Pages

Wednesday, December 4, 2013

එල්.ටී.ටී.ඊ මතවාදය පැතිරවීමේ අලුත්ම මාධ්‍යය ක්‍රීඩාවද? 'වික්‌ටර් මහවිරු කුසලාන' පාපන්දු තරගාවලිය මන්නාරමේ

ශ්‍රී ලංකාවේ ඒකීයභාවයට හානි වන ලෙසින් එල්. ටී. ටී. ඊ මතවාදය යළි පැතිරවීමේ උපක්‍රමයක්‌ වශයෙන් ක්‍රීඩාව යොදා ගනිමින් සිටින වග උතුරින් ලැබෙන විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කරයි.

මන්නාරමේදී මෙම තත්ත්වය තදින්ම ක්‍රියාත්මක වන අතර මේ වන විට එල්. ටී. ටී. ඊ. හිතවාදී මානසිකත්වයෙන් මිදෙමින් සිටින තරුණ පරපුර තුළ යළිත් ත්‍රස්‌තවාදයේ බීජයන් රෝපණය කිරීම සඳහා ඉතාම සංවිධානශීලිව කණ්‌ඩායම් කිහිපයක්‌ ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙහි උච්ඡතම අවස්‌ථාවක්‌ බවට පත්වූ ඉකුත් 24 වැනිදා මන්නාරම ශාන්ත ජෝසෆ ක්‍රීඩා සමාජය විසින් මන්නාරම පාපන්දු ලීගයේ මෙහෙයවීම යටතේ 'මර්සලීන් ඇන්තෝනියා පිල්ලෙයි පියුස්‌ලස්‌' කුසලාන නමින් පැවැත්වූ තරගාවලිය එල්.ටී.ටී.ඊ යේ මන්නාරම දිස්‌ත්‍රික්‌ අණදෙන්නා වශයෙන් කටයුතු කළ, 1985 දී අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අසළ සිදුකළ මිනිස්‌ සංහාරය මෙහෙයවූ සහ එල්.ටී.ටී.ඊ කාන්තා අංශය ආරම්භයේදී එය භාරව කටයුතු කළ 1986 දී යුද හමුදාව අතින් මරණයට පත්වූ ලුතිනන් කර්නල් වික්‌ටර් හෙවත් මර්සලීන් ෆියුස්‌ලස්‌ගේ උපන්දිනය සමරමින් පැවැත්වූවක්‌ බව විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරයි.

<---මර්සලින් ෆියුස්‌ලස්‌ හෙවත් වික්‌ටර් සැමරීම පිණිස සංවිධානය කළ බව පැවසෙන පාපන්දු තරගාවලියේ ශූරතාවේ අදාළ නම සඳහන්ව තිබූ අයුරු.
මෙම තරගාවලිය පැවැත්වීමේ බර පැන දරා ඇත්තේ ප්‍රංශයේ සිටින රොනී මාස්‌ටර් ලෙසින් හඳුන්වනු ලබන වික්‌ටර්ගේ සහෝදරයකු විසින් වන අතර කුසලාන නම් කර ඇත්තේ වික්‌ටර්ගේ පියාගේ නමිනි. නමුත් අදාළ කුසලානයේ සඳහන් වන 'ෆියුස්‌ලස්‌' නාමය යොදා ඇත්තේ වික්‌ටර්ගේ නමෙහි සැබෑ නමෙහි (මර්සලීන් ෆියුස්‌ලස්‌) කොටසක්‌ ලෙසිනි. 

රොනී මාස්‌ටර් නමැති මෙම තරගාවලියේ අනුග්‍රාහකයා බවට පත්වූ පුද්ගලයා ප්‍රංශයේදී එල්.ටී.ටී.ඊ යට අරමුදල් රැස්‌කරදීම වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කළ අයෙකු බව තතු දත්තෝ පවසති.

අදාළ තරගාවලියේ ආරධිතයකු ලෙසින් පැමිණි ද්‍රවිඩ් සංධානයේ වන්නි දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩයිකිලනාදන් විසින් මෙය මහවිරු දිනය සමරමින් සිදුකළ තරගයක්‌ බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර ඇති අතර ඒ ප්‍රකාශය ඔප්පු කළ හැකි සාධක ද තිබෙන බව වාර්තාවේ.

මෙම තරගාවලියේ ප්‍රචාරක නිවේදනවලදී මෙය 'වික්‌ටර් මහවිරු කුසලාන' ලෙසින් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබේ.

මෙවන් තරගාවලියක්‌ පැවැත්වීමේදී ජාතික කොඩිය එසවීමේ සම්ප්‍රදාය බැහැර කර ඇති තරග සංවිධායකයන්, ජාතික කොඩිය එසවීමෙන් වැලකී සිටීමට උපක්‍රමයක්‌ ලෙසින් තරගය තුළ කිසිදු කොඩියක්‌ ඔසවා නැත.

ක්‍රීඩා සමාජ 32 ක්‌ නියෝජනය කරමින් කණ්‌ඩායම් මෙම තරගාවලියට සහභාගීවූ අතර තරුණ කොටස්‌ රැසක්‌ අතරේ නැවතත් එල්.ටී.ටී.ඊ මතවාදය පතුරුවාහැරීම සඳහා මෙවැනි අවස්‌ථා අයුතු ලෙස යොදා ගැනීමට අදාළ පිරිස්‌ අපේක්‍ෂාවෙන් සිටිති.

මන්නාරම පාපන්දු ලීගයේ කොටි පුල්ලි

ක්‍රීඩාවට මුවාවෙමින් ජාතිවාදය පැතිරවීම සහ එල්.ටී.ටී.ඊ හිතවාදී වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා වඩාත් උනන්දුවෙන් කටයුතු කරනුයේ මන්නාරම් පාපන්දු ලීගයේ වැඩවලට සම්බන්ධව සිටින කතෝලික පියතුමන්ලා කිහිපදෙනකු බවද කියෑවේ.

එල්.ටී.ටී.ඊ හිතවාදී ක්‍රියාකාරකම් සඳහා ඉහළින්ම අනුග්‍රහය සපයනු ලබන අදාළ පියවරුන් විසින් එම මතවාදයට එරෙහි ක්‍රීඩා ක්‍රියාකාරකම් කප්පාදු කිරීම සඳහා ප්‍රසිද්ධියේම පෙනී සිටින බවද වාර්තා වේ. 

වව්නියාව ශාන්ත ලුසියා ක්‍රීඩා සමාජය තහනම් කිරීම සඳහා මන්නාරම් පාපන්දු ලීගය ක්‍රියා කිරීම මේ සඳහා පැහැදිලි උදාහරණයක්‌ බවට පත්ව තිබේ.

පොදු ජන එක්‌සත් පෙරමුණේ ක්‍රියාකාරීන්ගේ අනුග්‍රහය යටතේ උතුරේ පළාත් සභා ජන්දය පැවැත්වීමට සතියකට ප්‍රථම ශාන්ත ලුසියා ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලැබූ ආරාධිත පාපන්දු තරගාවලිය, ලීගයේ නිසි අවසරයකින් තොරව පැවැත්වූවක්‌ බවට චෝදනා කරමින් එයට දඬුවම් කිරීමට මන්නාරම් පාපන්දු ලීගය කටයුතු කළ අතර ඒ පිටුපස ඇත්තේ ජාතිවාදී බවින් හටගත් ද්වේශය බවට ඔප්පු කළ හැකි සාධක ඇත.

අදාළ තරගාවලිය පවත්වා අවසන් දිනයේ මන්නාරම පාපන්දු ලීගයේ ක්‍රියාකාරී එක්‌ කතෝලික පියතුමෙකු තරග සංවිධායකයන්ට බැන වැදී ඇති අතර මෙය යුද හමුදාවට ආවැඩීම පිණිස සංවිධානය කළ තරගාවලියක්‌ ලෙසින් හඳුන්වමින් බැන වදින පියතුමා 'අපේ ජාතිය නැති කරපු එවුන් සමරන්නයි උඹලා අපිට බොරු කරලා මෙහෙම තරගාවලියක්‌ තිබ්බේ' යෑයි පවසන හඬ පටියක්‌ද 'දිවයින' සතුව ඇත.

මෙම තරගාවලිය සඳහා අවශ්‍ය අනුමැතිය එම ක්‍රීඩා සමාජය විසින් ලබාගෙන තිබුණද එල්.ටී.ටී.ඊ හිතවාදී මානසිකත්වයක සිටින මන්නාරම පාපන්දු ලීගයේ බලධාරීන් විසින් මාස 2 කාලයක්‌ සඳහා ක්‍රීඩා සමාජයේ තරග කටයුතු තහනම් කරමින් සහ රුපියල් 30,000ක දඩයක්‌ එම ක්‍රීඩා සමාජයට පැනවීමට ක්‍රියා කළ අතර කනගාටුවට කරුණ වන්නේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සහ ක්‍රීඩා අමාත්‍යාංශයද එවන් පටු අරමුණක්‌ සහිතව දුන් දඬුවම අනුමත කර තිබීමය.

ජාතිය අමතක කළ උතුරේ 'කලර්ස්‌ නයිට්‌'

මේ අතර පසුගියදා යාපනයේ කෝපායිහී පැවැති උතුරු පළාත් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවයේදී ජාතික කොඩිය එසවීමක්‌ හෝ ජාතික ගීය ගැයීමෙන් සිතාමතාම වැලකී ඇතැයි ද වාර්තා වේ.

මෙම උත්සවයේ මූලික න්‍යාය පත්‍රයට ජාතික ගීය ගැයීම ආදිය උත්සවය සංවිධානය කළ ක්‍රීඩා නිලධාරීන් විසින් එක්‌කර තිබුණද මෙම උත්සවය මෙහෙයවූ උතුරු පළාත් සභාවේ ක්‍රීඩා බලධාරීන් විසින් එම අංගයන් න්‍යාය පත්‍රයෙන් ඉවත් කළේ ශ්‍රී ලංකාවේ ඒකීය භාවය දරා ගැනීමට නොහැකිවීම නිසාද යන පැනය මතුවේ.

ඉන්ද්‍රජිත් සුබසිංහ
http://www.divaina.com/2013/12/04/sports01.html

0 comments: