Pages

Tuesday, December 10, 2013

බටහිරට අවශ්‍ය වී ඇත්තේ ත්‍රස්‌තවාදය පැරදවූ එකම රාජ්‍යය අවමානයට ලක්‌ කිරීමයි - ශවේන්ද්‍ර සිල්වා

බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනි සේවාවේ කැලම් මැක්‌රේ, ජෝන් ස්‌නෝ සහ ජොනතන් මිලර් සමග එක්‌වූ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ප්‍රමුඛ ලන්ඩන් කොටි ඩයස්‌පෝරාව ශ්‍රී ලංකාවට සාවද්‍ය යුද අපරාධ චෝදනා එල්ල කර ඇත.

එහෙත් මේ සාවද්‍ය යුද අපරාධ චෝදනාවලට මුලින්ම නිසි ප්‍රතිචාර දැක්‌වූයේ එක්‌සත් ජාතීන්ගේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වායි. මැක්‌රේ ඇමරිකාවේදී චැනල් 4 වීඩියෝ පටය තිරගත කරද්දී එම අවස්‌ථාවට කඩාවැදුනු ශවේන්ද්‍ර ඔහුට අභියෝග කළේ චැනල් 4 වීඩියෝ පටය මුළුමනින්ම සාවද්‍ය යෑයි ඔහු සනාථ කිරීමට සූදානම් වූ නමුත් ඇමනෙස්‌ට්‌ ඉන්ටර්නැෂනල් සංවිධානය ඊට ඉඩ දුන්නේ නැත. කැලම් මැක්‌රේට ප්‍රථම විවාදයකට එන ලෙස ශවේන්ද්‍ර කළ අභියෝගයට වසර දෙකකට අධික කාලයක්‌ ගත වී ඇතත් අද වන තෙක්‌ ඔහු ඊට එකඟ වී නැත. 

ඇමරිකාවේ නිව්යෝර්ක්‌හි සිට ක්‍රියාත්මක වන මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගෙන් බ්‍රිතාන්‍ය සහ කොටි ඩයස්‌ පෝරාව ශ්‍රී ලංකාවට එල්ල කර ඇති ජාත්‍යන්තර විමර්ශනයක්‌ පැවැත්වීමේ තර්ජනය ගැන විමසුවෙමු.

ප්‍රශ්නය - චැනල් 4 සහ බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාවට එල්ල කරන තර්ජනවල පසුබිම කුමක්‌ යෑයි සිතන්නේද?

පිළිතුර - කොටි ප්‍රශ්නය යුද්ධයකින් විසඳන්න බැහැ කියලා බටහිර රටවල් අපට කිව්වා. ඔවුන් කිව්වේ ප්‍රභාකරන්ට උතුරු ප්‍රදේශය දෙන්නයි කියලයි. එහෙත් ජනාධිපතිතුමා සෘජු තීන්දුවක්‌ ගත්තා බටහිර රටවල්වලට හිස නැමුවේ නැහැ. වන්නි මෙහෙයුම යන අතරේ එය නතර කරන්න ඇතමුන් දැඩි උත්සාහයක්‌ ගත්තා. ඒ කිසිම උත්සාහයකට ජනාධිපතිතුමා අවනත වූයේ නැහැ. කොටි පරාද කළ නොහැකි යෑයි බටහිර රටවල් කළ ප්‍රකාශය අපි වෙනස්‌ කළා. අපේ හමුදාව යුද්ධය ජයග්‍රහණය කළා. මේ නිසා බටහිර රටවලට අවශ්‍ය වී ඇත්තේ ත්‍රස්‌තවාදය පරාජය කරපු ලොව එකම රාජ්‍යය අවමානයට ලක්‌කිරීමයි. ජනාධිපති, ආරක්‍ෂක ලේකම් සහ සමස්‌ත හමුදාව අපකීර්තියට පත් කිරීම ඔවුන්ගේ අරමුණයි.

මේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළට මෙරට රාජ්‍ය නොවන සංවිධාන සහ ඇතැම් වෙබ් අඩවි සෘජුව සහය වෙනවා. මේ සංවිධාන කොටින්ට සහය වූ ඒවායි.

ප්‍රශ්නය - චැනල් 4 කුමන්ත්‍රණ ඉදිරියටත් දියත්වනු ඇතැයි ඔබ සිතන්නේද?

පිළිතුර - ඔව්· එක කුමන්ත්‍රණයක්‌ අවසාන වන විට තවත් එකක්‌ එනවා. කොටි සංවිධානය පරාජය කළත් ඩොලර් මිලියන ගණන් මුදල් ඇති ඊළාම් කොම්පැණි. දිගටම අපට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. මේ ඊළාම් කොම්පැණියේ මුදලාලිලා ලෙස ඇමරිකාවේ රුද්රකුමාරන් නෝර්වේහි තෙදියවන් ඇතුළු පිරිස ක්‍රියාකරනවා.

ප්‍රශ්නය - එල්ල වී ඇති යුද අපරාධවලට ප්‍රතිචාර දැක්‌වීමේ හැකියාවක්‌ අපට තිබෙනවාද?

පිළිතුර - ඔව්. තානාපති නිලධාරීන් වශයෙන් අප සතු සාධක තිබෙනවා. අපි නොබියව ඊට මුහුණ දෙනවා. ඒ නිසා මේ කුමන්ත්‍රණකාරී බලවේග පරාජය කිරීමේ හැකියාවක්‌ අපට තිබෙනවා.

ප්‍රශ්නය - කැලම් මැක්‌රේ ඇතුළු චැනල් 4 කණ්‌ඩායම පොදුරද සමුළුවට ආවේ රටේ තත්ත්වය විමර්ශනය කිරීමටද?

පිළිතුර - ඔවුන් මෙරටට ආවේ අපට එරෙහි දියත් කළ යුද අපරාධ චෝදනා ක්‍රමවේදය දිගටම ගෙනියන්න. චැනල් 4 කවදාවත් වෙනස්‌ වන්නේ නැහැ.

ප්‍රශ්නය - ශ්‍රී ලංකා සෙබළුන් ඝාතන සිදුකරන බවට දැක්‌වෙන දර්ශන චැනල් 4 වීඩියෝ පටයේ සඳහන් වෙනවා. මෙයට ඔබේ ප්‍රතිචාරය කුමක්‌ද?

පිළිතුර - මේ දර්ශන මා අභියෝගයට ලක්‌කළා. මා චැනල් 4 කණ්‌ඩායමෙන් මෙලෙස ප්‍රශ්න කළා. අනුරාධපුර ජයශ්‍රී මහා බෝධියට ප්‍රහාර එල්ල කිරීමේ කොටි කණ්‌ඩායම ශ්‍රී ලංකා හමුදාවේ නිල ඇඳුම්වලට සමාන ඇඳුම් ඇඳගෙන සිටිය. කටුනායක ගුවන්තොටුපළටත් වන්නි හමුදා මූලස්‌ථානයටත් ප්‍රහාර එල්ල කළ කොටි කණ්‌ඩායම් අපේ නිල ඇඳුම්වලට සමාන ඇඳුම් ඇඳ සිටියා. ඒ වගේම ඔවුන් සිංහල භාෂාව කතා කළා. කොටි ද්‍රවිඩ ගම්මානවලට පැනල මිනීමරද්දී ඇඳගෙන සිටියේත් අපේ නිල ඇඳුම්වලට සමාන ඇඳුම් යෑයි මා කිව්වා. මා කළ ප්‍රකාශය ගැන චැනල් 4 කණ්‌ඩායම ප්‍රතිචාර දැක්‌වූයේ නැහැ.

ප්‍රශ්නය - යුද මුක්‌ත කලාපයට ප්‍රහාර එල්ල කිරීමට හමුදාව ක්‍රියාකළ බවට චැනල් 4 පවසනවා?

පිළිතුර - මා චැනල් 4 කණ්‌ඩායමට අභියෝගයක්‌ කළා එලෙස ප්‍රහාර එල්ල කළා නම් ප්‍රහාරවලින් හෑරුනු වළක්‌ පෙන්වන්න යෑයි මා කිව්වා. එහෙත් ඔවුන්ට එවන් වළක්‌ පෙන්නුම් කිරීමට හැකි වූයේ නැහැ.

ප්‍රශ්නය - චැනල් 4 කණ්‌ඩායම තමන්ට මෙරටට ඒමට අවසර ලැබුණේ නැහැ යෑයි පැවසුවා. එය සත්‍යයක්‌ද?

පිළිතුර - මා නිව්යෝර්ක්‌ නුවර කාර්යාලයට චැනල් 4 කණ්‌ඩායමේ ජොනතන් මිලර් ගෙන්වලා ශ්‍රී ලංකාවට එන්න යෑයි කිව්වා. ඊට ආරක්‍ෂක ලේකම්තුමා අවසර දුන්නා. නමුත් ඔවුන් ආවේ නැහැ.

ප්‍රශ්නය - කැලම් මැක්‌රේ චැනල් 4 වීඩියෝ පටවලට සාවද්‍ය දර්ශන ඇතුළත් කර ඇති බව ඔබ කියන්නේද?

පිළිතුර - ඔව්· චැනල් 4 වීඩියෝ පටවල ඇත්තේ ආරක්‍ෂක හමුදාව විකාශනය කළ දර්ශනයි. ඇතැම් දර්ශනවල හිමිකරුවෙක්‌ නැහැ. එසේ නම් හිමිකරුවන් නැති දර්ශනවලින් අපට යුද අපරාධ චෝදනා ඉදිරිපත් කරන්නේ කෙසේද? මේ හැර මුහුණ නොපෙන්වන මිනිසුන් සාක්‌කිකරුවන් ලෙස පෙන්නුම් කරනවා. එවන් සාක්‍ෂිකරුවන් පිළිගත හැකිද?

ප්‍රශ්නය - චැනල් 4 කණ්‌ඩායම ඔබ සමග විවාදයකට එන්නෙ නැත්තේ ඔවුන්ගේ බොරුව හෙළිවේවි කියලද?

පිළිතුර - වන්නි මෙහෙයුමේ අවසන් අදියරේ ක්‍රියාකළ සෙන්පතියකු ලෙස මා සතුව අවශ්‍ය තරම් සාධක තිබෙනවා. ඒ නිසයි කැලම් මැක්‌රේ මා සමග විවාදයකට එන්නේ නැත්තේ. යුද අපරාධ චෝදනා ගැන ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි කැලම් මැක්‌රේට ඇමනෙස්‌ට්‌ ඉන්ටර්නැෂනල්, ඉන්ටර්නැෂනල් ක්‍රයිසස්‌ ගාව සහ හියුමන් රයිට්‌ස්‌ වොච් සංවිධානයත් විවාදයකට ඉදිරිපත් වී නැහැ.

හිමිකරුවෙක්‌ නැති දර්ශන ලොව පුරා ප්‍රදර්ශනය කරල ඉන් ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කරනවා.

ප්‍රශ්නය - එක්‌සත් ජාතීන්ගේ දරුස්‌මාන් වාර්තාවෙන් කියනවා තොරතුරු සැපයූ සාක්‍ෂිකරුවන් කවුදැයි හෙළිකරන්නේ විසිවසරකට පසුයි කියලා. ඇයි ඒ?

පිළිතුර - අපට යුද අපරාධ චෝදනා එල්ල කරන විට සාක්‍ෂිකරුවන් කවුදැයි හෙළි කළ යුතුයි. නමුත් වසර විස්‌සක්‌ යනතෙක්‌ බලා සිටින්න යෑයි පැවසීම විහිළුවක්‌. මේ සාක්‍ෂිකරුවන් කවුදැයි දැන්ම හෙළිකළොත් ඔවුන් බොරුකාරයන් යෑයි සනාථ වෙනවා.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/12/08/feature17.html

0 comments: