Pages

Monday, December 16, 2013

රටට එරෙහි යෝජනා එද්දී හැංගිලා උත්තර හොයන්න බෑ! - එස්‌.එල්

ලබන මාර්තු මාසයේ ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී ඇමරිකාවත් කැනඩාව හා බ්‍රිතාන්‍යයත් එක්‌ව ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක්‌ ඉදිරිපත් කිරීමේ සූදානමක්‌ පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත. එම යෝජනාවට අනුව ශ්‍රි ලංකාවට එරෙහිව ආර්ථික, දේශපාලන හා සමාජයීය අංශයන්හි ජාත්‍යන්තර සම්බාධක පැනවීමට ඉඩ ඇතැයි ද ඇතැමුන්ගේ මතයයි. මේ බටහිර තර්ජනය හමුවේ ශ්‍රී ලංකාවේ ක්‍රියාදාමය කුමක්‌ විය යුතුද? ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ එස්‌. එල්. ගුණසේකරයන් කරන විග්‍රහයකි මේ.

ඇමරිකාව කැනඩාව සහ බ්‍රිතාන්‍ය සමග ලබන මාර්තු මාසේ ජිනීවා මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක්‌ ගෙනඒමේ සූදානමක්‌ තිබෙනවා?

මේ රටවල් තුනම ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරන්නෙ අපේ රට ස්‌වාධීනව කටයුතු කරල කොටි ත්‍රස්‌තවාදය නැති කළ නිසයි. අපේ රට කොටි ත්‍රස්‌තයන්ගේ තාඩන පීඩනවලට ලක්‌වෙලා තියෙන කොට මේ රටවල් මොනවද කළේ? මේ රටවල ඡන්ද බලය හිමි විශාල ද්‍රවිඩ ජනතාවක්‌ ඉන්නවා. විශේෂයෙන් කැනඩාවෙ. ඒ ද්‍රවිඩ ජනතාවගෙ ඡන්ද ලබාගැනීමේ අරමුණින් තමයි මේ රටවල් අපේ රටට එරෙහිව කටයුතු කරන්නෙ. ඔය කැනඩාවයි, බ්‍රිතාන්‍යයි කියන්නෙ ඇමරිකාවෙ ඉත්තො. ඇමරිකාව කරන හැම දේටම එහෙයි කියල අනුමත කරන කැනඩාවයි, බ්‍රිතාන්‍යයි කිසි දවසක ස්‌වාධීනව කටයුතු කරන්නෙ නෑ. ඇමරිකාව, පකිස්‌තානෙට හොරෙන් රිංගල බින් ලාඩන් මරල දැම්ම. ඇමරිකාවෙ මැරවරයො පකිස්‌තානෙට හොරෙන් රිංගල බින් ලාඩන් මරල දාපු එක අන්තර්ජාතික අපරාධයක්‌. ඇමරිකාවෙ මැරවරයො ඒක කළේ ඒ රටේ රාජ්‍ය නායකයන්ගෙ ආශිර්වාදය ඇතුවයි. පකිස්‌තානෙට දන්වන්නෙවත් නැතිව ඒ රටට රිංගල ඒ කරපු දේ ගැන කැනඩාවවත් බ්‍රිතාන්‍යවත් වචනයක්‌ කිව්වෙ නෑ.

ඇමරිකාව ඩ්‍රෝන යානා යොදවල වෙනත් රටවල සිවිල් ජනතාව ඝාතනය කරනවා. මේ පන්දම්කාර රටවල් ඇමරිකාව කරන ඒ මානව හිමිකම් කඩ කිරීම් ගැන වචනයක්‌ කතා කරන්නෙ නෑ. මාර්තු මාසෙ කැනඩාවයි, බ්‍රිතාන්‍යයි එක්‌ක එකතු වෙලා ඇමරිකාව මේ කරන්න හදන්නෙත් ම්ලේච්ඡ වැඩක්‌.

ඇමරිකාව ඉදිරිපත් කිරීමට සූදානම් වන මේ යෝජනාව හරහා ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පැනවීමට ඉඩ ඇති බව ඇතැමුන් දරන මතයක්‌. එවැන්නක්‌ සිදුවුවහොත් එයට එරෙහිව ශ්‍රී ලංකාවට කළ හැකි දේ කුමක්‌ද?

බටහිර රටවල් අපේ රටට එරෙහිව කරන තර්ජනවලට එරෙහිව අපේ මිත්‍ර රටවල් සමග එකතුවෙලා පියවරක්‌ ගත යුතුයි කියල මම කියන්නෙ සෑහෙන කාලෙක ඉඳන්. නමුත් එහෙම කිසිදු වැඩපිළිවෙළක්‌ අපේ රටේ නෑ. අපි හැමදාම අර තර්ජනය මේ තර්ජනය එනවා කිය කියා කතා කරනව විතරයි. ඒවට මුහුණ දෙන්න අපේ රටේ සූදානමක්‌ නෑ.

අපේ රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ කළ යුතු යෑයි බටහිර රටවල් ප්‍රකාශ කරන්නෙ අපේ රටේ විදේශ අමාත්‍යාංශයේ අඩුපාඩුකම් නිසා යෑයි චෝදනාවක්‌ එල්ලවී තිබෙනව?

විදේශ අමාත්‍යාංශයේ අඩුපාඩුකම් පළමු වැනි හේතුව. දෙවැනි හේතුව එක එක රටවල් ඔය විදිහෙ යෝජනාවල් ගේන කොට අපි ඒවට මූණ නොදී උත්තර නොදී හැංගෙන එක දෙවැනි හේතුව. මොකක්‌ද ඔය ජාත්‍යන්තර විනිශ්චය මණ්‌ඩලයක්‌ කියන්නෙ. ඒක ස්‌වාධීනව කටයුතු කරයි කියල කාට ද විශ්වාස කරන්න පුළුවන්?

ජනාධිපතිවරයා තෝරා පත් කරපු ස්‌වාධීන අන්තර්ජාතික සම්භාවනීය පුද්ගලයන්ගෙ කමිටුව මේ රටට ඇවිත් කිව්වෙ අණදෙන අයගේ වගකීම මත කටයුතු කිරීමට මැලි වෙනව කියලයි. මේ කමාන්ඩ් රෙස්‌පොන්සිබිලිටි සිද්ධාන්තය මත ක්‍රියාත්මකවීම සඳහා අපේ රණවිරුවන් අපරාධ කළ බව ඔප්පු වෙන්න ඕන. එහෙම දෙයක්‌ ඔප්පුවෙලා නෑ. ඔය කමිටුවේ හිටපු දරුස්‌මාන් වැනි අය අපේ රටට විරුද්ධයි. ඔය විදේශිකයො කෙරෙහි විශ්වාසය තැබීම මෝඩකමක්‌.

ඒ වගේම ස්‌වාධීනව අදහස්‌ ප්‍රකාශ කරන්න අපේ රට තුළත් හැකියාවක්‌ තියෙනවද කියන කාරණයත් අපි සිතා බලන්න ඕන. දැන් කාලයක්‌ තිස්‌සේ ඉඳන් අපේ රටෙත් කවුරුහරි රජයට විරුද්ධව යමක්‌ කියනව නම් ඔහු සතුරෙක්‌ විදිහටයි සලකන්නෙ. එයත් වැරදියි. ස්‌වාධීනව රජයට විරුද්ධව හෝ විපක්‍ෂයට විරුද්ධව අදහස්‌ ප්‍රකාශ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්‌.

එය ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලික ලක්‍ෂණයක්‌. අපට තිබුණු ස්‌වාධීන අධිකරණය විධායකය පරිපාලන සේවය අද එලෙසම ස්‌වාධීනව තිබෙනවද? දේශපාලන පන්දම්කාරකම අද හැම ක්‍ෂේත්‍රයකටම රිංගල නැද්ද? අපි විදේශිකයන්ට ස්‌වාධීන වෙන්න යෑයි ඇඟිල්ල දික්‌ කරන්න කලින් අප තුළ ස්‌වාධීනත්වය ඇති කර ගන්නට ඕන. ඕනෑම රටක ස්‌වාධීන අධිකරණයක්‌ ස්‌ථාපිතව තිබෙනව නම් කිසිදු විදෙස්‌ රටකට මෙබඳු යෝජනා කරන්න පුළුවන්කමක්‌ නෑ. දේශපාලන පන්දම්කාරකම අද රටේ හැම ක්‍ෂේත්‍රයකටම රිංගලයි තියෙන්නෙ. දේශපාලන පන්දම්කාරකම තුරන් කර දැමීමත් ත්‍රස්‌තවාදය තුරන් කර දැමීම තරම්ම රටට සේවයක්‌ වෙන වැඩක්‌.

උතුරේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙනුත් ඔබ්බට ගිය ක්‍රියාදාමයකට සූදානම් බව එක්‌ අවස්‌ථාවකදී විදේශ අමාත්‍යාංශය කියා තිබුණා. දහතුනේ ඉඩම් පොලිස්‌ බලතල ක්‍රියාත්මක කිරීම අපහසු බව තවත් අවස්‌ථාවක ප්‍රකාශ කළා. මෙබඳු පරස්‌පර විරෝධී ප්‍රකාශ නිසා ජාත්‍යන්තරයේ විශ්වාසය බිඳ වැටීම මෙබඳු යෝජනා ගෙනඒමට හේතුවක්‌ද?

පරස්‌පර විරෝධී ප්‍රකාශ කළ බව ඇත්ත. නමුත් කවුරු මොනව ප්‍රකාශ කළත් ක්‍රියාත්මක විය යුත්තේ රටේ සුබසිද්ධියට අනාගත යහපතට හේතු විය හැකි දේ පමණයි. කවුරු මොනව කිව්වත් අපේ යුතුකම විය යුත්තේ රටේ යහපත වෙනුවෙන් කටයුතු කිරීමයි.

උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පමා වුණොත් විදේශයන්හි ඉවසීම නැතිවී යා හැකි බවට ඇමරිකාව අනතුරු අඟවල තියෙනව?

ඔය රටවල් ඕක නැත්නම් වෙන මොකක්‌ හරි හේතුවක්‌ හොයා ගනියි. උගත් පාඩම් කොමිසම පත් කරපු දවසෙ ඉඳන් ඒක විවේචනය කර කර හිටපු මේ රටවල් දැන් ඒ වාර්තාව දිහා බලාගෙන කෑගහනව. උගත් පාඩම් කොමිසම පත් කළේ ජනාධිපතිවරයාට උපදෙස්‌ ලබාදීම සඳහායි. ඒ උපදෙස්‌ පිළිපදිනව ද නැද්ද කියල තීරණය කළ යුත්තේ අපේ ජනාධිපතිවරයා මිස ඇමරිකාවවත් වෙන රටක්‌වත් නෙවෙයි. උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරනව කියල විදේශ රටවලට කවුරු පොරොන්දු දුන්නත් එය ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුත්තක්‌.

උගත් පාඩම් කොමිසමට මුලින්ම ගල් ගැහුවෙ විදේශිකයො. වැඩ පටන් ගන්නත් කලින් ඔය රටවල් උගත් පාඩම් කොමිසම විවේචනය කළා. උගත් පාඩම් කොමිසමේ වාර්තාවෙ සමහර දේවල් හොඳයි. ඒ වගේම එහි සමහර නිර්දේශ කරල තියෙන්නෙ විදේශිකයන් සතුටු කරන්නයි. ඔය වාර්තාව දෙපැත්තම සනසන්න කරපු එකක්‌. උගත් පාඩම් කොමිසමේ වාර්තාව සම්පූර්ණයෙන්ම ස්‌වාධීන එකක්‌ නෙමෙයි. උගත් පාඩම් කොමිසමේ ඔය වාර්තාව ශ්‍රී ලංකාවට හිතවත් එකක්‌ නෙමෙයි. ඔය වාර්තාව කියවල මම නම් කලකිරුණ.

විද්වත් හමුව | සාකච්ඡා කළේ - පාලිත සේනානායක
http://www.divaina.com/2013/12/15/politics02.html

0 comments: