තියක්‌ ඇතුළත් වේ. එය මෙසේය.

''මිනිසුන්ගේ ආයුෂ පිරිහී ලෝක විනාශය සිදුවීමෙන් පසු එනම් කල්ප විනාශයෙන් පසු නැවත ක්‍රමයෙන් ලෝකය ඇති වේ. එවිට ලෝකයේ පළමුව හට ගැනීම සිදුවන්නේ සියලු බුදුවරු බුද්ධත්වයට පත්වන දඹදිව බුද්ධගයා ශුද්ධ භූමියෙහි වජ්‍රාසනය පිහිටන බිම් ප්‍රදේශයයි. එහි නෙළුම් පැළයක්‌ හටගන්නා අතර ආරම්භ වන නව කල්පයේ බුදුවරු ගණන අනුව එහි නෙළුම් මල් හට ගනී. ඒ හැම නෙළුම් මලක ම එක්‌ අටපිරිකර බැගින් පහළ වේ. මෙකල්හි පඤ්ච සුද්ධාවාස බඹලොව වැඩ වසන බ්‍රහ්ම රාජයෝ එකතු වී අනාගත බුද්ධෝත්පත්ති පිළිබඳ පෙරනිමිති දැකීම පිණිස මෙම භූමියට පැමිණේ. එහිදී නෙළුම් මල් මත පවතින අටපිරිකර ගණන අනුව එම කල්පයේ බුදුවරු ගණන දැන දොහොත් මුදුන්දී එම අටපිරිකර රැගෙන තම සුද්ධාවාසවලට යන්නේය. මෙම අටපිරිකර මහාබ්‍රහ්මයා විසින් ඒ ඒ බුදුවරුන්ට පූජා කරන බව කියෑවේ. ඒ අනුව අනාගතයේ බුද්ධත්වයට පත්වන මෛත්‍රී බෝසතුන් වෙනුවෙන් බඹලොව අටපිරිකරක්‌ පවතින බව වැඩිදුරටත් එහි සඳහන් වේ.''

මෙම කථා ප්‍රවෘත්තියේ සත්‍ය අසත්‍යතාව විමසිය යුත්තක්‌ වුව ද අටපිරිකර ආරම්භය පිළිබඳව පවතින එකම කතා ප්‍රවෘත්තිය ලෙස මෙය ඉතා වැදගත් වේ. සිදුහත් කුමරු අභිනිෂ්ක්‍රමණය කොට අනෝමා ගංතෙරේදී පැවිදි වීමේ දී ඝටීකාර මහා බ්‍රහ්මයා විසින් අටපිරිකර පිදූ බව කියෑවේ. ඒ අනුව පැහැදිලි වන්නේ ගෞතම බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වීමටත් ප්‍රථම අටපිරිකර ලොව පැවති බවයි.

දෙපට සිවුර, තනිපට සිවුර, අඳනය, යන තුන් සිවුරද පාත්‍රය ද, කඩකැත්ත ද, ඉඳිකටුව ද, පටිය ද, පෙරහන්කඩ ද යන මේ අට නිවන් පිණිස පිළිවෙත් පුරන සැහැල්ලූ පැවතුම් ඇති භික්‍ෂූන් වහන්සේලාගේ පිරිකර අටයි. මේවායින් තුන්සිවුර පිළිබඳ ව මහාවග්ග පාලියේ චීවරCඛJධකයේදී ද, පාත්‍රය, පෙරහන්කඩ හා ඉඳිකටුව පිළිබඳව ඛුද්දක වFථුCඛJධකයේදී ද, පටිය පිළිබඳව සේනාසනCඛJධකයේදී ද එවා අනුදැන වදාරමින් බුදුන් වහන්සේ විසින් ම විස්‌තර දක්‌වා තිබේ. එහෙත් මෙසේ අටපිරිකරක්‌ බුදුන් දවස භාවිතා වූ බවක්‌ නොපෙනේ. කෙසේ වෙතත් චුල්ලවග්ග පාලියේ දැක්‌වෙන භික්‍ෂුවක්‌ ගමන් බිමන් යන විට ගෙන යන පිරිකර හතරක්‌, භික්‍ෂුව නිතර පරිහරණය කළ උපකරණ හයත්, වæ_පුත්තක භික්‍ෂූන්ගේ කාලයේ සම්භාවනීය පූජා භාණ්‌ඩ සේ සැළකූ පිරිකර හතත්, ආශ්‍රයෙන් පසුකාලයේ දී අටපිරිකර සංග්‍රහ වන්නට ඇතැයි සිතිය හැකිය. මඡ්ජිම නිකාය අටුවාවේදී අට පිරිකර, නව පිරිකර, දහ පිරිකර, එකළොස්‌ පිරිකර අතරින් භික්‍ෂූන් සතුටු විය යුත්තේ අටපිරිකරින් පමණක්‌ බව කියෑවේ. ඒ අනුව අටුවා යුගයට මත්තෙන් අටපිරිකර සංග්‍රහ වී ඇති බවත් එය විවිධ ගණනින් සංග්‍රහ කරන්නට උත්සාහ ගෙන ඇති බවත් පැහැදිලි වේ. 

බෞද්ධ භික්‍ෂු සමාජයට ඇතුළත් වන ඕනෑ ම අයෙකු සතුව අටපිරිකරක්‌ තිබිය යුතුම ය. එසේ නොමැතිව භික්‍ෂූත්වය ලැබුවේ ඒහි භික්‍ෂුභාවය ලැබූවන් පමණකි. ඔවුන්ට ඒ සඳහා උපකාරි වුයේ පෙරඅත් භවයක අටපිරිකර පූජා කිරීමෙන් ලද කුසලය බව කියෑවේ. මෙසේ ඒහි භික්‍ෂුභාවය ලැබූ භික්‍ෂූන් ගණන 28,641 ක්‌ යෑයි සඳහන් වේ. එසේ ම පෙර ජාතියක අටපිරිකර පූජා කළ කාන්තාවන් තිදෙනෙක්‌ එපින් බලයෙන් 'මේල පළඳනාව' නම් ඉතා වටිනා ආභරණයකට උරුමකම් කී බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ. ඔවුන් නම් සුජාතා සිටුදේවිය, විශාකා මහා උපාසිකාව හා බන්දුල මල්ලිකා දේවිය යන තිදෙනාය.

මේ නිසා අටපිරිකර පූජා කිරීමට බෞද්ධයන් මහත් රුචිකත්වයක්‌ දක්‌වයි. බෞද්ධයන් අතර ප්‍රචලිත අට මහ පින්කම් අතරින් දෙවන පින්කම වන්නේ ද අටපිරිකර පූජාවයි. ශ්‍රී ලාංකේය බෞද්ධයා අටපිරිකර පූජාවෙහි මෙතරම් උනන්දුවීමෙහිලා බලපෑවේ ඉහත කී ආනිසංස දෙක පමණක්‌ ම නොවේ. පසුකාලීනව ලියෑවුණු 'අටපිරිකර දානානිසංසය' නම් කෘතිය ඊට බෙහෙවින් දායක විය. එහි අටපිරිකර දානානිසංස වෙන්වෙන්ව මෙසේ දක්‌වා තිබේ. 

ඒ අනුව තුන්සිවුරු පිදීමෙන්, රැස්‌ විහිදෙන රන්වන් සිනිඳු ශරීරයක්‌ ලැබීම, ශරීරයේ දූවිලි නොවැකීම, මහත් වූ ප්‍රතාප ඇති වීම, සසරේදී සුදු, කහ, රතු වස්‌ත්‍ර ලක්‍ෂ ගණනින් දැරීම ආනිසංස ලෙස දක්‌වයි. පාත්‍රා පිදීමෙන් රන්, මැණික්‌ ආදී තලි පරිබෝග කිරීම, අනතුරු උපද්‍රව කිසිදා සිදු නොවීම, හැමකල්හි ගෞරවය ලැබීම, ආහාරපාන වස්‌ත්‍ර සයනාසන නොමඳව ලැබීම, බවභෝග නොනැසීම, ස්‌ථිර සිත් ඇතිව විසීම, ධර්මයෙහි කැමති වීම, ආශ්‍රව රහිත වීම යනාදී ආනිසංස ලැබේ. 

දැළිපිහියා පිදීමෙන් හැමකල්හිම සූරයෙක්‌ වීම, නොවිසිරි සිත් ඇතිවීම, විශාරදත්වයෙන් යුක්‌තවීම, ධෛර්ය හා වීර්ය ලැබීම, කෙලෙස්‌ නසන ඥානය ලැබීම යන ආනිසංස ලැබේ. ඉදිකටු නූල් පිදීමෙන් සැක නැතිව හි`ඳීම, සැක නැතිව භවයේ සැරිසැරීම, රූ ඇතිව විසීම, බවභෝග ලැබීම, තියුණු නුවණක්‌ ලැබීම, ගැඹුරු සියුම් අර්ථයන් දැනීම, මොහ`දුර දුරු කරන ඥානය ලැබීම යන ආනිසංස ලැබේ.

පෙරහන්කඩ පිදීමෙන් ජීව්‍යායුෂ ලැබීම, සොරුන්ගෙන් හිංසා නොවීම, සතුරන්ට කිසිදා විපත් පැමිණවිය නොහැකිවීම, ආයුධ විෂ ආදියෙන් අනතුරු නොවීම, අතුරු මරණ නැති පරමායුෂ විඳීම ආනිසංස ලෙස ලැබේ. පටි පිදීමේ ආනිසංස ලෙස සමාධින්හි අකම්පිතව වශීභාවයට පැමිණීම හා නොඹිදෙන පිරිස්‌ ඇතිවීම එළඹ සිටි සිහි ඇතිව විසීම, තම වදන් අනුන් විසින් පිළිගැනීම, කිසිදු භවයක බියක්‌ තැති ගැනීමක්‌ ඇති නොවීම දක්‌වා තිබේ. 

මෙම ආනිසංස නිසා බෞද්ධ ජනතාව අටපිරිකර පූජාව කෙරෙහි බෙහෙවින් උනන්දු විය. එම උනන්දුව තම වාසියට පෙරලා ගත් කූට වෙළඳුන් විසින් අටපිරිකර වෙළඳ භාණ්‌ඩයක්‌ බවට පත්කර ලාභ ලැබීමේ ව්‍යාපාරයක්‌ බවට පත්කරගෙන සිටී. මේ සඳහා අනියමින් දායකත්වය සපයනුයේ භික්‍ෂූන්වහන්සේලා විශාල පිරිසක්‌ සහභාගි කරවාගෙන කරනු ලබන මහා පින්කම්ය. එම පින්කම්වලදී උවමනා වන අටපිරිකර සපයා ගන්නේ වෙළඳුන් මඟිනි. මෙසේ තොග වශයෙන් ඇතිවන ඉල්ලීම් සපුරාලනු වස්‌ වෙළඳුන් ප්‍රමිතියෙන් තොර අටපිරිකර සකස්‌ කිරීමට පෙළඹේ.

තවත් අතකින් මෙසේ ඉවක්‌ බවක්‌ නැතිව ආනිසංස අපේක්‍ෂාවෙන් අටපිරිකර පූජාවන් නිසා ඇතැම් විහාරස්‌ථානවල අටපිරිකර ගොඩගැසී තිබෙනු දැකිය හැකිය. එය අල්පභාණ්‌ඩිකත්වය උතුම් කොට සැළකූ භික්‍ෂු ජීවිතය බහුභාණ්‌ඩිකත්වයට පත්කිරීමකි. මෙසේ භික්‍ෂු අවශ්‍යතාවය ඉක්‌මවා කරනු ලබන අටපිරිකර පූජාවන් තුළින් පෙර කී ආනිසංස ලැබේදැයි යන්න සැක සහිතය. 

එසේම මෙසේ විහාරස්‌ථානවල එක්‌ රැස්‌වන අටපිරිකරවලට කළ හැක්‌කක්‌ නොමැතිකමින් ඒවා විකුණා මුදල් බවට හැරවීමට බොහෝ භික්‍ෂූන්වහන්සේලා ක්‍රියා කරනු දැකිය හැකි වේ. ප්‍රයෝජනයට නොගන්නා අටපිරිකර විකුණා ඉන් ලැබෙන මුදලින් ප්‍රයෝජනවත් යමක්‌ කිරීම වරදක්‌ සේ දැකිය නොහැකිය. එහෙත් ගැටලුව වන්නේ ඒවා මිලදී ගනු ලබන්නේ කවුරුන් ද යන්නයි. වත්මනෙහි මෙම ව්‍යාපාරය කරනු ලබන බොහෝ දෙනා අන්‍යාගමිකයින් ය. ඔවුන්ට අටපිරිකර පිළිබඳ ඇති දුරවබෝධය නිසා එහි ප්‍රමිතිය දිනෙන් දින බාල වී යාම වැළැක්‌විය නොහැකිව තිබේ.

අටපිරිකර පූජනීය වස්‌තුවකි. එය ප්‍රමිතිගත කිරීම නීතියෙන් සිදු කළ හැකි යෑයි සිතීම මිත්‍යාවකි. බෞද්ධ සංස්‌කෘතියෙහි පූජනීය අංගයක්‌ වන අටපිරිකර ප්‍රමිතිගත කළ හැක්‌කේ ඒ පිළිබඳ පවතින සමාජගත මතය නිවැරදි කිරීමෙන් හා එය වෙළඳ භාණ්‌ඩයක්‌ බවට පත් වීමෙන් වළකා පූජනීය වස්‌තුවක්‌ බවට පත් කිරීමෙන් පමණකි. බෞද්ධ සංස්‌කෘතියෙහි වටිනාකම් රැක ගත යුතු වන්නේ ද, ඒ සඳහා ක්‍රියාකාරි මැදිහත් වීමක්‌ සිදු කළ යුත්තේ බෞද්ධයන් විසින් ම ය.

අටපිරිකර පිළිබඳ සමාජගත මතය නිවැරදි කිරීමෙහිලා පළමුවෙන් ම සිදු කළ යුතු වන්නේ අටපිරිකර දානානිසංස පිළිබඳ නිවැරදි අවබෝධයක්‌ බෞද්ධයාට ලබාදීමයි. ඒ අනුව බෞද්ධ කර්මඵල විග්‍රහය නියතිවාදයක්‌ බවට පත් කළ සාවද්‍ය ආනිසංස කතා බැහැර කළ යුතුය. අටපිරිකර පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස එපමණකින් ම ලැබේයෑයි සිතීම වැරදිය. බුදුන් දවස ඒහිභික්‍ෂු භාවය ලැබුවේත් මේල පලඳනාව ලැබුවේත් සුළු පිරිසකි. එබැවින් අටපිරිකරක්‌ පූජා කිරීමෙන් පමණක්‌ මෙම ආනිසංස ලැබේ යෑයි කිසිවෙකුත් නොසිතිය යුතුය. ඒ සඳහා රැස්‌ කරගත යුතු කුසල් රාශියකි. එම කුසල් නොඅඩුව රැස්‌ කරගත් අයට ඒහිභික්‍ෂුභාවය හා මේල පළඳනා උරුම විය. ඒ සඳහා අටපිරිකර පූජාවේ කුසලය බලපෑ හෙයින් බුදුරදුන් එසේ වදාරන්නට ඇත. මෙය නියතියක්‌ නොවේ. 

අටපිරිකර පූජාව යනු තවත් එක්‌ දානයකි. දානයක කුසල් බලය තීරණය වනුයේ දන්දෙනු ලබන දෙය මත නොව දන් දෙන්නාගේ ෙච්තනාව මතය. ඒ අනුව යහපත් කුසල් චේතනාවෙන් තණ්‌හාව දුරුකර දෙනු ලබන කුමන හෝ දානයක ආනිසංස එක සේ ලැබේ. සුමන නම් මාලාකාරයෙකු මල් අටක්‌ පිදීමෙන් පමණක්‌ දිව්‍ය සැප සම්පත් ලැබූ බව කියෑවේ. එබැවින් බෞද්ධයා අටපිරිකර පූජාවට පමණක්‌ විශේෂ සැළකිල්ලක්‌ දැක්‌විය යුතු නොවේ.

අටපිරිකර වෙළඳ භාණ්‌ඩයක්‌ බවට පත්වීමෙන් වළකා ගැනීමේ වැඩි වගකීමක්‌ ඇත්තේ භික්‍ෂූන් වහන්සේලාට ය. ඒ සඳහා නිකායාදී සියලූ භේදයන්ගෙන් මිදී භික්‍ෂූන්වහන්සේලා එක්‌ රැස්‌වී අටපිරිකර පිළිබඳ නිශ්චිත නිගමනයකට එළඹිය යුතුය. එය ප්‍රමිති කිරීම සඳහා වත්මන් නීතිය නොව බෞද්ධ විනය උපයෝගී කර ගත යුතුය. චීවරCඛJධකය තුළ චීවරයන්ගේ පිරිවිතර සිට එය නිෂ්පාදනයේ සෑම පියවරක්‌ ම අන්තර්ගත ය. එසේ ම සිවුරුවලට කැප අකැප රෙදි වර්ග, පඬු වර්ග ආදිය ද එහි ම දැක්‌වේ. ඛුද්දක වFථුCඛJධකයේදී පාත්‍රා සම්බන්ධයෙන් ද මෙසේ පිරිවිතර හා කැප අකැප පාත්‍රා හා ප්‍රමාණයන් දක්‌වා තිබේ. එහිම පෙරහන්කඩ හා ඉඳිකටුව පිළිබඳවද විස්‌තර දැක්‌වේ. සේනාසනCඛJධකයේ පටිය පිළිබඳ ව දැක්‌වේ. මෙසේ බෞද්ධ විනයට අනුකූලව අටපිරිකර සකස්‌ කිරීම සඳහා දැනට මෙම කර්මාන්තයේ නියෑලී සිටින අයවලුන් භික්‍ෂූන් වහන්සේලාගේ නිරන්තර පරීක්‍ෂාවට ලක්‌වන හා අවවාද අනුශාසනා ලබන පිරිසක්‌ බවට පත් කළ යුතුය. 

අටපිරිකර පූජා කිරීම සඳහා ද සුවිශේෂී අවස්‌ථාවන් කිහිපයක්‌ පමණක්‌ නියම කරගත යුතුය. පැවිදි කිරීමේ පින්කම්, උපසම්පදා පින්කම් හා කඨින පින්කම් ඒ සඳහා ප්‍රමාණවත්ය. එවිට ඉවක්‌ බවක්‌ නොමැතිව කරනු ලබන අටපිරිකර පූජාවන් වැළකී යන්නේය. එසේම විනයානුකූල බවින් තොර අටපිරිකර පූජාවන් සඳහා යොදා ගැනීම ද මින් වැළකේ. ඊට හේතුව මෙම අවස්‌ථාවලදී අටපිරිකර භාවිතයට ගැනීමයි.

බෞද්ධ විනයට පැටහැනි අටපිරිකර පූජාවන් භාර නොගැනීමත් එය විනයානුකූලව සිදු කරන අයුරු බෞද්ධයාට කියාදීමත් මඟින් භික්‍ෂූන්වහන්සේලාට මෙම කාර්යය සඳහා ක්‍රියාකාරීව දායක විය හැකිය. එසේ ම විහාරස්‌ථානවල අවශ්‍ය පමණට වඩා රැස්‌ වන අටපිරිකර ඉහත කී පින්කම් අවස්‌ථාවලදී යොදා ගැනීමත් දුෂ්කර ප්‍රදේශවල විහාරස්‌ථාන සඳහා ඒවා බෙදා හැරීමත් මඟින් අටපිරිකර සඳහා පවතින වෙළඳපොළ ඉල්ලුම අඩු කළ හැකිය. එවිට ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන ඉබේම වැළලී යයි. 

මෙසේ බෞද්ධ සමාජය තුළ අටපිරිකර සම්බන්ධයෙන් පවතින දුර්මත දුරු කිරීමෙන් හා එය ආර්ථික වටිනාකමක්‌ සහිත වෙළඳ භාණ්‌ඩයක්‌ වීමෙන් මුදවා ඊට නිසි ගෞරවය හා පිළිගැනීම ලැබෙන වැඩපිළිවෙළක්‌ ද ක්‍රියාත්මක කිරීමෙන් අටපිරිකර නිරායාසයෙන් ම ප්‍රමිතිගත වන්නේය. 

රංග බුද්ධික කංකානන්ගේ, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය 
http://www.divaina.com/2013/12/28/feature01.html

0 comments: