Pages

Wednesday, December 25, 2013

පුත්තලම, කල්පිටිය, වනාතවිල්ලුව හා මුන්දලම ඉඩම් කොල්ලයේ කතාව

අක්‌කර 1387ක ඉඩම් හොරකම | ඉහළ පෙළේ අයත් පසුබිමේ

කච්චිය, පිච්චියට ගියත් බල්ලා හෙළුවෙන්" යෑයි පැරණි කියමනක්‌ තිබේ. අද අප "දිවයින ඉරිදා සංග්‍රහය" තුළින් අනාවරණය කරන්නේ සමාජයේ ප්‍රභූ පුද්ගලයන් ලෙස පෙනී සිටිමින් තමන්ගේ ධනය, බලය සහ නිලය අයුතු ලෙස භාවිත කරමින් ජාවාරම්කාර හොර සක්‌විතිලා කිපදෙනකු එකතු වී සිදුකර ඇති මහා ඉඩම් කොල්ලය පිළිබඳවයි.

පුත්තලම, කල්පිටිය. වනාතවිල්ලුව සහ මුන්දලම ප්‍රදේශය තුළ පිහිටි රජයට අයත් ඉඩම් අක්‌කර 1387 ක්‌ සඳහා හොර ඉඩම් ඔප්පු සකස්‌ කොට එම ඉඩම් නීති විරෝධී ලෙස අත්පත් කරගෙන රජවරු සහ සිටුවරු මෙන් ඒවා භුක්‌ති විඳිමින් මෙම ජාවාරම්කාර සුපිරි ඉඩම් හොරු නඩය රජයට සිදු කර ඇති පාඩුව රුපියල් කෝටි එක්‌දහස්‌ දෙසීයකට (1200) අධික වේ.

වැඩ බලන මහෙස්‌ත්‍රාත්වරයෙක්‌, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයෙක්‌, ප්‍රාදේශිය සභා සභාපතිවරු කීපදෙනෙක්‌, පළාත් සභා මන්ත්‍රීවරයකු ඇතුළු ඔවුන්ගේ පවුල්වලට සම්බන්ධ ඥතීන් කණ්‌ඩායමක්‌, ප්‍රසිද්ධ නීතිඥවරුන් කීප දෙනෙක්‌ සහ කෝටිපති ව්‍යාපාරිකයන් කීප දෙනෙක්‌ මෙම සුපිරි ඉඩම් කොල්ලයේ මහ මොළ කාරයන් ලෙස කටයුතු කර තිබේ.

පුත්තලම කච්චේරියේ තිබියදී විනාශ වී තිබූ පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ රජයට අයත් ඉඩම්වල තොරතුරු ඇතුළත් පත්ඉරුවක්‌ ප්‍රයෝජනයට ගෙන මෙම මහ මොළ කාරයන් රජය සතු ඉඩම්වලට හොර ඉඩම් ඔප්පු සකස්‌ කර ඇත.

පත්ඉරුව විනාශ වී ඇති නිසා හොර ඔප්පු සකස්‌ කොට අත්පත් කරගත් රජය සතු ඉඩම් තමන්ට කැමැති ලෙස භුක්‌ති විඳින්නට හැකි යෑයි මෙම හොර සක්‌විතිලා සිතා සිටියද ඉඩම් අමාත්‍යාංශයේ සිටින රටට ආදරය කරන ඉඩම් විෂය පිළිබඳව විශේෂඥ දැනුම ඇති නිලධාරීන් මේ රහස සදාකාලික රහසක්‌ ලෙස මහපොළව යට වළ දමන්නට ඉඩ දුන්නේ නැත.

ඉඩම් අක්‌කර 1387 ක්‌ යනු සුළු පටු සංඛ්‍යාවක්‌ නොවේ. මෙම ඉඩම් අක්‌කර 1387 න් අක්‌කර 538 ක්‌ම අයත් වන්නේ කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයටයි. මෙම ඉඩම් අක්‌කර 538 ට ඉඩම් කට්‌ටි 49 ක්‌ අයත් වන අතර මෙම සියලු ඉඩම් වාණිජ අතින් ඉහළ වටිනාකමක්‌ ඇති සරුසාර ඒවාය. 

ඒවගේම වනාතවිල්ලුව ප්‍රදේශයේ පිහිටි ඉඩම් අක්‌කර 448 ද මෙම ඉඩම් අක්‌කර 1387 ට අයත් වේ. මෙහි ඉඩම් කට්‌ටි 39 ක්‌ තිබේ.

මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළ පිහිටි ඉඩම් අක්‌කර 345 ක්‌ද මෙම ඉඩම් අක්‌කර 1387 ට අයත් වේ. මෙහි ඉඩම් කට්‌ටි 20 ක්‌ තිබේ.

පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළ පිහිටි ඉඩම් අක්‌කර 55 ක්‌ද මෙම ඉඩම් අක්‌කර 1387 ට අයත් වේ. මෙම ඉඩම් අක්‌කර 55 ට ඉඩම් කට්‌ටි 11 ක්‌ අයත් වේ.

ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස 16 සමන්විත පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර් 3072 ක්‌ වේ. එයින් වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ මුළු භූමි ප්‍රමාණය ව.කි.මී.716 ක්‌ වන අතර කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ විශාලත්වය ව.කි.මී. 167 ක්‌ වේ. පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ විශාලත්වයව කි.මී. 175 ක්‌ වන අතර මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ විශාලත්වය ව.කි. මී. 221 ක්‌ වේ. මේ අනුව හොර ඉඩම් ඔප්පු ජාවාරමේ ප්‍රමාණය සිතාගත හැකිය.

මේ වන විටත් ඉඩම් අමාත්‍යාංශය විසින් පුත්තලම දිස්‌ත්‍රික්‌කය ඇතුළු රට පුරා දිස්‌ත්‍රික්‌ක ගණනාවක්‌ තුළ පිහිටි ඉඩම් පිළිබඳව රතු එළියක්‌ නිකුත් කර තිබේ. ඒ සඳහා ප්‍රධානතම හේතුව බවට පත්ව තිබෙන්නේ හොර ඉඩම් ඔප්පු ජාවාරම පිළිකාවක්‌ මෙන් මේ වනවිටත් රට පුරා ව්‍යාප්ත වී තිබීමයි.

මේ සඳහා නීතිඥයන්, නොතාරිස්‌වරුන්, රජයේ නිලධාරීන්, දේශපාලනඥයන්, පාතාල මැරයන්, පොලිස්‌ නිලධාරීන්, ඉඩම් බ්‍රොaකර්වරුන් ඇතුළු සංවිධානාත්මක කණ්‌ඩායමක්‌ සෘජු හා වක්‍ර ආකාරයෙන් සම්බන්ධ වී සිටින බවට අනාවරණය කොට ගෙන තිබේ.

මේ හේතුවෙන් රට පුරා පවුල් සිය ගණනකට මේ වනවිටත් තමන්ට අයිති ඉඩම් අහිමි වී ඇති අතර තවත් විශාල පිරිසකට තමන්ගේ ඉඩම්වල අයිතිය ලබාගැනීම සඳහා පොලිසි ගානේ සහ උසාවි ගානේ රස්‌තියාදු වීමට සිදුවී තිබේ.

පුත්තලම, කල්පිටිය, වනාතවිල්ලුව සහ මුන්දලම ප්‍රදේශය තුළ පිහිටි රජයට අයත් ඉඩම් හොර ඔප්පු සකස්‌ කොට අත්පත් කරගෙන ඇති පුද්ගලයන් එම ඉඩම් තමන්ට පරම්පරාවෙන් ලැබුණු බූදලයක්‌ ලෙස රටට පෙන්වමින් රුපියල් කෝටි ගණන්වලට විවිධ පුද්ගලයන්ට විකුණා මුදල් ලබාගෙන තිබේ.

මේ ලෙස හොර ජාවාරම්කාර සක්‌විතිලාගෙන් මුදල් ගෙවා ඉඩම් මිලදී ගෙන ඇති පුද්ගලයන් අතර ශ්‍රී ලාංකිකයන් මෙන්ම විදේශිකයන්ද සිටී. අද ඔවුන්ට යන එන මං නැති වී තිබේ. මෙම හොර සක්‌විති රැළට රජය සතු ඉඩම් නීති විරෝධී ලෙස අත්පත් කර ගෙන එම ඉඩම් සඳහා හොර ඉඩම් ඔප්පු සකස්‌ කිරීම සඳහා නීත්‍යනුකූල ලෙස උදවු කර තිබෙන්නේ මේ රටේ කීර්තිමත් නීතිඥයන් ලෙස නමක්‌ දිනාගෙන සිටින නොතාරිස්‌වරුන් ලෙස කටයුතු කරන නීතිඥයන් පිරිසක්‌ විසිනි. අදටත් මොවුන්ගෙන් විශාල පිරිසක්‌ ජීවතුන් අතර සිටී.

නීතිය ක්‍රියාත්මක කිරීමට සහාය විය යුතු පිරිස්‌ මුදලට යටවී කිsසිදු සාදාචාරයක්‌ නොමැතිව යුක්‌තිය සහ සාධාරණත්වය නිරුවත් කොට එල්ලුම්ගස්‌ යවන්නට කටයුතු කරන්නේ නම් උඩ ඉන්න දෙවියන්ට මේවා කියනවා හැර ජනතාවට මේවා ගැන වෙන කියන්නට කෙනෙක්‌ නැත.

ඉඩම් හොරු කළුකෝට්‌ කාරයන්ගේ සහායෙන් රජයේ ඉඩම් සහ පෞද්ගලික ඉඩම්වලට හොර ඉඩම් ඔප්පු සකස්‌ කොට මේ රටේ පෞද්ගලික ඉඩම් හිමියන්ගේ අයිතිය සහ සමස්‌ත ශ්‍රී ලාංකිකයන්ගේම අයිතිය උදුරා ගන්නට හැකිවී තිබෙන්නේ මේ වන තුරුත් ක්‍රියාත්මක වන ඉඩම් ඔප්පු ක්‍රමයේ පවතින හාල් මැස්‌සන්ට පමණක්‌ නොව තෝරු මෝරුන්ටත් රිංගා යා හැකි හිඩැස්‌ හේතුවෙනි.

1863 අංක 8 දරන ලේඛන ලියාපදිංචි කිරීමේ පනත පාදක කර ගනිමින් ලේඛනයක්‌ නැත්නම් ඔප්පුවක්‌ ලියාපදිංචි කිරීම අද සිදු වේ.

ඔප්පුවක්‌ යනු දෙදෙනෙක්‌ හෝ කිහිප දෙනෙක්‌ අතර වන ගනුදෙනුවක්‌ සම්බන්ධ ලේඛනයකි. මෙමගින් කෙළින්ම අයිතිය තහවුරු වීමක්‌ සිදුනොවේ. අයිතිය තහවුරු කරගැනීම සඳහා ඉඩමට අදාළ පෙර ඉඩම් ගනුදෙනු සියල්ල පරීක්‍ෂා කළ යුතු වේ. මේ සඳහා සැලකිය යුතු කාලයක්‌ ශ්‍රමයක්‌ මුදලක්‌ වැය වේ. ලේඛන සොයාගත නොහැකි වීම නිසා අයිතිය තහවුරු කර ගැනීමට අපහසු වේ.

ඔප්පු ලියාපදිංචි කිරීමේ ක්‍රමය තුළ විනිවිද පෙනෙන පැහැදිලි හිමිකම් ක්‍රියාවලියක්‌ නොතිබීම.

ඔප්පුවක සඳහන් වන මායිම් මත ඉඩමේ පිහිටීම භූමියේ හඳුනාගන්නට ඉඩක්‌ නොතිබීම. 

බොහෝමයක්‌ ඔප්පු සමග පිඹුරක්‌ හෙවත් ප්ලෑනක්‌ සටහන් කර නොතිබීම මෙම ක්‍රියාවලියේදී හිsමිකම නොව ලේඛනයක්‌ නීත්‍යනුකූලව ලියාපදිංචි වීම.

ඔප්පුවක සඳහන් විස්‌තර කලින් ඔප්පුවක නොති බූ එවා විය හැකි වීම.

නිරවුල් නැති ඉඩමක හිමිකම සොයා ගැනීම, එය තහවුරු කර වාර්තාවක්‌ ලබාගැනීම වියදම් අධික දිගු කල් ගතවන වෙහෙසකර කටයුත්තක්‌ වීම (උදාහරණ ලෙස වසර 30 ක අතීත හිsමිකම් පරීක්‌ෂා කිරීමට සිදු වීම.)

එක ඉඩමක්‌ සඳහා ඔප්පු කිහිපයක්‌ වුවද ලියාපදිංචි කළ හැකි වීම, මුලින්ම ලියාපදිංචි කළ ඔප්පුව ව්‍යාජ එකක්‌ වුවද ප්‍රථමයෙන් ලියාපදිංචි වීම මත එයට වැඩි පිළිගැනීමක්‌ හිමි වීම.

ඔප්පු වෙනුවෙන් වගකීම හෝ ඒවා පිළිගැනීමට නීතියෙන් කිසිවකුත් බැඳී නොසිටීම.

රජයේ හෝ පෞද්ගලික ඉඩම්වල තොරතුරු ලබාගැනීමේ විධිමත් ක්‍රමවේදයක්‌ අප රට තුළ ක්‍රියාත්මක නොවීම.

මෙම බරපතළ අඩුපාඩුකම් අතර ප්‍රධාන තැනක්‌ ගනී.

මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස බිම් අඟලටත් වැට මායිමටත් මිනී මරා ගන්නා පවුල් සංඛ්‍යාව දවසින් දවස අද ඉහළ යමින් තිබේ.

රජයේ හෝ පෞද්ගලික ඉඩමකට හොර ඔප්පුවක්‌ සකස්‌ කිරීම හිතන තරම් ලෙහෙසි පහසු කටයුත්තක්‌ නොවේ. ඒ සඳහා ඉවසීම මෙන්ම ස්‌ථානෝචිත ප්‍රඥවද තිබිය යුතුවේ.හොර ඔප්පුව හදන්නට යන ඉඩම පිළිබඳව සියලු තොරතුරු තමන් දැන සිටිය යුතු වේ.

බොහෝ දෙනා සිතා සිsටින්නේ සල්ලි තියෙනවනම් ඕනෑම දෙයක්‌  අද කළ හැකි බවයි. නමුත් එය 100% ක්‌ම නිවැරදි තර්කයක්‌ නොවේ. සල්ලි වියදම් නොකර අද අඩුම ගානේ මරණ සහතිකයවත් ගන්නට බැරිය. ඒ අපේ රටේ හැටිය.

රජයේ සහ පෞද්ගලික ඉඩම්වලට හොර ඉඩම් ජාවාරම්කරුවන් විසින් ඔප්පු සකස්‌ කර ඇති ආකාරය පිළිබඳව ගවේෂණාත්මක ලෙස අධ්‍යයනය කිරීමේ පැහැදිලි වන්නේ මේ හොරකම් සියල්ල ඉතා සූක්‍ෂම ලෙස සිදුකර ඇති බවයි.

පුත්තලම, කල්පිටිය, වනාතවිල්ලුව සහ මුන්දලම ප්‍රදේශ තුළ පිහිටි රජයේ ඉඩම්වලට ජාවාරම්කාර හොර සක්‌විතිලා හොර ඉඩම් ඔප්පු සකස්‌ කර තිබුණේ ඉඩම් අමාත්‍යංශයේ සිටින ඉඩම් විෂය පිළිබඳ විශේෂඥ දැනුමැති පළපුරුදු නිලධාරින්ටද සැක නොසිතෙන ආකාරයටයි.

ඒ සඳහා ඔවුන් උපාය උපක්‍රම ගණනාවක්‌ සැලසුම් සහගතව භාවිතා කර තිබේ. ඒ සඳහා ඔවුන් පළමුව කර තිබෙන්නේ පුත්තලම කච්ෙච්රියේ තිබියදී විනාශ වී ඇති රජයට අයත් ඉඩම් සම්බන්ධ තොරතුරු සටහන්ව තිබූ පත් ඉරුවේ සඳහන් තොරතුරු සනාථ කෙරෙන ඒ හා සමාන ලිපි ලේඛන ඉතා සූක්‍ෂම ලෙස රජයේ කාර්යාලවලින් සොරාගෙන විනාශ කිරීමයි.

රජයට අයිතිවාසිකම් කිව හැක්‌කේ රජය සතු ඉඩම්වලට පමණි. පෞද්ගලික ඉඩම්වල අයිතිය සම්බන්ධ ගැටලුවලට රජයට සෘජු ලෙස මැදිහත් විය නොහැක. ඒවා විසඳා ගත යුත්තේ අධිකරණය වෙත යැමෙනි.

මේ නිසා හොර සක්‌විතිලාට කිසිදු හිරිහැරයක්‌ කරදරයක්‌ නොමැතිව රජයේ ඉඩම් වසර ගණනාවක්‌ම රිසිසේ භුක්‌ති විඳීමට හැකි විය. නමුත් හොර සක්‌විති මුදලාලිලාට දිට්‌ඨ ධම්ම වේදනීය කර්මය පටිසන් දෙන්නට පටන් ගත්තේ මෙම ඉඩම් වැඩිම ඉල්ලුමට අතින් අතට හුවමාරු වෙන්නට පටන් ගැනීමත් සමගයි.

මිනීමැරුමක්‌ වුවත් සදාකාලික රහසක්‌ ලෙස සඟවා තබාගත නොහැක. එය කොයි මොහොතක හෝ එළිවේ. කවදා හෝ සත්‍ය ජය ගනී යෑයි අපේ පැරණි මුතුන් මිත්තෝ සඳහන් කර තිබෙන්නේ කට කහනවට නොවේ.

ඒ අනුව පුත්තලම, කල්පිටිය, වනාතවිල්ලුව සහ මුන්දලම ප්‍රදේශ තුළ පිහිටි ඉඩම් පිළිබඳ පැමිණිලි ගණනාවක්‌ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යංශය වෙත ලැබෙන්නට විය.

මේ පැමිණිලි අතුරින් ප්‍රධානතම පැමිණිල්ලක්‌ වූවේ කල්පිටිය පාරේ ආලංකුඩාහි පිහිටි රජයේ ඉඩම ව්‍යාජ ඔප්පු මගින් රාජ්‍ය සන්තකයෙන් බැහැර කිරීමයි.

මෙම ඉඩම් පිළිබඳ පැමිණිල්ල විමර්ශනය කිරීමේදී පුත්තලම දිස්‌ත්‍රික්‌කය තුළ මහා පරිමාණ ඉඩම් මංකොල්ලයක්‌ සිදුවී ඇති බව අනාවරණය වන්නට විය. ඉතා සූක්‍ෂම ලෙස සිදුකර ඇති මෙම මහා ඉඩම් කොල්ලය පිළිබඳව නිවැරදි තොරතුරු හෙළිකර ගන්නට නම් මිනින්දොරු දෙපාර්තමේන්තුවේද සහය අවශ්‍ය බව තේරුම් ගත් ඉඩම් අමාත්‍යංශ නිලධාරීන් පරීක්‍ෂණ කටයුතු සඳහා මිනින්දොරු දෙපාර්තමේන්තුව සතුව පවතින පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ ඉඩම් පිළිබඳ තොරතුරු සියල්ල ඉඩම් අමාත්‍යංශය වෙත ගෙන්වා ගනු ලැබීය.

මූලික විමර්ශන වලින් පසුව රජය සතු ඉඩම් අක්‌කර 1387 ක්‌ හොර ඔප්පු සකස්‌ කොට විවිධ පුද්ගලයන් විසින් නීති විරෝධී ලෙස බලහත්කාරයෙන් අත්පත් කරගෙන භුක්‌ති විඳින බවට අනාවරණය කර ගනු ලැබීය.

රජය සතු ඉඩම් අක්‌කර 1387 ක්‌ නීති විරෝධී ලෙස හොර ඔප්පු සකස්‌ කොට අත්පත් කර ගන්නා විට පුත්තලම, කල්පිටිය වනාතවිල්ලුව සහ මුන්දලම ප්‍රදේශ තුළ සිටි ග්‍රාම නිලධාරිවරයාගේ සිට ප්‍රාදේශීය ලේකම් දක්‌වා වන ඉඩම් විෂයට සම්බන්ධ රාජකාරිමය වශයෙන් වගකීම් දරන නිලධාරීන් සිටියේ ඇස්‌ කන් පියාගෙන දැයි වගකිව යුතු මාධ්‍ය ආයතනයක්‌ ලෙස අපට අකමැත්තෙන් වුවද ජනතාව වෙනුවෙන් අසන්නට සිදුවේ.

ඒ වගේම ජනතා නියෝජිතයන් ලෙස පෙනී සිටින පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ දේශපාලනඥයන් මේසා විශාල වංචාවක්‌ සිදුවෙද්දී සිටියේ කුම්භකරණි නින්දේ දැයි ජනතාව ප්‍රශ්න කරයි.

ජාවාරම්කාර හොර සක්‌විති මුදලාලිලා, නීතියේ හිඩැස්‌ තුළින් රිංගා යමින් මේ රටේ ජනතාව සතු ඉඩම් හොර ඔප්පු සකස්‌ කොට කොල්ල කමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ඉඩම් ප්‍රමාණය අක්‌කර භාගය දක්‌වා පහත වැටී ඇති අවස්‌ථාවකයි.

මේ අනුව 2024 වන විට එනම් තව වසර දහයක්‌ ගත වන විට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ඉඩම් ප්‍රමාණය පර්චස්‌ දහය දක්‌වා පහත වැටීම සිදුවේ.

මේ වන විටත් බිම් අඟලකටවත් අයිතියක්‌ නැති පවුල් ලක්‍ෂ දෙකකට අධික සංඛ්‍යාවක්‌ සකල සිරින් පිරි මේ ශ්‍රී ලංකාව තුළ ජීවත් වේ.

1972 අංක 01 දරණ ඉඩම් ප්‍රතිසංස්‌කරණ පනත මගින් අක්‌කර 50 ට වැඩි සියලුම ඉඩම් රජයට පවරා ගනු ලැබීය. මෙහි ප්‍රතිපලයක්‌ ලෙස තනි පුද්ගලයකුට තබාගත හැකි උපරිම ඉඩම් ප්‍රමාණය අක්‌කර 50 කට සීමා විය. මෙම නීතිය අදටත් වලංගුවේ. නමුත් අද දවස වන විට නීතියේ හිඩැස්‌ තුළින් රිංගා යමින් දේශපාලනඥයන් සහ කෝටිපති ව්‍යාපාරිකයන් අක්‌කර 100, 200, විශාල වතු යායවල් තමන් සතුකර ගෙන භුක්‌ති විඳිමින් සිටී. මේ සඳහා සෘජු ලෙසම හේතු වී තිබෙන්නේ මේ රටේ නීතිය තෝරු මෝරුන්ට එක විදියකටත් හාල්මැස්‌සන්ට තව විදියකටත් ක්‍රියාත්මක වීම සහ අක්‌කර 50 උපරිම ඉඩම් නීතිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක්‌ නොතිබීමයි.

පුත්තලම, කල්පිටිය, වනාතවිල්ලුව සහ මුන්දලම ප්‍රදේශ තුළ සිදුවී ඇති මහා පරිමාණ ඉඩම් කොල්ලය පිළිබඳව තවදුරටත් විමර්ශනය කිරීමේදී ආලංකුඩා බීච් හෝටලය ඉදිකර තිබෙන්නේ ද රජය සතු ඉඩම් අක්‌කර 48.6 ක්‌ නීති විරෝධී ලෙස අත්පත් කරගෙන බව අනාවරණය කොටගෙන තිබේ.

ඒ වගේම නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමට සිටින පොලිසියේ ඉහළ නිලධාරියකු රජය සතු අක්‌කර පහක සරුසාර පොල් ඉඩමක්‌ ව්‍යාජ ඔප්පු සකස්‌ කර නීති විරෝධී ලෙස අත්පත් කරගෙන ඇත.

ආන්ඩක්‌ කන්ඩිය ප්‍රදේශයේ පිහිටි රජය සතු ඉඩම් අක්‌කර 50 ක්‌ ප්‍රාදේශීය සභාවක සභාපතිවරයෙක්‌ හොර ඔප්පු සකසා අල්ලාගෙන තිබේ.

ඒ වගේම කල්පිටිය ප්‍රදේශයේ රජයට අයත් අක්‌කර 48 ක ඉඩමක්‌ රුපියල් කෝටි පහකට අධික මුදලකට හොර ඔප්පු සකස්‌ කොට විදේශිකයකුට අලෙවි කිරීමේ වරදට ආරච්චිකට්‌ටුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වන ජගත් සමන්ත පෙරේරා මහතාව නුගේගොඩ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් සහ අතිරේක දිසාවිනිසුරු අජිත් එම්. මාරසිංහ මහතා විසින් රක්‌ෂිත බන්ධනාගාරගත කොට තිබේ.

කන්ද කුලිය ප්‍රදේශයේ පිහිටි රජය සතු අක්‌කර 48 ක ඉඩමක්‌ පෞද්ගලික සමාගමක කළමනාකාර අධ්‍යක්‍ෂවරයෙක්‌ හොර ඔප්පු සකස්‌ කොට අල්ලාගෙන ඇත.

ඉඩම් හොරුන් විසින් හොර ඔප්පු සකස්‌ කොට අත්පත් කරගෙන සිටින කල්පිටිය, පුත්තලම, වනාතවිල්ලුව සහ මුන්දල ප්‍රදේශ තුළ පිහිටි රජයට අයත් ඉඩම් සියල්ල නැවත රජයට භාරදෙන ලෙස ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යංශය විසින් එම ඉඩම් භුක්‌ති විඳින පුද්ගලයන් වෙත මේ වන විටත් ලිතව දැනුම්දී තිබේ. ඒ අනුව විශාල පිරිසක්‌ තමන් අත්පත් කරගෙන සිටින ඉඩම් නැවත රජයට භාරදීමට කැමැත්ත පළකර ඇති අතර තවත් පිරිසක්‌ රජයට ඉඩම් පවරා දීම ප්‍රතික්‍ෂේප කර තිබේ.

ඒ අනුව රජයට ඉඩම් භාරනොදෙන සියලුම පුද්ගලයන්ට විරුද්ධව නඩු පැවරීමට ඉඩම් අමාත්‍යංශය මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇත.

වසර ගණනාවක්‌ රජයට භුක්‌තිය අහිමි වී තිබූ රජය සතු ඉඩම් නැවත පවරා ගැනීමට ඉඩම් අමාත්‍යංශය කටයුතු කරද්දී රජයට සම්බන්ධ කැසිනෝ ඇමැතිවරයාගේ අමාත්‍යංශය මෙම ඉඩම් සියල්ල සංවර්ධන ව්‍යාපෘතිවලට මුවාවී අත්පත් කරගෙන තමන්ගේ ගජ මිතුරන්ට ලබාදීමට කෙල හලමින් සිටින බව "දිවයින"ට වාර්තා වේ.

හොර ඉඩම් ඔප්පු ජාවාරමට තිත තැබීමට නම් දැනට ක්‍රියාත්මක වන ඉඩම් ඔප්පු ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසිකොට ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීම කඩිනම් කළ යුතුවේ. මේ සඳහා බිම් සවිය නමින් වැඩපිළිවෙළක්‌ රජය මේ වන විටත් ආරම්භ කර තිබේ. නමුත් මෙම වැඩසටහන තවමත් ක්‍රියාත්මක වන්නේ ඉබි ගමනෙණි. එනිසා ඉඩම් ඔප්පු ක්‍රමයට තිත තැබීමට අවම වශයෙන් 2020 වන තුරුවත් බලාසිටින්නට අපිට සිදුවේ.

ඉඩම් මංකොල්ලය පිළිබඳව "දිවයින"ට අදහස්‌ දැක්‌වූ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේ පුත්තලම, කල්පිටිය, මුන්දල සහ වනාතවිල්ලුව ප්‍රදේශයේ සිදුවී ඇති ඉඩම් කොල්ලය මෑත ඉතිහාසයේ සිදුවූ විශාලතම ඉඩම් කොල්ලය ලෙස හැඳින්විය හැකි බවයි.

හොර ඔප්පු සකස්‌ කොට රජය සතු ඉඩම් නීති විරෝධී ලෙස අත්පත් කර ගැනීම සහ ජනතාව මුලාකර රජය සතු ඉඩම් විකිණීම බරපතළ වරදක්‌ බව සඳහන් කළ ඇමැතිවරයා නීති විරෝධී ලෙස රජය සතු ඉඩම් කොල්ල කෑමට කිසිවකුටවත් තමන් ඉඩම් ඇමැතිවරයා ලෙස කටයුතු කරනතාක්‌ ඉඩ ලබා නොදෙන බවද පැවසීය.

මහා පරිමාණ හොර ඉඩම් ඔප්පු ජාවාරම වගකිවයුතු මාධ්‍ය ආයතනයක්‌ ලෙස මුළු රටටම පළමුව හෙළිදරව් කරනු ලැබුවේ දිවයිනයි. මේ වන විටත් මෙම හොර ඉඩම් ඔප්පු ජාවාරමට සම්බන්ධ හොර සක්‌විතිලාට විරුද්ධව අධිකරණමය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බැවින් මේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයන්ගේ නම් ගම් හෙළිකිරීම ගැටලුවක්‌ වී තිබේ.

ප්‍රියදර්ශන ලියනගේ
http://www.divaina.com/2013/12/22/feature10.html

0 comments: