Pages

Sunday, March 23, 2014

දළ පූට්‌ටු පරපුරේ අවසන් හස්‌තිරාජයා - ගල්ගමුවේ පූට්‌ටුවා අසරණයි

සුප්‍රකට ගල්ගමුවේ දළ පූට්‌ටුවා වෙඩි වැදී අසාධ්‍ය තත්ත්වයෙන් පසුවේ. මේ දළ පූට්‌ටු පරපුරේ අවසන් හස්‌තිරාජයාය. නොහොත් ශ්‍රී ලංකාව ප්‍රභාමත් කළ සාඩම්බරය අද ලෙඩ ඇඳට වැටී තිබේ. කුමන අවසන් දළ පූට්‌ටුවා වෙඩිතබා මරා දැමීමෙන් පසු රටේ ඇත් පරපුර තෙදවත් කළ ගල්ගමුවේ පූට්‌ටුවා අඥන අකාරුණික මිනිසුන්ගේ වෙඩි පහරට ගොදුරුව තුවාල ඔඩුදුවා අද බෙහෙවින් අසරණව දිවි ගෙවයි.

ගල්ගමුවේ දළ පූට්‌ටුවා සැබැවින්ම අලින් අතර මෙන්ම ඇතුන් අතරද රජකුය. කිලෝග්‍රෑම් 4000 ක්‌ තරම් බරින් යුතු සිරුරක්‌ද අඩි 8-9 ක්‌ තරම් උසකින්ද සමන්විත වූ හේ රැළේ ගමන් ගත්තේ තේජාන්විතවය. එහෙත් කාලකන්නි මිනිසුන් විසින් බඳින ලද තුවක්‌කුවකින් ගිලිහුණු වෙඩි උණ්‌ඩවලින් මේ ඇතුගේ පසුපස වම් පාදය දරුණු ලෙස තුවාල වී තිබේ. තුවාලය ඔඩු දුවා ඇවිදගන්නටවත් නොහැකි තත්ත්වයෙන් සිටින මෙම දැවැන්තයා අද අන්ත අසරණ වී එක්‌තැන්වෙන තත්ත්වයට පත්ව සිටින්නේ තුවාල ලැබූ කකුල කොරගසමින් සෙමින් ඇවිද යැමෙනි.

ගල්ගමුව වැව ඉස්‌මත්තේ ගතකරන මෙම ඇත් රජුගේ ජීවිතය අවදානමක පවතින බව වනජීවී අංශ පවා පිළිගන්නා කාරණයකි. ඔවුන් පවසන පරිදි බඳින තුවක්‌කුවකින් පාදයට සිදුව ඇති බරපතළ තුවාලය හැරෙන්නට තවත් වෙඩි වරුසාවකින්ම මේ සාඩම්බර ඇතුගේ සිරුර ඉරී ගොස්‌ ඇත. එනම් වෙඩි තැබීම් ගණනාවකින් මූනිස්‌සම් කැට ඇඟට ඇතුළු වී තුවාල සිදුවී ඇත.

බොහෝ දෙනා වනජීවී දෙපාර්තමේන්තුවට චෝදනා නඟන්නේ මේ ඇත් රජුගේ තත්ත්වය ඔවුන් සොයා නොබලන බවටය. මේ පිළිබඳව කරුණු කාරණා දැනගන්නට අප වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් කිහිපදෙනකුම ඇමතුවේය. පශු වෛද්‍ය අංශයේ ප්‍රධානි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ තාරක ප්‍රසාද් මහතාගෙන් මේ පිළිබඳ විමසූ විට ඔහු කියා සිටියේ දැනටමත් ප්‍රවීණතම පශු වෛද්‍යවරුන් දෙපළක්‌ වන චන්දන ජයසිංහ සහ විජිත පෙරේරා යන මහත්වරු ප්‍රතිකාර කටයුතුවල නියෑළී සිටින බවකි. ඇතාට අවශ්‍ය ඉහළම ප්‍රතිජීවක ලබාදීම සිදුකෙරුණත් "බෙහෙත් අල්ලන්නේ නැති තත්ත්වයක්‌ තියෙන්නේ" යෑයි තාරක ප්‍රසාද් මහතා පවසන්නේය. එහෙත් ඉතා ඉහළ වටිනාකමක්‌ ඇති ප්‍රතිජීවක යොදා ගනිමින් ඇතු සුවපත් කිරීමේ කටයුතු කරගෙන යන නමුත් නිර්වින්දනය කර බෙහෙත් කිරීම අන්තරාදායක කටයුත්තක්‌ බව ඔහු කියන්නේය.

උඩවලව ඇත් අතුරු සෙවණ භාරව කටයුතු කරන පශු වෛද්‍ය බී. විජිත පෙරේරා මහතා අප හා සම්බන්ධ වූයේ ඉන් පසුවය. වෛද්‍ය චන්දන ජයසිංහ ඇතුගේ ප්‍රතිකාර භාරව කටයුතු කරනවා. මමත් චන්දනත් මේ දිනවල ඇතුගේ කටයුතු සොයා බැලුවා. ඇත්තටම කකුලේ තුවාලය දරුණුයි. සතාට ඇවිදගන්නත් බැහැ. අප කිහිපවරක්‌ බෙහෙත් විදීම සිදුකළා. නමුත් බෙහෙත් පත්තියන් වීම සිදුවන්නේ ඉතාමත් හෙමින්. අවුරුදු 45 ක්‌ තරම් වයස කිලෝ 4000 ක්‌ තරම් බර මේ සතා නිර්වින්දනය කළොත් තත්ත්වය අමාරු වෙන්න පුළුවන්. ආයිමත් නැඟිටුවාගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය තියෙනවා ඔහු කීවේය.

වෛද්‍ය චන්දන ජයසිංහ දළ පූට්‌ටුවාගේ ප්‍රතිකාර භාරව සිටින කලාපයේ පශු වෛද්‍යවරයාය. ඔහු සිකුරාදා රාත්‍රියේ අප සමග සම්බන්ධ වූයේ තවත් අලි රාජකාරියක යෙදී සිටින අතරතුරදීමය. මේ ඔහු කියන කතාවයි.

"බඳින තුවක්‌කුවකින් දරුණු වෙඩිල්ලක්‌ වැදිලයි දළ පූට්‌ටුවාගේ කකුල තුවාල වෙලා තියෙන්නේ. ඒක දැන් ඔඩුදුවල ඇතාට තරමක්‌ අසාධ්‍යයි. කකුල්වලට වගේම ඇඟෙත් බොහෝ තුවාල තියෙන බව අපි නිරීක්‍ෂණය කළා. මේ සියල්ලම වෙඩි තැබීම්. අඩිය තියන්න අමාරුයි. කොරගහනවා. ඇවිදීම අඩු නිසා සතා කෘෂ වෙන්න පුළුවන්. ඒක සතාගේ ජීවත්වීමට බලපාන නිසා අපට දැන් කෘත්‍රීමව කෑම දෙන්නත් සිදුවෙනවා. මොකද දළ යුගල නිසා ඔළුවට විශාල බරක්‌ දරන්නත් සිදුවෙනවා. මේ කරුණු සලකා තමයි අපි අවස්‌ථා කිහිපයකදීම ඇතාට බෙහෙත් විදීම කළේ. ඒත් බෙහෙත් අල්ලන්නේ නැති තත්ත්වයක්‌ තමා තියෙන්නේ. නිර්වින්දනය කිරීමත් හානිදායකයි. දැනට විදින බෙහෙත් වලින් සුවයක්‌ ලැබුණොත් නිර්වින්දනය කරලා තුවාලවලට විශේෂ ප්‍රතිකාර කරන්න පුළුවන්. අපි ප්‍රතිකාර කිරීමත්, සතා ගැන විපරම් කිරීමත් කිසි ලෙසකින්වත් අඩු කළේ නැහැ" වෛද්‍ය ජයසිංහ කියයි.

දළ පූට්‌ටුවා රැකගැනීම රටේ සාඩම්බරය රැකගැනීම බවට අපට තර්ක කළ හැකිය. මෙවන් දළ ඇතකු යළිත් පහළ වේයෑයි අපට ඉඳුරා කිව නොහැකිය. එහෙත් කාලකන්නින් වෙසෙන දේශයක ඉපදීමේ පූරුවේ පව දැන් අනෙකුත් ඇතුන්ට මෙන්ම ගල්ගමුවේ පූට්‌ටුවාටද විඳින්නට සිදුව තිබේ. ඇඟ පුරා එල්ල වූ වෙඩි පහරවලින් මේ සාඩම්බර ඇත් රජු අද ඔත්පලව සිටී. සැබැවින්ම මේ පුවතින් අපට කියන්නේ දළ පූට්‌ටුවා ලෙඩවී ඇති බවක්‌ පමණක්‌ නොවේ. ජාතියම, දේශයම ලෙඩ වී ඇති බවකි. ඉදින් ඊට ප්‍රතිකාර කිරීමේ වගකීම ඇත්තේ කා අතද? දළ පූට්‌ටුවා කියන්නේ ඒ ගැනද?

ජගත් කණහැරආරච්චි
http://www.divaina.com/2014/03/23/feature12.html

0 comments: