Pages

Monday, March 3, 2014

වරාය, ගුවන් තොටු අයිතිය ඉල්ලන විග්, අහිංසක ධීවර ගැටළු ඉඳිරියේ නිහඬයි. ඔවුන්ගේ අඳෝනාව අසනු!

ඉන්දියාව එක්‌ක එකගෙයි කන්න ගියොත් අපි හතළිස්‌ දාහක්‌ කම්මුතුයි!

උතුරේ ධීවරයන්ගේ අවනඩුව අසමු

"ඉන්දියාවේ ටෝලර් බොහෝම ඉස්‌සර ආවේ ඈත මුහුදට ටිකෙන් ටික ළං වෙලා දැන් අපේ වෙරළ ළඟටම එනවා. මේක නවත්ත ගන්න අපි අවුරුදු පහක්‌ තිස්‌සෙ සටන් කරනවා. ධීවර ඇමැති මැදිහත් වුණත් ඉන්දියාවේ ඉඳලා ටෝලර් එන එක නවත්ත ගන්න බැරි වෙලා තියනවා.

උතුරේ එක්‌සත් ධීවර සමිති සම්මේලනයේ සභාපති එස්‌. එමිලියාස්‌ පිල්ලේ නොනවත්වාම කියාගෙන යයි. යාපනයේ සිට දිනපතාම විවිධ ජනමාධ්‍යවලට ඔහු මේ අවනඩුව ගැන කරුණු කියන බැවින් ඔහුට මහමුහුද පිළිබඳවත් නැව්, ටෝලර්, බෝට්‌ටු පිළිබඳවත්, ධීවරයින් පිළිබඳවත් සංඛ්‍යාලේඛන කට පාඩම්ය. නැවතත් කතාව ආරම්භ කළේය.

දැන් මේ ප්‍රශ්නෙ විසඳන්න ධීවර ඇමැතිතුමා ධීවර නියෝජිතයොත් එක්‌ක වාර කීපයක්‌ම ඉන්දියාවට ගියා. මාර්තු මාසේදී රටවල් දෙකේම ධීවරයො එකට මුණගැහිලා මේ ප්‍රශ්නෙ ගැන කතා කරන්න සූදානමක්‌ තියෙනවා. හැබැයි මේකෙ තියන කනගාටුම තත්ත්වෙ තමයි උත්තරේ දීලා තීරණ අරගෙන තමයි ප්‍රශ්නෙ විසඳන්න යන්නේ. මේ අය අරන් තියන තීරණේ තමයි ඉන්දියාවෙ ධීවරයන්ටත් ලංකාවෙ ධීවරයන්ට එකට එකතු වෙලා හවුලෙ මාළු අල්ලන ඉඩකඩ සැලැස්‌වීම. මෙහෙම නීතියක්‌ ලෝකෙ කොහෙවත් නෑ. දැන් බලන්න මාලදිවයිනේ මුහුදු සීමාව උඩින් ලංකාවෙ නොමෙයි වෙන රටක කොකෙකුටවත් ඉඟිල්ලෙන්න දෙන්නෙ නෑ. ලෝක සාගර නීතිය අනුව හැම රටකටම අයිති මුහුදක්‌ තියනවා. මුහුදු කලාපයක්‌ තියනවා. ගොඩබිමේ ඉඳලා කි. මී. 10 ක දුරක්‌ යන කල් මහමුහුදෙ ක්‍රියාත්මක වෙන්නෙ ගොඩබිමේ නීතිය. එතන ඉඳලා කි. මී. 20 ත් 30 ක්‌ අතර දුර ප්‍රමාණයක්‌ අයිති වෙන්නේ ඒ අදාළ රටට. ඉන් එහා තියන ගැඹුරු මුහුද තමයි අන්තර්ජාතික මුහුද වෙන්නේ. මේ අන්තර්ජාතික මුහුදෙ ලියාපදිංචි ඕනෑම අයෙකුට මසුන් මරන්න පුළුවන්. ඒකෙ තහනමක්‌ නෑ. ඒත් ඉන්දියාවේ ධීවරයෝ බලහත්කාරයෙන් ටෝලර් යාත්‍රාවලින් ලංකාවෙ උතුරු මුහුදට එන එක වළක්‌වන්න කවුරුවත් නෑ.

ඇමැතිතුමත්, ධීවර බලධාරීනුත් කියන්නේ ඉන්දීය ධීවරයෝ ආවොත් නාවික හමුදාව දාලා අත්අඩංගුවට ගන්නවා කියලා. අනේ නාවික හමුදාවෙ මහත්තුරුත් ඉන්දීය ධීවරයෝ අත්අඩංගුවට ගන්නව තමයි. අරන් පොලිසියට බාරදුන්නහම යාපනයේ තියෙන ඉන්දීය මහකොමසාරිස්‌ කාර්යාලයේ නිලධාරීන් මැදිහත්වෙලා ඒ අය බේරගන්නවා. උසාවියෙන් දඬුවම් දීපු ඉන්දීය ධීවරයො නිදහස්‌ කරලා ඔවුන්ගෙ බෝට්‌ටුත් එක්‌ක ආපහු යවපු අවස්‌ථා තියනවා.

ඒත් ඉන්දියාවෙ ධීවරයන්ට අපේ ධීවරයො කරදර කළා කියලා අපිට විරද්ධව දාපු නඩු 117 ක්‌ උතුරේ අධිකරණවල විතරක්‌ තියනවා. ඉන්දියාවේ ධීවරයෝ දැන් එන්නේ උතුරට විතරක්‌ නෙමෙයි. මේ පැත්තෙන්

කෝකිලායි වෙනකල් යනවා. අනිත් පැත්තෙන් කල්පිටියට යනකල් යනවා. මේක මෙහෙම ගියොත් මේ මුළු මුහුදු කලාපෙටම ලොකු තර්ජනයක්‌ වෙනවා.

ධීවර සහයෝගිතා ව්‍යාපාරය වසර පහක්‌ මුළුල්ලේම මේ ඉන්දීය ධීවරයන්ගේ ආක්‍රමණය වළක්‌වා ගැනීමට සටන් කරන සංවිධානයකි. එහි ජාතික නායකයා හර්මන් කුමාර යි. නමුත් එම සංවිධානය උතුරු නැගෙනහිර ධීවරයින් සමග කටයුතු කිරීමට වෙනම නිලධාරියෙකු පත්කොට තිබේ. ඇන්ටන් ඡේසුදාසන් නමැති ඔහු ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ උතුරු නැගෙනහිර සම්බන්ධිකාරකවරයාය. ඔහුගෙන් මේ ඉන්දීය ධීවර ආක්‍රමණය නිසා ඇතිවන ගැටලු පිළිබඳව මම කරුණු විමසා සිටියෙමු.

ඉස්‌සර වෙලාම කියන්න ඕනේ අපේ මේ සංවිධානය ගැන. ධීවර සහයෝගිතා ව්‍යාපාරය මේ රටේ ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධානයක්‌ හැටියට ලියාපදිංචි කරලා අවුරුදු 7 කට වැඩියි. අපි අවුරුදු 5 ක්‌ තිස්‌සේ ඉන්දීය ධීවරයෝ උතුරට සහ ලංකාවෙ අනිත් පළාත්වල මුහුදට ඒම ගැන අපි විරුද්ධව සටන් කරනවා. අපේ නිලධාරීන්ට සාමාජිකයන්ට මේ ගැන හොඳ අවබෝධයක්‌ වගේම අත්දැකීම් සම්භාරයක්‌ තියනවා. ඒත් ධීවර ඇමැතිතුමා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න ඉන්දියාවට සමිති සංගම් නියෝජිතයෝ අරගෙන ගිය එකම වෙලාවකවත් අපිව අරන් ගියේ නෑ. මේ ගැන විවිධ ජනමාධ්‍ය තොරතුරු ඇහුවම කිව්වේ එයාලා කවුද? ලියාපදිංචි නැති කට්‌ටියක්‌ එක්‌ක මට ගනුදෙනු කරන්න අවශ්‍ය නෑ කියලයි.

ඉන්දියාවෙ ධීවරයෝ ලංකාවේ මුහුදු සීමාවට පැමිණීමෙන් ඇතිවන ගැටලු රාශියක්‌ තියනවා. ඒත් ලංකාවෙ බලධාරීන් ඒවා පිළිගන්න සතුටු නෑ.

ඒ අයට තහනම් ධීවර ආම්පන්න භාවිතා කිරීමේ කිසිම තහංචියක්‌ නෑ. ඇයි එන්නෙ හොරෙන් නේ. එහෙම ආවහම "ට්‍රොaලිං" ක්‍රමයට ඒ කියන්නේ ටෝලර් ගණනාවක්‌ එකට ඈඳලා ඒවට දැල් හයිකරලා මසුන් මරනවා. මේකෙදී වෙන්නේ මහ මුහුදෙ ඉන්න සෙන්ටිමීටර් දෙකක්‌ පළල මාලුවගෙ ඉඳලා හැම මාලුවෙක්‌ම ඒ දැල්වලට අහුවෙනවා. ඒක නිසා මාළු බෝවීමට ඒක විශාල තර්ජනයක්‌ මාළු බිත්තර වලටත් හානි සිදුවෙනවා.

ඊළඟ කාරණය තමයි සෙසු මුහුදු සම්පත් සියල්ලක්‌ම ඔවුන්ගෙ දැල්වලට අහුවෙලා විනාශ වෙලා යනවා. මාළුන්ට බිත්තර දාන්න තැනක්‌ නැතිවෙනවා. ඔවුන්ගේ ආහාර විනාශ වෙනවා. මුහුදු පාසි ඇල්ගී වගේ දේවල් විතරක්‌ නෙමෙයි මහ මුහුද යට තියන සේරම දේවල් විනාශ වෙලා යනවා.

උතුරේ ධීවරයෝ සාමාන්‍ය බෝට්‌ටුවලින් මසුන් මරන පිරිසක්‌. මේ නිසා ඉන්දීය ධීවරයෝ එක ටෝලර් පෙළකින් දවසකට අල්ලන මාළු ප්‍රමාණය අපේ උතුරේ ධීවරයෝ සියලුම දෙනා මාසෙකට අල්ලන මාළු ප්‍රමාණයට වැඩියි. මේ තත්ත්වය නිසා උතුරේ ධීවර පවුල් 40000 කට වැඩි පිරිසකට යනඑන මං නෑ. අපි ළඟදී උද්ඝෝෂණයක්‌ කළා. ඒකෙන් ඉල්ලා හිටියේ උතුරේ ධීවරයන්ට සිදුවන මේ හානිය වෙනුවෙන් ඉන්දියාවත් එක්‌ක කතා කරලා යම් වන්දියක්‌ අරගෙන දෙන්න කියලා. ඉන්දියාවට ගියපු අය මේ ගැන මොනවත්ම කතා කරලා නැහැ.

අනික ඉන්දියාවෙ ධීවරයෝ අපේ ලංකාවෙ ධීවරයන්ගේ දැල් සේරම කපලා දානවා. ඒවගේම මාළු හිටියොත් ඒ අය ගන්නවා. අපේ අයගෙ තියෙන්නෙ පොඩි බෝට්‌ටුනේ. ටෝලර්වලින් ඇවිත් එව්වා හප්පලා චප්ප කරනවා. මහමුහුද මැද අපේ ධීවරයෝ අසරණ වෙලා උදව් ඉල්ලුවම නාවික හමුදාවෙන් ඒ අය බේරගන්නවා. නමුත් සිදුවුන සිදුවීම්වලට එරෙහිව කවදාවත්ම නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නෑ.

මේ ප්‍රශ්නෙ විසඳන්න බැරිකමක්‌ ආණ්‌ඩුවට නෑ. ලෝක සාගර නීතිය අනුව කටයුතු කළානම් දවස්‌ දෙකෙන් ප්‍රශ්නෙ ඉවරයි. ඒත් ඉන්දියාවට එරෙහිව ඒක ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ධීවරයන්ටත්, ධීවර සංවිධානවලටත් තවත් බොහෝ දෙනෙකුටත් තියන ප්‍රශ්නෙ ඒකයි.

දැන් හෙට අනිද්දා ඉන්දියාවෙ ධීවරයෝ ශ්‍රී ලංකා මුහුදේ ඕනෑම තැනකට ඇවිත් මාළු අල්ලයි. රටවල් දෙක අතරේ මාර්තු මාසයේදී අත්සන් කරන්න යන ධීවර සහයෝගිතා ගිවිසුමට අනුව එහෙම වෙයි. ඒ අතරතුර චීන ධීවර සමාගම් ලංකාවට ඇවිත් මාළු අල්ලන්න පටන් අරන්. ඒක ඊළඟ වසංගතය වෙයි.

ඉන්දීය ධීවර ප්‍රශ්නයට අමතරව චීන ධීවර සමාගම්වල බලපෑම පිළිබඳව අප යළි කතා බහ කළේ උතුරේ ධීවර සමිති එකමුතුවේ සභාපති එස්‌. එමිලියාස්‌ පිල්ලේ සමගයි.

ඉස්‌සර මම කිව්වෙ ඉන්දියාවේ ටෝලර් යාත්‍රා ආවෙත් මහ මුහුදෙ ඈතට. ඔවුන් ටික ටික ළංවුණා. චීන සමාගම්වලට අයිති ධීවර යාත්‍රා උතුරු මුහුදේ මසුන් මරමින් සිටින අවස්‌ථා ගණනාවක්‌ම අපේ ධීවරයෝ දැකලා තියනවා. අපි ධීවර බලධාරීන්ට පැමිණිලි කළාම කිව්වෙ එයාලට ජාත්‍යන්තර මුහුදෙ මසුන් මරන්න බලයක්‌ දීලා තියෙන්නේ. එයාලට මෙහාට එන්න තහනම් ඒක නිසා ඔයාලා ඒකට කලබල වෙන්න එපා කියලයි. නිලධාරීන් හැමදාම මොනව හරි කියනවා. අපිට ඒක පිළිගන්නවා ඇරෙන්න වෙන මොනවත් කරන්න බෑ. අවසානෙදී සියල්ල විඳ ගන්න වෙන්නේ අහිංසක ධීවරයන්ට. මේකෙන් අපිව ගලවගන්න කවුරුවත් නැහැ.

උතුරේ ධීවරයන්ගේ මේ ප්‍රශ්න සියල්ල සමග අපි ශ්‍රී ලංකාවේ ධීවර අධ්‍යක්‍ෂ ජනරාල් නිමල් හෙට්‌ටිආරච්චි ඇමතුවෙමු. ඉන්දීය ධීවරයන්ට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක වන බව කී ඔහු මේ තත්ත්වය දිනකින් දෙකකින් හමාර කළ නොහැකි බවද පැවසීය.

ඉන්දියාවත් එක්‌ක අපි කළ සාකච්ඡාවලින් ප්‍රතිඵල රැසක්‌ අත්වී තිබෙනවා. ඉන්දීය ධීවරයින් මින් ඉදිරියට ශ්‍රී ලංකා මුහුදු තීරයට නොවීමට විශේෂයෙන්ම තමිල්නාඩුවේ ධීවර බලධාරීන් එකඟතාවය පළ කළා. අපි මේ ගැන නිරන්තර අවධානයෙන් ඉන්නවා. නාවික හමුදාවට පූර්ණ බලතල දීලා තියෙන්නෙ ඔවුන්ව අත්අඩංගුවට ගන්න.

ඒ හැරුණම රටවල් දෙකම එකතු වෙලා පෝක්‌ සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ධීවර පර්යේෂණ කටයුතු සිදුකරන්න විශේෂ ගිවිසුමක්‌ අත්සන් කරලා තියනවා. මේකෙන් දෙරටේම ධීවරයන්ට විශාල යහපතක්‌ සිදුවෙනවා.

චීන ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණ බලහත්කාරයෙන් මසුන් මරනවා කියන චෝදනාව මම පිළිගන්නෙ නෑ. ඒක වෙලා තියෙන්නේ මෙහෙමයි. එක්‌තරා සමාගමක්‌ මසුන් මැරීමේ කටයුතු සඳහා චීන බහුදින යාත්‍රා ලබාගෙන තිබෙනවා. ඒවායෙහි කොටස්‌ අයිති ශ්‍රී ලංකාවේ ඒ සමාගම්වලට. මේ අයට කිසිසේත්ම අවසරයක්‌ නෑ ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් මරන්න. ඔවුන්ට ගිවිසුමේ කොන්දේසි අනුව හැකියාව තිබෙන්නේ ජාත්‍යන්තර මුහුදේ මසුන් මරන්න පමණයි. ඒකට ඉතිං කාටවත් බලපෑම් කරන්න බෑනේ. මොකද ජාත්‍යන්තර මුහුද සියලු දෙනාටම අයිතිනේ.

මහ මුහුදේ නැව් ගියාට කොහෙද පාරවල් කිව්වලු. එසේම මහා සාගරයේ සීමා මායිම් ලකුණු කිරීම මහ පොල්වතු කැබලි කොට පර්චස්‌ දහයට විස්‌සට කඩා මායිම් කිරීම සලකුණු යෙදීම මෙන් යමක්‌ මහ මුහුදේ කළ හැකිද? දුරක්‌ නොපෙනෙන මහා සාගරයේ සිදුවන දේ ගොඩබිම සිට නිරීක්‍ෂණය කිරීමට ඇති පහසුකම්වල අල්පකමක්‌ සමගම මහ මුහුදට යන ඕනෑම අයෙකු මහ මුහුද මැද තමන්ට අවශ්‍ය සෙල්ලම් නටති.

ඉන්දියාවත් චීනයත් දැන් අපිව ආක්‍රමණය කර ඇත්තේ මහ මුහුදට පමණක්‌ම නොවේ. උතුරු දුම්රිය මාර්ගයත් දකුණු දුම්රිය මාර්ගයත් ඉදිකළ ඉන්දියානු සමාගම් දැන් ශ්‍රී ලංකාවේ පැලපදියම් වී සිටිති. දුම්රිය පාර හදන ඉන්දියානුවන්ගේ දරු පවුල් දැන් උතුරේත්, උතුරු මැදත් තැනින් තැන නිවාස කුළියට ගෙන පදිංචිව සිටිති. දකුණු ඉන්දියාවේ සිට මාසයකට ශ්‍රී ලංකා වීසා ලබාගෙන කුළියට ගොයම් කැපීමේ යන්ත්‍ර (භූතයෝ) ක්‍රියා කිරීමට පැමිණ සිටින ඉන්දියානුවෝ උතුරට පැමිණියත් පොලිස්‌ අත්අඩංගුවට පත් වෙති සංචාරක වීසා මගින් පැමිණි අයට ශ්‍රී ලංකාවේ රැකියා කළ නොහැකි බව පවසා ඔවුන්ව ආපසු ඉන්දියාවට පිටවුහල් කරති.

ඉන්දියානුවන්ට ශ්‍රී ලංකාව තුළට පැමිණ ඔවුන්ට කළ හැකි දේ බොහෝය. ඒ රාජ්‍ය තාන්ත්‍රික මට්‌ටමේ සබඳකම්වලට පින්සිදු වන්නටය. දැන් චීනයටද ඒ අවස්‌ථාව උදාවී තිබේ. යාපනයේ ස්‌ථාපිත කොට ඇති ඇමරිකන් කෝනර් මධ්‍යස්‌ථානය නිසා ඉදිරි කාලයේදී ඇමරිකාවටද එම අවස්‌ථාව හිමිවේ.

වර්ග සැතපුම් 25331 ක්‌ තරම් විශාල වූ ශ්‍රී ලාකාව නමැති කුඩා දිවයින දැන් විවිධ රටවල කොළණි බවට පත්වෙමින් පවතී. එදා ප්‍රභාකරන් රටෙන් කොටසක්‌ ඉල්ලා යුද්ධ කළත් ඉහත අප නම්කළ රැටියෝ ශ්‍රී ලංකාවට එරෙහි යුද්ධ නොකරති. උතුරු පළාත් සභාවේ මහ ඇමැති සී. වී විග්නේස්‌වරන් ප්‍රජාතන්ත්‍රවාදයට මුවා වී ශ්‍රී ලංකාව තුළ උතුරේ වෙනම රාජ්‍යයක්‌ බිහිකිරීමට උත්සාහ දරනවා සේම විදේශිකයෝ ශ්‍රී ලංකාව සමග ඇති රාජ්‍ය තාන්ත්‍රික භාවය හා ලංකාවට ආධාර ලබාදීමේ වැඩපිළිවෙළ මතට නැගී ලංකාවේ විවිධ තැන් ඔවුන්ගේ කොළණි බවට පත්කරගෙන සිටිති.

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකු උද්ඝෝෂණ, පවත්වන්නේ ගවයින් මැරීමට එරෙහිවය. එසේත් නොමැතිනම් "ෙෆaස්‌බුක්‌" වෙබ් අඩවිය තහනම් කරන ලෙස ඉල්ලමිනි. නමුත් ශ්‍රී ලංකාවේ තැනින් තැන ක්‍රමක්‌ක්‍රමයෙන් ඉදිවන විදේශිකයන්ගේ කොළණිවලට කිසිවකු මේ දක්‌වා විරුද්ධ වී නොමැත. තත්ත්වය මෙලෙස ඉදිරියට තවත් වසර කිහිපයක්‌ ගියහොත් ශ්‍රී ලාංකිකයින් සියලු දෙනාටම සිදුවන්නේ කොළණි කාරයන්ට මේ සුන්දර බිම ඔප්පුවලින් ලියා දී මහමුහුදට පැන සියදිවි නසා ගන්නටය.

දිනසේන රතුගමගේ
http://www.divaina.com/2014/03/02/feature03.html

0 comments: