Pages

Sunday, December 1, 2013

උතුරේ උද්ඝෝෂණ පිටුපස ඇති ආගමික හස්‌තය කාගේද? රායප්පු ජෝශප් යනු කව්ද?

ප්‍රභාකරන්ට අවසන් වරට මහවිරු කතාවක්‌ කරන්නට ලැබුණේ 2008 වසරේ නොවැම්බර් මාසයේදීය. එය ඊනියා දෙමළ නාසිවාදියාගේ 19 වැනි මහවිරු දින කථාව විය. ඒ මහවිරු කථාව කරන විට කොටි සංවිධානයට හතර අතින්ම ප්‍රහාර එල්ල වන ඊළාම් යුදසමයේ උග්‍රතම අවස්‌ථාවක්‌ විය. 2008 නොවැම්බර් වන විට හමුදාව කිලිනොච්චිය ආසන්නයටම පැමිණ තිබිණි. සිය අවසන් මහවිරු ප්‍රකාශය කරමින් ප්‍රභාකරන් ආයාචනා කළේ කාටද? ඒ ඉන්දියානු ආණ්‌ඩුවටය. 1987 දී මෙන් නැවතත් තමන්ගේ පණ බේරාදීමට ඉන්දියාව ක්‍රියාත්මක වනු ඇතැයි යන අපේක්‍ෂාව පෙරදැරිව මේ ත්‍රස්‌ත නායකයා ඉන්දියාව අපේ මිත්‍රයෙක්‌. අපි ඔබලාට එරෙහි වන්නේ නැතැයි සිය මහාවීර දේශනයෙන් ආයාචනා කර තිබිණි. නමුත් මේ ප්‍රකාශය ගැන හිතන්නවත් දිල්ලියට අස්‌වැසිල්ලක්‌ නොවුණේ මහවිරු කථාව ලොවපුරා ප්‍රචාරය වීමට පැය 20 කට කලින් අඡ්මාල් කසාබ් ඇතුළු දසදෙනකු පැමිණ මුම්බායි නුවරට දැවැන්ත ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ එල්ල කිරීම නිසාය.

මුම්බායි ප්‍රහාරයත් සමඟ කිලිනොච්චියේ සිදුවන්නේ කුමක්‌දැයි බලා සිටි දිල්ලි බලධාරීන්ට වහාම සිය අදහස්‌ වෙනස්‌ කර ගැනීමට සිදුවිය. ඉන්දීය ආරක්‍ෂක බලධාරීන්ගේ ඇස්‌ රතු කරමින් එල්ල වූ මේ ප්‍රහාරය නිසා කොටි ත්‍රස්‌තයන් මර්දනය නවත්වන්නැයි ආයාචනා කිරීමට දිල්ලි ආණ්‌ඩුවට සදාචාරාත්මක හැකියාවක්‌ උදා වී නොතිබිණි. මුම්බායි ප්‍රහාරය මෙරට ත්‍රස්‌ත මර්දන කටයුතුවලට වෙස්‌වලාගත් ආශිර්වාදයක්‌ විය. මුම්බායි ප්‍රහාරයට පැමිණි ත්‍රස්‌තවාදීන් දසදෙනාගෙන් නමයක්‌ මරාදමා තවත් එක්‌ අයෙක්‌ අත්අඩංගුවට ගෙන මේ මෙහෙයුම අවසන් කිරීමට ඉන්දීය ආරක්‍ෂක අංශවලට පැය හැටක්‌ ගත විය. එනිසාම තමන්ගේ ආරක්‍ෂක අංශවල ක්‍රියාකාරිත්වයේ වේගවත්භාවය ගැන වහාම සොයා බැලීමට "සින් - සෝනියා" යුවලට සිදුවූ නිසා කිලිනොච්චිය - මුලතිව් ප්‍රදේශවලට එල්ලවන ගුවන් ප්‍රහාර හෝ ෂෙල් ප්‍රහාර එතරම් වැදගත් නොවීය.


මීට වසර පහ හයකට පෙර නම් දකුණේ ආණ්‌ඩුවත් සිංහල ජනතාවත් වන්නියේ සැඟවී සිටින ත්‍රස්‌ත නායකයා පවසන්නේ කුමක්‌දැයි යන්න පිළිබඳව විශේෂ අවධානයක්‌ යොමු කරති. ත්‍රස්‌තයකුගේ ප්‍රකාශයකට ආණ්‌ඩුවක්‌ ජනතාවත් සසල වීම සැබවින්ම දීනකමකි. නමුත් ඒ අඳුරු යුගයේ මේ ඊනියා මහාවීර ප්‍රකාශය නිසා සමස්‌ත සමාජයම දීනත්වයට පත්කර තිබිණි. අද, මේ ප්‍රකාශ කළ අයත් ඒවා ලොව පුරා ප්‍රචාරය කරමින් ඒ ගැන විග්‍රහ කළ අයත් දක්‌නට නැත. 2009 ජනවාරි 02 වැනිදා කිලිනොච්චිය අපේ හමුදා මගින් නැවත අත්පත් කර ගන්නා විටම මහාවීර කතා යළි ඇසේද යන ප්‍රශ්නය මා සිත තුළට නැඟිණි. යුද්ධය නිම වී වසර හතරකට අධිකය. එදා මහාවීර දිනය නිසා රටම භීතියට පත්ව තිබූ ආකාරය අප අමතක කළ යුතු නැත. ඒ අඳුරු අතීතය ඉක්‌මනින්ම අමතක කළහොත් අප අකෘතඥයින් වන බව පැහැදිලිව සටහන් කළ යුතුය. රට ත්‍රස්‌තවාදයෙන් මුදාගැනීමට කටයුතු කළ දේශපාලන නායකත්වයත් රණවිරුවනුත් අප කිසිදිනක අමතක කළ යුතු නැත. මේ යුද්ධයේදී හමුදා සෙබළුන් විසිපන්දහසක්‌ දිවි පිදූ බවත් එනිසා මේ නොවැම්බර් 27 වැනිදා මහාවීර ප්‍රකාශය ගුවන්ගත නොවූ බවත් අප තරයේ සිත්හි තබාගත යුතුව ඇත.


ප්‍රභාකරන් මහවිරු කථාව ගැන මේ සටහන තබන්නට සිහිවුණේ මන්ද? ඉකුත් අඟහරුවාදා දිනයේ දෙමළ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් විසින් ප්‍රභාකරන් ජාතික වීරයකු හා විමුක්‌තිකාමියකු යෑයි පවසමින් කළ කථාව පිළිබඳව දැඩි ආන්දොලනයක්‌ ඇතිවූ නිසාය. ශ්‍රීධරන් යනු මියගිය කොටින්ට කෙසේ හෝ යළි පණදීමට උත්සාහ කරන දෙමළ ජාතිවාදියකු බව අමුතුවෙන් කිවයුතු නැහැ. පුරා විනාඩි 30 ක්‌ පමණ කොලයක්‌ බලාගෙන ප්‍රභාකරන්ගේ ගුණ වර්ණනාව සඳහා මොහු සිය පාර්ලිමේන්තු කථාව වෙන්කිරීම ගැන ආණ්‌ඩු පක්‍ෂ මෙන්ම විපක්‍ෂ මන්ත්‍රීවරුද දැඩි සේ විරෝධය දක්‌වන්නට වූහ. මීට පෙරද අවස්‌ථා කිහිපයකම දෙමළ සන්ධාන මන්ත්‍රීවරු ප්‍රභාකරන් දෙවියකු යෑයි පවසමින් ආරක්‍ෂක හමුදාවන්ට තර්ජනය කළ අවස්‌ථා අපට මතකය. යාපනය දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී එස්‌. ගඡේන්ද්‍රන් මන්ත්‍රීවරයා මීට වසර ගණනාවකට ඉහතද යාපනයේ සිටින ආරක්‍ෂක හමුදා සාමාජිකයන් හතළිස්‌දහසක්‌ මිනී පෙට්‌ටිවලින් දකුණට එවන බවට කළ ප්‍රකාශය නිසා ද එදා පාර්ලිමේන්තුව එකම ගාලගෝට්‌ටියක්‌ බවට පත්විය. වසරින් වසර විවිධ පුද්ගලයෝ ප්‍රභාකරන් පිම්බීම සඳහා විවිධ කතා පවත්වති. මෙවර ඒ නාටකය රඟපෑවේ ශ්‍රීධරන් මන්ත්‍රීවරයාය. ඇත්තෙන්ම දෙමළ බහුතරය පවා ප්‍රභාකරන් ජාතික වීරයකු ලෙස පිළිගන්නේද යන්න ප්‍රශ්නයකි. 2009 මැයි 19 වැනිදා ප්‍රභාකරන් මළවුන් අතරට ගිය නිසාම එදා පටන් දෙමළ ජීවිත ආරක්‍ෂා විය. 1983 සිට ඇති වූ ත්‍රස්‌තවාදී ප්‍රශ්නය නිසා වැඩියෙන්ම පීඩාවට පත්වූයේද, වැඩියෙන් මරණයට පත්වූයේද දෙමළ ජනතාව යන්න ප්‍රකට කරුණකි.


ශ්‍රීධරන් මන්ත්‍රීවරයා මෙන්ම යාපනයේ කරවෙඩ්ඩි ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු පිරිසක්‌ද මහවිරු දිනය සමරා මලින් ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්‌ත කැලට උපහාර පිදූ බවට තොරතුරු ආරක්‍ෂක අංශ වෙත ලැබී තිබිණි. ඇත්තෙන්ම රටේ නීතියට පටහැනිව මියගිය ත්‍රස්‌තයන් ලංකාවට ද්‍රෝහී වූවන් සමරන පුද්ගලයන්, කණ්‌ඩායම්වලට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුය. මන්නාරමේ කතෝලික පූජකයන් ගණනාවක්‌ම යළිත් වරක්‌ ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහි කුමන්ත්‍රණයක්‌ අරඹා ඇත. මොවුන් මියගිය කොටින්ගේ ඡායාරූප රැගෙන පෙළපාලි යන අයුරුත් ඒවා චැනල්4 මාධ්‍යවේදීන් විසින් වීඩියෝ කරන අයුරුත් ටැමිල්නෙට්‌ වෙබ් අඩවියේ පළ වී තිබිණි. ඇත්තෙන්ම රායප්පු ජෝශප් රදගුරුවරයාගේ මග යමින් රටේ නැවත අවුලක්‌ ඇතිකිරීමට උත්සාහ කරන මේ දෙමළ කතෝලික කුමන්ත්‍රණය ගැනත් රජය වහා අවධානය යොමුකළ යුතුයි.

ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පාප් වහන්සේට ලංකාවට පැමිණෙන්නැයි ආරාධනා කිරීමත් සමඟම මන්නාරමේ දෙමළ කතෝලික පූජකයෙක්‌ වහා කුපිත වී ඇති බව පැහැදිලිය. මේ පිරිසට යාපනයේ ක්‍රියාත්මක වන කතෝලික පූජකවරුන් පිරිසක්‌ද සම්බන්ධ වී ඇත. චැනල්4 මාධ්‍යවේදීන් හමුවේ යුද අපරාධ පිළිබඳ ගතු කීම සඳහා දෙමළ වැසියන් ඉදිරිපත් කරනු ලැබුවේ මන්නාරමේ ජූඩ් බාසිල් සුසෙයි නම් පූජකයායි.


දෙමළ වැසියන් විවිධ ප්‍රශ්න මත උද්ඝෝෂණය කිරීම වැළැක්‌විය නොහැක. එහෙත් ශ්‍රී ලංකා විරෝධි සෑම උද්ඝෝෂණයකම ප්‍රධානත්වය ගන්නේ දෙමළ කතෝලික පූජකයන්ය. අප කිසිවිටක හින්දු පූජකයන් මේ උද්ඝෝෂණවල දැක නැත. බ්‍රිතාන්‍ය අගමැති යාපනයේ සංචාරය කරන විට ඒ රාජ්‍ය නායක වාහන පෙළ ඉදිරියේ වියරුවෙන් මෙන් කෑගැසූ දෙමළ මවුවරුන්ගේ උද්ඝෝෂණය පිටුපස සිටියේද මේ පූජකයන්මය. එසේ නම් කොළඹ සිටින කතෝලික නායකයන් මේ ගැන කියන්නේ කුමක්‌ද? පාප් වහන්සේ ලංකාවට පැමිණි පසු මේ දෙමළ පූජකයන්ගේ දුක්‌ගැනවිලි අසන්නට උතුරේ සංචාරය කරයිද? මේ කුමන්ත්‍රණය ගැන සැවොම අවදියෙන් සිටිය යුතුය. නැත්නම් එය නවි පිල්ලේගේ හෝ ඩේවිඩ් කැමරන්ගේ ලංකා විරෝධී කුමන්ත්‍රණවලට වඩා උග්‍ර වනු ඇත.


චතුර පමුණුව

http://www.divaina.com/2013/12/01/feature12.html

0 comments: