Pages

Monday, December 16, 2013

අවංකව තමන්ගෙ උන් ගැන කැක්කුමක් තියෙනවනම් 'දෙජාස' ට කරන්න මෙන්න වැඩ! උතුරේ අසරණ ජීවිත කෙළි මඬලක්‌ කරගත් අමනුස්‌සයෝ

මහ පොළොව මත සිටින අසරණම මිනිසුන් කොට්‌ඨාසය ඔවුන් විය හැකිය. පුරා තිස්‌වසරක්‌ම යුද්ධයටද තවත් වසර දෙකක්‌ අනාථ කඳවුරකටද කොටු වී සිටි මොවුන් තවත් වසර කීයක්‌ තාවකාලික කූඩාරම්වල ජීවත් විය යුතු වන්නේදැයි කිසිවෙකු නොදනිති. මේ මිනිස්‌ සමූහය කිළිනොච්චියේ හා මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ පදිංචිකරුවෝ වෙති.

යුද්ධයේදී කෙසේ හෝ පණකෙන්ද රැකගත් මේ මිනිසුන්ට දැන් අමුතු මාදිලියේ ගැහැට තුනකට මුහුණ පාන්නට සිදුව තිබේ. "මරණ තුනක්‌ ඇති මිනිහෙක්‌ පැණි කෑය" යන පැරැණි කියමන මෙන් විවෘත ආර්ථිකයෙන් මේ ජන සමාජයට පාත්වූ අරගල කීපයකට මේ වැසියන්ට මැදිවීමට සිදුව තිබේ.

මින් පළමුවැන්න වී ඇත්තේ මුලතිව් හා කිලිනොච්චිය පළාත්වල කාන්තාවන් වන්ද්‍යාකරණයට ලක්‌ කිරීමයි. රාජ්‍ය හ රාජ්‍ය නොවන ආයතන විසින් මේ පළාත්වල කාන්තාවන් වන්ද්‍යාකරණයට ලක්‌කිරීම ආරම්භ කොට තිබේ. මේ ව්‍යාපාරයට එරෙහිව දැන් උතුරේ කාන්තා සංවිධාන කීපයක්‌ම නැගී සිට තිබේ. එහෙත් ඔවුන් සංවිධානය වනවිට බොහෝ කාන්තාවෝ වන්ද්‍යාකරණයට ලක්‌වී හමාරය.

කිළිනොච්චියේ පාසල් ගුරුවරියක වන එස්‌. මලර්මනී දරුවන් දෙදෙනෙකුගේ මවකි. ඇය තමන්ට මුහුණදීමට සිදුවූ තත්ත්වය මේ අන්දමින් විස්‌තර කළේ හයක්‌ හතරක්‌ නොතේරෙන දැරියක්‌ විලසිනි.

මම උපාධිධාරි ගුරුවරියක්‌. දවසක්‌ කාන්තාවන් හතර දෙනෙක්‌ අපේ ගෙදරට ආවා. ඇවිත් කිව්වේ ගමේ ඉස්‌කෝලෙ රැස්‌වීමක්‌ තියෙනවා ඒකට එන්න කියලයි. අපි ගොඩක්‌ දෙනෙක්‌ ඒකට ගියා. කොළඹින් ආව කීප දෙනෙක්‌ම අපිට දේශන තිබ්බා. තවත් දවසක්‌ නියම කරලා එදාට පොඩි ළමයි ඉන්න අය ළමයිනුත් අරගෙන එන්න කිව්වා. ළමයින්ගේ බර කිරුවා. බර අඩු අයට ත්‍රිපෝෂ දුන්නා. තවත් පෝෂණ මලු බෙදා දුන්නා. අම්මලාටත් විවිධ දේවල් දුන්නා. මෙතෙනදී අම්මලා ගොඩාක්‌ දෙනෙක්‌ තෝරා ගත්තා. ඒ අය කිව්වේ පෝෂණ පවුල් විදිහට අපව තෝර ගත්තා කියලා. ඊළඟ ඉරිදා තවත් රැස්‌වීමකට එන්න කිව්වා. එදා අපිට කිව්වා ඔයාලගෙ පවුල් සංවිධාන කටයුතු දුර්වලයි ඒක නිසා අපි මේ කියන දේවල්වලින් එකක්‌ තෝරගන්න කියලා. අපි විරුද්ධ වුණා. ඒ අය එක එක දේවල් කියලා අපිව නැඹුරු කරගත්තා. අපේ බොහොම දෙනෙක්‌ කැමති වුණේ අපිට ආධාර ලැබෙන එක නතර වෙයි කියන බයට. කොහොම හරි අවසානෙදී කැමති වුණ අය වාහනවල දාගෙන රෝහලට අරන් ගියා. එහෙදී සමහර අයව ඔපරේෂන් කළා. තවත් සමහර අයට ඉන්ජෙක්‌ෂන් දුන්නා. තවත් කීප දෙනෙකුට අත පලලා බෙහෙත් කරල් දැම්මා. මේ විදිහට එක එක දේවල් කරලා අපිට කාඩ් එකක්‌ දුන්නා. දැන් ඒ කාඩ් එක ගිහින් දුන්නම අපිට කෑම බීම ඇතුළු විවිධ දේවල් දෙනවා. දැන් මේක හැමතැනකම වගේ සිද්ධ වෙනවා. සමහර කාන්තාවන්ට එයාගෙ ස්‌වාමි පුරුෂයා හොඳටම ගැහුවා. පවුල් ප්‍රශ්නත් ඇතිවුණා.

මෙම ව්‍යාපෘතිය භාරව කටයුතු කරන කාන්තාවක්‌ සමගද කතා කිරීමට අපට අවස්‌ථාව ලැබුණි. ඇය රක්‍ෂණ සමාගමක නියෝජිතවරියක්‌ මෙන් කතා කරන්නීය. ඇය කියන්නේම මෙම වැඩපිළිවෙලේ ප්‍රතිලාභ පමණි. හරියට රක්‍ෂණ සමාගම් නියෝජිතයෙකු තට්‌ටු හතක ගොඩනැගිල්ලකින් පුද්ගලයෙකු ඇද වැටෙන විට තුන්වෙනි තට්‌ටුවේදී මරණ වන්දි චෙක්‌ පත රක්‍ෂණ ලාභියාට ගෙවීමට තරම් තම රක්‍ෂණ සමාගම වේගවත් බව කියවා පෑවා බඳුය.

මේ මිනිසුන්ගෙ අර්ථිකය යුද්දෙත් එක්‌ක කඩාගෙන වැටිලා. ඔවුන්ට ජීවත් වෙන්න ක්‍රමයක්‌ නෑ. එදාවේල හොයා ගන්නෙත් බොහොම අමාරුවෙන්. මේ වගේ පරිසරයකදී ඔවුන් තවත් ළමයින් හැදුවම ඒක ඔවුන්ගේ පවුල්වලට බරක්‌ මේ තත්ත්වයෙන් ඔවුන්ව මුදවගන්න තමයි මේ වැඩපිළිවෙල දියත් කරලා තියෙන්නෙ. දීර්ඝකාලීනව හිතල බලන කොට මේක මේ පවුල්වලට යහපතක්‌. ඔවුන්ට විවිධ ප්‍රතිලාභ ලැබෙන හින්දා ගොඩාක්‌ දෙනෙක්‌ මේකට කැමතියි.

"වැලේ ගෙඩි වැලට බරක්‌ නැත" කීවා සේ වැලේ සැදිය යුතු ගෙඩි ගණන තීරණය කරනු ලබන්නේ ස්‌වභාව ධර්මය හා වැල විසින්ය. මිනිස්‌ සමාජයටද මෙය පොදු වූ ලක්‍ෂණයකි. පවුලක සාමාජිකයින් ගණන තීරණය කරණු ලබන්නේ එම පවුල විසිනි. පවුලේ ආර්ථික හා සමාජීය වටපිටාව මත ඔවුන් එය තීරණය කරණු ලබයි. නමුත් දැන් කිළිනොච්චිය හා මුලතිව් දිස්‌ත්‍රික්‌කවල වැසියන්ට සිදුව ඇත්තේ වෙනත් පිරිසක්‌ විසින් ගනු ලබන තීරණවලට එකඟ වීමටය. 

ශ්‍රී ලංකාවේ විවෘත ආර්ථික රටාවත් සමගම මේ පළාත්වලට ඊළඟට කඩාවැදී සිටින්නේ මූල්‍ය සමාගම්ය. බූවල්ලන් මෙන් මිනිසුන්ව වෙලාගෙන සිටින මේ මූල්‍ය ආයතනවල නියෝජිතයෝ මුලතිව් හා කිලිනොච්චි ප්‍රදේශවල ගෙයක්‌ ගෙයක්‌ පාසා ඇවිදිති. දන්නා භාෂාවෙන්ම කියතොත් විවිධ මූල්‍ය පැකේජයන් මූල්‍ය සමාගම් නියෝජිතයින් විසින් මේ වැසියන්ට හඳුන්වා දෙන්නට පටන්ගෙන තිබේ. එම මූල්‍ය පැකේජයන් හරියටම විෂ යෙදූ ඇපල් ගෙඩියක්‌ බඳුය. කියන විටත් දකින විටත් එම මුදල් පැකේජයන් මේ වැසියන්ට අලංකාර ඇපල් ගෙඩිය මුදල් පැකේජ ලබාගත් පසු ඒවාට පොළී ගෙවන්නට සිදුවන්නේ දිනපතාය. 

යුද්ධයේදී සියල්ල අහිමි වී සිටින මේ වැසියන්ට තම ජීවන තත්ත්වය ඉහළ නංවා ගැනීම පිණිස කවරෙකුගේ හෝ උදව් උපකාර අවශ්‍ය වේ. මේ නිසා තම නිවසට පැමිණෙන ආගන්තුක මූල්‍ය සමාගම් නියෝජිතවරු ගම්වාසීන් විසින් දකින්නේ මිහිබට සැරිසරණ දෙවියන් පිරිසක්‌ පරිද්දෙනි. එහෙත් එම දෙවිවරු පසුපස පැමිණෙන්නේ මාරයන් පිරිසක්‌ බව මේ ගම්වැසියන්ට නොතේරේ. මූල්‍ය සමාගම් නියෝජිතයෝ මෙන්ම මේ ගම්මානවලට පැමිණෙන අනිත් පිරිස ගෙවීමේ ක්‍රමයට විවිධ භාණ්‌ඩ ඉතා සුළු මුදලකට ලබාදෙන පිරිසයි.

වාහන පොඩ්ඩක විවිධ මාදිලියේ හා විවිධ අන්දමේ භාණ්‌ඩ රැගෙන එන මේ පිරිසද මූල්‍ය සමාගම් නියෝජිතයෝ වෙති. ලෝකයේම භාණ්‌ඩ මිල අඩුම තැනැත්තෝ මොවුන් වෙති. එහෙත් වෙළෙඳපොලේදී රුපියල් 900 කට මිලදී ගත හැකි ප්ලාස්‌ටික්‌ පුටුවක්‌ මේ අයගෙන් ටික ටික ගෙවීමට ලබාගත් විට එය රුපියල් 1600 ක්‌ වේ.

කිළිනොච්චියේ එස්‌. මුරුගේසු තමන්ට සිදුවූ ඇබැද්දිය මෙසේ විස්‌තර කළේය.

"දවසක්‌ වතුර මෝටර විකුණන්න කට්‌ටියක්‌ ආවා. මෝටරයක්‌ එකවර සල්ලි දීලා ගන්නවනම් රුපියල් 15,500 ක්‌ දෙන්න කිව්වා. ටික ටික දෙනවනම් මාසෙකට කීය කීය හරි දෙන්න කිව්වා. මමත් කල්පනා කළා එළවළු ටිකක්‌ හිටව ගන්න මේ වතුර මෝටරයක්‌ ගත්ත නම් හොඳයි කියලා. ගෙදර හිටිය ඔක්‌කොම අයගෙ අතේ තිබුණේ රුපියල් තුන්දාස්‌ පන්සීයයි. ඒක දීලා මෝටරේ ගත්තා. ඊළඟ මාසෙදී තියන ගාණක්‌ දෙන්න කියලා මොනවාදො ෙෆෝම් ගොඩකට අත්සන් ගත්තා. ඊළඟ මාසෙ ආවා. රුපියල් දෙදහක්‌ දුන්නා. මම මෑකරල්, බටු, බණ්‌ඩක්‌කා හිටෙව්වා. දෙයියනේ කියලා ඒවා හොඳට හැදුණා. දෙවැනි මාසෙ මට දෙන්න සල්ලි තිබුණෙ නෑ. මම කිව්වා එළවළු ලබන මාසෙදී විකුණන්න පුළුවන් එතකොට මේ මාසෙ සල්ලිත් එක්‌ක ටිකක්‌ වැඩිපුර දෙන්නම් කියලා. ඒ අයට මගෙ එලවලු කොටුවත් පෙන්නුවා. එක්‌ කෙනෙක්‌ ඒකට කැමති වෙලා ගියා. ඒ දවස්‌ දෙකකට පස්‌සේ ඇවිත් සල්ලි ඉල්ලලා කරදර කෙරුවා. මම කිව්වා කැමති දෙයක්‌ කරන්න කියලා සල්ලි නැත්නම් මෝටරේ අරන් යනවා කියල මෝටරේ කපලා අරන් ගියා. මට ගෙවපු සල්ලි පන්දාස්‌ පන්සීයත් නෑ. එළවළු කොටුවට වතුර ගහන්න මෝටරේකුත් නෑ. අවසානෙදී එළවළු කොටුවත් වතුර නැතිව මැරිලා ගියා. අතේ තිබුණු සල්ලිත් නෑ.

මූල්‍ය සමාගම් නියෝජිතයෝ මාසික වාරිකය ගෙවීම මාසෙකින් කල්දැමීම පිණිස කිලිනොච්චියේ හා මුලතිව් පළාත්වල කාන්තාවන් ගෙන් ලිංගික අල්ලස්‌ ලබාගත් අවස්‌ථා කීපයක්‌ ගැනද තොරතුරු අසන්නට ලැබුණි. ඒ ලබාගත් මුදල කපාහරින්නට නොව, මේ මාසයේ වාරිකය ලබන මාසයේ වාරිකය සමග ගෙවීමට කල් ලබා ගැනීම පිණිසය.

යුද්ධයට හසුවී උන්හිටි තැන් අහිමිව සිටින මේ වැසියෝ සාම කාලයේදී බිලීබා ගැනීමට යත්න දරණ හිත්පිත් නොමැති මෘගයින්ගෙන් මේ පිරිස ආරක්‍ෂා කර ගැනීමට කිසිවකුත් නොමැත. පිදුරු ගහේ හෝ එල්ලී ජීවිතය සුත මුදිත කර ගැනීමට උත්සාහ දරණ මේ පිරිස කාට හෝ රැවටෙති. ඇතැම් විට මේ ලිපිය කියවන ඔබ එක්‌ ආකාරයකට තර්ක කරමින් මේ සියලු දේ සිදුවන්නේ බලෙන් නොව ඔවුන්ගේ කැමැත්ත නිසා නොවේදැයි තර්ක කළ හැකිය. 

මහා යුද්ධ කාලයේදීද මේ වැසියෝ එක්‌ එකි පාර්ශ්වවලට හසුවී සිටි අන්දම අපි දුටුවේ මන්නාරම මඩු අනාථ කඳවුරේදීය. කිළිනොච්චියේ හා මුලතිව්වල වැසියෝ දෙමළ හින්දු වැසියන් වුවත් ඔවුන්ගේ නම් විමසන විට ඔවුන්ගේ නම් පිගරාඩෝ, ඡේමිස්‌, මාටින් ඇන්ඩෘ බවට පත්වී තිබුණි. ඊට හේතු වූ කරුණු කාරණා විමසා බලන විට මහා යුද්ධය මැදද ඔවුන්ව කිසියම් පිරිසක්‌ විසින් ක්‍රිස්‌තියානිකරණයට ලක්‌කොට තිබුණි. යුද්ධයේදී ආධාර උපකාර කිතුණුවන්ට වැඩිපුර ලබාදෙන බව ප්‍රකාශ කොට තිබූ එක්‌ සංවිධානයක්‌ දෙමළ හින්දු වැසියෝ ක්‍රිස්‌තියානිකරණයට ලක්‌කොට ඔවුන්ට බෞතීස්‌ම නාමයන්ද ලබාදී තිබුණි. වෙනත් අයට පරිප්පු හුණ්‌ඩුවක්‌ ලැබෙන විට කිතුණුවන්ට හුණ්‌ඩු දෙකක්‌ ලැබුණු නිසා පරිප්පු හුණ්‌ඩුවේ වාසියට ඔවුන් ඔවුන්ගේ ආත්මයම පාවාදී තිබුණේ එම වකවානුවේදී ඔවුන්ට කිරීමට වෙනත් දෙයක්‌ නොතිබුණු නිසාය.

වන්නියේ වැසියෝ බලහත්කාර වන්ද්‍යාකරණයටත් මූල්‍ය සමාගම්වල සටකපට පැකේජවලටත් හසුවී තිබේ නම් මේ රටේ වැසියන්ට ඔවුන්ට සුත මුදිත කරවීමට අවංක හා පැහැදිලි උවමනාවක්‌ තිබේද යන ප්‍රශ්නයට කදිම ලෙස පිළිතුරු ලැබී තිබේ. නමුත් අපගේ ප්‍රශ්නය වන්නේ මේ මිනිසුන්ට මෙවැනි විපත් සිදුවන තුරු අපි සියලු දෙනාම නිහඬව සිටිය යුතුද යන ප්‍රශ්නයයි.

දිනසේන රතුගමගේ
http://www.divaina.com/2013/12/15/feature08.html

0 comments: