Pages

Monday, December 16, 2013

නඩු නැති රටේ කුඩු කෑ විත්තිය!

නෙල්සන් මැන්ඩෙලාට අපේ ආචාරය

මානව හිතවාදයේ ගාම්භීරත්වය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ පරමාදර්ශය ද මානව හදවත් තුළ සදාතනිකව තැන්පත් කර නික්‌ම යන නෙල්සන් මැන්ඩෙලා නම් වූ ආශ්චර්යමත් නායකයාණන්ට අපගේ බුහුමනද ගෞරවය ද ණය ගැති භාවය ද සමඟ ආචාරය ද පළ කරන්නෙමු. ලෝක ඉතිහාසයේ මෙවන් සංවේදී රාජ්‍ය තාන්ත්‍රිකයෝ අතිශය දුර්ලභම වෙති. සුදු අධිරාජ්‍යවාදයේ කෲරත්වයට එරෙහිව ස්‌වකීය දකුණු අප්‍රිකානු ජනතාව වෙනුවෙන් මැන්ඩෙලා විසින් කරන ලද අරගලය ලෝක ජන ප්‍රජාවටම අභිනව චින්තන මාර්ගයක්‌ හෙළි කළ බව ද නිසැකය. ඔහු විසින් දල්වන ලද මානව නිදහසේ පහන් සිල නොනිවා සුරැකීම ඔහුට දක්‌වන සනාතන ගෞරවයයි. විශිෂ්ටත්වයට - ශ්‍රේෂ්ඨත්වය එක්‌ කළ නියමුවකුගේ මතකය මොනතරම් සුන්දර ද?

..............................

කුඩු කෑ විත්තිය!

අග්‍රාමාත්‍ය කාර්යාලයේ සම්බන්ධීකරණ ලේකම්වරයකු විසින්, එම කාර්යාලයේම ලිපි ශීර්ෂයක්‌ මගින්, හෙරොයින් මත්කුඩු සහිත කුඩු කන්ටේනරයක්‌ බදු සහන යටතේ මුදාහරින්නැයි කරන ලද ඉල්ලීම නිසා උද්ගත වූ දේශපාලන කැළඹීමේ ප්‍රතිඵලයක්‌ ලෙස එකී ලේකම්වරයා ඉවත් කර ඇතැයි වාර්තා වී තිබේ. මෙම බරපතළ සිද්ධියට එරෙහිව නැඟී සිටියාහු ආණ්‌ඩුවේම සහාය පක්‍ෂයක්‌ වන හෙළ උරුමයේ සභාපති ඕමල්පේ සෝභිත හිමියෝය.

මෙම සිද්ධියෙන් චෝදනාවට ලක්‌ව සිටින්නේ බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයට අයත් නිලධාරියකු වීම නිසා එහි බරපතළකම වඩාත් උග්‍ර වී තිබේ. වෙනත් අමාත්‍යාංශයක්‌ එබඳු ගර්හිත ක්‍රියාවක්‌ කළත් කමක්‌ නැතැයි එයින් අදහස්‌ නොකරමු. එහෙත් බුදු සසුනේ චිරස්‌තිථිය භාරව සිටින්නා වූද ආගමික සංස්‌කෘතික අභිවර්ධනය උදෙසා පවතින්නා වූද ආයතනයකින් මේ වර්ගයේ අශිෂ්ට, අධම ක්‍රියා සිදුවන්නේ නම් සත්තකින්ම බුදු සසුන තිබෙන්නේ ද බලවත් අනතුරක බව නොකියා නොහැක්‌කේය.

කුඩු කන්ටේනරය මුදාහරින ලෙස තමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලිපියක්‌ යවා ඇත්නම් එය බරපතළ වරදක්‌ ලෙස පිළිගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි. එය ඉතා පැහැදිලිවම නෝංජල් දේශපාලන පිළිතුරකි. ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියෝ අගමැති ලේකම්වරයාට ලිපියක්‌ යවමින් මේ කුඩු කන්ටේනරයේ සුලමුල හෙළිකරන ලෙසට ප්‍රබල ඉල්ලීමක්‌ කරති. උන්වහන්සේගේ ලිපිය (මෙය 13.12.2013 "දිවයින" දිනපතා පත්‍රයෙහි පළවී ඇත) මේ අලඡ්ජී ක්‍රියාව ගැන ප්‍රශ්න ගණනාවක්‌ නඟති.

ආණ්‌ඩුවේ සායම බේරා ගැනීමට නම් ඒ ලිපියේ එන සියලු ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතුය. මීට පෙර ද මේ වර්ගයේ කුඩු ජාවාරමුන් ගැන හෙළි වූ අවස්‌ථා විය. ඇතැම් දේශපාලන නම් ද කියෑවිණි. එහෙත් නඩුත් නැතිව බඩුත් නැතිව ප්‍රශ්න යටගිය අවස්‌ථා ද හිඟ නොවීය.

සැබැවින්ම මේ ආණ්‌ඩුව තුළ සිටින හෝ එහි සෙවණ හා රැකවරණය ලබන පුද්ගලයන්ට දුරාචාර ක්‍රියා කිරීමට කිසිදු බාධාවක්‌ නැති බව විපක්‍ෂයේ ද විවෘත චෝදනාවකි. ආණ්‌ඩුවට වචනවලින් පමණක්‌ දමා ගසා ඒවායින් බේරීමට ඉඩක්‌ නැත. ජනතාව ද අද ඒ ප්‍රශ්න දෙස බලා සිටින බව ආණ්‌ඩුව මතක තබා ගත යුතුය.

සැබැවින්ම හෙළ උරුමය නොකියා කියන්නේ මෙකී කුඩු කන්ටේනර් සිද්ධියට ආණ්‌ඩුව වගකිව යුතු බවය. සිංහල ජනප්‍රවාදයේ කුඩු කෑ විත්තිය නමින් අපූරු කතාවක්‌ ද ඇත. කුඩු කෑ මිනිසාට මුහුණදීමට සිදු වූ බලවත් ප්‍රශ්නය එහි අගේට දක්‌වා තිබේ. මේ සිදුවී තිබෙන්නේත් ආණ්‌ඩුවේම ප්‍රබල පිරිසක්‌ 'කුඩු කෑවා' වැනි චෝදනාවකි. එසේම මේ කුඩු අර ජනප්‍රවාදයේ එන අහිංසක කතාවේ එන කුඩු නොව අද මේ රටේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑර පැතිර තිබෙන හෙරොයින් නමැති මත්කුඩු බව ද අපි දනිමු. එනිසා මේ සිද්ධිය රටට හෙළි කිරීම මෙන්ම එයට සම්බන්ධ වූ හැමදෙනාටම දඬුවම් දීම ද ආණ්‌ඩුවේ වගකීමය.

නොබෝදා කොළඹ බුකි පොළක්‌ වැටලූ පොලිසියේ නිලධාරීන්ට සිදුවූ සන්තෑසිය කවුරුත් දනිති. ආණ්‌ඩුවෙන් එයට ලැබුණු විහිළුකාර පිළිතුර ගැන යහපත් නිලධාරියකු වන පොලිස්‌පතිතුමා වුවද ලැඡ්ජාවට පත් නොවී නම් පුදුමයකි. පොලිසිය, රේගුව වැනි තැන්වල තවමත් යහපත් හා දක්‍ෂ නිලධාරීහු සිටිති. එහෙත් මේ ඇතැම් අමන දේශපාලනඥයන් හා තකතීරු නිලධාරීන් නිසා ඔවුහු තැති නොගනිත්ද? දේශපාලන වශයෙන් මාන්දම වැළඳී තිබෙන දුබල විපක්‍ෂය නොවන්නට මෙලහකටත් ආණ්‌ඩුව හිරවනු නිසැකය. එසේ වුවද ජනතාව මේ ප්‍රශ්න පිළිබඳ දක්‌වන උනන්දුව ආණ්‌ඩුවේ සෞඛ්‍යයට හිතකර නොවනු ඇති බව ද පෙන්වා දිය යුතුය.

මෙම කුඩු කන්ටේනර ජංජාලය සමඟ එතනෝල් කන්ටේනර ජරමරයක්‌ ගැනද හෙළි විය. එහිදී සිදු වී ඇත්තේද තාර ගෙන්වන මුවාවෙන් එතනෝල් කන්ටේනර හතක්‌ ගෙන්වීමය. දැනට වාර්තා වී ඇති අන්දමට මේ මගඩියට සම්බන්ධ පුද්ගලයන් කවුරුන්දැයි නොවිමසන්නේ නම් රේගුව නියම කරන ඕනෑම දඩයක්‌ ගෙවීමට සූදානම් බවද ඒ පිළිබඳව අත්අඩංගුවට ගත් පුද්ගලයා කියා තිබේලු·

එතනෝල් හොරුන් වෙනුවෙන් ඉදිරිපත් වී තිබෙන යෝජනාව ආණ්‌ඩුව භාර ගනීදැයි අපි නොදනිමු. හැබැයි ඒ විදිහට ගනුදෙනුව බේරා ගැනීම නරක නැතැයි බාග වෙලාවට ආණ්‌ඩුවේම දේශපාලන කටකින් ප්‍රකාශ වීමට ද බැරි නැත. එසේ වුවහොත් රුපියල් අට කෝටියක්‌ ඉක්‌මවන අගයකින් යුතු එතනෝල් තොගයකින් හොඳ බද්දක්‌ද අය කර ගත හැකිය.

මේ වර්ගයේම තවත් නිහීන වැඩක්‌ කළ හමුදා මේජර්වරයකු ගැන ද නොබෝදා වාර්තා විය. ඒ තණමල්විල සිට සුඛෝපභෝගී මෝටර් රියකින් ගංජා කිලෝ 15 ක්‌ රැගෙන ආ බව කියන මේජර් කෙනෙකි. මේ පිළිබඳ මාධ්‍යවල පළ වූ වාර්තාවකින් කියෑවුණේ මේ කුජීත මේජර්වරයා පසුගිය යුද සමයෙහි රට වෙනුවෙන් හරියට කැප වූ නිසා ඔහුට ඇප ලබා දිය යුතු යෑයි අයෑදුමක්‌ කළ බවකි. එහෙත් ගරු අධිකරණය ඊට ඉඩදී නැත. එපමණක්‌ නොව හමුදාවේ අභිමානය සුරැකීමට මේ නිලධාරියා සේවයෙන් නෙරපූ හමුදාපතිවරයා ද පැසසුම් ලැබිය යුත්තේය.

මෙම තීරුව මගින් අප නිරතුරුවම අනාවරණය කරන එක්‌ දෙයක්‌ නම් අපරාධකරුවන්ට, හොරුන්ට, කුඩු ජාවාරම්කරුවන්ට, ස්‌ත්‍රී දූෂකයන්ට ආදී අමන රැළකට බොහෝ විට දේශපාලන අනුබල, අනුග්‍රහ ලැබීම නිසා අද මේ රට විනාශය කරා ඇදෙන බවය. ඒ පැවතුම් දකින ජනතාවද විනාශකාරී ක්‍රියාවන් සඳහා පෙලඹෙන බව අමුතුවෙන් නො කිවමනාය. 'නඩු නැති රටකට මොට පායයිද සූරියා' යන ජනකවියද මෙහිදී අපට සිහි වේ. සැබැවින්ම මේ රට ආර්ථික හා සංස්‌කෘතික වශයෙන් සුරක්‍ෂිත කිරීමට නම් මේ පල්හොරුන්ට හා අමන දේශපාලනඥයන්ට එරෙහිව නිසි රිසි පියවර ගත යුතු බව පමණක්‌ අවධාරණය කරමු.

http://www.divaina.com/2013/12/15/editorial.html

0 comments: