Pages

Tuesday, December 10, 2013

බටහිර ජාතීන්ගේ ඊර්ශ්‍යාවේ ගැඹුර හෙවත් අපට එරෙහි ජාත්‍යන්තර දැල

පසුගියදා නිමාව දුටු පොදු රාජ්‍ය මණ්‌ඩලයීය රාජ්‍ය නායක සමුළුවේදී අප විසින් ලෝක රාජ්‍ය නායකයන් සහ ඔවුන් නියෝජනය කළ උසස්‌ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතවරුන් හට ඉතා පැහැදිලිව ප්‍රදර්ශනය කළ එක්‌ කරුණක්‌ වූයේ අප සතුව ඉතා උසස්‌ මට්‌ටමේ කළමනාකරණ විශේෂඥයන් රැසක්‌ම සිටින බවය. සමාරම්භක අවස්‌ථාවේ සිට සමාප්ති අවස්‌ථාව දක්‌වාම මනා සම්බන්ධීකරණයකින් යුතුව කළමනාකරණයේ මූලික සිද්ධාන්තයක්‌ අකුරටම පිළිපදිමින් ඉතා සාර්ථක අන්දමින් නිමාව දුටු CHOGM 2013, ඊට සහභාගි වූ ලොකු කුඩා සෑම තරාතිරමකම රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේම පැසසුමට භාජන වීම මේ රටේ සෑම පුරවැසියෙක්‌ හටම ගෙන එන්නේ සිය මාතෘ භූමිය කෙරේ වූ ආඩම්බරයකි.

තිස්‌ වසරක ශාපලත් යුද්ධයේ නිමාවෙන් සිව් වසරක්‌ ගෙවෙන වකවානුවක සාමය උතුරු කොනේ නඩරාජා මල්ලීට සේම දකුණු කොනේ සෝමසිරිලාටත් වෙනසක්‌ නැතිව ගලායන මොහොතක ලෝකයේ සිව්දෙසින් අප රට වෙත ඇදී ආ නානාවිධ ජාති ජාතීන් වටහාගත් සත්‍යයක්‌ වූයේ ශ්‍රී ලංකා වාසී අපිද අළු මතින් නැඟී සිටින ෆීනික්‌ස්‌ කුරුල්ලා සේ ඕනෑම අභියෝගයක්‌ හමුවේ ක්‍ෂණිකව නැගී සිටීමට ආත්ම ශක්‌තිය ඇති ජාතියක්‌ය කියාය.

අප තුළ හීන මානය ඇතිකොට ජාතියක්‌ සතු අභිමානය දියකර හරින්නට මානබලන ජාත්‍යන්තර බලවේගද මේ හා සමගම ක්‍රියාත්මක වන බව මෙවර CHOGM 2013 සමුළුවේදී ඇතැම් රාජ්‍ය නායකයන් හැසිරුණු ආකාරයෙන් ප්‍රකට විය. මෙහිදී වෙසෙසින්ම සටහන් කළ යුත්තේ ශ්‍රී ලාංකේය අනන්‍යතාව ලෝකයට ගෙනගිය මුත්තයියා මුරලිදරන් චැනල් 4 නාලිකාව සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී, මස්‌ රාත්තලම ඉල්ලා සිටින ඇතැම් බටහිර බලවේග වලට ලබාදුන් කදිම පිළිතුරය.

"අමතක කරන්න. සමාව දෙන්න. ඉදිරියට යන්න" මේ මුරලි එදා දුන් අපූරු පණිවුඩයයි. තිස්‌ වසරක ශාපලත් යුද්ධයේ කටුක, කුරිරු ලේ තැවරුන අතීතය ගොඩ ගැනීමෙන් කාලකණ්‌නි සතුටක්‌ ලැබීමට අවශ්‍ය වන්නේ කාටද? උතුරේ නඩරාජලාටත් දකුණේ සෝමසිරිලාටත් ඉන් වන කිසිදු යහපතක්‌ නැත. එදා ත්‍රස්‌තවාදීන් යෑයි හංවඩු ගැසූ ඛගඔගඔගෑ තරුණයෝ අද රාජ්‍ය සේවයට බැඳිලාය. එදා මරාගෙන මැරෙන බෝම්බ බඩේ බැඳගන් කුණ්‌ඩුමනීලා අද සාදාගත් පුංචි කැදැල්ලක මවුපදවිය අපේක්‍ෂාවෙන්, හෙට උපදින පුංචි දරු පැටියෙකුගේ කලලයක්‌ මහත්වූ සෙනෙහසින් කුස තුළ රඳවාගෙන සිටී. සියල්ල වෙනස්‌ වෙමින් පවතී. මේ වෙනස රටේ සියලුම ජනකොටස්‌වල සහජීවනය උදෙසාය. මේ වනවිට කි.මී. 280 ක දුම්රිය මාර්ග පද්ධති ප්‍රතිසංස්‌කරණයට භාජන වෙමින් පවතී. නුදුරේම දිනක යාල්දේවිය කන්කසන්තුරේ සිටින තම නෑදැයින් බැලීමට යනවා ඇත. ඒ සමඟ නුවර යාපනය A009 කි.මි. 160 ක්‌ද ඇතුළුව යාපනය අර්ධද්වීපය, මුලතිව්, කිලිනොච්චි සහ මන්නාරම් දිස්‌ත්‍රික්‌කයද යා කෙරෙමින් සංවර්ධනය කරන මාර්ග පද්ධතිය කි.මී.500 කට වැඩිය. තවදුරටත් යාපනය හෝ උතුරේ ජනතාව මේ රටේ හුදකලා වූ ජන කොටසක්‌ නොවේ. මෙබඳු ව්‍යාපෘති හරහා උතුර දකුණු සංචාර වැඩිවීමත් දුරස්‌වූ සබඳතා තරවීමත් සමඟ ගොඩනැඟෙන ජාතික සමගිය අනාගත ශ්‍රී ලංකාවේ සෞභාග්‍යයේ තොටමුණ වේ. මේ ජාතික සංහිඳියාව අතරමග නවතා දැමීම, ඊට බාධා කරන විජාතික බලවේගවල සැබෑ වුවමනාවයි.

පුරා වසර තිහක යුද්ධය ඒ අයුරින් ගෙනයැමට මිනීමරු ත්‍රස්‌තවාදීන්ට ඩොලර්, යුරෝ, පොම්පකළ ලෝපුරා සිටින දෙමළ ඩයස්‌පෝරාවෙන් අප ඉල්ලා සිටින්නේ ඔබලා සැබැවින්ම මේ රටේ ජීවත්වන දමිළ සොයුරු - සොයුරියන් හට ආදරය කරන්නේ නම්, ජීවිත විනාශ කිරීමට වැය කළ ඒ මහා ධනස්‌කන්ධයම ඔවුන්ගේ ජීවිත සුත මුදිත කිරීමට දැන් යොදවන්න කියාය. උතුරේ ද්‍රවිඩ ජනතාව සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව ඔවුන් විසින් පත්කරගත්, පළාත් සභාවක්‌ තිබේ. මන්ත්‍රීවරුන්ද සිටිති. මධ්‍යම රජයේ පූර්ණ ආශිර්වාදය මත උතුරේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කිසිදු බාධාවක්‌ නැත. ඕනෑම ආයෝජකයෙකු දිරිගන්වන සුළු ආකර්ෂණීය ආයෝජන ප්‍රවණතා රටතුළ ක්‍රියාත්මකය. සාමය සහ සහජීවනය දලුලා වැඩෙන රටක, පවතින ස්‌ථාවර රජයක්‌ යටතේ සිය ආයෝජනයන්ගේ සුරක්‍ෂිතභාවය තහවුරු කෙරෙන අතර මානව සැලසුම් කළ යටිතල පහසුකම්ද රජය විසින් සලසාදෙනු ලබන සන්දර්භයක තම මුදල් ආයෝජනය කිරීමට විදේශික ව්‍යවසායකයන් පෙළඹීම ස්‌වභාවිකය. විශේෂයෙන්ම වටිනා මානව සම්පතකින් පොහොසත් ජාතියක්‌ හැටියට ඔවුන් අප වෙත ආකර්ෂණය කර ගැනීම එතරම් අසීරුද නොවේ.

වර්ෂ 2010 දී ඉකොනමිස්‌ට්‌ ඉන්ටලිජනස්‌ යුනිට්‌ (Economist intelligence Unit 2010) අනුව, ඉතා වේගවත් ආර්ථික සංවර්ධනයක්‌ පෙන්නුම් කරනා රටවල් කාණ්‌ඩ 10 අතුරෙන් ශ්‍රී ලංකාව 8 වැනි ස්‌ථානයේ පසුවන්නේ 6.3% ක වර්ධන වේගයක්‌ සහිතවය කියාය.

(Sri Lanka will be placed among the top 10 fastet growing economics in the world, placed 8 th with a growth rate of 6.3%-Economicst intelligence unit 2010)

මේ අනුව බලන කල අප විසින් අප රටේ මුදල් ආයෝජනය කිරීමට පැමිණෙන ව්‍යවසායකයන් දෙස ගෝනි බිල්ලන් සේ බැලීම සුදුසු නොවේ. ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධන තේ කෝප්පයේ කිඹුලන් දැකීම වෙනුවට, රට තුළ පවතින සාමකාමී වාතාවරණයෙන් පූර්ණ ප්‍රතිලාභ රටටම ළඟකරදිය හැකි ආයෝජන අවස්‌ථා දිරිගැන්වීම අප කාගේත් වගකීමකි.

කටුනායක - කොළඹ අධිවේගී මාර්ගය සේම කොළඹ ගාල්ල අධිවේගී මාර්ගයද, නුදුරේම මත්තල දක්‌වා දිවෙන සුපිරි අධිවේගී මාර්ගයන්ද රටට ආභරණයකි. රටක්‌ තුළ ක්‍රමවත් මාර්ග පද්ධතියක්‌ තිබීම සම්පත් කළමනාකරණයට අත්‍යවශ්‍ය සාධකයකි. මින් ලැබෙන ප්‍රතිලාභ අවසානයේදී දිළිඳු ග්‍රාමීය ජනතාව වෙතද ළඟාවී ගැමි ආර්ථිකය ශක්‌ති සම්පන්න වේනම්, ගැමි ආර්ථිකය සවිබල ගැන්වේ නම් රට තුළ ස්‌ථාපනය වූ මේ සාමකාමී වාතාවරණයේ සැබෑ වූ ප්‍රතිඵල මුළු රටම අත්පත් කරගන්නීය.

මෙවර අය වැයෙන් හඳුනාගත් ස්‌ථාන 1000 ක කුඩා පාලම් දහසක්‌ ඉදිරිකිරීමට මූල්‍ය ප්‍රතිපාදන වෙන්කොටදී තිබීම අයවැයට ඌණ පූර්ණ සපයන කාහටත් අමතක වූ කාරණාවකි. කරවටක්‌ දියේ ගිලෙමින් මර බියේ ගැහෙමින් එගොඩ මෙගොඩ ගිය අහිංසක දූ දරුවන්ට සැනසිල්ලේ එගොඩ මෙගොඩ යාහැකි පාලම් 1000 ක්‌ නුදුරු දිනෙක ඉදිවීම උදෙසා මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම ගැන මුදල් අමාත්‍ය වශයෙන් ජනපතිතුමාට අප ස්‌තුතිවන්ත විය යුතුය.

වඩාවඩාත් දේශීය ආයෝජකයන්ද දිරිගන්වමින් රට තුළට විදෙස්‌ ආයෝජන ගෙන්වා ගැනීම පිණිස ක්‍රියා කිරීමේදී දැනට පවතින වාතාවරණය වඩාත් හිතකරවන්නේ සංචාරක කර්මාන්තය ඉතා උසස්‌ මට්‌ටමකට ගෙන ඒම තුළින්ය යන්න බැලූ බැල්මට පෙනේ.

රට වටා වූ ආකර්ෂණීය වෙරළ තීරයත්, ජෛව විවිධත්වයෙන් අනූන ස්‌වභාවික පරිසරයත්, අපටම අනන්‍යවූ මිත්‍රශීලී ආගන්තුක සත්කාරයත්, ඒ සියල්ලන්ටම වඩා රට තුළ පවතින සාමකාමී වාතාවරණයත් ගැන අධ්‍යයනය කිරීමේදී ලෝක සංචාරකයන් අප වෙත ආකර්ෂණය කර ගැනීමේ සියලු වාසනා ගුණාංග අප සතුව තිබෙන බැව් ප්‍රත්‍යක්‍ෂ වේ.

වර්ෂ 2011 දත්න විශ්ලේෂණයන්ට අනුව අප රටට පැමිණි 8,55,975 ක්‌වූ සංචාරකයන් අතුරෙන් විවේකී සුවය හා විනෝදාස්‌වාදය සඳහා පැමිණි සංචාරකයන්ගේ ප්‍රමාණය ප්‍රතිශතයක්‌ වශයෙන් 80.4% කි. ව්‍යාපාරික කටයුතු සඳහා පැමිණි ප්‍රතිශතය 8% කි. සිය නෑ හිත මිතුරන් හමුවීම සඳහා පැමිණි ප්‍රතිශතය 8.2%

එසේ නම් අපගේ සංචාරක කර්මාන්තයේ දිශානතිය සැකසිය යුත්තේ කුමන් දිශාවකටද කියා අප විසින් අවබෝධ කරගත යුතුය. එබැවින් ඒ සඳහා ආයෝජනය කිරීමට මෙහි පැමිණෙන විදේශීය ව්‍යවසායකයන් ගෝනි බිල්ලන් සේ දැකීමට (උදා- පැකර් භීතිය) අප ඉක්‌මන් නොවිය යුතුය. මෙහිදී සංචාරක ප්‍රවර්ධන කටයුතු වැඩි වර්ධනය කිරීමට අදාළ අමාත්‍යංශය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගයන් වෙසෙසින්ම අගය කළ යුත්තේ 2002 සිට 2011 දක්‌වා වූ කාල පරාසය තුළ මෙරටට පැමිණි විදෙස්‌ සංචාරකයන් පිළිබඳව සලකා බැලීමේදීය.

මෙහිදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් අතර, වයස අවු. 40-49 අතර වූ වයස්‌ කාණ්‌ඩ වල සංචාරකයන්ගේ පැමිණීමේ පැහැදිලි වර්ධනයක්‌ දක්‌නට තිබේ. 2002 දී 16.8% ක්‌වූ ප්‍රතිශතය 2010 දී 28.9% ක්‌ දක්‌වා ඉහළ නැංවී තිබීමත් වයස අවු 3 - 12 අතර වූ දරුවන්ගේ පැමිණීම වර්ෂ 2002 7.6% ක්‌ වූ අතර 2011 දී 11.6 % ක්‌ දක්‌වා වැඩිවීමෙන්ද පෙනී යන්නේ මෙරටට පවුල් පිටින් පැමිණෙන සංචාරකයන්ගේ පැහැදිලි වර්ධනයක්‌ දක්‌නට ලැබීමය. එසේම වයස අවුරුදු 20-29 කාණ්‌ඩ සහ අවු.30-39 කාණ්‌ඩ වල පැහැදිලි පසුබෑමක්‌ද දක්‌නට ලැබේ. උදා - වර්ෂ 2002 දී වයස අවු. 20-29 සංචාරක පැමිණීමේ ප්‍රතිශතය 31.6% ක්‌ වූ අතර එය වර්ෂ 2010 දී 15% ක්‌ද, වර්ෂ 2011 දී 16.9% ක්‌ද පෙන්නුම් කරන අතර, වයස අවු.30-39 අතර සංචාරක පැමිණීමේ ප්‍රතිශතය වර්ෂ 2002 දී 30.4 ක්‌වූ අතර වර්ෂ 2011 දී 22.6% දක්‌වා අඩුවී තිබීමද, කැපී පෙනේ.

මෙහිදී අපට ලැබෙන පණිවුඩය වන්නේ තරුණ වයස්‌ කාණ්‌ඩ වල සංචාරකයන් මෙරටට අද්දවා ගැනීමේ ක්‍රමවේද මීට වඩා ආකර්ෂණිය විය යුතු බවය. එහෙත් මෙහිදී මල නොතලා රොන් ගැනීමට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන නිසි බලධාරීන්ට සිදුවී ඇත්තේ සංස්‌කෘතික ගැටුම් අවම කර ගනිමින් මෙරට සංචාරක ප්‍රවර්ධන කටයුතු සංවර්ධනය කළ යුතු නිසාය.

දැනට ඇමෙරිකානු ඩොලර් මිලියන 400 කට වැඩි ආදායමක්‌ වාර්ෂිකව ගෙන එමින් 1,30,000 කට වැඩි සේවක පිරිසකට රැකියා අවස්‌ථා සපයමින් ශ්‍රී ලාංකේය විදේශ විනිමය උපයන ආදායම් මාර්ග අතරින් 6 ස්‌ථානයේ සිටින දේශීය සංචාරක කර්මාන්තය වර්ෂ 2020 දී ඇ.ඩො. බිලියන 8 ක, ආදායමක්‌ රටට ගෙන එන රැකියා අවස්‌ථා දශ ලක්‍ෂයකට ඉඩහසර සලසන ධන නිධානයක්‌ වන්නේ, සාමකාමී සහජීවනයෙන් යුත් ජාතියක්‌ වශයෙන් හෙට දවසේදී ලෝකයා හමුවේ අප මවන මහා චිත්‍රයට අනුවය. එබැවින් උතුරේ නඩරාජා මල්ලීලාටත් දකුණේ සෝමසිරි මල්ලිලාටත් හෙට දවසේදී, සමගියෙන් දැඟිලි පටලවාගෙන, නොබෙදුන ඒකීය ශ්‍රී ලංකාවක්‌ තූළ ජීවත්වීම හැර අන් විකල්පයක්‌ නැත.

එනිසා මස්‌ රාත්තලම ඉල්ලන ඊනියා බටහිර බලවතුන්ගේත්, කුහක දමිළ ඩයස්‌පෝරාවේත් දුෂ්ට පරමාර්ථයන් අප විසින් පරාජය කළ යුතුය. එබැවින් අපි සැවොම, වැළලීගිය අතීතය අමතක කළ යුත්තෙමු. සිදුවූ වැරදි වලට එකිනෙකා හට සමාව දිය යුත්තෙමු. යහපත් හෙට දවසක්‌ උදෙසා එකට එක්‌වී ඉදිරියටම යා යුත්තෙමු.

ජයන්ත විඡේසිංහ
http://www.divaina.com/2013/12/10/feature03.html

0 comments: