Pages

Friday, December 27, 2013

නිර්භීත වේගවත් ගමන් මගක ස්‌වර්ණමය මතකය - 57 වසරක සිංහ රෙජිමේන්තු අභිමානය


ශ්‍රී ලංකා යුද හමුදාවේ පාබල (lnfantry) රෙජිමේන්තු අතරින් අද්විතීය ස්‌ථානයක්‌ හිමි කර ගෙන සිටින සිංහ රෙජිමේන්තුවේ රණවිරුවන් තිස්‌ වසරක යුද සමයේ ඉටුකළ මෙහෙවර අති මහත්ය.

වසර 57 ක අභිමානවත් ප්‍රෙෘඪ ඉතිහාසයකින් හෙබි සිංහ රෙජිමේන්තුව මෙරට ප්‍රථම සහ එකම රයිපල් බළකාය ලෙස ආරම්භ වී අද වන විට නිත්‍ය හා ස්‌වෙච්ඡා බළඇණි 24 කින් සමන්විත ප්‍රබල රෙජිමේන්තුවක්‌ බවට පත්වී ඇත.

කොටි ත්‍රස්‌තවාදීන්ට එරෙහිව අභීතව සටන් කළ වීරෝදාර සිංහ රණවිරුවන් දශක තුනක ඊළාම් යුද්ධයේදී පෑ වික්‍රමාන්විත මෙහෙවර අතිවිශිෂ්ටය. අති උදාරය. සිංහල රණවිරුවන්ගේ එම මෙහෙවර සහ කැපවීම යුද ඉතිහාසයේ නොමැකෙන ලෙස ලියෑවී ඇත.


<--- දෙපා අහිමි රණවිරුවකුට සිංහ රෙජිමේන්තු අධිපති විසින් රණශූර පදක්‌කම පිරිනැමූ අවස්‌ථාව . (ඡායා -සුජාතා ජයරත්න)

"නිර්භීත වේගවත්" යන ආදර්ශ පාඨය පෙරදැරි කර ගනිමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ මහා බලවේග අතරින් ප්‍රධාන බලවේගයක්‌ ලෙස වසර 57 ක අභිමානවත් ඉතිහාසයකින් හෙබි සිංහ රෙජිමේන්තුව මවුබිම රැක ගැනීම වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් රැසක්‌ ඇතුළු සෙබළ රණවිරුවන් 3862 දෙනකුගේ උත්තම ජීවිත පූජා ප්‍රාණ දානයෙන් දායක වූ ඓතිහාසික රෙජිමේන්තුවකි. යුද්ධය ආරම්භයේ සිට වන්නි මානුෂීය මෙහෙයුමේ අවසන් යුද විජයග්‍රහණය දක්‌වා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් 143 දෙනකු සහ සෙසු නිළයන් 3719 දෙනකු මවුබිම වෙනුවෙන් සිය උතුම් ජීවිත පුද කර ඇත. සිංහ රණවිරුවන් 3862 දෙනකු එසේ ප්‍රාණ දානය දී දිවි පුදා සිටියදී තවත් සිංහ විරුවන් 3935 දෙනකු සිය ශරීරාංග පුද කර ආබාධිතයන් බවට පත්ව සිටින බවද අමතක කළ නොහැක.

ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ රණවිරුවකුට හිමිකර ගත හැකි උසස්‌ම වීර වික්‍රමාන්විත සම්මානය වන "පරම වීර විභූෂණ" පදක්‌කමින් පිදුම් ලත් ප්‍රථම නිලධාරියාත් ප්‍රථම සෙබළාත් බිහිවූයේ සිංහ රෙජිමේන්තුවෙනි.

කොකාවිල් සන්නිවේදන සම්ප්‍රේෂණ කුලුන ආරක්‍ෂා කර ගැනීමට සටන් කළ සිය රණවිරු සගයන් සමග අවසානය දක්‌වාම එඩිතරව සටන් වැද කඳවුර තුළම දිවි පිදූ කපිතාන් සාලිය අලදෙණිය සහ අලිමංකඩ කඳවුර රැක ගැනීම සඳහා දිවි පුද කළ කෝප්‍රල් ගාමිණී කුලරත්න (හසලක වීරයා) එම අභීත රණවිරුවෝ වෙති. ජීවත්ව සිටියදී සෙබළකුට ලබාගත හැකි උසස්‌ම සම්මානය වන වීරෝදාර විභූෂණ" වීර ක්‍රියා පදක්‌කම ප්‍රථම වරට හිමිකර ගැනීමේ ගෞරවයද හිමි වූයේ සිංහ රෙජිමේන්තුවටය. එවක රයිපල් සෙබළ නිලයේ සිටි වත්මන් කපිතාන් පී. එල්. එස්‌. එල්. කුරේ එම වීරක්‍රියා පදක්‌කමින් ප්‍රථම වරට පිදුම් ලැබූ සිංහ රණවිරුවාය.

ඊළාම් යුද්ධය ආරම්භයේ පටන් අලිමංකඩ, සිලාවතුර, යාපනය කොටුව යන කඳවුරු සතුරු ආක්‍රමණයට ලක්‌ නොවී රැක ගැනීම ඇතුළු උතුරු නැගෙනහිර පුරා පැවැති යුද ක්‍රියාන්විතවලදී සිංහ රෙජිමේන්තු රණවිරුවන් දැක්‌වූ වීර වික්‍රමාන්විතයන් වෙනුවෙන් විශාල රණවිරුවන් පිරිසක්‌ වීර ක්‍රිsයා පදක්‌කම්වලින් පිදුම් ලැබූ අතර පසුගිය නැගෙනහිර හා වන්නි මානුෂික මෙහෙයුම්වලදී දැක්‌වූ දක්‍ෂතා වෙනුවෙන් සිංහ රණවිරුවන් 1769 දෙනකු වෙත "රණශූර" පදක්‌කම් පිරිනැමීම පසුගියදා සිදු විය.

නැගෙනහිර හා වන්නි මානුෂීය මෙහෙයුමට සහ ඉන් පෙර පැවැති සටන්වලදී සංග්‍රාම භූමියේදී සතුරු බල බිඳලීමට සිය දිවි පරදුවට තබා ස්‌වෙච්ඡාවෙන්ම ඉදිරිපත්ව වීර විකුම් පෑ සිංහ රෙජිමේන්තු නිලධාරීන් 177 දෙනකු සහ සෙබළුන් 1592 දෙනකු මෙහිදී "රණශූර" පදක්‌කමින් පිදුම් ලැබූහ. එම පිරිස අතරට මවුබිම වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් 275 දෙනකු අයත් වූ අතර ඔවුන්ට හිමි පදක්‌කම් එම රණවිරුවන්ගේ දෙමවුපියන්, බිරින්දැවරුන්, දූ දරුවන් ඇතුළු සමීප ඥතීහු ලබා ගත්හ.

සිංහ රෙජිමේන්තුවේ වත්මන් අධිපති (Colonel of the Regiment) වශයෙන් කටයුතු කරන මේජර් ජෙනරාල් බොනිෆස්‌ පෙරේරාගේ නායකත්වය එම රෙජිමේන්තුවට විශාල ශක්‌තියක්‌ බව ඔහු එම රෙජිමේන්තුවේ අධිපති ධුරය භාරගත් පසු මේ දක්‌වා සිංහ රෙජිමේන්තුව ලබා තිබෙන වර්ධනය හා ප්‍රගතිය දෙස බැලීමේදී තහවුරු වනු ඇත.

සිංහ රෙජිමේන්තු ඉතිහාසය දෙස බැලීමේදී ඉන් බිහි වූ දක්‍ෂ නිලධාරීන් රැසක්‌ පිළිබඳව සිහිපත් කළ යුතු අතර ඒ අතරින් කැපී පෙනෙන චරිතයක්‌ ලෙස ජෙනරාල් සරත් ෆොන්සේකා හැඳින්විය හැක.

සිංහ රෙජිමේන්තුවෙන් බිහි වූ ප්‍රථම සහ එකම යුද හමුදාපතිවරයා වීමේ භාග්‍යය හිමි කරගත් ජෙනරාල් ෆොන්සේකා තිස්‌ වසරක යුද ශාපය නැතිකිරීම සඳහා යුද නායකත්වය දෙමින් සිය හමුදාපති ධුර කාලය තුළ යුද්ධය විජයග්‍රහණයෙන් අවසන් කිරීමට සිංහ රෙජිමේන්තුව පමණක්‌ නොව සමස්‌ත ශ්‍රී ලංකා යුද හමුදාවම මෙහෙයවීය. එවන් යුද හමුදාපතිවරයකු බිහි කිරීමේ ගෞරවයද සිංහ රෙජිමේන්තුවට හිමි වී ඇත.

සිංහ රෙජිමේන්තුවෙන් බිහි වූ තවත් සෙන්පතියකු වන මේජර් ජෙනරාල් සනත් කරුණාරත්න පිළිබඳවද මෙහිලා සඳහන් කරනුයේ ඔහු විසින් යුද ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණ කීපයකටම නායකත්වය දුන් නිලධාරියකු නිසාවෙනි.

එවකට මේජර්වරයකු ලෙස සිංහ රෙජිමේන්තුවේ 04 වැනි බළඇණියේ අණදෙන නිලධාරියා වශයෙන් අලිමංකඩ කඳවුර කොටි ආක්‍රමණයට ලක්‌ නොවී රැක ගැනීම උදෙසා ඔහු විසින් ලබාදුන් එඩිතර නායකත්වය ඉන් ප්‍රධාන තැනක්‌ ගනී. එමෙන්ම 2006 වසරේදී කොටි ත්‍රස්‌තවාදීන් යාපනය ආක්‍රමණය කිරීමට වෙර දැරූ දැවැන්ත ආක්‍රමණශීලී ප්‍රහාරය මැඬ පැවැත්වීමට එවක 55 වැනි සේනාංකාධිපතිවරයා ලෙස මේජර් ජෙනරාල් කරුණාරත්න දුන් නායකත්වය කදිමය.

සිංහ රෙජිමේන්තුවේ වත්මන් අධිපති මේජර් ජෙනරාල් බොනිෆස්‌ පෙරේරා දෙවැනි ලුතිනන්වරයකුව සිටියදීම සටන් බිමට පිවිස සටන් වදිමින් සටන් මෙහෙයවමින් ලැබූ අත්දැකීම් ඔස්‌සේ අද වන විට සිය සිංහ රණවිරුවන්ගේ කැපවීම, දක්‍ෂතා හොඳින් හඳුනාගෙන ඔවුන්ගේ මෙහෙවර අගයමින් සුබසාධනය උපරිමව ඉටුකිරීමට කැපවීමෙන් යුතුව නායකත්වය ලබා දෙමින් සිටින බව පෙනී යයි.

වන්නි ආරක්‍ෂක සේනා ආඥපති (Security Force Commander Wanni) ධුරය මේජර් ජෙනරාල් බොනිෆස්‌ පෙරේරා යුද හමුදාවේ උසුලන ප්‍රධාන තනතුර වන අතර ඊට අමතරව උතුරේ අවතැන් වූවන් නැවත පදිංචිකරවීමේ නිසි බලධාරියා වශයෙන්ද කටයුතු- කරයි. දක්‍ෂ වොලිබෝල් ක්‍රීඩකයකු වන ඔහු යුද හමුදා වොලිබෝල් කමිටුවේ සභාපති වශයෙන්ද කටයුතු කරයි.

වන්නි ආරක්‍ෂක සේනා මූලස්‌ථානය විසින් සිදුකළ ජාතික මෙහෙවරක්‌ පසුගියදා දැක බලා ගැනීමේ අවස්‌ථාව අපට උදා විය.

ශ්‍රි ලංකා යුද හමුදාවට සෙබළියන් ලෙස බඳවාගත් උතුරේ දෙමළ තරුණියන් 45 දෙනකු විසිර යැමේ උත්සවය ඉතා අභිමානවත් සහ උත්කර්ෂවත් අයුරින් සිදු විය. රාත්‍රී විසිර යැමේ පෙළපාලියක්‌ ලෙස ප්‍රථම වරට පැවැති මෙම උත්සවය යුද හමුදා ඉතිහාසයට එක්‌වන විචිත්‍ර වර්ණවත් උත්සවයක්‌ද විය.

සංහිඳියාව තුළින් ජාතික සාමය හා සංවර්ධනය යන සංකල්පනාව අනුව මෙම දෙමළ සෙබළියන් යුද හමුදාවට බඳවා ගත් අතර ඊට සමගාමීව බඳවා ගත් සිංහල සෙබළියෝa 10 දෙනකුද මෙම දෙමළ තරුණියන් සමග එකට පුහුණුව ලැබූහ. එය යුද හමුදා ඉතිහාසයේ තවත් සුවිශේෂී අවස්‌ථාවක්‌ විය.

උතුරේ සිංහල සහ දෙමළ තරුණියන් කිසිදු ජාති ආගම්, කුල භේදයකින් තොරව ලක්‌මවගේ එකම දියණියන් කැළක්‌ ලෙස සහෝදරත්වයෙන් යුතුව එකම හමුදා පුහුණුව ලබා යුද සෙබළියන් ලෙස එකටම විසිර යැම ඓතිහාසික දුලබ දසුනක්‌ විය.

"සංහිඳියාව තුළින් ජාතික සාමය හා සංවර්ධනය කරා රජය ගෙන යන වැඩපිළිවෙළට මෙන්ම ජාතික ආරක්‍ෂාවටද ඵලදායී ලෙස උරදෙන ශ්‍රී ලංකා යුද හමුදාව සිදුකරනු ලබන ජාතික මෙහෙවරට අත්‍යවශ්‍ය වූ උතුරේ දෙමළ තරුණියන් යුද හමුදාවට බඳවා ගැනීම ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ මත යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායකගේ මෙහෙයවීම මත සිදු කිරීමේදී දෙමළ තරුණියන් සමග සිංහල තරුණියන්ද එකට බඳවාගෙන එකට පුහුණු කරවීම වන්නි ආරක්‍ෂක සේනා ආඥපති මේජර් ජෙනරාල් බොනිෆස්‌ පෙරේරාගේ සංවිධායකත්වයෙන් ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ ජාතික ව්‍යාපෘතියක්‌ ලෙස හැඳින්විය හැක.

මේ වසරේ අගෝස්‌තු 10 වැනි දින බඳවා ගත් මෙම දෙමළ, සිංහල තරුණියන්ට යුද සෙබළියන් ලෙස අවශ්‍ය කායික හා මානසික ශක්‌ති වර්ධනය සඳහා මාස 03 ක දුෂ්කර පුහුණුවකට අදාළ යුද උපක්‍රම රණබිම් ක්‍රම, සිතියම් කියවීම අභ්‍යන්තර ආරක්‍ෂක රාජකාරි, සිවිල් සම්බන්ධීකරණ රාජකාරි මෙන්ම යුද හමුදා විෂය පථයට පරිබාහිර වූ රූපලාවන්‍ය, උත්සව අවස්‌ථා අලංකරණය, මනාලියන් හැඩ ගැන්වීම, අත්කම් මල් නිර්මාණය වැනි පුහුණුවද ලබාදී ඇත.

මෙම විසිර යැමේ උත්සවයේදී අන් සෑම සිංහල, දෙමළ සෙබළියන් අභිබවා සෑම අතින්ම අතිශූර කාන්තා සෙබළිය ලෙස අන්නමලෙයි ධර්මනායගම් සහ මංගස්‌සන් සරධා යන දෙපළගේ දියණියක වන දිව්‍යා ධර්මනායගම් සෙබළිය දක්‍ෂතම සෙබළියට හිමි යෂ්ටියෙන් හා සාටකයෙන් පිදුම් ලැබුවාය.

සිරිමෙවන් කස්‌තුරිආරච්චි
http://www.divaina.com/2013/12/27/feature.html

0 comments: