
හෙතෙම ජර්මානු ජාතිකයකු වුවද සාමාන්‍ය පුරවැසියකුද නොවේ. ජර්මනියේ නගරයක් පාලනය කරන මුල් පුරවැසියෙකි.

සැබැවින්ම අප විශ්වාස කරන්නේ එය අසිරිමත් පූර්වාදර්ශයක් බවය.
"හර්මන් ඇකර්" පසුගිය දිනෙක ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්‌ථාන පින්බිමෙහි දී තාවකාලික පැවිද්ද ලැබීය. ඒ පැවිදි කිරීමේ පුණ්‍යෝත්සවය ඉකුත් 30 වැනිදා හිමිදිරි උදෑසන සේල චෛත්‍යය පාමුලදී සිදු කෙරිණි. විදේශිකයකු පැවිදි බව හෝ තාවකාලික පැවිදි බව ලැබීමෙහි එතරම් අරුමයක් ඇත්දැයි කිසිවෙකුට හෝ සිතිය හැක. එහෙත් "හර්මන් ආතර්" ගැන අසන කෙනකුට එහි අරුමයක් ඇති බව සිතෙනු ඇත.
"හර්මන් ඇකර්" පැවිදි බව ලැබූයේ මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති ගෞරව ශාස්‌ත්‍රවේදී පූජ්‍ය වළවාහැංගුණුවැවේ ධම්මරතන ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ යටතේය.
පවුල් දාහතර දහසක් පමණ වෙසෙන ඕබන් ඩෝෆ් නගරයේ නගරාධිපතිවරයා වශයෙන් වර්තමානයෙහි කටයුතු කරන හර්මන් තාවකාලික මහණ දිවියට පත්වූයේ ජර්මනියේ රතනසිරි යන නමිනි.


තවත් වසර දෙකක කාලයක් සිය ධුරයේ කටයුතු කිරීමට ඉතිරිව ඇති අතර ඒ අනුව 2015 වර්ෂයේ දී ඔහුගේ ධුර කාලය අවසන් වීමට නියමිතව තිබේ.

මීට මාස කීපයකට පමණ ඉහතදී මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වළවා හැංගුණුවැවේ ධම්මරතන ස්‌වාමීන් වහන්සේ ජර්මනියේ ඕබන් ඩෝෆ් නගරයේ පැවැති උත්සවයකට සහභාගි වූ අවස්‌ථාවේ පළමුවරට හර්මන් ආතර්ව මුණගැසෙන්නේය.
ධම්මරතන හිමියන් දැන හැඳිනගත් නගරාධිපතිවරයා තමා බෞද්ධ පොත්පත් රාශියක් මේ වන විට පරිශීලනය කර ඇති බවත්, එමගින් ලද දැනුම සහ අවබෝධය නිසාම බුදු දහම කෙරෙහි තමා තුළ අසීමිත ආදරයක් හා කරුණාවක් ඇතිවූ බව ප්‍රකාශ කරන්නේය.
එපමණක් නොව තමන් බෞද්ධ පොතපත ඇසුරින් ලබාගත් දැනුමට අමතරව මනුෂ්‍ය ජීවිතයේ යථාර්ථය වැඩිදුරටත් අවබෝධ කරගැනීම සඳහා ගිහි ජීවිතයෙන් බැහැරව ගොස් පැවිදි බව ලැබීමට තමාට අවස්‌ථාවක් ලබාදෙන ලෙසද හර්මන් ආතර් ධම්මරතන හිමියන්ගෙන් ඉල්ලීමක් කරන්නේය.
හර්මන් මේ ඉල්ලීම කළේ එරටින් බැහැරව යැමට පෙර තම නිවසට වැඩම කරන ලෙසට ධම්මරතන හිමියන්ට නගරාධිපතිවරයා විසින් ආරාධානවක්‌ද කරමිනි.
එම ආරාධනාව පිළිගෙන නගරාධිපති වරයාගේ නිවසට වැඩම කළ උන්වහන්සේට නිවස තුළදී දක්‌නට ලැබුණේ සිය දෑස් අදහාගත නොහැකි අන්දමේ දර්ශනයකි. නගරාධිපතිවරයාගේ නිවස තුළ බුදු පිළිම බොහෝ ප්‍රමාණයක් තැන්පත් කොට තිබීම අතිශය ප්‍රිය උපදවන සුළු විය.
එහිදීද හර්මන් තමාව තාවකාලිකව පැවිදි බවට පත්කරන ලෙස ඉල්ලා සිටින්නේය. ඒ සඳහා ධම්මරතන හිමියන් ඔහුට ආරාධනා කරන්නේ මිහින්තලේට පැමිණෙන ලෙසය.
ඕබන් ඩෝෆ් නගර සභාවේ මන්ත්‍රීවරියක් සේම තම සමීප හිතවතියක වූ ඇනට් එල්බන් (Annett Elben) සහ ඇගේ සැමියා වන ආර්. එන්. එල්බන් (R.N. Elben) සමග නගරාධිපතිවරයා මිහින්තලේ රජමහා විහාරස්‌ථානයට පැමිණෙන්නේ ඒ ආරාධනාව ඉස් මුදුනින් පිළිගෙනය.
ඔහු පූජ්‍ය වළවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් පැවිදි බව ලබන්නේ ඒ අනුවය.
"මට දේශපාලන පක්‍ෂයක් නෑ. මම අවස්‌ථා දෙකකදී ස්‌වාධීනව තරග කර ඕබන්ඩෝෆ් නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස පත්වුණා. නගර සභාව නියෝජනය කරන සභිකයන් සියලු දෙනාම එකමුතුව සහයෝගයෙන් නගරවැසියන්ගේ අවශ්‍යතා ඉටු කරනවා. අපි මැතිවරණ කාලයට විතරයි දේශපාලන කටයුතු කරන්නෙ. ඉන් එහා අපි කිසිම අවස්‌ථාවක දේශපාලනය කරන්නෙ නෑ. නගරාධිපතිවරයා කතාවට මුල පිරුවේ එසේ කියමිනි.
අපි අපේ රට හා රටේ ජනතාව වෙනුවෙන් හැඟීමකින් සහ අවංකව සේවය කිරීමට නිතරම උත්සාහ කරනවා. ඒකට අපි අතර විනයක් සහ ශික්‍ෂණයක් තිබිය යුතුයි. ඊට මාර්ගය කියා දෙනු ලබන හොඳම දහම බුදු දහම බව ඒ පිළිබඳ පොත්පත් කියවීමෙන් මට හැඟී ගියා. ජීවිතයේ යථාවබෝධය තේරුම් කර ගැනීමටත් බුදු දහම ගොඩාක් ප්‍රයෝජනවත් බවයි මගේ හැඟීම" හර්මන් බුදු දහම ගැන සිය අවබෝධය වර්ධනය වූ ආකාරය කියන්නේය.
දේශපාලන කටයුතුවල සහ මහජන සේවයෙහි නියුතු වන විට දේශපාලනඥයා හැම මොහොතකම ජනතාවට පරමාදර්ශී පුද්ගලයකු වෙමින් අවංකව ක්‍රියා කළ යුතුයි. එයට බුදු දහමෙන් ආදර්ශ ලබාගත හැකියි. එනිසා තමයි මම බෞද්ධ පොතපත කියවීමට කල්පනා කළේ. එපමණක් නොවෙයි මට තාවකාලිකව හෝ පැවිදි වී භාවනා කොට එහි අරුත අවබෝධ කර ගැනීම සඳහා ආශාවක් ඇතිවුණා. එහි ප්‍රතිඵලයක් ලෙසයි මා පැවිදි වුණේ... "හර්මන් ඇකර් තමා මෙවැනි තීරණයක් ගැනීමට හේතු වූ කාරණා ඉතා සරලව පැහැදිලි කරන්නේය.
ඕබන්ඩොෆ් නගරාධිපති "හර්මන් ඇකර් හෙවත් ජර්මනියේ රතනසිරි හිමියෝ මේ වන විට මිහින්තලේ රජමහා විහාරයේ භාවනානුයෝගීව වැඩ සිටී. ඉතා කෙටි කාලයකින් ඒ හිමියෝ නැවත සියරට බලා යැමටද නියමිතය.
ඒ හිමියන් පැවිදි බිමට පත්වූ අවස්‌ථාවේ මුලින්ම පිරිකර, පාත්‍රය සහ දන් පිළිගැන්වීම සිදු කරනු ලැබුවේ ජර්මනියේ රතනසිරි හිමියන්ගේ සමීපතම යෙහෙළියක වූ ඇනට් එල්බන් ය. ඒ මොහොතේ ඇය සතුටු කඳුළු සලමින් සිනාසෙමින් තම මිත්‍ර නගරාධිපතිවරයාට සුබ පැතුම් පළකළ අයුරු සහ දණ නමා නමස්‌කාර කරන අයුරු අතිශය හැඟීම්බර විය.
පූජ්‍ය වළවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන්ද මේ අපූරු සිදුවීම ගැන කතා කළහ.
මීට මාස කීපයකට පෙර මට ජර්මනියේ රතනසිරි හිමියන්ගේ නිවසට යැමට අව ස්‌ථාවක් ලැබුණා. මට එහිදී නෙත් අදහාගත නොහැකි අන්දමේ දුර්ලභ දර්ශනයක් දකින්නට ලැබුණා. ඒ තමයි එම නිවසේ බුද්ධ ප්‍රතිමා කීපයක් දකින්න ලැබීම. මම එම අවස්‌ථාවේ විමසීමක් කළා. නගරාධිපතිවරයාගෙන් (රතනසිරි හිමි) ඇයි මේ බුදු පිළිම තියාගෙන ඉන්නෙ කියල. එවිට ඔහු කිව්වේ බුදු දහම කෙරෙහි තමන් තුළ අසීමිත ඇල්මක් හා ගෞරවයක් තිබෙන බවයි. අපේ බුදු දහම ජීවිතය සැපවත් කරගැනීමට වගේම නිර්වාණය අවබෝධ කර ගැනීම පිණිස හේතුවන බවත්, ඒ නිසා තමා තුළ බුදු දහම අධ්‍යයනය කිරීමට සිත් පහළ වූ බවත් ඔහු කීවා..." එහිමියෝ කීහ.
අද ලෝකය පුරාම බටහිර රටවල ජනතාව අතර තිබෙන්නේ මේ වගේ අදහස්. මේ වගේ අතිශය දුර්ලභ අවස්‌ථාවක් ප්‍රයෝජනයට අරගෙන බුදු දහම තව තවත් ලෝකයට ගෙන යන්න පුළුවන් කියන එකයි අපි විශ්වාස කරන්නේ.
වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් කියන්නේ මේ පුණ්‍ය ක්‍රියාව පිළිබඳව උපන් සතුටිනි.
"හර්මන් ඇකර්" ජර්මනියේ රතනසිරි හිමියන් නමින් පැවිදි බව ලබන්නේ සංසාර පුරුද්දටම නොවේ. මනාව අධ්‍යයනය කරමිනි. හදාරමිනි. නිතර බණ අහන බණ කියන රටක වෙසෙන බොහෝ දෙනෙකුට එය මාහැඟි පූර්වාදර්ශයක්‌ම වන්නේ එහෙයිනි.
පර්සි කුරුනේරු
http://www.divaina.com/2014/01/05/feature01.html
සබැඳි ලිපි -
[
ජර්මන් නගරාධිපති මිහින්තලේදී තාවකාලික පැවිදි බිමට එක් වෙයිhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_5290.html
]
0 comments:
Post a Comment