Pages

Tuesday, December 10, 2013

පැන් පොදක්‌ සමග උතුරු දුර්ගයට ජීවිතය ගෙනා හැටි!

හිරු අඩවන්ය. ඉදිකටු වැස්‌ස හාත්පස නහවමින් තිබිණි. සීතලට තුරුලු වන සුළඟ සියොළඟම හිරිගඩු නංවන්නේය. පසුගිය දිනවල ඇදහැලුණු වර්ෂාවෙන් ඇළ දොළ වැව් අමුණු වෙල් ඉපනැලි ජලයෙන් පිරී ඉතිරී ගොස්‌ය. වෑන් රිය එක සීරුවට ගමන් කරයි. තෙත බරිත වදුලු අතරින් දිවෙන මගෙහි තවත් වාහනයක්‌ මුණගැසෙන්නේ ද ඉතාම කලාතුරකිනි. කිලිනොච්චි සිට පුනරින් බලා දිවෙන මේ මාර්ගය තවමත් මිනිස්‌ වාසයෙන් හිස්‌ යෑයි සිතෙන තරමටම නිවාස එකිනෙකට ඈත්ව පිහිටා තිබිණි.

කලෙක මේ බිම වැසි දියෙන් තෙත් වන තරමටම රුධිරයෙන් තෙත බරිත වන්නට ඇත. ගලා යන මේ දිය දහරා මෙන් රුධිරය ගලා යන්නට ඇත. එකල මේ නැවුම් සුවඳ වෙනුවට පිළීගඳ මුසු වෙඩි බෙහෙත් ගන්ධයෙන් හාත්පස නැහැ වී තිබෙන්නට ඇත. මිනිසුන්ගේ මරණීය විලාපයට ගස්‌ වැල් පවා කම්පා වන්නට ඇත. යළිත් නම් සිහිනයකින්වත් මේ බිමෙන් එවැනි මරණීය විළාපයන් ඇසෙන එකක්‌ නැත. ඒ තිරිසන් අතීතය නැවත කිසිම දිනක ගොඩ ඇදීමට නොහැකි ලෙස වළ දමා බෙහෝ කල්ය. ලේ පිපාසයෙන් දිව ගිය ම්ලේච්ඡ කොටි පලිහක්‌ කරගෙන සිටි මිනිස්‌සු අද නිදහසේ දිවි ගෙවති. එහෙත් මේ අසරණයෝ තවමත් දැවෙන්නාහ. පිපාසය සංසිඳුවා ගැනීමට පිරිසිදු ජල පොදක්‌ නොමැතිව කාලයක සිටම දැවැන්නාහ. එහෙත් ඔවුන්ගේ නායකයා කියා ගෙන සිටි ප්‍රභාකරන් තම මිනිසුන්ගේ පානීය ජල ප්‍රශ්නය විසඳීමට කිසිදු පියවරක්‌ ගෙන නොතිබිණි. එහෙත් යුද ගිනි නිවූ ආරක්‍ෂක හමුදාවෝ මේ අසරණයන්ගේ පිපාසය නිවා දැමීමට නොගත් උත්සාහයක්‌ නැත්තාහ. ඒ නොපසුබස්‌නා වීර්යය සඵල වූයේ බ්‍රැන්ඩික්‌ස්‌ ආයතනය එච්.එස්‌.බී.සී. ආයතනය සමග එක්‌ව සම සමව මූල්‍යම දායකත්වය දැක්‌වීමත් සමගය. දැන් එය සඵල වී තිබේ.

නෙප්ලෝ ගම පිහිටා ඇත්තේ පුනරින් නගරයෙනුත් කිලෝ මීටර් දහයක්‌ පමණ ඇතුළට වන්නටය. පවුල් තුන් සීයක්‌ පමණ ජීවත් වන ඒ ගම්මානයේ බොහෝමයක්‌ වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැනය. වගාවට අවැසි ජලය වැස්‌ස ලබා දුන්නද, ගම්මුන්ගේ පිපාසය නිවාලන්නට අවැසි පානීය ජලය ගමට හිඟය. මුළු ගමටම පිරිසිදු ජලය ලබාගැනීමට ඇත්තේ එකම ළිඳක්‌ පමණි. දැන් අප සිටින්නේ ඒ ළිඳ අසලය. එක්‌ පසක ඈතට විහිදී යන විශාල වැවකි. අනෙක්‌ පස කොන්ක්‍රීට්‌ කණු මත එසැවුණු විශාල වතුර ටැංකියකි. ටැංකිය උඩ සූර්ය කෝෂයකි. වතුර ටැංකිය පාමුල ගම්වාසීන් බොහෝ පිරිසක්‌ එක්‌රොක්‌ව සිටිති. එහෙත් ඔවුන් අතරින් සිංහල කතා කිරීමට පුළුවන්කම තිබුණේ රාමනාත්ට පමණි. 

ඔහුට යන්තමට හෝ සිංහල වචන ගැටගසා ගැනීමට පුළුවන් වී ඇත්තේ ඔහු වසර තුන හතරක්‌ කොළඹ හෝටලයක වේටර් වැඩේ කළ නිසාය. එහෙත් කොළඹ රැකියාව කර නිවාඩුවට ගමට ගිය රාමනාත්ට නැවත එල්.ටී.ටී.ඊ.ය කොළඹ එන්නට ඉඩදී නැත. වසර තිහකට වැඩි කාලයක්‌ රාමනාත් කොටි කටේ සිර වී සිටියේය. රාමනාත්ගේ අවපැහැ ගැන්වුණු සම, පරඩැල් වූ සිරුර යුද්ධයේ කෲරතර බව හොඳින්ම පසක්‌ කර දෙන්නේය. හැට තුන්වැනි වියේ පසුවන රාමනාත් දැන් අපට භාෂා පරිවර්තකයෙක්‌ වී සිටින්නේය.

"මෙහෙ හරියේ ළිඳ තියෙනවා. වතුර හොඳයි. එහා පැත්තෙ ළිඳ තිබුණට වතුර හොඳ නෑ. කටට ගන්න බෑ ලුණු. කිවුල් රසට හරි වතුර කියලා බොන්න පුළුවන් මේ ළිදේ වතුර විතරයි. ඉස්‌සර ගමේ හැමෝම මෙතැනට ඇවිත් තමයි වතුර ගෙනිච්ෙච්. සමහර අයට වතුර කළයක්‌ ගෙනියන්න සෑහෙන්න දුරක්‌ ඇවිදගෙන යන්න ඕනා. බොන්න වතුර නැතිව අපි ගොඩක්‌ දුක්‌විඳිනවා. ඉස්‌සර ඉඳලම අපිට වතුර නැහැ. කකුල් කඩිත්තුව හැදෙනකම් ඇවිදල තමයි අපි වතුර කළයක්‌ ගෙනියන්නේ. එහෙම ඉන්නකොට තමයි කෑම්ප් එකේ ලොකු සර් කොළඹ මහත්තෙලත් එක්‌ක අපේ ගම්වලට ඇවිත් ඇහුවෙ අපිට තියෙන අඩුපාඩු මොනවද කියලා. අපිට ගොඩක්‌ අඩු පාඩු තියෙනවා තමයි. උතුරේ වෙන ගම්වලට එක එක ආයතනවලින් ඇවිත් ආධාර දුන්නා. ඒත් අපේ ගමට උදව් කරන්න මේ මහත්තෙලා එනකම් කවුරුවත් ආවේ නැහැ. ඉතිං අපි ඒ සර්ලට කිව්වා අපිට තියෙන ලොකුම අඩුපාඩුව බොන වතුර කියලා"

ආරක්‍ෂක හමුදාවෝ රුධිරය නිධන් කර බේරාගත් භූමියේ පානීය ජල මෙහෙයුමක්‌ ආරම්භ කළහ. අහිංසක ගම්වාසීන්ට තම ජීවිත ගොඩනගා ගැනීමට වෙහෙසෙනවා හැරෙන්නට ගමට ජල නළ එළීමේ මෙහෙයුමට කැප කිරීමට කාලයක්‌ නැත. එය හොඳින් වටහා ගත් ආරක්‍ෂක හමුදාවෝ අව් වැසි නොතකා ගමින් ගමට ජල නළ එළීම ආරම්භ කළහ. මූල්‍යමය දායකත්වය හැර ශ්‍රමය, තාක්‌ෂණය සහ අධීක්‍ෂණය සියල්ලම ආරක්‍ෂක හමුදාවේය. එමෙන්ම මෙම ජල ව්‍යාපෘතිය සඳහා ඇවැසි බල ශක්‌තිය යොදාගෙන ඇත්තේ සූර්ය බලශක්‌තියෙනි. එහෙයින් මෙම ජල ව්‍යාපෘතියට රුපියල් ලක්‍ෂ හතළිහක පමණ මුදලක්‌ වැය වී තිබිණි. එහෙත් ව්‍යාපෘතිය ආරම්භ කර ගම් පුරා මනුෂ්‍යත්වයේ ජල දහරා ගලා යැමට ගත වූයේ මාසයකටත් වඩා අඩු කාලයකි. නැවත රාමනාත් කතා කරන්නට විය.

"දැන් ගම මැදට ටැංකි දෙකක්‌ දාලා තියෙනවා. ඒක නිසා ගමේ මිනිස්‌සුන්ට ගොඩක්‌ පහසුයි. ඒ ප්‍රශ්නයත් ගොඩක්‌ දුරට විසඳිලා තියෙන්නේ. දැන් අපිට තියෙන ලොකුම ගැටලුව තමයි ගමේ ළදරු ඉස්‌කෝලේට වතුර නැති එක. ලොකු අයට පිපාසය උහුලගෙන ඉන්න පුළුවන්. ඒත් පුංචි උන්ට එහෙම කරන්න බැහැ. පුංචි උන් වතුර තිබහට ළිංවල තියෙන ලුණු වතුර හරි බොනවා. ඒ වතුර බීලා සමහර දරුවෝ අසනීප වෙලත් තියෙනවා. පුළුවන් නම් ඒ ළදරු ඉස්‌කෝලේ ගාවට ටැංකියක්‌ දාලා දෙන්න කියලා අපි සර්ලට කියනවා"

"අපි මෙහෙම දුක්‌විඳින්න ඕන මිනිස්‌සු නෙමෙයි. එල්.ටී.ටී.ඊ. ය තමයි අපිව දුප්පත් කළේ. අපි හරි හම්බ කර ගත්තු හැම දෙයක්‌ම එල්.ටී.ටී.ඊ.ය බලහත්කාරයෙන් ගත්තා. අපේ පවුල්වල අයව බලහත්කාරයෙන් එල්.ටී.ටී.ඊ. යට බඳවගත්තා. ජීවිත කාලයම අපි දුක්‌වින්දා. හමුදාව ආපු එක හොඳයි. නැත්නම් අපිට කරදර තමයි. දැන් අපියි හමුදාවයි සහෝදරයෝ වගේ ඉන්නවා. අපි කෑවද, බීවාද කියලා හොයලා බලනවා. හමුදාව අපේ මඟුලට, මරණයට උදව් කරනවා. ලෙඩට දුකට පිහිට වෙනවා. රෑ ජාමෙට අපේ කෙනෙකුට අසනීපයක්‌ හැදුණත් ඉස්‌පිරිතාලෙට ගෙනියන්නේ හමුදාවේ අය. 

එල්.ටී.ටී.ඊ. ය අපිට ඒ විදිහට සැලකුවේ නැහැ. කන්න බොන්න නැතුව අපි දුක්‌විඳිනකොට එල්.ටී.ටී.ඊ. අය හොඳට කලා බීලා සැපට හිටියා." ගම්මු ඔවුන්ගේ භාෂාවෙන් එක දිගට කියාගෙන යන්නාහ. රාමනාත් කැඩිච්ච සිංහලෙන් අපිට පරිවර්තනය කර දුන්නේය.

ඔවුන් දැන් යථාර්ථය තේරුම් ගෙන ඇත. කාලය හරි අරුම මවයි. යුද ගිනිවලින් විනාශ වී ගිය නිවාස නැවත අලුතින් ගොඩනැගෙමින් තිබේ. පුරන් වූ විශාල කුඹුරු යායවල් නැවතත් අස්‌වැද්දෙමින් තිබේ. ප්‍රදේශයේ සංවර්ධනය අධිවේගීය. කාලයත් වේගයෙන් ගලා යයි. වැහි වළාකුළුවලින් පිරී තිබුණු අහස දැන් නිල් කැටයට දීප්තිමත්ය. එමෙන්ම පය ගැසීමට නොහැකි තරමට සුදු වැල්ල ගිනි ගෙනය. අපි රාමනාත්ලගෙන් සමුගෙන අසල්වැසි ගම වන පල්ලිකුඩා ප්‍රදේශයට යැමට පිටත් වුණෙමු.

පල්ලිකුඩා යනු පවුල් හාරසීයක්‌ පමණ ජීවත් වන ධීවර ගම්මානයකි. පානීය ජල ප්‍රශ්නය තදින්ම බලපාන ප්‍රදේශයකි. ගමේ කෝවිල ඉදිරිපස ඇති පොදු ළිඳ ගමටම ජලය බෙදන එකම ළිඳයි. පල්ලිකුඩා ගමට පමණක්‌ නොව කිලෝ මීටරයක්‌ පමණ දුරින් පිහිටි හෙට්‌ටිකාඩුකරුවල් ගමට වතුර දෙන්නේ ද මේ ළිඳෙනි. 

වැලිs පාර කෙළවර විය. කොන්ක්‍රීට්‌ මග ඔස්‌සේ ටික දුරක්‌ ගමන් කළේය. සෙනඟ ගොඩකි. අපි ඒ මිනිසුන් අසලට කිට්‌ටු කළෙමු. බැරල්, කළ ගෙඩි පොලිමකි. හැර ගැසූ කිතුල් මලකින් තෙලිඡ්ජ වෑස්‌සෙනවා සේ වතුර ටැංකියකින් ජලය බිංදුව බිංදුව වැටේ. වතුර පිරවීමට ඇති බැරල්, කළ ගෙඩි විස්‌සකට වැඩිය. එහෙත් ඒ ප්‍රමාණය පිරවීමට තරම් ටැංකියේ ජලය ප්‍රමාණවත් නැත.

"ඉස්‌සර අපි හිටියේ කිලිනොච්චියේ. මෙහෙට ඇවිත් දැන් අවුරුද්දක්‌ විතර වෙනවා. පවුල් හැටක්‌ විතර මේ ගමේ ජීවත් වෙනවා. හැම ගෙදරක්‌ම වතුර ගන්නේ මේ ටැංකියෙන්. හැමදාම මෙහෙම පෝලිමේ ඉඳලා තමයි වතුර පුරවගන්න ඕනා. එක කළගෙඩියක්‌ පිරෙන්න පැයක්‌ විතර යනවා. දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නය බොන වතුර. එහෙම නැතුව වෙන කිසිම කරදරයක්‌ නැහැ. ළඟදි තමයි මේ ටැංකිය මෙතැනට දැම්මේ. ඉස්‌සර ප්‍රාදේශීය සභාවෙන් සතියකට එක පාරක්‌ ටැංකි පුරවලා යනවා. ඒ වතුර බොන්න බැහැ ලුණු රසයි. මේ ටැංකියේ වතුර හොඳයි" කළ ගෙඩිය පිරෙන්නට තබා භාග්‍යවතී ඇයගේ භාෂාවෙන් කතා කරන්නීය. දෙමළ භාෂාව කතා කළ හැකි හමුදා සෙබළෙක්‌ ඇය කියන දේ අපට තේරුම් කර දුන්නේය.

කළ ගෙඩියක්‌ තරම්වත් උස නැති පුංචි ළදැරියක්‌ භාග්‍යවතී අසලය.

මේ දුවද...?

අපි භාග්‍යවතීගෙන් ඇසුවෙමු.

"නැහැ අල්ලපු ගෙදර දුව..."

ඔයා අද ඉස්‌කෝලේ ගියේ නැද්ද...?

පුංචි කෙල්ල ලැඡ්ජාවෙන් ඇඹරිණි... 

"අද විභාගය නිසා ඉක්‌මනට ආවා..." මොහොතකින් ඇය පිළිතුරු දුන්නාය.

ඔයාගේ නම මොකක්‌ද?

"මාදලම්..."

ඉස්‌කෝලේ ළමයි කීයක්‌ විතර ඉන්නවද?

200 යි...

ඇයි ඔයා වතුර ගෙනියන්න ආවේ ගෙදර කවුරුවත් නැද්ද?

"අක්‌කලා වැඩට ගිහින් ගෙදර ඉන්නේ මම විතරයි..."

ඇයි අම්මයි තාත්තයි...

"තාත්තා මුහුදු ගිහින්... අම්මා යුද්දෙදි නැති වුණා..."

තම මව ගැන මතක්‌වීම නිසා පුංචි සිත පෑරිණි. ඇයගේ දෙනෙත් රතු විණි. ඇය මෙන්ම අපත් ඒ කාලකණ්‌ණි අතීතය නැවත මතක්‌ කිරීමට අකමැතිය. එහෙයින් නැවත අපි ඇය සමග වචනයක්‌වත් කතා කළේ නැත.යුද හමුදාවේ සහෘදත්වයේ පැන්වලින් තම කළගෙඩිය පිරෙන්නට තබා පුංචි මාදලම් අප අසලින් පසු පසට ගියාය.

මවු සෙනෙහස උදුරාගනිමින් ඒ කඳුළු ඇය වෙත ගෙන ආවේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදයයි. කඳුළු මැදින් ඇයට සිනාසෙන්නට වරම් දුන්නේ හමුදාවේ සහෝදරත්වයයි. සහජීවනයයි. මේ වතුර බිංදුව මාදලම්ලාගේ දෙපා අභියසට වඩම්මන්නට යුද හමුදා සොයුරන් ගත් වෙහෙස ගැන ඩේවිඩ් කැමරන්ලා දනීද?

තරංග රත්නවීර | ඡායාරූප - ඉෂාර 
http://www.divaina.com/2013/12/08/feature12.html

0 comments: