Pages

Thursday, December 19, 2013

තවදුරටත් නැති ගැරන්ටි - ද ෆිනෑන්ස්‌ ඇන්ඩ් ගැරන්ටි

* 46 වැනියාත් හිතේ දුකින් මරුට 
* තැන්පතුකරුවන්ගේ තැන්පතු සහතික
පොලිසිය අතින් නැති වුණේ කොහොමද?

වත්මන් සමාජයේ අප දන්නා හඳුනන "ගේම්" රැසක්‌ ඇත්තේය. සූදු ගේම්, ඩබල් ගේම්, දේශපාලන ගේම් ඉන් කිහිපයකි.

එහෙත් මේ සියලු ගේම් අපට හුරු පුරුදු නිසා ඒවා පිළිබඳ කතා කිරීමද එතරම් වැදගත් නොවන්නකි. එය එසේ වුවද මෙරට මැති සබේ අය පවා දැන සිටියද කිසිවිට කට ඇර වචනයක්‌ නොකියන හා සාමාන්‍ය ජනතාවට රහසක්‌ වෙමින් මේ බිමේම උපන්නවුන් පිරිසකගේ මළමිනි මතින් වසර කිහිපයක සිට ඉදිරියට ඇදී යන තවත් අපූරු ගේමක්‌ද බලධාරින් බකන්නිලා සිටියදී මේ මොහොතේ රට තුළ ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේය. 

ඒ අන් කිසිවක්‌ නොව "ගෝල්ඩන් කී" සහ "ෆිනෑන්ස්‌ ඇන්ඩ් ගැරන්ටි" යන සෙලින්කෝ සමාගම්හි බිලියන ගණනින් මුදල් තැන්පත් කර අන්ත අසරණයන් පිරිසක්‌ සේ හූල්ලමින් දිනෙන් දින මරණය කරා යන දහස්‌ ගණනක්‌ වූ තැන්පත්කරුවන්ට සංවිධානාත්මක ලෙසින් යෑයි හැඟෙන පරිදි වැදෙමින් තිබෙන ගේමය. 

මේ පිළිබඳ කතා කිරීමේදී අපි "ගෝල්ඩන් කී" සිදුවීම මඳකට පසෙකින් තබන්නෙමු. ඒ එහි මුදල් තැන්පත් කරුවන් බහුතරය හොඳින් හෝ නරකින් පොදි බැඳගත් මුදල්වලට කරන්නට දෙයක්‌ නැති කමට මෙන් තවත් පොදි බැඳීමේ ලොබ ඇතිව "ගෝලඩන් කී" හි තැන්පත් කළ දළකාරයන් බවට කියෑවෙමින් තිබෙන නිසාය. 

එහෙත් සෙලින්කෝ "ෆිනෑන්ස්‌ ඇන්ඩ් ගැරන්ටි" සමාගමේ තැන්පත්කරුවන්ගේ කතාව වූ කලී ඊට වෙනස්‌ම වූ එකකි. එහි මුදල් තැන්පත් කෙරුවෝ බහුතරය වන්නේ ජීවිත කාලය පුරා දුක්‌ මහන්සියෙන් උපයාගත් සොච්චම තම දුවා දරුවන්ගේ මතු ප්‍රයෝජනය සහ ජීවිතයේ සැඳෑ සමය සතුටින් ගතකිරීම සඳහා වැඩි දියුණු කර ගැනීමේ අරමුණ ඇතිව කටයුතු කළ අය වූහ.

මොවුන්ගේ අරමුණ එවන් වූ සාධාරණ සහ සංවේදී එකක්‌ වුවද අවසානයේ ඔවුන්ට සිදුවූයේ කුමක්‌ද? දුවා දරුවන්ගේ අනාගතය පසෙක තිබියදී අඩුම තරමේ තම ජීවිතයේ සැඳෑ සමයේ වැළඳුණු ලෙඩකට දුකකට ප්‍රතිකාරයක්‌ ගැනීමට පවා මුදලක්‌ අත නැති අන්ත දුගී දිළින්දන් සේ මිය පරලොව යන්නට මෙන්ම උසුලා ගත නොහැකි තරමින් පීඩා දුන් මානසික කඩා වැටීම් සමග තමන් වෙත ළඟා වූ කායික රෝගවලින් වේදනා විඳිමින් දිනෙන් දින මරණය වෙත ළඟා වන්නට ඔවුනට සිදු විය. දැනුදු එසේම වෙමින් තිබෙන්නේය.

පැහැදිලි මුල්‍ය නීති පද්ධතියක්‌ සහ එකී නෛතික තත්ත්වය මත සාධාරණය ඉටු කිරීමට ස්‌ථාපිත අධිකරණ පද්ධතියක්‌ද රට තුළ පැවතියදී ඔවුන් මෙවන් ඉරණමකට මුහුණ දීමද සුවිශේෂී කරුණක්‌ වන්නේය. 

මේ අන්දමින් සෙලින්කෝ "ෆිනෑන්ස්‌ ඇන්ඩ් ගැරන්ටි" හි මුදල් තැන්පත් කිරීමේ පාපය හමුවේ මේ වන විට මිය ගොස්‌ ඇති සංඛ්‍යාව ගණනින් හතළිස්‌ හය දෙනෙකි. ඉන් සැලකිය යුතු මරණ සංඛ්‍යාවක්‌ සිදුව ඇත්තේ දරාගත නොහැකි මානසික පීඩනය හමුවේ සියදිවි නසා ගැනීමෙන් වන අතර සෙසු මරණ ලෙඩට දුකට ප්‍රතිකාරයක්‌ නොමැතිව සිදු වූ ඒවා බව අද වන විට තහවුරු වී තිබෙන්නේය.

මෙම සිය දිවි නසා ගැනීම් පෙළේ සහ රෝගී බවට නිසි ප්‍රතිකාරයක්‌ ගැනීමට මුදලක්‌ නොමැතිවීම හමුවේ සිදුවූ අවසන් මරණ දෙක වාර්තා වූයේ ගෙවී ගිය දෙසතිය තුළ බව එකී මුල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කර අද දවසේ නන්නත්තාර වී යාන්තම් ජීවත්ව සිටින්නෝම පවසන්නාහ.

සෙලින්කෝ "ෆිනෑන්ස්‌ ඇන්ඩ් ගැරන්ටි" හි මුදල් තැන්පත් කළ හත්දහසකටත් අධික වූ මෙරට මිනිසුන් පිරිසකට එවන් ඉරණමක්‌ අද අත්වී ඇත්තේ ඇයි? 

ජීවිතයේ අවසානයට හිමි වන හතර රියන අමතක කර තැන්පත්කරුවන්ගේ මළ මිනී ගණනට ඉසුරු සොයා යමින් නීතියට මුවා වී විටින් විට සංවිධානාත්මක අයුරින් ක්‍රියාත්මක වූ මිනිසුන් ලෙසම ඉපදී සිටින තවත් කපටින් පිරිසක්‌ නිසා එය සිදුව තිබෙන බව මේ වන විට පැහැදිලි වෙමින් ඇත.

මිනිසකුගේ දුක වේදනාව තම ආදායම් මාර්ගය කරගෙන සිටින මුග්ධ රැලකගේ නිරුවත හෙළිවන ඒ කතාව ඇරඹෙන්නේ මෙසේය.

සාර්ථක ව්‍යාපාරයක්‌ ලෙස පැවති සෙලින්කෝ "ෆිනෑන්ස්‌ ඇන්ඩ් ගැරන්ටි" සමාගමේ ඇද වැටීම මුලින්ම සිදු වන්නේ 2008 වසරේ දෙසැම්බර් 31 වැනිදා ය. ඒ සෙලින්කෝ සමූහ ව්‍යාපාරය යටතේ පැවති "ගෝල්ඩන් කී" ආයතනයේ බිඳ වැටීම සටහන් වීමෙන් අනතුරුවය.

සාර්ථකව පැවති ව්‍යාපාරයක්‌ අරබයා සිදු වූ මෙකී ඇද වැටීමත් සමග එක්‌ සුවිශේෂී දෙයක්‌ද සිදු වන්නේය. ඒ "ෆිනෑන්ස්‌ ඇන්ඩ් ගැරන්ටි" සමාගම කඩා වැටීමත් සමග ඒ හා බද්ධව ක්‍රියාත්මක වෙමින් තිබූ සීමාසහිත "සෙලින්කෝ රියල් ස්‌ටේට්‌" සමාගම සහ "ප්‍රොපර්ටි ඩිවලොපර්ස්‌" යන ආයතන ද්විත්වයද කඩා වැටීමය.

නමුත් ඒ වන විට එකී ආයතන ද්විත්වය ක්‍රියාත්මක වෙමින් තිබුණේ ලියාපදිංචියකින් තොරව විය. නිසි ලෙස ලියාපදිංචි කර තිබුණේ සෙලින්කෝ "ෆිනෑන්ස්‌ ඇන්ඩ් ගැරන්ටි" සමාගම පමණකි. 

අද දවසේ මෙම ගැටලුව "ෆිනෑන්ස්‌ ඇන්ඩ් ගැරන්ටි" සමාගමේ මුදල් තැන්පත් කරුවන්ගේ ගැටලුව ලෙස සමාජගතව තිබුණද සැබවින්ම හත්දහසකටත් අධික වූ ඉහත කී මිනිසුන් සියලු දෙනා තම මුදල් ආයෝජනයක්‌ ලෙස තැන්පත් කර තිබුණේද ලියාපදිංචියකින් තොරව තිබූ සෙලින්කෝ "රියල් එස්‌ටේට්‌ සහ ප්‍රොපර්ටි ඩිවලොපර්ස්‌ යනුවෙන් වූ සමාගම් ද්විත්වයේය.

ගැටලුව මතුවන්නේ හෙවත් කතාව ඇරඹෙන්නේ එතැනිනි. සිදුවන ඇද වැටීමත් සමග ලියාපදිංචි ආයතනයක්‌ වන ෆිනෑන්ස්‌ ඇන්ඩ් ගැරන්ටි ආයතනය එක්‌තරා පෞද්ගලික බැංකුවක්‌ මගින් ලබා ගන්නේය. එහෙත් රියල් ස්‌ටේට්‌ සහ ප්‍රොපර්ටි ඩිවලොපර්ස්‌ යන සමාගම් ද්විත්වය එහි මුදල් තැන්පත් කරුවන්ගේ භාරයට ලබා දෙන්නට අධිකරණය ක්‍රියා කරන්නේය. ඒ එහි වන වත්කම් සොයා බලා මුදල් කර තැන්පත්කරුවන්ගේ ගැටලුව විසඳීමේ අවසරයද සමගිනි.

එහිදී මුලින්ම "ෆිනෑන්ස්‌ ඇන්ඩ් ගැරන්ටි" තැන්පත්කරුවන්ගේ සංගමය නමින් සංගමයක්‌ ආරම්භ වන්නේය. ඒ තැන්පත්කරුවන්ගේ ගැටලුව විසඳීමේ ක්‍රමවේදයට සෘජු මැදිහත්වීමක්‌ කිරීමේ අරමුණ ඇතිවය. 

නමුත් ඒ සමගම අධිකරණය යළි තීන්දුවක්‌ ගනිමින් ගැටලුව විසඳීමේ කටයුතු නිසි විනිවිදභාවයකින් සිදු කිරීමේ සද් අරමුණ ඇතිව තැන්පත්කරුවන්ගේ සංගමයේ සාමාජිකයන් දෙදෙනකුද ඇතුළත් වන පරිදි ඒ සඳහා භාරකාර මණ්‌ඩලයක්‌ පත් කරන්නේය. එය රටේ සිටින වගකිවයුත්තන් කිහිප දෙනකුද ඇතුළත් වන පරිදි සිදු කෙරුණකි. 

එහෙත් එතැන් පටන් සිදුව තිබෙන්නේ සිදු නොවිය යුත්තකි. සැබවින්ම එකී භාරකාර මණ්‌ඩලය කටයුතු කර ඇත්තේ තැන්පත්කරුවන්ගේ යහපත උදෙසා අධිකරණය සද්භාවයෙන් ගනු ලැබූ තීන්දුවද අභියෝගයට ලක්‌ වන අයුරින් යෑයි කිවහොත් එහිද වරදක්‌ නොවේ.

භාරකාර මණ්‌ඩලය වැඩ අරඹන්නේය. අවසානයේ වසර දෙකක පමණ කාලයක්‌ තිස්‌සේ ක්‍රියාත්මක වන ඔවුහු අදාළ සමාගම් දෙකෙහි වත්කම්වලින් රුපියල් එක්‌කෝටි අනූලක්‍ෂයකටත් අධික මුදලක්‌ වැටුප් ලෙස ලබමින් සෙලින්කෝ "ෆිනෑන්ස්‌ ඇන්ඩ් ගැරන්ටි" තැන්පත්කරුවන්ගේ ගැටලුව අවුලෙන් අවුලටම පත් කරන්නේය. 

මෙසේ සියල්ල සුදු අලියෙක්‌ බවට පත් වෙද්දී අවසානයේ යළි ක්‍රියාත්මක වන තැන්පත්කරුවෝ 2011 වසරේ අගෝස්‌තු මසදී අධිකරණ නියෝගයක්‌ තුළින්ම භාරකාර මණ්‌ඩලය ඉවත් කොට තැන්පත්කරුවන්ගේ ස්‌වාධීන සංගමය නමින් නව සංගමයක්‌ බිහි කර ගිනිමින් ගැටලුව විසඳා ගැනීමේ තවත් මාවතක්‌ සොයන්නාහ. එසේ භාරකාර මණ්‌ඩලය ඉවත් කෙරෙන්නේ 317/2009 දරණ නඩුවට අනුවය.

එහෙත් එසේ ස්‌වාධීන සංගමයක්‌ ඇති කර ගත්තද එතැන් පටන්ද සිදු වන්නේ තැන්පත්කරුවන් එකා දෙන්නා තමන්ගේ සියලු සේසත අහිමි වීමේ වේදනාවෙන් මියපරලොව යද්දී ගැටලුව ගෙඩිය පිටින්ම ඉතිරි වී තිබීම පමණි. 

ඊට ප්‍රධාන හේතු වූයේ ස්‌වාධීන සංගමය බිහිකර ගැනීමෙන් පසු එහි සභාපතිත්වය දැරූ පුද්ගලයා ක්‍රියාත්මක කරනු ලැබූ කුමන්ත්‍රණකාරි වැඩපිළිවෙළ බව අද දවසේ දුකට පත්ව සිටින තැන්පත්කරුවෝම කියා සිටිති. ස්‌වාධීන සංගමයේ සභාපතිවරයා සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ලලිත් කොතලාවල මහතාගේ හෝ එම සමාගම් සමූහයේ උප සභාපතිවරයාගේ ඉත්තකු වීම ඊට හේතු වන්නට ඇතැයිද අද දවසේ කිසිත් කර කියාගත නොහැකිව සිටින තැන්පත්කරුවෝ සැක පළ කරති. 

සභාපතිවරයා එසේ ක්‍රියාත්මකව ඇත්තේ තමන්ට තැන ලැබීමත් සමග මුල්ම තැන්පත්කරුවන්ගේ සංගමයේ සිටි දෙතුන් දෙනකුද ඉදිරියට ගෙන එමිනි. මෙසේ සභාපතිවරයාගේ ක්‍රියාදාමය හමුවේ කෙටි කලකින්ම තැන්පත්කරුවන්ගේ ස්‌වාධීන සංගමයද දියාරූ වී යන්නේය. එහෙත් ඒ සමගම සභාපතිවරයාම තමන්ගේ සහායට රැගෙන ආ මුල් සංගමයේ පිරිස්‌ සංවිධානය වී ඔහුවද සභාපතිකමින් පන්නා දමා ඇත්තේය.

ඒ අතරේ ස්‌වාධීන සංගමයේ ලේකම්වරයා ඇතුළු ප්‍රබලයන් කිහිප දෙනකු සිය තනතුරුවලින් ඉවත්ව යන්නේ සිදු වන අවනඩුව දෙස තවත් බලා සිටිය නොහැකි බැවිනි. කටයුතු එසේ සිදු වෙද්දී අත තිබූ සියල්ල සුරක්‍ෂිතව වැඩි දියුණු කරන්නට ගොස්‌ වැරදීම හමුවේ ඇවිළුණු ගින්දර උහුලා ගත නොහැකිව නැත්පත්කරුවන් එකා දෙන්නා දිනෙන් දිනම මියෑදෙන්නට විය. 

මේ අතරේ ස්‌වාධීන සංගමයේ ලේකම්වරයා ඉන් ඉවත් වීමත් සමග කිසිදු අවස්‌ථාවක සෙලින්කෝ "රියල් ස්‌ටේට්‌" හෝ "ප්‍රොපර්ටි ඩිවලොපර්ස්‌" හි තඹ දොයිතුවක්‌ ආයෝජනය නොකළ අයකු සංගමයේ ලේකම්වරයා ලෙස පත් වූවේය.

මහත්වරුනි, වැඩේ කොතරම් අපූරුද? මේ සියල්ල සිදු වන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය තුළය. සෙලින්කෝ "ෆිනෑන්ස්‌ ඇන්ඩ් ගැරන්ටි" අවුල පිළිබඳ කතා කිරීමේදී මේ වන විට තවත් අරුම පුදුම කතා කිහිපයක්‌ද කියෑවෙමින් තිබෙන්නේය. 

ඉන් ප්‍රධානම එකක්‌ වන්නේ මෙම ගැටලුව ආරම්භයේ සිට පරීක්‍ෂණ කටයුතු මෙහෙයවමින් වැඩේට "එන්ටර්" වී සිටින රහස්‌ පොලිසියේ මුල්‍ය වංචා අංශය කරගෙන යනු ලබන ක්‍රියාවලිය ය. මේ වන විට එහි එක්‌තරා පොලිස්‌ පරීක්‍ෂකවරයකු තැන්පත් කරුවන් සතුව මුදල් තැන්පත් කළ බවට තිබෙන එකම ලිත සාක්‍ෂිය වන තැන්පතු සහතික පොලිසිය යොදවාම එකතු කිරීමේ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කර තිබෙන බව තැන්පත් කරුවෝම සඳහන් කරන්නාහ.

රහස්‌ පොලිසිය එසේ කටයුතු කරන්නේ කුමකටදැයි අපි නොදන්නෙමු. එහෙත් එසේ ක්‍රියා කිරීම රහස්‌ පොලිසියට තරම් නොවන යුක්‌තිසහගත නොමැති එකක්‌ බව නම් අපි දන්නෙමු. මන්ද තැන්පත්කරුවනට තම අනන්‍යතාව සහතික කිරීම සඳහා ඇති එකම ලියෑවිල්ල වන්නේ එකී තැන්පතු සහතිකය පමණක්‌ වන බැවිනි.

එසේම මේ අන්දමින් තැන්පතු සහතික එකතු කළ රහස්‌ පොලිසිය අද වන විට ඉන් සමහර ඒවා අස්‌ථාන ගත වී තිබෙන බවට පුදුමසහගත කතාවක්‌ කියමින් සිටින බවද තැන්පත්කරුවෝ පවසන්නාහ. රහස්‌ පොලිසියේ ක්‍රියාදාමය එසේ වෙද්දී මෙකී මුදල් අර්බුදය විසඳා ගැනීම සඳහා තැන්පත්කරුවන් විසින්ම බිහි කර ගැනීමෙන් පසු අද වන විට දියාරු වී ගොස්‌ තිබෙන තැන්පත්කරුවන්ගේ ස්‌වාධීන සංගමයේ කොනක එල්ලී සිටින්නකු මේ වන විට හිමිකරුවකුගේ නමක්‌ ගමක්‌ ඇතුළු කිසිදු සඳහනක්‌ නොමැති "ඇඩ්ඩ්‍රස්‌" නැති තැන්පතු සහතික තොගයක්‌ද ස්‌වේච්ඡාවේන්ම ඇති කර තිබෙන බවද සඳහන් වන්නේය. 

ඔහු එසේ කොට ඇත්තේ මෙතෙක්‌ තමන් භාරයේ තිබූ තැන්පතු සහතික නිකුත් කරන ලිපි ලේඛන යොදා ගනිමින් බව තැන්පත්කරුවන් කියා සිටී. කතාව මෙසේ අවුල් ජාලයක්‌ බවට පත් වෙමින් තිබියදී ඉකුත් කාලයේ සෙලින්කෝ රියල් ස්‌ටේට්‌ සහ ප්‍රොපර්ටි ඩිවලොපර්ස්‌ හි වත්කම් පිළිබඳ වාර්තාවක්‌ ඉදිරිපත් කරන ලෙස අධිකරණය කළ නියෝගයකට අනුව එම සමාගම් ද්විත්වයේම මුදල් රුපියල් තිස්‌නව ලක්‍ෂයක්‌ වැය කරමින් එක්‌තරා පෞද්ගලික ආයතනයකින් සකස්‌ කළ වත්කම් වාර්තාවකට සිදුවූ දෙයක්‌ නොමැති බව තැන්පත්කරුවෝ පවසති.

එම වත්කම් වාර්තාව මේ වන විට රහස්‌ පොලිසියට භාර දී ඇති බව අදාළ ආයතනය මගින් ඒ පිළිබඳ විමසීම් කළ තැන්පත්කරුවන්ට ප්‍රකාශ කර ඇත. එහෙත් මේ වන තුරා තමන්ගේ මුදලින් සෙලින්කෝ රියල් ස්‌ටේට්‌ සහ ප්‍රොපර්ටි ඩිවලොපර්ස්‌ සතු කර ගත් එකී වත්කම් මොනවාද යන්න පිළිබඳ දැන ගැනීමේ අයිතිය තැන්පත්කරුවන්ට අහිමිව ගොස්‌ තිබේ.

ඒ රහස්‌ පොලිසියේ අදාළ අංශය එකී වාර්තාව පිළිබඳ තොරතුරු කිසිවක්‌ තැන්පත්කරුවන්ට හෙළි නොකිරීමට කටයුතු කරමින් සිටින බැවිනි. රහස්‌ පොලිසියේ කෙරුවාව එසේ වුවද ස්‌වේච්ඡාවෙන්ම කටයුතු කළ තැන්පත්කරුවන් මෙකී ආයතන දෙක සතු වත්කම් මොනවාදැයි සොයා බලන්නට පසුගිය කාලයේ වෙහෙසුනේය. 

එහි ප්‍රතිඵලය වී තිබෙන්නේ සෙලින්කෝ "රියල් ස්‌ටේට්‌" සහ "ප්‍රොපර්ටි ඩිවලොපර්ස්‌" සතු රුපියල් බිලියන දහයක පමණ වත්කම් ප්‍රමාණයක්‌ පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට ඔවුන් සමත් වී සිටීමය. ඒ අතරින් සෙලින්කෝ "ෆිංගාරා කන්ටි්‍ර කල්බ්" යන්න ඉහළින්ම තිබෙන්නකි.

මෙම ආයතන ද්විත්වයේ මුදල් තැන්පත් කර අද අනාථ වී සිටින්නෝ ඒ සඳහා යෙදවූ සම්පූර්ණ මුදල රුපියල් බිලියන (7.5) හතහමාරක්‌ පමණ වන බව ඔවුන්ම පවසා සිටින්නකි. එසේ නම් අදාළ ආයතන ද්විත්වය සතුව රුපියල් බිලියන දහයක වත්කම් තිබියදී සෙලින්කෝ "රියල් ස්‌ටේට්‌" සහ ප්‍රොපර්ටි ඩිවලොපර්ස්‌ හි මුදල් තැන්පත් කෙරුවන් මේ මර උගුලෙන් ගලවා ගන්නට නොහැකිව තිබෙන්නේ ඇයිදැයි යන්න අපට සිතා ගත නොහැක්‌කකි.

සෙලින්කෝ රියල් ස්‌ටේට්‌ සහ ප්‍රොපර්ටි ඩිවලොපර්ස්‌ හි තැන්පත්කරුවන්ට අද දවසේ උරුම වී ඇති ශෝචනීය ඉරණම එසේ වෙද්දී ස්‌වාධීන සංගමයෙන් ඉවත් වූ එහි ලේකම්වරයා ඇතුළු කිහිප දෙනකු එකතුව මෙම ආයතන ද්විත්වයේ අති විශාල මුදලක්‌ තැන්පත් කර ඇති උපාලි රාජපක්‍ෂ නමැති පුද්ගලයකු පෙරටු කර ගනිමින් යළිත් වරක්‌ ස්‌වාධීන සංගමය බලාත්මක කර ගැනීමට වෙහෙසෙන්නේ දැනට මාස දෙක තුනකට පමණ ඉහතදීය.

ඔවුන් එකී උත්සාහය දරන්නේ මේ හමුවේ අන්ත අසරණ වී සිටින මිනිසුන්ගේ දුක වේදනාවට විසඳුමක්‌ සොයා ගැනීම අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තක්‌ව තිබෙන නිසාය. නමුත් මේ වන විට ඔවුන්ගේ උත්සාහයද ව්‍යර්ථ වන තැනට කටයුතු නිර්මාණය වෙමින් තිබෙන්නේය.

ඒ ස්‌වාධීන සංගමයේ නෂ්ඨාවශේෂ ලෙස සිටින කිසිදු තැන්පතුවත් කර නැති ලේකම්වරයා හා එහි සභාපතිවරයා යෑයි කියා ගන්නා දෙදෙනකු ඔවුන්ට එරෙහිව අධිකරණයෙන් ලබා ගෙන ඇති වාරණ නියෝගයක්‌ හේතුවෙනි. අද දවසේ සෙලින්කෝ "ෆිනෑන්ස්‌ ඇන්ඩ් ගැරන්ටි" නමින් කරළියේ තිබෙන මෙරට පුරවැසියන් හත්දහසක්‌ පමණ විඳවන ගිනි ජාලාව දිනෙන් දින ඉදිරියට ඇදී යමින් තිබෙන්නේ එසේය.

මේ සිල්ල හමුවේ අපට ආණ්‌ඩුවෙන් විමසන්නට ප්‍රශ්නයක්‌ තිබේ. බලධරයනි, මෙසේ මර උගුලක සිරවී සිටින්නේ ආණ්‌ඩුවට බදු ගෙවන රටේ පුරවැසියන් පිරිසකි. එසේ නම් ඔවුන් දුකට පත්වූ කල්හි නිසි තීන්දු තීරණ ගෙන පිහිට වීමේ වගකීමක්‌ ආණ්‌ඩුවට තිබේ. 

එකී පැහැදිලි වගකීම හමුවේ කිසිවක්‌ හෝ සිදු කර මෙකී මිනිසුන් විපතින් ගලවා ගන්නට රජයට නොහැකි නම් "කුමට මෙරට අධිකරණය, නීතිය හා විනිසුරන්" ලෙසින් වූ බරපතල විමසීමක්‌ ආණ්‌ඩුවෙන් කරන්නට අපට සිදුවේ. ඒ මෙකී අවනඩුවෙන් විඳවන්නෝ අපේම මිනිසුන් වන බැවිනි.

සමන් ගමගේ
http://www.divaina.com/2013/12/15/feature13.html

0 comments: