Pages

Monday, December 30, 2013

බි‍්‍රතාන්‍යයේ මුස්ලිම් විරෝධී ප‍්‍රහාරයන් වාර්තාගත ලෙස ඉහළට

එංගලන්තයේ සහ වේල්සයේ මුස්ලිම්වරුන්ට එරෙහි අපරාධයන් සංඛ්‍යාව 2013 වසර තුළ වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.  පසුගිය මැයි මස ලන්ඩනයේදී මුස්ලිම් අන්තවාදීන් දෙදෙනෙකු විසින් ලී රිග්බි නම් සෙබළෙකු ඝාතනය කිරීම සමග මෙලෙස මුස්ලිම් විරෝධී ප‍්‍රහාරයන් ඉහළ ගොස් ඇතැයි පැවසේ.

ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිස් වාර්තා පවසන්නේ 2013 වසරේ ලන්ඩනයේදී සිදුවූ මුස්ලිම් විරෝධී ප‍්‍රහාරයන් ප‍්‍රමාණය ඊට පෙර වසරේ වාර්තාවූ 336සිට 500 තෙක් වර්ධනය වී ඇති බවයි.  මැන්චෙස්ටර් නගරය තුළදී මෙය 75 සිට 150 තෙක් දෙගුණයකින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

කෙසේවෙතත් සමහර ප‍්‍රදේශවල මෙලෙස ආගම් විරෝධී අපරාධයන් වාර්තා වී ඇත්තේ ඉතා සුළු වශයෙන් වන අතර බොහෝ පොලිස් ස්ථාන විසින් මුස්ලිම් විරෝධී ප‍්‍රහාරයන් ලෙස වාර්තා තබානොගන්නා බවද පවසා ඇතැයි වාර්තා වේ.  ස්කයි නිව්ස් පුවත් සේවය පවසන්නේ තොරතුරු ලබාගැනීම සඳහා ඇමතූ පොලිස් ස්ථාන වලින් අඩක්ම තොරතුරු ලබාදීම සඳහා අසමත්වූ බවයි.

අපේ‍්‍රල් මස සිට මේ දක්වා පමණක් සිදුවීම් 840ක් පමණ වාර්තා වී ඇති බව මුස්ලිම් විරෝධී අපරාධයන් පිළිබඳව වාර්තා තබාගන්නා ටෙල් මමා නම් කණ්ඩායමක් විසින් දක්වා ඇත.  2012 මාර්තු සිට 2013 මාර්තු දක්වා කාලපරිච්ෙඡ්දයේදී එම සංවිධානය විසින් නිරීක්ෂණය කර ඇත්තේ ආගම් විරෝධී පහරදීම් 582ක් පමණක් වන බව පැවසේ.

ටෙල් මමා පවසන්නේ දැනට වාර්තා වී ඇති ප‍්‍රමාණය වසර අවසානය වන විට 1000 සීමාවට ළගාවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.  මෙම තත්වයට මුහුණ දීම සඳහා ඉස්ලාම් භීතිකාව මත ක‍්‍රියාත්මක වන අපරාධ සඳහා වඩා වැඩි දඬුවම් පැණවිය යුතු බව එම සංවිධානයේ ප‍්‍රධානි ෆියාස් මුජාල්ගේ අදදහසයි.

රටපුරා ජනතාව වෛරය පතුරුවන්නන් හට එරෙහිව පෙළගැසෙමින් ඇති බවත් මෙම තත්වය මැඬලීම සඳහා පොලිසිය සියලූ පාර්ශ්වයන්ගේ සහයෝගයෙන් කටයුතු කරනු ඇති බවත් ලේබර් පක්ෂයේ අභ්‍යන්තර ස්වදේශ කටයුතු අමාත්‍ය හෙලන් ජෝන්ස් පවසා තිබේ.

http://lankacnews.com/sinhala/foreign-news/107463/

0 comments: