
ධර්මාශෝක අධිරාජයාගේ දුහිතෘ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ලංකාවට වැඩම කළ උඳුවප් පුන් පොහෝ දිනයක් යළි උදාවිය. මෙයින් දෙදහස් තුන්සිය එකළොස් වැන්නෙහි (2311) උඳුවප් පොහෝදා ඒ උතුම් සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දක්‍ෂිණ ශාකාව රැගෙන මෙහි වැඩම කළහ. ඒ ඓතිහාසික උතුම් පුරාවෘත්තය සැකෙවින් මෙසේය.
මිහිඳු හිමියන්ගේ වැඩම කිරීමෙන් පසු දේවානම්පියතිස්‌ස මහ රජතුමා ප්‍රධාන මැති ඇමැතිවරු හා රටවැසියා බෞද්ධයන් බවට පත් වීමට වැඩි කලක් ගත නොවීය. මෙයින් ප්‍රබෝධයට පත් හෙළ කුල කතුන් පිරිසක් අපටත් පැවිදි වීමට අවස්‌ථාව ලබා දෙන්නැයි මිහිඳු හිමියන්ගෙන් ඉල්ලා සිටියහ. අනුලා දේවිය එහි ප්‍රමුඛත්වය දරනු ලැබුවාය.
අරිට්‌ඨ කුමරු ප්‍රධාන ලාංකීය දූත පිරිසක් පාටලී පුත්‍ර නුවරට ගොස් ධර්මාශෝක අධිරාජයාගේ සංදේශයක් ඉදිරිපත් කළහ. එහි සඳහන්ව තිබුණේ මෙවැන්නකි.
"ධර්මාශෝක මහ රජාණනි, ඔබ තුමාණන්ගේ පුත්‍ර මිහිඳු මහ රහතන් වහන්සේගේ උපදේශය පරිදි මේ සන්දේශය සහිත දූත පිරිස එවමි. මාගේ සහෝදරයාගේ දේවිය තවත් බොහෝ රාජකුමාරිකාවන් සමග මහණකම ඉල්ලා සිටින්නීය. මේ පිරිස පැවිදි කරවනු පිණිස ඔබ තුමන්ගේ දියණියක් වූ සංඝමිත්තා රහත් මෙහෙණිය ප්‍රධාන භික්‌ෂුණීන් පිරිසක් එවනු මැනවි. ඒ සමගම බුදුරදුන් සම්බුද්ධත්වය ලැබීමේදී පිටදී වදාළ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාකාවක් ද එවනු මැනවි."
මේ අනුව තම යුතුකම මැනවින් ඉටු කළ දම්සක් නිරිඳුන් ශ්‍රීමහා බෝධියෙන් ශාකාවක් ලබාගැනීම සඳහා මොග්ගලීපුත්තතිස්‌ස මහරහතන් වහන්සේගෙන් අනුශාසනා හා මඟපෙන්වීම් ලබා ගත්හ. වංශකථාවන් හි සඳහන් පරිදි විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසින් මවා දුන් රන් කටාරමකට ශ්‍රීමහා බෝධියේ දක්‍ෂිණ ශාඛාව ලබාගෙන ඇත. එම රන් කටාරම වට ප්‍රමාණය නව රියනක් විය. ගැඹුර පස් රියනකි. විශ්කම්භය තුන් රියනකි. ඝණකම අඟල් අටකි.

එදින සන්ධ්‍යා සමයේදී රෙහෙන නැකතින් බෝධි ශාකාව අනුරාධපුර මහමෙව්නා උයනේ රෝපණය කිරීම සිදු විය. බුදු සසුනට ඇතුළත්ව පිළිවෙත් පුරන්නට මඟ බලමින් සිටි අනුලා දේවිය ඇතුළු රාජකීය ලක් කතුන් සඟමිත් තෙරණිය වෙතින් පැවිදි බව ලබා ලාංකීය භික්‌ෂුණි ශාසනය පිහිටුවා ගත්හ. මෙය සිහළ කතුන් ලද ඓතිහාසික, අභිමානවත් ජයග්‍රහණයකි.
බෝධීන් වහන්සේ වැඩම කරවාගෙන ආ සිටු කුල දහඅටක ජනතාව "බෝධාහර කුල" නමින් ලක්‌දිව වාසය කරමින් ශ්‍රී මහා බෝධිය ආරක්‍ෂා කර ගනිමින් සිය කුල ප්‍රවේණි කාර්යභාරයන්ගෙන් පුද සිරිත් කොට ක්‍රියා කළහ.
"මහා බෝධි රක්‌ඛණත්ථං
අට්‌ඨාරස රථෙසහෝ
දේව කුලානී දත්වාන
අට්‌ඨමච්ච කුලානිච"
මහාවංශයේ සඳහන් ඉහත ගාථාවට අනුව දේව කුලවලට අයත් දස කොටසක පිරිවර සහිතව ඇමති කුල අටක වැදගතුන් මහා බෝධියේ ආරක්‍ෂාවට ධර්මාශෝක අධිරාජයා විසින් ලංකාවට එවූ බව පැහැදිලිය. එදා සිට අද දක්‌වා පරපුරෙන් පරපුරට ලක් වැසි බොදු දනන් සමග ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ආරක්‍ෂා කර ගෙන එති. ඒ සියල්ලෝම දැන් සිංහලයෝය.
ධර්මාශෝක යුගයේ අවසාන කාලපරිච්ඡේදය තුළ දඹදිව ජය ශ්‍රී මහා බෝධිය තිස්‌සාරක්‌ඛා දේවිය විසින් විෂ මඩුකටු ගසා විනාශ කරන ලදී. "මට වඩා මේ බෝ රුකට රජතුමා ආදරෙයි" යන ඊර්ෂ්‍යා සහගත පාපී සිතුවිල්ල එයට හේතු විය. ධර්මාශෝක රජතුමා මහා බෝ රුකෙහි කඳ ඉවත් කොට මුල්ටික බේරාගත්තේය.
එයින් පැන නැගුණ අංකුරයකින් හටගත් බෝධීන් වහන්සේ වසර සිය ගණනක් නිරුපද්‍රිතව පැවතුනි. යළි යළිත් ශසාංක රජ පරපුරේ හින්දු ආගමික රජෙකු විසින්ද මෝගල් රාජ්‍ය සමයේ මිසදිටුවන් අතින්ද ශ්‍රී මහා බෝධිරජාණන් විනාශයට පත් වූහ.
දැනට දඹදිව බුද්ධ ගයාවේ පිහිටි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුර ශ්‍රී මහා බෝධියෙන්ම ලබාගත් අංකුරයකින් හටගත් බෝධියක් බව ලක්‌වැසි බොදු දනන් උන්වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලද නියම බෝධීන් වහන්සේ ලෙස සැලකිය හැක්‌කේ අප රටේ දැනට වැජඹෙන අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිඳුන් බව හදපිරි බැතියෙන් සිහි කරමු.
කුරුණෑගල විසුද්ධායන විද්‍යායතන පිරිවෙනේ ආචාර්ය, ශාස්‌ත්‍රපති වික්‍රමසිංහ අතපත්තු
http://www.divaina.com/2013/12/16/feature02.html
0 comments:
Post a Comment