Pages

Thursday, December 26, 2013

ඉදිරි සංචාරක ඉලක්‌ක ජයගැනීමට නම්

පසුගිය වසරවලදී අපේ රටට එන සංචාරකයන් ප්‍රමාණයේ වේගවත් වර්ධනයක්‌ සිදුව තිබුණත්, රජයේ සංචාරක ඉලක්‌ක සපුරා ගැනීම අතින් අප ඉතාම අභියෝගාත්මක තත්ත්වයකට මුහුණදී සිටින බව පෙනේ. "මහින්ද චින්තන" වැඩපිළිවෙළේ සඳහන් වන පරිදි වර්ෂ 2016 දී විදෙස්‌ සංචාරකයන් ලක්‍ෂ 25 ක්‌ ගෙන්වා ගැනීම රජයේ ඉලක්‌කයයි. මේ ඉලක්‌කයට ගමන් කිරීම සඳහා සෑම වසරකදීම ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය සැලකිය යුතු මට්‌ටමකින් වර්ධනය කර ගැනීsමට අපට සිදු වෙයි. ගිය වසරේ (2012) දශ ලක්‍ෂයක සංචාරක පැමිණීම් ඉලක්‌කය අභිබවා යමින් 1005605 ක විදෙස්‌ සංචාරකයන් පිරිසක්‌ මෙරටට පැමිණියත්, මේ වසර (2013) තුළ රජය අපේක්‍ෂා කළ සංචාරක පැමිණීම් ඉලක්‌කයට ගමන් කිරීමට අපහසුය. සංචාරක ඉපයුම්වල ප්‍රගතිය හොඳ මට්‌ටමක තිබුණත් මේ පසුබිම තුළ වර්ෂ 2016 වනවිට ලක්‍ෂ 25 ක විදෙස්‌ සංචාරකයන් පිරිසක්‌ අප රටට පැමිණෙනු ඇතිද? ඒ සඳහා දැනට දියත්ව ඇති සංචාරක සංවර්ධන හා ප්‍රවර්ධන වැඩපිළිවෙළ ප්‍රමාණවත්ද? මේ ලිපියෙන් අපගේ අවධානය යොමු වන්නේ ඒ ගැනය.

ගිය වසරේ (2012) ජනවාරි සිට නොවැම්බර් දක්‌වා කාලය තුළ මෙරටට පැමිණි මුළු විදෙස්‌ සංචාරකයන් ප්‍රමාණය 883353 කි. මේ වසරේ (2013) එම කාලය තුළ විදෙස්‌ සංචාරකයන් 1016228 දෙනෙකු පැමිණ තිබේ. ඒ අනුව මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්‌වා කාලය තුළ විදෙස්‌ සංචාරකයන්ගේ පැමිණීම සියයට 15 කින් වර්ධනය වී තිබේ. එහෙත් 2011 වසරට සාපේක්‍ෂව 2012 වසරේ විදෙස්‌ සංචාරකයන්ගේ පැමිණීම සියයට 17.5 කින් වර්ධනය විය. එසේම 2010 වසරට සාපේක්‍ෂව 2011 වසරේ සංචාරක පැමිණීම් සියයට 30.8 ක්‌ වැනි ඉහළ ප්‍රතිශතයකින් වර්ධනය වී තිබිණි. ඒ අනුව සංචාරක පැමිණීමේ වර්ධනය මන්දගාමී වී ඇති බව පෙනේ.

මේ තත්ත්වය තුළ අපට වර්ෂ 2016 දී ලක්‍ෂ 25 ක සංචාරක පැමිණීම් ඉලක්‌කයට ගමන් කිරීම වඩාත් අභියෝගාත්මක තත්ත්වයට පත්ව ඇත. ගිය වසරේ (2012) දෙසැම්බර් මාසයේදී 122252 ක විදෙස්‌ සංචාරකයන් පිරිසක්‌ මෙරටට පැමිණියේය. එය මෙතෙක්‌ මාසයක්‌ තුළ පැමිණි වැඩිම සංචාරකයන් ප්‍රමාණයයි. එම ප්‍රමාණයම මේ වසරේ (2012) දෙසැම්බර් මාසයේදී පැමිණියත්, මේ වසරේ උපරිම වශයෙන් වාර්තා වනු ඇත්තේ 1138480 ක මුළු සංචාරක පැමිණීමකි. එහෙත් මේ වසර (2013) මුලදී බලධාරීන්ගේ ඉලක්‌කය වූයේ 1250,000 ක සංචාරක පැමිණීමකි. පවතින තතත්ත්වය තුළ මේ වසරේ (2013) මුළු සංචාරක පැමිණීම 1140,000 ඉක්‌මවා නොයනු ඇති බව මේ ලියුම්කරුගේ අදහසයි. මේ අනුව ඉලක්‌කයට සාපේක්‍ෂව සංචාරක පැමිණීම්වල 110,000 ක පමණ අඩුවීමක්‌ සිදුවනු ඇත.


නොවැම්බර් මස සංචාරක පැමිණීම් ගැන ද විශේෂයෙන් යමක්‌ කිව යුතුය. පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේදී පැවතියේ ඉකුත් නොවැම්බර් මාසයේදීය. එම සමුළුවට සහ ඊට සමගාමීව පැවැති සමුළුවලට සහභාගි වීම සඳහා රාජ්‍ය නායකයන්, විදෙස්‌ ඇමැතිවරුන්, විදෙස්‌ ආයෝජකයන්, විදේශ ව්‍යාපාරිකයන්, විදේශ මාධ්‍යවේදීන් සහ එම පවුල්වල සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක්‌ ගිය මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණියේය. මේ නිසාම නොවැම්බර් මස සංචාරක පැමිණීම් විශාල වශයෙන් ඉහළ යනු ඇතැයි බොහෝ දෙනෙක්‌ සිතුවේය. මේ ගැන ශ්‍රී ලංකා මහ බැංකුව පවා ප්‍රකාශ කළේ නොවැම්බර්Êමස පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුව නිසා සංචාරක පැමිණීමේ ඉහළ යැමක්‌ අපේක්‍ෂා කරන බවයි. එහෙත් එවැන්නක්‌ සිදුව නැත. සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ මාසික සංචාරක පැමිණීමේ සංඛ්‍යා ලේඛන අනුව මේ වසරේ (2013) සංචාරක පැමිණීමේ අඩුම වර්ධනය වාර්තා කර ඇත්තේ නොවැම්බර් මාසයේදීය. එය සියයට 2.8 කි. අනෙක්‌ සෑම මසකම සංචාරක පැමිණීම් මීට වඩා සැළකිය යුතු ප්‍රතිශතයකින් වර්ධනය වී තිබීම විශේෂත්වයකි. නොවැම්බර් මාසයෙන් පසු අඩුම සංචාරක පැමිණීමේ වර්ධනයක්‌ වාර්තා කර ඇති මාර්තු මාසයේදී පවා සංචාරක පැමිණීම් සියයට 7.7 කින් වර්ධනය වී තිබේ. ගිය වසරේ (2012) නොවැම්බර් මාසයේ පැමිණි 109,202 ක විදෙස්‌ සංචාරකයන් ප්‍රමාණයට සාපේක්‍ෂව මේ වසරේ (2013) නොවැම්බර් මස පැමිණ ඇත්තේ 112,213 ක විදෙස්‌ සංචාරකයත්a පිරිසකි. ගිය වසරේÊනොවැම්බර් මාසයට වඩා "චෝගම්" සමුළුවත්a මහ ඉහළින් පැවැති ඉකුත් නොවැම්බර් මාසයේදී සංචාරක පැමිණීම වැඩි වී ඇත්තේ ඒ අනුව 3011 කින් පමණි. මේ නිසා "චෝගම්" නොතිබුණා නම් තත්ත්වය අපට සිතාගත හැකිය. එසේ වූයේ නම් අනිවාර්යයෙන්ම නොවැම්බර් මස සංචාරක පැමිණීම් වර්ධනය සෘණ අගයක්‌ ගැනීමට ඉඩ තිබිණි.

මීළඟට අප අවධානය යොමු කළ යුත්තේ පවතින සංචාරක සංවර්ධන සහ ප්‍රවර්ධන වැඩපිළිවෙළ තුළ වර්ෂ 2016 දී රජය අපේක්‍ෂා කරන ඉලක්‌කයට ගමන් කළ හැකි ද යන්නයි. මේ ලියුම්කරුගේ ගණනය කිරීම් අනුව වර්ෂ 2016 දී ලක්‍ෂ 25 ක විදෙස්‌ සංචාරක පැමිණීම් ඉලක්‌කය සපුරා ගැනීමට නම් අනිවාර්යයෙන්ම අපේ සංචාරක පැමිණීම් ප්‍රමාණය වාර්ෂිකව සියයට 25 කින්වත් අවම වශයෙන් වර්ධනය කරන ගත යුතු වෙයි. ඒ අනුව මේ වසරේ (2013) අපට සපුරා ගත නොහැකි වන නමුත් 1250,000 ක සංචාරක ඉක්‌කය මහින්ද චින්තනයේ සඳහන් සංචාරක ඉලක්‌කයට (2016 දී) සාපේක්‍ෂව බලන විට වැරදි එකක්‌ නොවේ. අප එසේ කියන්නේ ඇයි? මේ සමග ඇති අංක( 01 වගුව බලන්න. ඒ අනුව ගිය වසරේ (2012) සපුරාගත් දශ ලක්‍ෂයක සංචාරක ඉලක්‌කය සියයට 25 කින් වර්ධනය වූ විට 1250,000 කි. එසේ වාර්ෂිකව සියයට 25 කින් සංචාරක පැමිණීම් වර්ධනය වන්නේ යෑයි උපකල්පනය කළ හොත් 2014 වසරේදී 15,62500 ක්‌ ද, 2015 වසරේදී 19,53125 ක්‌ සහ 2016 වසරේදී 24,41406 ක්‌ ද වශයෙන් විදෙස්‌ සංචාරකයන් පිරිසක්‌ මෙරටට පැමිණෙනු ඇත. මේ අනුව අපට පැහැදිලි වන්නේ වර්ෂ 2016 දී රජයේ ලක්‍ෂ 25 ක සංචාරක පැමිණීම් ඉලක්‌කය සපුරා ගැනීමට නම් වාර්ෂිකව සංචාරක පැමිණීම් සියයට 25 ඉක්‌මවා ගිය ප්‍රතිශතයකින් අඛණ්‌ඩව වර්ධනය විය යුතු බවයි.

එහෙත් 2013 දී සංචාරක පැමිණීම් වර්ධනය වී ඇත්තේ (නොවැම්බර් දක්‌වා) සියයට 15 ක ප්‍රතිශතයකිනි. ඉදිරි වර්ෂවලදීත් සියයට 15 ක ප්‍රතිශතයකින් සංචාරක පැමිණීම් වර්ධනය වුවහොත් ඇතිවන තත්ත්වය කුමක්‌ද? එසේ වුවහොත් (අංක (01 වගුව බලන්න) වර්ෂ 2014 දී පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය 13,22,500 කි. එසේම 2015 දී පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය 15,20,875 ක්‌ දක්‌වා සහ වර්ෂ 2016 දී පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය 17,49,006 ක්‌ දක්‌වා පමණක්‌ වර්ධනය වනු ඇත. ඒ නිසා අපේ සංචාරක පැමිණීම් වර්ධනය වන්නේ (වාර්ෂිකව) සියයට 15 කින් පමණක්‌ නම් වර්ෂ 2016 දී ලක්‍ෂ 25 සංචාරක පැමිණීම් ඉලක්‌කය සපුරා ගැනීමට තබා ඒ ගැන සිතීමටත් අපහසු වන බව පැහැදිලිය. 

සංචාරක ඉලක්‌ක ජය ගැනීමේදී පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය මෙන්ම සංචාරක ඉපයුම් ද වැදගත්ය. මේ වසරේ (2013) මේ දක්‌වා කාලය තුළ සංචාරක ඉපයුම්වල සියයට 25 ක වර්ධනයක්‌ තිබේ. ඒ නිසා ඉලක්‌කයට සාපේක්‍ෂව සංචාරක පැමිණීම් අඩු වුවත් සංචාරක ඉපැයුම්වල වර්ධනය හොඳ මට්‌ටමක තිබේ. එහෙත් සංචාරක ඉපයුම් අඛණ්‌ඩව වර්ධනය වීමට නම් සංචාරකයන්ගේ පැමිණීම්වල වර්ධනය වීමද ඉතාමත් අවශ්‍යය. මේ වනවිට අපේ සංචාරක පැමිණීම් මන්දගාමී වී තිබුණත් මේ ලියුම්කරුගේ අදහස වන්නේ සංචාරක ඉපැයුම් පමණක්‌ නොව වර්ෂ 2016 දී ලක්‍ෂ 25 ක සංචාරක පැමිණීම් ඉලක්‌කය සපුරා ගැනීමේ හැකියාව (විභවතාව) ද අප සතුව පවතින බවයි. අවශ්‍ය වන්නේ මේ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් රජයේ සංචාරක ඉලක්‌ක ජය ගැනීමට සමත් වැඩපිළිවෙළකි. ඒ සඳහා භාෂ්වර සේනාංක ගුණරත්න මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා සංචරණය විශාල වැඩ කොටසක්‌ සිදු කරමින් තිබේ. එය අප අගය කරන නමුත් ඉදිරි සංචාරක ඉලක්‌ක ජය ගැනීම ශ්‍රී ලංකා සංචරණයට පමණක්‌ තනිව කළ නොහැකිය. එය සංචාරක විෂය අයත් බැසිල් රාජපක්‍ෂ ඇමැතිවරයාගේ නායකත්වයෙන් යුත් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට වුවද තනිව සපුරා ගත නොහැකි බව අපගේ හැඟීමයි. 

එසේ නම් ඉදිරි සංචාරක ඉලක්‌ක ජය ගත හැක්‌කේ කෙසේද? අප අදහස්‌ කරන්නේ සංචාරක ක්‍ෂේත්‍රයට මීටත් වඩා වැඩි ප්‍රමුඛතාවක්‌ ලබා දෙමින් එම අංශයට සෘජුව හා වක්‍රව සම්බන්ධ සියලු රජයේ අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන සහ රාජ්‍ය අංශවල මෙන්ම පෞද්ගලික අංශයේ ද සහාය හා දායකත්වය ඇතිව පුළුල් ඒකාබද්ධ ප්‍රයත්නයක්‌, වැඩපිළිවෙළක්‌ මේ සඳහා අවශ්‍ය බවයි. එවැනි වැඩපිළිවෙළක්‌ දියත් කිරීමට අවැසි මොහොතකට දැන් අපි එළඹ සිටිමු. මේ සියලු අංශ ඒකාබද්ධ කර මීට වඩා වේගයත් හා පුළුල් සංචාරක සංවර්ධන වැඩපිළිවෙළකට යැමට යම් යාන්ත්‍රණයක්‌ අවශ්‍ය විය හැකිය. එම ඒකාබද්ධ වැඩපිළිවෙළ දියත් කරන යාන්ත්‍රණය කුමක්‌දැයි රජයට තීරණය කළ හැකිය. මේ ගැන සමාජය තුළ පුළුල් කථිකාවක්‌, සංවාදයක්‌ ඇති කිරීමද සුදුසුය. ඒ නිසා පොදුවේ රජයටත්, සංචාරක විෂය අයත් ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාටත් අප කියා සිටින්නේ සංචාරක සංවර්ධනයට, ඉදිරි සංචාරක ඉලක්‌ක ජය ගැනීමට සාමුහික ප්‍රයත්නයක්‌ අවශ්‍ය තීරණාත්මක මොහොතකට අප දැන් පැමිණ සිටින බවයි. මේ අනුව ක්‍රියාත්මක වීම හෝ නොවීම රජයේත්, සංචාරක බලධාරීන්ගේත් වැඩකි. අපට කළ හැක්‌කේ මාධ්‍යවේදීන් වශයෙන් විවේචනාත්මක සහාය දෙමින්, සංචාරක ඉලක්‌ක ජයගැනීම සම්බන්ධයෙන් පෙනෙන්නට තිබෙන අනාගත අවදානම් තත්ත්වයකින් මිදීම සඳහා යම් යෝජනාවක්‌ ඉදිරිපත් කිරීම පමණය. ඒ ගැන අවධානය යොමු කොට ක්‍රියාත්මක වීම රජයේ අදාළ අංශවල වගකීමකි. ඒ දෙස අපි බලා සිටිමු. 

ශ්‍යාම් නුවන් ගනේවත්ත
http://www.divaina.com/2013/12/26/feature02.html

0 comments: