Pages

Wednesday, December 18, 2013

හෙරොයින්

වසර 2009 නොවැම්බර් 17 වැනිදා ශ්‍රී ලංකාවේ ඇමරිකන් තානාපති කාර්යාලය සිය මවු රටේ පිහිටි රාජ්‍ය දෙපාර්තමේන්තුවට යට සඳහන් කේබල් පණිවුඩය යෑවීය. "2009 කොටි සංවිධානය පරාජයට පත්වීමත් සමඟ ආසියාවේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සතු ක්‍රමවේදයන් වෙනස්‌ වනු ඇත. හෙරොයින් සහ ගංජා නිෂ්පාදනය කරන ආසියානු රටවලින් ඒවා ලබාගෙන වෙනත් රටවලට බෙදාහැරීම 1983 පටන්ම කොටි සංවිධානය සිදු කළේය. මේ කුඩු ජාවාරමේ ප්‍රධාන පිවිසුම් මාර්ගය වන්නේ ඉන්දියාවේ මුම්බායි නගරයයි. ලංකාවේ වෙරළාසන්න ප්‍රදේශවලට මුම්බායි නගරයෙන් ගෙනෙන කුඩු බෙදාහැරීමේ බලය කොටින් සතු විය. යුද ජයග්‍රහණයත් සමඟම මේ තත්ත්වය කඩාකප්පල් වනු ඇත....."

ඉහත සඳහන් කේබල් පණිවුඩය පුද්ගලික සහ රහසිගත එකකි. එය 2011 දී විකී ලික්‌ස්‌ වෙබ් අඩවියට හමුවීමත් සමඟම ලොව පුරා බෙදාහරින ලද්දේය. යුද ජයග්‍රහණයෙන් පසු ඇමරිකාව අපේක්‍ෂා කළ පරිදි ආසියානු මත්ද්‍රව්‍ය ජාවාරම බිඳවැටුණේද? නැත. කොටි සංවිධානයේ ඉතිරි වූ පිරිස අදත් එම ජාවාරමේ සිටිති. අලුතින් එකතු වූ කොටි ඩයස්‌පෝරාව ද එතැන සිටිති. මීට අමතරව ජීවන වෘත්තිය වශයෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන අලුත් කණ්‌ඩායමක්‌ අද මේ ව්‍යාපාරයට පිවිස ඇත්තාහ. අල කන්ටේනර් තුළ, අල ගෙඩි තුළ සඟවන ලද කුඩු ලංකාවට එන්නේ යුද්ධය නිමවීමෙන් පසුව ය. ග්‍රීස්‌ ටින්වල සඟවන ලද කුඩු ලංකාවට එන්නේ ද යුද්ධය නිමවීමෙන් පසුව ය. සිමෙන්ති කොට්‌ට 5 ක්‌ බර කුඩු ප්‍රමාණයක්‌ පසුගියදා මෙහි ගෙන්වන ලදී. එයද යුද ජයග්‍රහණයෙන් පසුව ය. මෙහිදී අප වැදගත් දෙයක්‌ වටහාගත යුතුව තිබේ. එනම්, යුද්ධයෙන් පසු අඬු කැඩුණ කොටි හපුවන් සහ කොටි ඩයස්‌පෝරා හපුවන් අතට ගිය කුඩු වෙළෙඳාමට තවත් අලුත් ශක්‌තිමත් කණ්‌ඩායමක්‌ ඇතුළත්ව සිටින බව ය. මේ අය කවරේද? ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදීන්ද? ස්‌වදේශික මුදලාලිලාද? දේශපාලනඥයන්ද? වහා හඳුනාගත යුත්තේ මෙකී පිරිස ය. සතුරාට පහර දීමට පෙර ඔහු ගැන දැන ගත යුතුව තිබේ. සතුරාට ගැලපෙන ආයුධ තෝරා ගැනීමට හැකිවන්නේ එවිට ය.

නූතන මත්ද්‍රව්‍ය ව්‍යාපාරය තුළ තිබෙන ප්‍රධාන ද්‍රව්‍යය හෙරොයින් කුඩු ය. 1980 ට පෙර හෙරොයින් යනු මෙරට මත්ද්‍රව්‍ය ව්‍යාපාරය තුළ තීරණාත්මක සාධකයක්‌ නොවේ. එකල පිටරටින් එන කිසිවකු කුඩු ටිකක්‌ ගෙනවුත් තමනුත් ගසා, සෙස්‌සන්ටත් ගස්‌සවා ආපසු ගියේ ය. මුල් කාලයේදී රේගුව පවා මත්කුඩු හඳුනා ගත්තේ නැත. 1985 වන විට කොළඹ නගරය පුරාම කුඩු තිබුණේ ය. වසර 2000 වන විට හෙරොයින් ඉතාම මාරාන්තික මත්ද්‍රව්‍යයක්‌ ලෙස රට පුරා පැතිර ගියේ ය. 2004-2008 කාලය තුළ අවුරුද්දකට කුඩු කිලෝ 763-800 අතර ගණනක්‌ අත්අඩංගුවට ගැනීමට හැකි විය. ඒ අනුව රටේ දෛනික හෙරොයින් පරිභෝජනය කිලෝ 2 ක්‌ විය. කුඩු කිලෝ 2 ක්‌ කුඩ්ඩන් 45,000 කට පරිභෝජනය කළ හැකි ය. පාකිස්‌තානය හරහා ඉන්දියාවට එන කුඩු ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයෙන් සහ උතුරු නැගෙනහිරින් රටට ඇතුළු විය. වසර 2008 දී රට තුළට කුඩු කිලෝ 1000 ක්‌ ගෙන්වා තිබුණත් එයින් අත්අඩංගුවට ගත හැකි වූයේ කිලෝ 17 ක්‌ පමණි. කුඩු ගැසූ 8500 ක්‌ අත්අඩංගුවට ගත හැකි විය. එයින් 2% ක්‌ ගැහැනු ය. 2008 රටේ ජනගහනයෙන් සෑම ලක්‍ෂයකටම 40 දෙනෙක්‌ කුඩු ගැසූ බව හෙළි විය.එම 40 න් 20 කට වඩා නව යෞවනයන් ය. මෙහි තේරුම රටේ අනාගත පරම්පරාව හේදීගෙන යන බව ය. එසේ හේදෙන තරුණයන්ගේ ඇඟ පතට සිද්ධවන්නේ කුමක්‌දැයි අපි ඊයේ (16 දා) කතුවැකියෙන් පැහැදිලි කළෙමු.

මත්ද්‍රව්‍යවලට දිගුකාලීන ඉතිහාසයක්‌ තිබේ. ගස්‌ බෙනයක තබන ලද ධාන්‍ය, වර්ෂාව නිසා එම ගස්‌ බෙනයට එකතු වූ ජලයෙන් පල්වී පැසී සුරා උපන් ආකාරය පිළිබඳ පැරණි කතන්දරයක්‌ තිබේ. නෙළන ලද මිදි එකතු කළ මැටි බඳුන් තුළ එම මිදි පල් වූ විට වයින් උපන් ආකාරය ගැන පැරණි කතන්දර තිබේ. ඒවා අහඹු සිදුවීම් ය. එහෙත් හෙරොයින් යනු පරීක්‍ෂණ සිය දහස්‌ ගණනක්‌ කර සොයාගත් නිෂ්පාදනයකි. අබිං, බොහෝ පිරිපහදු කළ පසු හෙරොයින් නමැති සුදු පැහැති කුඩු වර්ගය ලැබෙයි. අබිං කිලෝවක්‌ ගසන සැප හෙරොයින් ග්‍රෑම් 10 ක්‌ ගසා ලැබිය හැකි ය. මේ සැප අපායට මග පෙන්වන 'සැප' ය.

http://www.divaina.com/2013/12/17/editor.html

0 comments: