Pages

Monday, December 30, 2013

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ හැකිද? කළ යුතුද?

ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ කතිකාවතක්‌ යළිත් සමාජය තුළ ගොඩනැඟෙමින් තිබේ. ඒ 2016 වසරේ සිට ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන බවටත් ඒ වෙනුවට සිංහල, ගණිතය, පරිසරය වැනි විෂයන් කිහිපයකින් එක්‌ ප්‍රශ්නපත්‍රයක්‌ සාධන පරීක්‍ෂණයක ආකාරයෙන් පවත්වන බවටත් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මාධ්‍යයට අනාවරණය කිරීමත් සමඟය. නමුත් එතනදී එතුමා ශිෂ්‍යත්ව විභාගය ආරම්භ කිරීමේ අරමුණ වූ අවාසි සහගත මට්‌ටමේ දරුවන්ට පහසුකම් සහිත පාසලක්‌ හා ශිෂ්‍යත්ව ආධාර ලබා දීම පිළිබඳව විකල්ප යෝජනාවක්‌ ගෙන ආවේ නැත. එසේ විකල්ප ක්‍රමයක්‌ යෝජනා නොකර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ හැකිද? කළ යුතුද? 

ශිෂ්‍යත්ව ප්‍රදානය සහා වූ ශිෂ්‍යත්ව විභාගය ලාංකීය ශිෂ්‍ය ප්‍රජාවට ලැබුණේ අයවැයකදී පාසල් ළමුන්ට කිරි වීදුරුවක්‌ ලබා දීමට ගෙන ආ යෝජනාවක්‌ සම්මත වීමක්‌ ලෙස සරල හා සුමට ආකාරයෙන් නොවේ. විශාල ශ්‍රමයක්‌ දැවැන්ත ජනතා බලවේගයක්‌ උද්ඝෝෂණ පෙරමුණක්‌ එක්‌ව එක්‌තරා පැලැන්තියකට සීමා වී තිබුණ අධ්‍යාපන වරප්‍රසාදය සමස්‌ත සමාජයටම ලබා දුන් අවස්‌ථාවක මෙරට පීඩාවට පත් මිනිසුන්ගේ දරුවන්ට ද්විතීයික අධ්‍යාපනයට පිවිසීමට ලැබුණ මහඟු අවස්‌ථාවක්‌ ලෙසය. මීට පෙරද 19 වැනි සියවසසේ ශිෂ්‍යත්ව ප්‍රදානය තිබුණු නමුදු ඒවා සීමා වී තිබුණේ කොළඹ ඇකඩමියේ උගත් ඉහළ පැලැන්තියේ දරුවන්ට එංගලන්තයට ගොස්‌ අධ්‍යාපනය හැදෑරීමටය. 

1944 වසරේ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සහා ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වූදා සිට මේ දක්‌වා එය ලාංකීය සමාජ දේහය පුරා අක්‌මුල් විහිදුවා ලූ දැවැන්ත වනස්‌පතියක්‌ බවට පත්විය.එබැවින් එය කපාදැමිය නොහැකිය. උගුලුවා දැමීමද කළ නොහැකිය. මන්ද එයින් සමාජ දේහයට වන හානිය මෙන්ම ඉන්පසු ඇතිවන අනිටු ප්‍රතිඵලවලටද ගෙවිය යුතු වන්දිය අති මහත්වන බැවිනි. අපි මුග්ධ දේශපාලනයේ අනිටු තීරණ නිසා බොහෝ වන්දි ගෙවූ ජාතියක්‌ වෙමු. තවදුරටත් එය එසේ විය යුතු නැත.

ලෝකයේ බොහෝ රටවල විවිධ අන්දමේ හා විවිධ තරාතිරමේ ශිෂ්‍යත්ව ප්‍රදානය වෙයි. එයින් ඉටුකර ගැනීමට බලාපොරොත්තු වන පරමාර්ථ ලෙස සැලකෙන්නේ සමාජ ආර්ථික හේතු මත අධ්‍යාපන ඉඩප්‍රස්‌ථා අහිමි වන්නන්ගේ හිමිකම් රැකදීම හා ජාතික සංවර්ධනයට අවශ්‍ය විශේෂිත මිනිස්‌ බලය සැපයීමයි. කන්නන්ගර වාර්තාවේ ශිෂ්‍යත්ව ප්‍රදානය සහා වූ විභාගයේ අරමුණ පැහැදිලි කර ඇත්තේ ''1940 වන විට අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පැවති ප්‍රධාන දුර්වලතාව නම් අධ්‍යාපනයේ සම අවස්‌ථා නොවීමයි. එසේ ම ද්විතීයික අධ්‍යාපනයෙහි දක්‍ෂතා පෙන්විය හැකි සිසුන් විශාල පිරිසක්‌ ප්‍රාථමික අධ්‍යාපනය අවසානයේදී බිහිවිය හැකිය. එහෙත් ආර්ථික අපහසුකම් හා වෙනත් විවිධ හේතු නිසා ද්විතීයික අධ්‍යාපනය ලබා ගැනීම ඔවුනට නොලැබී යයි. මෙය සම අධ්‍යාපන අවස්‌ථා ඇහිරීයැමකි' යනුවෙනි. මෙලෙස අධ්‍යාපනයේ සම අවස්‌ථා එනම් ජාති, කුල, ආගම්, පන්ති හා ලිංග භේදයකින් තොරව සියලුම දෙනාට අධ්‍යාපනය ලබා දීමේ උත්තුංග අරමුණ මූලිකව නිදහස්‌ අධ්‍යාපනයේ අරුත තවත් පුළුල් කරලීම සහා 1944 ප්‍රථම වරට ශිෂ්‍යත්ව ප්‍රදානයට සුදුස්‌සන් තේරීම සහා කැප වූ තේරීම් පරීක්‍ෂණයක්‌ පැවැත්විණි. මෙම ශිෂ්‍යත්වධාරීන් මධ්‍ය මහා විද්‍යාලවලට පමණක්‌ ඇතුල් කරගත් අතර ඔවුනට ඉඳුම් හිටුම්, කෑම්, බීම්, පොත්පත් නොමිලේ සැපයිණි. මුල් අවධියේ ශිෂ්‍යත්ව ප්‍රදානය කළේ දෙමවුපිය වාර්ෂික ආදායම රුපියල් 600 ට අඩු පවුල්වල දරුවන් උදෙසාය. කෙසේ වෙතත් මධ්‍ය මහා විද්‍යාල හරහා ආ මෙම ශිෂ්‍යත්වධාරීන් පසු කලෙක මෙරට විවිධ ක්‍ෂේත්‍ර බැබළවූ මහා විද්වතුන් බවට පත්වුණු අයුරු අපි දුටුවෙමු.

1960 පාසල් රජයට පවරා ගැනීමත් සමඟම ශිෂ්‍යත්වධාරීන්ට ජනප්‍රිය විද්‍යාලවලද දොරටු විවර වූ අතර 1973 අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණවලට අනුව ''ඉහළ අභියෝග්‍යතාවයකින් යුතු යෝග්‍යතම සිසුන් තෝරාගෙන අඩු ආදායම් සහිත පවුල්වල ළමයින්ට මුදල් ආධාර හා ජනප්‍රිය පාසල් ලබා දීමත් වැඩි ආදායම් සහිත පවුල්වල දරුවනට ජනප්‍රිය විද්‍යාල පමණක්‌ ලබා දීමත් මඟින් අධ්‍යාපන අවස්‌ථා සැපයීම නූතන පස්‌වැනි ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්‍ෂණය පැවැත්වීමේ වැදගත්ම අරමුණ වී තිබේ''. (ව්‍යවස්‌ථා 1973) මෙහිදී පස්‌වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ පරීක්‍ෂණය යන මෙතෙක්‌ භාවිත වූ නම පවා වෙනස්‌ වූ අතර පාසල්වලට සිසුන් තෝරා ගැනීම හා ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීම සඳහා පැවැත්වෙන පස්‌වැනි ශ්‍රේණියේ විභාගය යනුවෙන් නැවත නම් කෙරුණි. කෙසේ නමුත් මේ ප්‍රතිසංස්‌කරණ තුළදීද ශිෂ්‍යත්ව විභාගයේ මූලික අරමුණ වෙනස්‌ නොවීය. 1981 අධ්‍යාපන ධවල පත්‍රිකාවෙන් ''අද එය ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා සිසුන් තෝරාගන්නා ලද පරීක්‍ෂණයකට වඩා ජනප්‍රිය පාසල්වලට සිසුන් තෝරාගන්නා ලද පරීක්‍ෂණයක තත්ත්වයකට ඇදවැටී ඇතැයි'' පවසයි. 

මෙලෙස පසුකාලීනව ශිෂ්‍යත්ව විභාගය ජනප්‍රිය පාසල් උදෙසා වූ තරගයක්‌ බවට පත්වූයේ දරුවන්ගේ හෝ දෙමවුපියන්ගේ හා වරදින් නොවේ. සියලු පහසුකම් සහිත පාසල් අතලොස්‌සක්‌ වීමත් අනෙකුක්‌ පාසල්වල පහසුකම් මෙන්ම අධ්‍යාපන මට්‌ටම විවිධ හේතු මත පිරිහීමට ලක්‌ව තිබීමත් නිසාය. ඔවුහු තම දරුවන් මේ සඳහා මාරාන්තික තරගයට යොමු කිරීමත් සමගම පීඩනයට, දඬුවමට, මානසික රෝගී තත්ත්වයකට දරුවන් පත්කරලන්නක්‌ බවට එය පත්කරවූහ. ඒ පිළිබඳව සමාජයෙන් දැඩි විවේචනයක්‌ මෙන්ම දැඩි විරෝධයක්‌ එල්ල වීම තුළ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරලීම සඳහා වූ යෝජනාවකට අධ්‍යාපන ඇමැතිවරයා යොමු වූ බව පෙනේ.

ශිෂ්‍යත්ව විභාගය අධිරාජ්‍ය යුගයේදී ආරම්භ කෙරුණේ එකල සමාජය තුළ බහුතරයක්‌ ජනතාව Êදුක්‌තව පීඩාවට පත්ව සිටීම නිසා ඔවුන්ගේ දරුවන්ට එම ඉරණමෙන් ගොඩ ඒමට අත්වැලක්‌ සැපයීම පිණිසය. මේ මොහොතේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්නේ එම විභාගය ආරම්භ කළ වකවානුවේ තිබුණ සමාජයීය පසුතලය තුරන් කර තිබුණ තත්ත්වයක්‌ තුළ නම් කිසිවෙකුට ඊට එරෙහි විය නොහැකිව තිබිණි. නමුත් නිදහසින් වසර 65 කට පසු අද සමාජ පසුතලය කෙබඳුද? අධිවේගී මාර්ග, ගුවන්තොටුපළ, වරාය වැනි සමාජයේ මතුපිට තලයේ සන්දර්ශනාත්මක ආශ්චර්යයක්‌ පෙන්නුවද සමාජ පතුල බිහිසුණු ලෙස බිඳවැටී ඇත. එදාට වඩා අද ආදායම් විෂමතාව වැඩි වී ඇත. ප්‍රතිශතයක්‌ ලෙස ජනගහනයෙන් 50.2% ක ජාතික දිළිඳු බැමි රේඛාවෙන් පහළ සිටී. අවුරුදු 6 -14 වයස්‌වල ළමයින්ගෙන් 4% ක්‌ පාසල්වලට නොපැමිණෙති. පාසල් වලට ඇතුළත්වන ළමයින්ගෙන් 5% ක්‌ ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණ නොකරති. 13% ක්‌ අවුරුදු 14 ට කලින් පාසලින් ගිලිහෙති. මෙලෙස පාසලින් බැහැරව සිටින ළමයින් නාගරික දිළිඳු පරිසරයේ හා අවාසිදායක ගම්මානවල ජීවත්වන බවද දුප්පත්කම හා පාසලට ඇති දුර මීට හේතු වී තිබෙන බව ජාතික අධ්‍යාපන කමිටුව පවසයි. තත්ත්වය මෙසේ වන විට ශිෂ්‍යත්ව විභාගයත් අහෝසි කිරීම තුළ දුප්පත් දක්‍ෂ දරුවාට පහසුකම් සහිත පාසලකට යැමේ එකම අවස්‌ථාවත් ගිලිහී යයි. ලාංකීය සමාජය නැවත පියනඟන්නේ අධිරාජ්‍යවාදී යුගයේ පැවති තත්ත්වයන් වෙතටමය.

පාලකයන් ඉගෙනගැනීමට ඇති අයිතිය ලබා ගැනීම සඳහා සටන් වදින ශිෂ්‍ය ප්‍රජාවක්‌ වෙනුවට අනාගත පරපුරට මිනිස්‌ සංහතිය සතු දැනුම් සම්භාරය පුළුල් කිරීමේ අරමුණින් සොබාදහමේ අභිරහස්‌ සමඟ සටන්වදින ශිෂ්‍ය ප්‍රජාවක්‌ බවට පත්වීමේ අයිතිය ලබාදිය යුතුය. දෑසින් පමණක්‌ නොව නැණැසින් ලෝකය බැලීමේ ඇති අනුලංඝනීය වූ අයිතිය ඔවුන්ගෙන් උදුරා නොගත යුතුය. විශ්වීය මානව අයිතියක්‌ වූ අධ්‍යාපනයට ඇති ඉඩකඩ අහුරා නොදැමිය යුතුය.

ශිෂ්‍යත්ව විභාගය ළමයින්ගේ නොව දෙමවුපියන්ගේ විභාගයක්‌ විය. දෙමාපියන් උත්සාහ කළේ ලැබෙන කුඩාම ඉඩෙන් කෙසේ හෝ රිංගා තම දරුවාට ඉහළ අධ්‍යාපනයක්‌ ලැබිය හැකි පාසලකට ළමයා ඇතුළත් කර ගැනීමටය. ඒ සුළු ඉඩත් වසා දැමුවොත් රිදෙන්නේ මේ රටේ අතිමහත් බහුතරයක්‌ වූ සාමාන්‍ය ජනතාවටය. එය කාගෙ කාගේත් දේශපාලන සෞඛ්‍යයට එතරම් ගුණදායක නොවනු ඇත.

සුජාතා අලහකෝන්
http://www.divaina.com/2013/12/29/politics08.html

Pic Source

0 comments: