Pages

Tuesday, December 10, 2013

ගැමිකම සහ සොබාදහමේ සබැඳියාව

වැහි පෙර මං දැකීම  මෙදා මහට මොකද වුණේ...

අහස දංගෙඩිය වගේ කලුවෙලා...

බිනර මහේ වැහි බිත්තර  පාවෙනවා

සමස්‌තයක්‌ හැටියට ලංකාවට වැසි ඇද හැලීම පිළිබඳව විවිධ ආකාරයට හඳුන්වනු ලබයි. ඒ අතර නිරිත දිග මෝසම් වැසි, ඊසාන දිග මෝසම් වැසි, අන්තර් මෝසම් වැසි ආදී නාමිකව වර්ෂාව හැඳින්වුවත් අපේ පැරණි ගැමියා තවත් ආකාරයකින් කාලය සහ වර්ෂාව නම් කරන ලදී.

ඒ අනුව යල් කන්න, මාස්‌ කන්න, කල අකල යල් වැහි, මාස්‌ වැහි, අකල් වැහි, යල් හුළං, මාස්‌ හුළං, යල් වී, මහ වී ආදී කොට කාලය, වර්ෂාව, සුළඟ, භව බෝග ආදිය හඳුන්වාදීමට තමන්ට හුරුපුරුදු පාරම්පරික භාෂාවක්‌ උපයෝගී කරගත්හ.

ඒ අනුව එදා කන්න පිළිබඳව දැනගන්නට කාලගුණ දෙපාර්තමේන්තුවේ උපදෙස්‌ ලබා ගැනීමටවත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස්‌ ලබා ගැනීමටවත් ගැමියාට, ගොවියාට අවශ්‍ය නොවූයේ ඔවුන් ලත් අත්දැකීම් සම්භාරය සහ පාරම්පරික දැනුම, පුරුද්ද ගැමියා සතුවීම නිසාය. එමනිසා කාලගුණ අනාවැකිය මාධ්‍ය තුළින් දැනුම් දුන්නත් එම අනාවැකිය ගමේදී බොරුවක්‌ විය. රජරට ප්‍රදේශයට අහවල් දවසේ තද වැසි ඇතිවීමට ඉඩ ඇති බව විවිධ මාධ්‍ය තුළින් දැනුම් දුන්නත් සමහර විට එදාට පුංචි වැහි පොදක්‌වත් නොවැටුණු අවස්‌ථා ගැන අපේ ගැමියෝ හොඳින් අත්දැකීම් ලබා ඇත.

එහෙත් ඒ අනාවැකිය ගැමියා, ගොවියා සොබාදහම නිරීක්‍ෂණය කර වර්ෂාව පිළිබඳව කන්නය පිළිබඳව එම වකවානුවල යොදා ගන්නා භවබෝග පිළිබඳව ගැමි ගොවියා සතු අත්දැකීම විශාරද පණ්‌ඩිතකමට වඩා වැඩිය. සොබාදහම පිළිබඳ නිරීක්‌ෂණය අනුව එම කාල වකවානුව තුළ ලැබෙන සෘතු විපර්යාසය පිළිබඳව මඳකට අවධානය යොමු කරමු.

මහ නිකින්ණිය උදාවෙන අගෝස්‌තු සැප්තැම්බර් මාස තුළ උකුස්‌සන්ගේ හඬලෑම, පරිසරයේ දැඩි නිහැඬියාව සහ වායුගෝලයේ මලානික භාවය පිළිබඳ විමසිලිමත් වන ගැමි ගොවියා ආකාශය දෙස එක එල්ලේ බලාන ඉන්නේ වැහි බීරමක සේයාවක්‌ නැගී ඇතිදැයි දැන ගැනීමටය.

මහ නිකින්ණිය වන අගෝස්‌තු මාසයේ ගස්‌වල හැදෙන මාදං ගෙඩි තුඩඟින් කඩා කෑමට කුරුළු කොබෙයියන් මාදං ගස්‌ අතර 
රැඳෙන ආකාරයද, වැටෙන මාදං ගෙඩි අහුලාගෙන කෑමට කුඩා ළමුන් වගේම වැඩහිටියන්ද මාදං ගස්‌ යට පොරකකා රැඳෙන ආකාරයද අප දැක ඇත. මාස්‌ කන්නයේ දී සාර්ථක ලෙස ආදායම් ලැබෙන ගොවිතැන් පිළිබඳ පෙර නිමිත්ත මාදං ගසේ ගෙඩි පලදාවෙන් හඳුනන ගොවියා යල් කන්නයේ තල ආදි භවබෝග වගා කිරීමට සුදුසු කාලගුණය හඳුනාගනු ලබන්නේ එරමිණියා වැල්වල අධිකව ඵලදාව දෙස බලමින්ය. මාදං ඵලදාව සරු නම් කුරක්‌කන් හොඳට පැහෙන වගත්, එරමිනියා වැලේ ගෙඩි ඵලදාව සරු නම් තල යහමින් පැහෙන වගත් අතීත ගැමි ගොවියාගේ මතකයේ රැඳී තිබිණ.

ඒ වගේම දිවුල්, සියඹලා වැනි විශාල ගස්‌ වගේම කෑලියා පඳුරු, ගිනිතිල්ලා වැල් වනාන්තරයේ වැවෙන තිත්ත තිබ්බටු වගේම ගෙවත්තේ ආර්ථික ලාභයක්‌ ලැබෙන මුරුංගා ගස්‌ ආදියේ අධික ඵලදාව ඇතිනම් ඒ මාස්‌ කන්නය පිළිබඳ යහපත් පෙරමං ලකුණකි. 

ඒ වගේම සංවාසයේ අවශ්‍යතාවයට ඉහළ අහසේ තටු නොසොල්වා පියාසර කරන උකුස්‌සන් රංචු පිටින් ඇතිනම් ඒ ද සාර්ථක වැසි සළකුණකි. 

මැයි මාසයේ දී ආරම්භ වන අධික සුළං ගතිය ඇසළ මසදී වේගවත් වී නිකිණි මස ගෙවා බිනර මසදී සුළඟ හීන වී පොළව සිප ගනිමින් කුඩා කුඩා සුළං සුළි හමා පොළවේ වැලි දූවිලි, වියළි රොඩු ඉහළට ඇදේ නම් එයද වැසි ලකුණකි. 

විශේෂයෙන්ම මෙම කාලසීමාව තුළ සුළඟේ වේගය ඇඟට නොදැනී පොළවටම පහත් වී අලු, දූවිලි, වියළි කොළ රොඩු කැරකී පොළවට සමාන්තරව ගමන් කළත් අවට පරිසරයේ සුළං ඉරියව්වක සේයාවක්‌වත්, ගස්‌ කොළන් සෙලවීමෙන්වත් දැකගත නොහැක. ඒ අතර වායුගෝලයේ අධික උණුසුමද විවිධ කුහුඹු වර්ග තටු සහිත පොළවෙන් මතුවී තමන්ගේ බිත්තර ආදි සම්‍යයක්‌ දේපළ ආරක්‌ෂක ස්‌ථාන කරාගෙන යන්නේ නම් ඒ වැස්‌ස ඉතාම ආසන්න වග දැනුම්දීමකි. එම වර්ෂාව ගංවතුර ප්‍රමාණයට වේගවත් වේ.

තවද සුළං මාරුවීමද ගොවියාගේ අවධානයට යොමුවේ. මැයි මාසයෙන් ආරම්භ වන සුළඟ නිකිණි මාසයෙන් අවසන් වී බිනර මසදී සුළඟේ වෙනසක්‌ දැක ගැනීමට ඇත. මේ කාලයේ දී ගස්‌ කොළන් දෙස බලන ගැමියන්, හුළං බිඳුවක්‌ වත් නෑ... යනුවෙන් කියයි.

ඒ තරමටම සුළඟ හීන වී යයි. නැවත බිනර මස (සැප්තැම්බර්) 20 වැනි දින ආසන්නව ඇති පොහොය මුල් කරගෙන දවසක්‌ හැර දවසක්‌ විදුලි කොටා අකුණු පුපුරා තද වැසි තුනක්‌ වසී. මෙම වැසි මුර වැසි (පේරු වැසි) හැටියට හඳුන්වයි. මේ වර්ෂාවත් සමග මෙතෙක්‌ නිරිත සිට ඊසාන බලා හමන ලද සුළඟ ඊසාන සිට නිරිත බලා හමායැම ස්‌වාභා විකය. එවිට ගැමියන් විසින් "සුළං මාරු කළා. දැන් එන්නේ මාස්‌ හුළං" යනුවෙන් සඳහන් කරයි. රාත්‍රී කාලයේ දී අහස දෙස බැලීමේදී ද වර්ෂාව පිළිබඳ තවත් හෝඩුවාවක්‌ ලබා ගැනීමට හැකියාව ඇත. විශේෂයෙන්ම බිනර මසදී ආකාසයේ කුඩා කුඩා වැහි වළාකුළුවලින් වැසී ඇති අකාරය දැක ගැනීමට ඇත. අහස පුරාවට විහිදී යන මෙම වැහි වළාකුළු මාළුවකුගේ කොරපොතු මෙන් දිස්‌වෙමින් සවස්‌ වන විට රත් පැහැයට බස්‌නාහිර අහසේ දක්‌නට ලැබේ. ටික දිනකදී එම කොරපොතු වැනි වළාකුළු කැටි යට කරමින් ඉතා වේගයෙන් ඊසාන දෙස බලා ගමන් කරන කළු පැහැති වළාකුළු අහසේ චමත්කාරයක්‌ ගනී. 

අලුත් මනමාලිය තමන්ගේ අලුත් ස්‌වාමිපුරුෂයා සමග සුළු නෝක්‌කාඩුවක්‌ කරගෙන මොහොතක්‌ වෙලා දුකින් බලාගෙන සිටින විට හරියට අර කලු වළාකුලුවලට බිනර හඳ යටවුණා හා සමානයි. අලුත් අඹුසැමි යුවළකගේ සුළු ගැටලු නිසා නිතර සුළු ආරවුල් ඇති වෙනවා වගේම ක්‌ෂණයෙන් ක්‌ෂණය බිනර හඳ කලුවට යටවෙමින් පෑදෙමින් අඳුර වගේම ආලෝකය ලබාදීම බිනර හඳේ ස්‌වාභාවයයි.

මෙසේ විටෙන් විට සඳ අඳුරු කරමින් ආලෝකමත් කරමින් නැගෙනහිරට හමාගෙන යන වළාකුලු දෙස බලා කුඩා දරුවන් වැහි බිත්තර යෑයි කියති. තවද වැහි බිත්තර පාවෙනවා යනුවෙන් හඳුන්වනු ලබයි.

බිනර මස අගදී ඊසාන සහ නැගෙනහිරට ගමන් කරන වැහි වළාකුලු එකතු වී අහස ගැබ්බරව දවසේ සවස හතර පමණ වන විට බස්‌නාහිර අහස තදට රත්පැහැ ගැන්වී මොහොතකදී අහසේ ඊසාන දෙස ඉදුණු මාදං ගෙඩියක පැහැයට තදින් කලු පැහැ ගැන්වේ. එවිට ගැමියන් හඳුන්වන්නේ "ඔන්න මෙදා තැල්කොල මුල්ලෙන් දංගෙඩිය වගේ කලුවෙලා... මෙදා නං ගංවතුර ගලලා මිසක්‌ නවතින්නේ නෑ..." ඒ ගැමියන්ගේ කතාවකි. මේ පෙරනිමිත්ත සාර්ථක මාස්‌ කන්නයක ආරම්භයයි. 

සැප්තැම්බර් මස 20 වැනි දින ආසන්නයේ ආරම්භ වන වැසි දින තුනක්‌ දවසක්‌ හැර දවසක්‌ පේරු ක්‍රමයට ඇදහැලිය යුතුය. එසේ නොමැති වුවහොත් එම මාස්‌ කන්නයේ පමණක්‌ නොව ඊළඟ යල් කන්නයේද ගොවිතැන් අසාර්ථක වේ. 

කරුණු මෙසේ තිබියදී මෙවර 2013 - 2014 මහ කන්නයේ වැසි ඵල පිළිබඳ මදක්‌ විමසිලිමත් විය යුතුය. 

මෙවරද පෙර සඳහන් මාදං ගස්‌වල ඉතා සරුවට පලදාව සිදුවිය. අගෝස්‌තු මාසය වන විට ගිනිතිල්ලා වැල්වල වගේම කෑලියා පඳුරුවල අධික ඵලදාවක්‌ දක්‌නට ලැබිණි. එහෙත් මුරුංගා ගස්‌වල ඵලදාවේ ඉතා හීන භාවයක්‌ පෙන්නුම් කරයි. දිවුල්, සියඹලා ආදියේ අඩු ඵලදාවක්‌ වගේම ගෙඩි සහ කරල කේඩෑරි විය. ඒ නිසා මෙවර මාස්‌ කන්නය පිළිබඳ සැක සහිත තත්ත්වයක්‌ උදාවී ඇත. 

තවද වෙසක්‌ මාසයේ දැඩිව හමන ලද සුළඟ වෙනසක්‌ නැතිව නිකින්ණිය දක්‌වාම සුපුරුදු අයුරින් පැවතිණි. දින කීපයක්‌ අඩු වේගයක්‌ දැක්‌වූ සුළං ස්‌වභාවය නැවත වතාවක්‌ වැඩිවිය. උකුස්‌සන්ගේ රංචු ගැසීමක්‌ නොවීය. 

මේ අතර ආකාශයේ බිනර කලු හමා නොගියේය. වප් මාසයේ (සැප්තැම්බර්) අවසාන වන විට සුළං මාරුවක්‌ නොවීය. මේ ලිපිය ලියන විටත් හමා යන්නේ නිරිත දිග සුළං ය. (යල් හුළං ය) ඒ වගේම සුදුසු පරිදි අහස කලුකර විදුලි කොටා වැසි පෙරනිමිති දැක්‌වීමක්‌ නොවීය. ආකාශයේ වැහි පිළිබඳ කිසිම සටහනක්‌ නොවීය. මේ වන විට මාස්‌ වැසි ආරම්භ වී තිබිය යුතුය. 

ඒ වගේම වනාන්තරයේ සමහර ගස්‌වැල් වල අතු අග දලු මැරීයැමක්‌ දක්‌නට ලැබිණි. ගස්‌වල මල් අව්වට පිළිස්‌සුණ ස්‌වාභාවයක්‌ ගැනීය. එහෙත් මිනිසා සහ සත්ත්වයා මහත් අපහසුතාවකට පත්කරන මහත් උණුසුම් භාවයක්‌ වායුගෝලයේ නොතිබිණි. අව් රශ්මිය ඇඟට නොදැණුනාට ශාකයන්ගේ මල් දළු පිළිස්‌සී යැමෙන් සහ විවිධ ගස්‌වල ළපටි ගෙඩි මැලවී වැටී යැමෙන් ස්‌වභාවධර්මයා අමුතු පණිවිඩයක්‌ ලෝකයාට කියාපායි. 

එනම් ඉහළ වායුගෝලයේ භයානක ලෙස පොළවට නුසුදුසු වායුවක්‌ හෝ කිරණයන්ගේ විෂක්‌ අන්තර්ගත වී ඇත. ඒ වගේම සූර්යාගෙන් ලැබෙන ආලෝකය සහ කිරණවල යම් අහිතකර බලපෑමක්‌ ඇති නිසා ගස්‌වැල්වල කොළ දළු පිළිස්‌සී යැම සිදුවන වග පැහැදිලිය. ගහට කොළට සූර්ය කිරණ තුළින් එසේ අහිතකර බලපෑමක්‌ සිදු වන්නේ නම් එම හානිය සත්ත්වයාට (විශේෂයෙන් මිනිසාට) බලපාන වග අමුතුවෙන් සිහිපත් කළ යුතු නැත. 

ඒ වගේම 2013 මාස්‌ කන්නයේ ආරම්භ වීමත් සමගම නිසි ලෙස වර්ෂාව ආරම්භ වීමක්‌ නොවීය. එයින් සුදුසු කල ගොවිතැන්, වගාවන් ආරම්භ නොවීමත් නුසුදුසු කල ඇදහැලෙන අකල් (නුසුදුසු වැසි) වලට ගොවිතැන් කිරීමට සිදුවීමත් නිසා විශාල වගා පාළුවක්‌, විශාල ආර්ථීක අහේනියක්‌ ඇති කරමින් ආහාර හිඟයක්‌ අනාගතයේ ඇතිවන ලකුණු පෙනේ. ඒ වගේම දැනට පෙනෙන ස්‌වාභාවික ලක්‌ෂණයන් තුළින් නුදුරු අනාගතයේ දී (තව අවුරුදු දෙකක්‌ තුනක්‌ වැනි වකවානුවකදී) දැඩි නියඟයකට පෙර සූදානමක්‌ පෙන්නුම් කරන වග සොබාදහමේ ලක්‍ෂණයන්ගෙන් නිගමනය කළ හැක.

සියඹලංගමුවේ ජිනරතන හිමි | සාකච්ඡා කළේ, එප්පාවල - රත්න බී. ඒකනායක
http://www.divaina.com/2013/12/10/feature05.html

0 comments: