Pages

Friday, March 14, 2014

දහසය වසරකට පෙර සමුගෙන ගිය විරහ ගීතයේ ආත්මය - මිල්ටන්

විරහ ගීතයේ ආත්මය ඔහුම විය. විරහවෙන් වේදනා විඳින හදවත් සනහා සුවපත් කරන්නටත්, ප්‍රේමයෙන් ඔකඳවූ හදවත් සුන්දරත්වයෙන් පුබුදුවාලන්නටත් ඔහුගේ ඒ හැඟුම්බර ලයාන්විත ගී හඬට එකසේ හැකි විය.

දශක තුනකටත් අධික කාලයක්‌ සජිවී ගී හඬින් යොවුන් හදවත් වසඟ කරගත් ගායන ශිල්පී මිල්ටන් මල්ලවාරච්චි නම් ඒ ආදරණීය ගායන ශිල්පියා අපෙන් සමුගෙන හෙටට 16 වසරක්‌ පිරීම නිමිත්තෙන් ඔහු ගැයූ ගී වල මිහිර තෙළි තුඩින් අවර්ජණයක්‌ කර ඔහුට උපහාර දක්‌වන්නට මෙසේ සටහනක්‌ තබමු.

ඔරුවක පාවෙන රෑ ඝන අඳුරේ
තොටියෙකි මා මේ සීතල වතුරේ...

1969 දී ගුවන් විදුලියෙන් පළමු වරට ඔහු ගැයූ ඒ ගීතයේ පටන් 1998 මාර්තු 10 වැනිදා ඔහු ඔබ අප අතරින් සමුගන්නා තුරුම ගැයූ ගීත එක්‌දහස්‌ අටසියයකට අධික ප්‍රමාණයක්‌ අතිශයින්ම ජනප්‍රිය ගීත බවට පත්වීමත් මිල්ටන් මල්ලවාරච්චි ගැයූ ඒ හැම ගීතයක්‌ම ස්‌වතන්ත්‍ර ගී නිර්මාණ වීම දැකිය හැකි සුවිශේෂම කාරණයකි.

සංසාරෙ සෙවනැල්ල ලෙස ආ පතාලා
සෘංගාර රස දෙන්න කලතා පෙරාලා...

ඔහු එදා පළමු ගී හතරට ගැයූ තවත් ගීතයකි.

මංගලේ නෙත් මංගලේ
හංස ෙනුව පෙම් විලේ...

ගීතයත් එදා ගැයූ තවත් ජනප්‍රියම ගීතයකි. හැරදා ගිය ප්‍රේමයක්‌ යනුවෙන් මිල්ටන් ගැයූ පළමු විරහ ගීතය වන්නේ

රන්කූඩුව ඔබ සෑදූ
කඩා දා ගියාදො
සංතෝෂය මට පෑදු
සුදු දැන් කොහේදො... ගීතයයි.

කරුණාරත්න අබේසේකරයන් විසින් රචිත ඒ ගී හතර මොහොමඩ් සාලි විසින් සංගීතවත් කෙරිණි.

ශ්‍රී ලාංකීය සමාජය තුළ රජ දවස පටන් නව සහස්‍රය දක්‌වා යොවුන් ප්‍රේමය හා පෙම් හසුන් අතර එකිනෙක බැඳී පැවතුණි. 60-70 දශකයන්හිදී ශ්‍රී ලාංකීය සමාජය තුළ පොහොසත් පෙම්වතියක්‌ හා දුප්පත් පෙම්වතෙක්‌ අතර ඇතිවන ප්‍රේම වෘතාන්තවලට විශාල ජනප්‍රියත්වයක්‌, ඉල්ලුමක්‌ පැවතුණි. මේ යුගයේ මිල්ටන් මල්ලවාරච්චි ගැයූ ගීත විශාල ප්‍රමාණයකට පුස්‌තුත වන්නට මේ සමාජ පෙරළියද හේතු විය.

ගංගා යමුනා ඉවුරු සමීරේ
ඔබ මා හමුවූ සොඳුරු සැඳෑවේ... 

විරහවෙන් වේදනා විඳි නොවිඳි ඔබ මා විටෙක බරණැස්‌ කසී සළු අන්දා සිටුකුමරියක්‌ කැඳවා යන්නට නොහැකි වූ අසරණ කුමරෙකු කරන්නට ඔහුගේ ඒ ලයාන්විත ගී හඬට හැකි විය. කුමාර හෙට්‌ටිආරච්චිගේ පද සංකල්පනාවෙන් හා අර්නස්‌ට්‌ සොයිසාගේ සංගීත සංකලනයෙන් ඒ ගීතය හැඩවිය.

උපුල් නුවන් විදහා
ඔබ සිනා සුනා
මම සිනා සුනා...

ආදර හැඟුම් වලින් පොපියන තරුණ හැඟුම් ස්‌වජනයක පා කර හරින්නට තරම් ඒ ගීතය අදටත් අතිශයින්ම ජනප්‍රියය. ඔගස්‌ටන් විනයාගරත්නම් විසින් රචනා කළ ඒ ගීතය නිමල් මෙන්ඩිස්‌ විසින් සංගීත සංයෝජන කළ අති සුන්දරම ගීතයකි.

සඳ උතුරා... ගංගාවේ
ඔබෙ රුව දො මැව්නේ...

එදා ගුවන්විදුලියෙන් ඈත ගම්දනව් පුරා මිල්ටන් ගැයූ ඒ ගීතය ගුවන්ගත වෙද්දී ප්‍රේමයෙන්, විරහවෙන් බැඳි හදවත්වලට මිල්ටන් මල්ලවාරච්චිගේ ඒ හැඟුම් බර කට හඬ මධු දිව ඔසුවක්‌ විය. බණ්‌ඩාර කේ. විඡේතුංගයන් විසින් රචිත ඒ ගීතය සෝමපාල රත්නායකයන් විසින් භාවාත්මක නාද සංකලනයක්‌ එක්‌ කළ තවත් ජනප්‍රියම ගීතයකි.

ප්‍රේමයෙන් පරාජිතව විරහවෙන් වේදනා විඳින හිත්වලට මිල්ටන් මල්ලවාරච්චිගේ ගීත වේදනා හැඟුම් නිවාලන සිහිල් සිඳුදිය රැඳි මත රැඳි සඳදිය දොතක්‌ම විය.

කඳු ඉසව්ව එහා කොනේ
මුහුදු හතෙන් පා වෙලා...

උපාලි ධනවලවිතාන විසින් රචනා කළ සරත් දසනායක සංගීතවත් කළ මිල්ටන් ගැයූ තවත් සුමිහිරි ගීතයකි.

සඳුගේ සිහිල් සිනා රැල් පාවී
විහිදුණු වළා තලාවේ
ඇවිලේ ඔබේ නුවන් මා දැසේ
සමනල කුමාරියේ...

මිල්ටන්ට අතිශයින්ම ජනප්‍රිය ගී විශාල ප්‍රමාණයක්‌ රචනා කළ කුලරත්න ආරියවංශයන් ඒ ගීතය රචනා කළේය. එය උපාලි කන්නන්ගර සංගීතවත් කළ තවත් අතිශයන් ජනප්‍රිය ගීතයකි.

දැසේ කැලුම් කැන් මවාදී
ඔබ මා නිවාලන්නේ...

ප්‍රේමකර්ති ද අල්විස්‌ විසින් රචිත වික්‌ටර් රත්නායකයන් විසින් සංගීතවත් කළ මිල්ටන් මල්ලවාරච්චි ගැයූ තවත් සුන්දර ගීතයකි.

හැත්තෑව දශකයේ පටන් 90 දශකයේ අග භාගයේ එස්‌. එම්. එස්‌. යුගය දක්‌වාම පෙම්වතුන් අතර හුවමාරු වූ සෑම පෙම්පතකම මිල්ටන් ගැයූ ගී පද පෙළක්‌ නොතිබුණා නම් ඒ ඉතා කලාතුරකිනි. පෙම්වතුන් ඔවුන්ගේ අදහස්‌ තම පෙම්වතාට හෝ පෙම්වතියට හැඟවූයේ දැක්‌වූයේ මිල්ටන් ගැයූ ගී පදවැල්වලින්ම පමණකි.

සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්
අවදි නොවී ඉන්නම්...

ගීතයක්‌ පෙම් පතක නොලියූ පෙම්වතෙක්‌ පෙම්වතියක නැති තරම්ය. කේ.ඩී.කේ. ධර්මවර්ධන ලියූ සෝමපාල රත්නායකයන් සංගීතවත් කළ මිල්ටන් ගැයූ ජනප්‍රිය ගීතයකි.

ලක්‍ෂ ගණනක්‌ පෙම්වතුන් තම ප්‍රථම පෙම් හසුනට ලියූ පළමු පදවැල වන්නේද මිල්ටන් ගැයූ

මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර
මිහිරාවිය වෙතටයි
ඔබ සිහි කර කර ඔබට ලියන එක
මට ඇති එක සතුටයි

ඒ ගීතයට මිල්ටන් මල්ලවාරච්චි මියයන තුරුම ඔහුත් ආදරය කළ අති ජනප්‍රිය ගීතයකි.

වැරදීම කාගේ දොසෙන් වුණාදො
නොදැනේ අපේ ආදරේ
රහසේ බැඳිලා කාලේ ගෙවූදා
සිහිවේ ගමේ පාසලේ...

යොවුන් ප්‍රේමයේ අවසානය දරුවා සෙනෙහෙන් නිමාවන හඟවන්නට මිල්ටන් ඒ ගීතයෙන් උත්සාහ ගත්තේය. ලූෂන් බුලත්සිංහල රචනා කළ ඒ ගීතය සංගීතවත් කළේ සරත් ද අල්විස්‌ විසිනි.

මංගල පෝරුවෙදී අද ඔබ දැත බැඳී
මා දිවි මං තලයේ

ඔබ මනමාලි වුණා...

අජන්තා රණසිංහයන් විසින් රචනා කළ මිල්ටන් ගැයූ ඒ ගීතය ස්‌ටැන්ලි පීරිස්‌ විසින් සංගීතවත් කළේය. මිල්ටන් මල්ලවාරච්චිට ගීත ලියූ ගීත රචකයන් අතරේ මිල්ටන්ට ගීත කිහිපයක්‌ ලියන්නට මේ ලිපිය ලියන මටද අවස්‌ථාව උදාවිය. 90 දශකයේ මුල් භාගයේදී මිල්ටන් මල්ලවාරච්චි ගැයූ

නිසසල රැයකදි අඳුරු කුටිය තුළ
මානෙත් අවදිව කඳුළු සලද්දි
නිදිදෙව්දුව යහනේ අභියස හිඳ
ඉකි ගසමින් ඔබ මා ළං කෙරුවා

ගීතයත් බොහෝ රසික සහෘදයන් අතරේ ජනප්‍රිය ගීතයක්‌ බවට පත්විය. ඒ ගීතය සංගීතවත් කළේ සරත් දසනායකයන් විසිනි.

සඳ දෙව්ලියගේ විමනේ
දිළි තාරුකාවිය සේ...

ගීතයත් මා මිල්ටන්ට ලියූ තවත් ගීතයකි. එහි සංගීත අධ්‍යක්‍ෂණය උපාලි කන්නන්ගර විසිනි.

සිරි කුලරත්නයන් රචනා කළ එම්. කේ. රොක්‌සාමි සංගීතවත් කළ "පියාපත් සලා" ගීතයට මිල්ටන්ගේ ගීතවලට ප්‍රිය කළ රසිකයන් අතර අතිශය ජනප්‍රියම ගීතය බවට පත්විය. "සිනහව අතරින් කඳුළක්‌ උපන්නා" ගීතය සී. ටී. පෙරේරා විසින් රචනා කළ හෙක්‌ටර් සොයිසා විසින් සංගීතවත් කළ මිල්ටන් ගැයූ තවත් සුවිශේෂ වූ ගීතයකි. "සඳළු තලේ ඔබ හිටියා බලා" ක්‌ලැරන්ස්‌ විඡේවර්ධනයන් විසින් මිල්ටන්ට ලියූ බොහෝ ගීත අතුරින් තවත් ජනප්‍රිය ගීතයකි

විරහ ගීත, ප්‍රේමණීය ගීත මෙන්ම විවිධ තේමා ඔස්‌සේ ද මිල්ටන් ගැයූ ගී ඒ අයුරින්ම ජනප්‍රිය ගීත බවට පත් විය.

"වීදි කොනේ මාවත අද්දර
හඬනා කිරි දරුවෝ....

ගීතයත් පැණි කුරුල්ලනේ, සමාකරන් මට කීදේ නාහන බාල බොළඳ පුතුනේ ගීතත් දරු සෙනෙහස වෙනුවෙන් ගැයූ ගීත අතරවිය.

"දරාගන්න බැරි කරදර පුරවා" මිල්ටන් ගැයූ මවුගුණ ගීතයකි. රන් දහදිය මේ පොළොවෙන් ඉසුරු ගෙනෙනදා "මරු කතරේ මිනිස්‌ පුරේ" වැනි නොයෙකුත් තේමාවන් ඔස්‌සේ මිල්ටන් ගැයූ ගී විශාල ප්‍රමාණයක්‌ ඇත. මේ හැම ගීතයක්‌ම ජනප්‍රියම ගීත බවට පත්වීම ඔහුගේ ඒ මිහිරි කටහඬෙහි ඇති විරල බව නිසාමය.

ප්‍රේමයේ මින්දද ගී හී සර ආකරයක්‌ ගීත ක්‍ෂේත්‍රයට දායාද කරමින් දශක ගණනාවක්‌ පුරා සජිවී ගී හඬින් රසික සහෘදයන් සනසාලූ සදාදරණීය ගායන ශිල්පී මිල්ටන් මල්ලවාරච්චි ගී හඬ තවත් යුග යුග ගණන් මේ මිහි දෙරණෙහි ගුවන් තලයෙහි සදා කල්හිම රාව අනුරාව නංවනු ඇත. මිල්ටන් යෞවනයේ සදාතනිකම විරහ ගීතය නුඹයි.

ධම්මික සල්වතුර
http://www.divaina.com/2014/03/09/cineart02.html

0 comments: