Pages

Sunday, December 1, 2013

ශ්‍රීධරන්ගේ කොටි ජවනිකා මැද කෝටි සියයක වත්කම් සොයාගනී


  • ඩෙල්ප්ට්‌ ප්‍රාදේශීය සභාපති මරණය ගැන රහස්‌ පොලිස්‌ පරීක්‌ෂණ
  • ආරක්‍ෂක ලේකම්වරයා ජාත්‍යන්තර අධිකරණයට ගෙන යැමට උත්සාහ කළ සුදු කොටි කල්ලිය රාජ්‍ය මාධ්‍ය යාන්ත්‍රයට රිංගීමට උත්සාහ කරයි.
  • යාපනය නගර සභා වෙබ් අඩවියේ ප්‍රභාකරන් මතු වේ.
  • කොටි නළුවකු වූ ජෙයපාලන් මෙරට පිරිස සුදුහුණු ගාති
  • චැනල් 4 කල්ලිය කොටි ඩයස්‌පෝරාව මුදලට ගත්තා - ඩග්ලස්‌ වික්‍රමරත්න
  • "ජනාධිපති රාජපක්‍ෂ සහ අනිකුත් යුද අපරාධකරුවන් යුද අධිකරණයට ගෙන යනතුරු මට නින්ද යන්නේ නැහැ - චැනල් 4 අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ කැනඩාවේ ටොරොන්ටෝ නගරයේදී.
  • ඒ දිනය එතරම් ඈත නැහැ - ද්‍රවිඩ සංධාන මන්ත්‍රී ශ්‍රීධරන්


තීපන්, ශ්‍රීධරන්, රෙක්‌සියන් රජීව්, ජෙයපාලන්, ඩග්ලස්‌ වික්‍රමරත්න

යාපනයේ ඩෙල්පට්‌ දූපතේ පදිංචිව සිටි සිවඥනම් ශ්‍රීධරන් කිලිනොච්චියට පැමිණීමෙන් පසු කිලිනොච්චි මධ්‍ය මහා විදුහල්පති ලෙස පත් විය. ඔහු විවාහවූයේ වේලායුධපිල්ලේ බනියක්‌කුමාර් හෙවත් තිපන් නමැති යාපනයේ කොටි හමුදා නායකයාගේ සොහොයුරිය සමග. තිපන් එසේ මෙසේ කොටියෙකු නොවේ. මිනීමැරුම් රැසකට සම්බන්ධ ඝාතකයෙකි.


මුල්ලිවයික්‌කාල් සටනේදී තිපන් ද මරුමුවට පත් විය. ඔහුගේ සිරුර හඳුනා ගනු ලැබුවේ 58 වැනි සේනාංකය භාරව සිටි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වායි.


තිපන් නිසා 2010 පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට ද්‍රවිඩ සංධානයෙන් ඉදිරිපත් වී මන්ත්‍රීවරයකු බවට පත් විය. මෙවන් පසුබිමක්‌ ඇති ශ්‍රීධරන්ගේ සොහොයුරා ශ්‍රී කුගන්ය. ස්‌විට්‌සර්ලන්තයේ සූරිච් නගරයේ වෙසෙන ශ්‍රීකුගන් කොටි වෙබ් අඩවියක්‌ සහ ගුවන් විදුලියක්‌ මෙහෙයවයි. මේ වෙබ් අඩවියෙන් හා ගුවන් විදුලියෙන් ඔහු කරන්නේ සිය සොහොයුරාගේ ශ්‍රීධරන්ගේ කොටි දේශනවලට ප්‍රචාරය දීමයි. පසුගිය වසරේ ජුනි මස ඉන්දියාවට ගිය ශ්‍රීධරන් එරට සිටින කොටි ක්‍රියාකාරිකයකු වූ පෝල් නිව්ටන් හමුවී ශ්‍රී ලංකාවට එරෙහිව වහසිබස්‌ දෙඩීය.

අපේ සටන්කාමීන් 40000 ක්‌ දිවි පිදුවා. ද්‍රවිඩ රාජ්‍යයක්‌ සඳහා වූ ඉලක්‌කය අපි අත්හැර නැහැ. අපි ස්‌වයංපාලනය ලබාගැනීමට ක්‍රියාකරනවා. 1990 න් පසු යුරෝපයේ රටවල් 26 ක්‌ බටහිර රටවල සහය මත බිහිවුණා. යම් දිනෙක අපිත් රටක්‌ ගන්නවා. ප්‍රභාකරන් කියුබානු නායක කස්‌ත්‍රොට සහ ෙච් ගුවේරාට නමස්‌කාර කළා නමුත් ඒ කියුබාව අද ශ්‍රී ලංකාවට සහය වෙනවා. ද්‍රවිඩ ඩයස්‌පෝරාව සහ තමිල්නාඩුව ඊළාම් රාජ්‍යය ලබාගැනීම සඳහා අපට සහය වෙනවා. එදා ඉන්දිරා ගාන්ධි, එම්. ජී. රාමචන්ද්‍රන් සහ ජී. පාර්තසාර්ති අපට උදව් කළා. ඔවුන්ගේ අභාවය මුල්ලිවයික්‌කාල් සිද්ධියට සමානයි. 1676 වනතුරු උතුරු නැගෙහිර වෙනම රටක්‌ තිබුණා. එහෙත් 1833 දී බ්‍රිතාන්‍යය එම රට සමග ලංකාව කියා රටක්‌ බිහි කළා. සිංහලයන් විජය රජු සමග ඔරිස්‌සාවෙන් පැමිණියා. අපි අසාධාරණ ක්‍රියාවන්ට එරෙහිව හිස නමන්නේ නැහැ. කොටි සංවිධානය කළෙත් එයයි.


අපි අරගලය ගෙනියනවා. ඊළම අපේ එකම අරමුණයි යෑයි ශ්‍රීධරන් කියා සිටියේය.


මෙලෙස ඊළම ගන්නා බවට තර්ජනය කරන ශ්‍රීධරන් පසුවද ඉන්දියාවට ගොස්‌ ප්‍රභාකරන් මළේ නැති බවත් අවශ්‍ය වේලාවට ඉදිරිපත් වන බව සඳහන් කළේය. පසුගිය සඳුදා ශ්‍රීධරන් විනාඩි 30 ක්‌ තිස්‌සේ පාර්ලිමේන්තුව අමතමින් සිය කොටි නාටකයේ ජවනිකා එකින් එක ඉදිරිපත් කළේය. ඔහු පාර්ලිමේන්තුව ඇමතුවේ ප්‍රභාකරන් මිනීමරුවා මියගිය ත්‍රස්‌තයන් සැමරීම අමතන්නාක්‌ මෙනි. ඔහු රජය සහ ආරක්‍ෂක යාන්ත්‍රණය දැඩි ලෙස විවේචනයට ලක්‌ කළේය.


<--- බ්‍රිතාන්‍ය තුළ කොටි ඝාතකයන් සැමරීමට ඉඩ ලැබී තිබූ අන්දම - ලන්ඩන් නුවර එක්‌සල් මන්දිරයේදී

ශ්‍රීධරන් සිය කතාව කළේ කල්තියා සකස්‌ කරගත් ලියවිල්ලක්‌ බලාගෙනය. මෙලෙස ප්‍රභාකරන් ඝාතකයාව නිදහස උදෙසා සටන් කළ විරුවකු ලෙස හැඳින් වු ශ්‍රීධරන් උතුරේ ජනතාව ද්‍රවිඩ සංධානයට ඡන්දය දුන්නේ ඒ නිසා යෑයි ද පළ කළේය.


මොහු ඊට පෙරද ශ්‍රී ලංකා හමුදාව අවමානයට ලක්‌ කිරීමට උත්සාහ කරමින් ද්‍රවිඩ තරුණියන් 200 කට ශ්‍රී ලංකා සෙබළුන් අතවර කිරීමට උත්සාහ කළ අවස්‌ථාවේ තමා ඔවුන්ව බේරා ගත් බව කීවේය.


මේ අයුරින් පාර්ලිමේන්තුව තුළත් මිනීමරු ප්‍රභාකරන්ට සුදුහුණු ගෑමේ යෙදී සිටින ශ්‍රීධරන් රජයේ තානාපති ගමන් බලපත්‍රය මත විදේශ රටවලට ගොස්‌ ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය ප්‍රචාර රැසක්‌ දියත් කර ඇත.


මේ අතර නොර්වේහි පදිංචි කවියකු හා නළුවකු යෑයි හඳුන්වන වී. අයි. එස්‌. ජෙයපාලන් නමැත්තා සංචාරක වීසා බලපත්‍රයක්‌ මත මෙරටට පැමිණ උතුරේ වන්නිවිලන්කුලම් ප්‍රදේශයට ගොස්‌ සිටියදී ත්‍රස්‌ත මර්දන නිලධාරීහු අත්අඩංගුවට ගනු ලැබීය. 2006 මියගිය තම මවගේ අවමඟුලට සහභාගි වීමට නොහැකි වීම නිසා ඇගේ සොහොන බලා ගැනීමට තමන් පැමිණි බව ඔහු කියා සිටියේය. එහෙත් මවගේ සොහොන බැලීමට ඔහු 2009 සිට 2012 නොවැම්බර් මස වනතෙක්‌ සිටියේ මන්ද?


උතුරේ ද්‍රවිඩ සංවිධානයක හිටපු ක්‍රියාකාරියකු වූ ජෙයපාලන් 2008 ඔක්‌තෝබර් මස දිනෙක තමිල්නාඩුවේ චෙන්නායි පැවැති ශ්‍රී ලංකා විරෝධී උද්ඝෝෂණයට සම්බන්ධවී ශ්‍රී ලංකාවට එරෙහිව හමුදා ආධාර නොදෙන්නැයි ඉන්දීය රජයෙන් ඉල්ලා සිටියේය. ඉන්පසු ඔහු කොටි රූකඩයන් වූ බී. බී. සී. සේවාව අමතමින් මෙලෙස කියා සිටියේය.


යුද්ධය ඇතිවුවොත් කිසිදු පාර්ශ්වයකට තම ප්‍රදේශ රැකගත නොහැකියි. කොටි සංවිධානය යුද්ධය දකුණට ගෙන එනවා. ජනාධිපති රාජපක්‍ෂ මේ අනතුර තේරුම් ගත යුතුයි. ජනාධිපති ගැන ද්‍රවිඩ ජනතාව ඉමහත් ලෙස අතෘප්තිමත් වී තිබෙනවා. ඔහු ඒකීය රාජ්‍යය මත ක්‍රියාකරනවා. එහි අර්ථය නම් යුද්ධයයි යනුවෙන් ජෙයපාලන් ප්‍රකාශකර තිබිණි.


1978 සමයේ යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙස ක්‍රියා කළ ජෙයපාලන් ප්‍රභාකරන්ගේ උපන්දිනය සහ මියගිය කොටි ත්‍රස්‌තයන් සැමරීමේ වකවානුවේ උතුරට පැමිණියේ මවගේ සොහොන බැලීමටද?


ප්‍රභාකරන් ජයගනු ඇතැයි තරයේ විශ්වාස කළ ජෙයපාලන් ත්‍රස්‌ත මර්දන බලධාරීන් අත්අඩංගුවට ගත් බව ඇසීමෙන් මුලින්ම කම්පාවට පත්වූයේ චැනල් 4 රූපවාහිනි සේවාවට ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කළ බව දක්‌වමින් තොග පිටින් වීඩියෝ දර්ශන හා ලියවිලි යෑවූ ජර්මනියේ ෙ-. ඩී. එස්‌. හෙවත් ජර්තලිස්‌ට්‌ හෝ ඩිමෝක්‍රාසි නමැති කොටි හිතවාදී සංවිධානයයි.


අනතුරුව නෝර්වේ අරමුදල් මත යෑපෙන නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික කණ්‌ඩායම දැඩි ලෙස ශෝකයට පත්විය. නිදහස්‌ අදහස්‌වලට ඉඩක්‌ නැතැයි කියමින් එකී එන්. ජී. ඕ. කල්ලිය ප්‍රකාශයක්‌ ද නිකුත් කළේය. ඒ අනුව 2014 දී නෝර්වේ රජය ඔවුන්ට සපයන අරමුදල් වැඩි කරනු ඇත.


ශ්‍රී ලංකාව තුළ පස්‌ අවුරුදු අන්තර් පාලන කාලසීමාවක්‌ සමයේ ජනමත විචාරණයක්‌ පැවැත්වී සුඩානය මෙන් ශ්‍රී ලංකාව දෙකඩවනු ඇතැයි ජෙයපාලන් විශ්වාස කළේය.


නෝර්වේ රාජ්‍යය සුඩානය දෙකඩ කළ අයුරින් ශ්‍රී ලංකාව ද දෙකඩ කරනු ඇතැයි බලාපොරොත්තු වූ ජෙයපාලන්ව අත්අඩංගුවට ගැනීsම නිසා දකුණේ සහෘදයන් යෑයි හඳුන්වාගන්නා සිව්දෙනෙක්‌ හඬා වැටිණි.


ඉන් එක්‌ අයෙක්‌ ජාතික රූපවාහිනියේ සේවය කරයි. ප්‍රභාකරන්ගේ නිල කවියා වූ පුතුවාධි රත්නතුරෙයි නමැති කොටි ත්‍රස්‌තයාගේ කවි සිංහලට නැඟුවේ ද මොහුයි.


එහෙත් රජය ජෙයපාලන්ව නෝර්වේ වෙත යවනු ලැබීය. ජෙයපාලන් අත්අඩංගුවේ සිටින සමය තළ ඔහුට දුරකථන ඇමතුම් ලබාගැනීSමට හා අන්තර්ජාල පහසුකම් ද ලැබිණ. මේ අතර ද්‍රවිඩ සංධාන මන්ත්‍රී ශ්‍රීධරන් කොටින්ව පිම්බීමට උත්සාහ කරන අවස්‌ථාවේ කොටි සතු වත්කම්වලින් කොටසක්‌ ත්‍රස්‌ත මර්දන නිලධාරීහු සොයා ගත් බව වාර්තා විය.


එකී වත්කම් රුපියල් කෝටි 110 කට වඩා අධිකය. 


එහෙත් මෙපමණ වත්කම් කොටින්ට හිමිවූයේ කෙසේද? ද්‍රවිඩ සන්ධාන නායක සම්පන්දන්, මනෝ ගනේෂන්, ශ්‍රීධරන් ප්‍රමුඛ ද්‍රවිඩ සංධාන මන්ත්‍රීවරු හා මෙරට එන්. ජී. ඕ. කල්ලිය හා නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික කල්ලිය මෙයට ද්‍රවිඩ මාධ්‍ය සංසදය ද මේ වත්කම් ගැන නිහඬ වී ඇත. මෙරට ජනතාවගේ දැන ගැනීමට අපි එම වත්කම් හෙළිකරන්නෙමු.


  • දැනට සොයාගෙන ඇති වත්කම්, රුපියල් කෝටි 110 කට අධිකය
  • කටුනායක ගුවන් තොටුපල අසල ඉඩමක්‌, වැල්ලවත්තේ තෙමහල් සුපිරි ගොඩනැගිල්ලක්‌. කොළඹ ජම්පටා වීදියේ මුද්‍රණාලයක්‌, යාපනයේ නිල නාදන් මුද්‍රණාලය, නිවාස රැසක්‌. ඇඟළුම් කම්හල් කීපයක්‌, බහුදින යාත්‍රා රැසක්‌.
  • විදේශ බැංකු ගිණුමක රුපියල් ලක්‍ෂ 550 
  • දේශීය බැංකුවක - රුපියල් ලක්‍ෂ 30 
  • අධි තාක්‍ෂණික පණිවුඩ යන්ත්‍ර 
  • රාජ්‍ය නොවන සංවිධානයක්‌ සැපයූ ප්‍රභාකරන් භාවිත කළ සුපිරි ප්‍රාඩෝ රථය

මින් සමහර දේපල මිලයට ගෙන තිබුණේ රාජ්‍ය නොවන සංවිධානයක නමිනි.

එසේම විවිධ පාර්ශ්වයන්ගේ නමින් තැන්පත් කර ඇති මුදල් අඩංගු ගිනුම් සහ දේපළ රැසක්‌ කොටි සංවිධානය සතුව තිබූ අතර ඇතමුන් විදේශ රටවලට පලාගොස්‌ තිබේ.


මේ පසුබිම මැද සුදුකොඩි ඔසවාගෙන පැවැති කොටි හමුදා නායකයන්ට වෙඩි තබන ලෙස ආරක්‍ෂක ලේකම්වරයා 58 වැනි සේනාංග ප්‍රධානි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට නියෝග කළ බවට සාවද්‍ය ප්‍රචාර දියත් කළ බොම්බඩියර් කල්ලිය නමැති මාධ්‍ය කණ්‌ඩායමේ අයෙක්‌ හෙමින් සීරුවේ රජයේ මාධ්‍ය යාන්ත්‍රණයට රිංගීමට උත්සාහ දරන බව හෙළි විය. මොවුන්ගේ මේ සුදුකොඩි සාවද්‍ය ප්‍රචාරය නිසා ශ්‍රී ලංකා හමුදාව පමණක්‌ නොව හමුදා නායකයන්ට ද විදේශ රටවලින් බරපතළ දුෂ්කරතා මතුවිය. 


බොම්බඩියර් කල්ලියේ නායකයා දැන් ස්‌විට්‌සර්ලන්තයට පැනගොස්‌ මසකට ප්‍රෑන්ක්‌ 350 ක දීමනාවක්‌ ලබා සුවසේ ජීවත් වේ. මේ පසුබිම මැද එකී කල්ලියේ ඉතිරි පිරිස්‌ බැටළු වෙස්‌ ගෙන රජයේ මාධ්‍ය යාන්ත්‍රණයට ඇතුල් වීමට වෙර දරන්නේ සිය ඊළඟ රංගනයට බව රජයේ බලධාරීහු තේරුම් ගත යුතුය.


මේ අතර කොටි හිතවාදීහු එකිනෙකා දැන් අළු ගසා දමා මතුවෙමින් සිටී. කොටි මිනීමරුවන් සැමරීමේ යෙදී තිබූ නොවැම්බර් 27 දා සමාජවාදී පක්‍ෂයේ ක්‍රියාකාරියකු යෑයි හඳුන්වා ගන්නා තිලක්‌ කෝදාගොඩ නමැත්තෙක්‌ මතු විය. ප්‍රභාකරන් පරාජයවීමත් සමඟම මොහු අතුරුදන් විය. මේ තක්‌කඩියා ප්‍රභාකරන් ශ්‍රේෂ්ඨ සටන්කාමියකු බව කියා සිටියේය. උතුරු පළාත් සභාවේ සභිකයකු වු තුරෙයිරාසා රධිකාරන් ඇතුළු කොටි හිතවාදීන් පිරිසක්‌ මියගිය කොටි ඝාතකයන් සැමරීමටද ක්‍රියාකළහ. යාපනය ශික්‍ෂණ රෝහල් පියස්‌සේ පහනක්‌ දැල්වීමටද විශ්වවිද්‍යාල සිසුන් පිරිසක්‌ ක්‍රියා කර තිබූ බව වාර්තා විය. ඊට සමගාමීව යාපනය මහ නගර සභාවේ වෙබ් අඩවියට ප්‍රභාකරන් සමරුව ඇතුළත්කර තිබුණි.


ඩෙල්පට්‌ ප්‍රාදේශීය සභාපති ඩැනියෙල් රෙක්‌සියන් රජිව් නමැත්තාගේ මරණය සම්බන්ධයෙන් දැන් රහස්‌ පොලිසිය පරීක්‌ෂණ අරඹා ඇත. ඔහු සිය දිවිනසා ගත් බවට මුලින්ම වාර්තා විය. මෙම මරණය ගැන තොරතුරු ඊ. පී. ඩී පී. පක්‍ෂය මෙතෙක්‌ හෙළි කර නැත. 


ඩැනියෙල් රෙක්‌සියන්ගේ මරණයේ වගකීම නාවික හමුදාව වෙත යොමු කිරීමට උතුරේ කොටි හිතවාදීහු උත්සාහ දරා ඇතැයිද වාර්තා විය. 


බ්‍රිතාන්‍යයේ කොටි ඩයස්‌පෝරාව ද මියගිය කොටි සැමරීමට ක්‍රියා කළේ විශාල කොටි ලාංඡනයක්‌ ප්‍රදර්ශනය කිරීමෙනි. කොටි අපරාධකරුවන් පිරිසක්‌ යෑයි අගමැති කැමරන් හඳුන්වද්දී මියගිය කොටි ත්‍රස්‌තයන් සැමරීමට ඉඩ ලැබුයේ කෙසේද?


මේ අතර බ්‍රිතාන්‍යයේ සිට දිගු කලක්‌ තිස්‌සේ කොටින්ට එරෙහිව සටන්වැදුණු ශ්‍රී ලාංකික ක්‍රියාකාරියකු වූ ඩග්ලස්‌ වික්‍රමරත්න පෙරේදා මෙරටට පැමිණියේය.


කැලම් මැක්‌රේ - ජෝන්ස්‌ නෝ වැනි චැනල් 4 ක්‍රියාකාරීහු කොටි ඩයස්‌පෝරාව විසින් මුදලට ගත් අය බව ඔහු කියා සිටියේය.


බ්‍රිතාන්‍යයේ ඇතැම් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක්‌ ඇසීමට ස්‌ටර්ලින් පවුම් 5000 ක්‌ ගැනීමේ සිද්ධීන් වාර්තා වූ විට කැලම් මැක්‌රේලා ගැන කුමන කතාදැයි ඔහු කීවේය.


කීර්ති වර්ණකුලසූරිය

http://www.divaina.com/2013/12/01/defence.html

0 comments: