Pages

Tuesday, March 18, 2014

බටඅඬුව කපොල්ලට පෙනෙන දුම්බර අසිරිය

මාතලේ දිස්‌ත්‍රික්‌කයට අයත් දුම්බර වනපෙත ආශ්‍රිත චාරිකාවේ අවසන් දින කිහිපය අප ගත කළේ බටඅඬුව කපොල්ල ප්‍රදේශයේ. සුළං කපොල්ල කියලත් කියන්නේ මෙතනටම තමයි. ඒත් බොහෝ දෙනෙක්‌ මෙතැන දන්නේ "රිවස්‌ටර්න්" කියලා කිව්වොත් විතරයි. ඒ තරමටම දැන් ඒ නම ජනප්‍රියයි.

බටඅඬුව සුළං කපොල්ල පිහිටල තියෙන්නේ බටඅඬුකන්ද කියන දුම්බර කඳුකර වනාන්තරයේ අතිශය වැදගත් කඳුපෙළ මුදුනේ. ලග්ගල ඌරුගල එහෙමත් නැතිනම්, ඕපල්ගල ගම්මඩුව ප්‍රදේශ හරහා පැමිණ බටඅඬුව කන්ද, යකුන්නේගල, කිරිගල්පොත්ත, නකල්ස්‌, ගොම්බානිය කඳුමුදුන් යා කරමින් මැද මහනුවර හුන්නස්‌ගිරියේදී දහඅටවංගු පාර දක්‌වා දිවෙන කිලෝමීටර් 12 ක්‌ දිග දුම්බර කඳුවැටියට අයත් බටඅඬුව සුළං කපොල්ලට අමතරව තවත් ප්‍රකට සුළං කපොල්ලක්‌ එහි පිහිටා තිබෙනවා. ඒ තමයි "අට්‌ටලමෙට්‌ටුව" ඒත් එම සුළං කපොල්ලත් ප්‍රකට වී ඇත්තේ ඉංග්‍රීසි හැඳින්වීමෙන්මයි. එනම්, මෙතනට දැන් කියන්නේ "කෝබර්ට්‌ස්‌ ගැප්" කියලයි. මේ නම් තියලා තියෙන්නේ සුදු ජාතිකයන්ගේ පාලන සමයේදී. මන්ද මෙම ස්‌ථාන දෙකම එකල ඉංග්‍රීසීන්ගේ තේ වතු පිහිටල තිබුණු ප්‍රදේශ වුණු නිසා.

අපි නුදුරු දිනක මහනුවර දිස්‌ත්‍රික්‌කයට අයත් හුන්නස්‌ගිරියෙන් හැරීයන "අට්‌ටලමෙට්‌ටුවට" යැමේ බලාපොරොත්තුවත් ඇතිව අද බටඅඬුව සුළං කපොල්ලේ තොරතුරු විමසා බැලීමටයි සුදානම් වන්නේ.

බටඅඬුව සුළං කපොල්ල නොහොත් "රිවර්ස්‌ටර්න්" පිහිටා ඇත්තේ මාතලේ දිස්‌ත්‍රික්‌කයේ ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාය තුළයි. ඊට වැඩි දෙයක්‌ මේ පිහිටීම ගැන අපට කතාකරන්න අමාරුයි. ඒ සංචාරක පිරිස්‌වලින් මෙතනට සිදුවන පාරිසරික විනාශය නිසා. ඇත්තටම බටඅඬුව සුළං කපොල්ල අතිශය අලංකාර තැනක්‌. ඒවගේම සෞම්‍ය දේශගුණයක්‌ ඇති අතිශය විරළ පරිසර පද්ධතිවලින් සමන්විත පරිසර නිකේතනයක්‌ හැටියට හැඳින්වීමත් වැරැද්දක්‌ නැහැ.

දුම්බර කඳුකරයේ එම වනාන්තරයේ වගේම දුම්බර ආශ්‍රිත ගම්මානවල සුන්දරත්වය නරඹන්නත් බටඅඬුව සුළං කපොල්ල කදිම තැනක්‌. මෙම සුළං කපොල්ල ප්‍රදේශයේ සිට බලනවිට මහියංගනයේ සොරබොරවැව ඇතුළු ලොකු කුඩා වැව් ගණනාවකටම ඉහළින් ඈත නැගෙනහිර පළාත දක්‌වා අපූරු දර්ශන තලයක්‌ නෙත ගැටෙනවා. හිරුබැස යන හැන්දැවේ මෙතන සිට දකින මේ දර්ශන තලය හරිම අපූරු සිත්තමක්‌ කිව්වොත් වැරදි නැහැ. ඒ වගේම දුම්බර කඳුකරයට අයත් ප්‍රධාන කඳුවැටි 34 කින් බහුතරයක්‌ දැකබලා ගන්නත් බටඅඬුව කපොල්ල කදිම ස්‌ථානයක්‌. ලකේගල, තුනිස්‌ගල, මානිගල, යකුන්නේගල, සුදුකන්ද, පතනේගල, ගොම්බානීය වගේ ප්‍රකට කඳුවැටි රාශියක්‌ මෙහි සිට දැකබලාගත හැකියි. සැබැවින්ම මෙහි සිට බලන කල අපට දැකගත හැක්‌කේ මේ ශ්‍රී ලංකාවේද යන්න නිතැනින්ම කියෑවෙන තරමේ අපූරු විශ්මයජනක දර්ශන තලයක්‌.

අප මේ සිටින සුළං කපොල්ලේ සිට දකුණු දෙසට විහිද යන්නේ මිහිදුම් වළා රොටු දැවටුණු අහස සිඹින ගිරිකුළුයි. එකිනෙක තෙරපීගත් කඳු සංකීර්ණයක්‌ වන මෙහි කඳුකර වන වියනක්‌ සහිත දුම්බර වනාන්තර යේ කඳුඅතරින් රූරා හැලෙන හිරු රැස්‌ දහරා මේ අපුරු පරිසරය තවදුරටත් විචිත්‍රනය කරවනවා.

බටඅඬුව කපොල්ලෙන් කෙළින්ම පහළ බැලුවිට අපට දැකගන්නට ඇත්තේ දළ බෑවුමට පහළින් ඇති පිටවල, ඇටන්වල, කෙත්වතු සංකීර්ණයයි. හෙල්මලු කුඹුරුයායේ විචිත්‍රත්වය නරඹන්නට මේ ස්‌ථානය නම් කියාපු තැනක්‌. අපගේ දර්ශන තලයේ ඉදිරියෙන්ම දැකගත හැක්‌කේ මානිගලයි. එම පර්වතය පෙර දා දිනෙක අප තරණය කළාද කීවා ඔබට මතක ඇති. මෙම පර්වතය දකුණු පසින් කෙළවරේ ඇති කපොල්ල තරණය කර අප මෙහි පළමුව ගමන්ගත් වල්පොලමුල්ල ගම්මානයට යා හැකිය.

දැන් කුරුමිට්‌ටෙක්‌ තරම් පහළින් පෙනෙන මානිගලේ මුදුන සුළං කපොල්ලේ සිට කදිමට නිරීක්‍ෂණය කළ හැකිය. එය පෙනෙන්නේ විශාල ක්‍රීඩා පිට්‌ටනියක්‌ ලෙසටයි. මානිගලට ඉහළින් ඈත ගුවන් ගැබ සිපගන්නේ වමාරපුගල, ලකේගල වැනි ඉහළ කඳුමුදුන් වලින්. ඒ අතර තුන්හිස්‌ගල නොහොත් පෙරදා අප රැයක්‌ පහන් කළ උඩ දූවිලි ඇල්ල ඇති කළුපහන කන්ද මෙහි සිට කදිමට දැකගත හැකියි.

මේ දර්ශන තලයේ වම්පසින් පහළ දුම්බර වනපෙතේ තවත් අද්විතීය පරිසර නිකේතනයක්‌ පිහිටා තිබෙනවා. ඒ පිටවල පතන් භූමි කලාපයයි. අතීතයේදී මෙම ප්‍රදේශය තේ වතුවලින් සමන් විත ගෝණමඩවත්ත සහ බේගෲප් වතු පිහිටි ප්‍රදේශයයි. මෙම තේ වතුවලින් කොටසක්‌ එකල බ්‍රිතාන්‍යයේ මහරැජිනගේ නමටත් තිබූ බව කියනු ලැබෙනවා. එහි වතු බංගලාව පසුව ජෝන් කොතලාවල මහතාට හිමිව තිබී කාලයත් සමග වතු හිමිකරුවන්ගෙන් පැමිණ අද අවන්හලක්‌ බවට පත්වෙලා. ලග්ගල බංගලාව නමින් ප්‍රකට මෙම ස්‌ථානය පතනේගල හෙවත් කවුඩාගම්මාන කඳු පාමුල අදටත් දැකගත හැකිය. එකල මෙහි සුදු ජාතික වැවිලිකරුවන්ගේ පාරාදීසයක්‌ව තිබි ඇත. මාතලේ රත්තොට හරහා පැමිණි මෙම වැවිලිකරුවන් අසුන්ගේ පිටේ නැඟී පැමිණ ගම්මඩුව හරහා රිවර්ස්‌ටන් දුර්ගය නැග ගෝනමඩවත්ත ප්‍රදේශයට පැමිණ තිබෙනවා.

නිහඬ, නිසංසල එමෙන්ම සුන්දරත්වයෙන් හා සෞම්‍ය කාලගුණික සාධකවලින්ද අනූන මෙම ප්‍රදේශය සොබාදහමේ අරුමය කියාපාන වැදගත් භූමි භාගයක්‌. 

එහෙත් එහි එන නොහික්‌මුණු දේශීය සංචාරක පිරිස්‌ අද මෙම පරිසරයේ විනාශයට ප්‍රධාන හේතු සාධකය වී තිබෙනවා. ඉදින් මෙවන් මාධ්‍ය වාර්තාවක්‌ද ඊට උදව්වක්‌ වීමට ඉඩ ඇතත් කියලත් බැරි නොකියත් බැරි මේ අපූරු පරිසරයේ චමත්කාරයෙන් බිඳක්‌ මෙසේ ඔබ හමුවේ අප තැබුවේ මාතලේ දිසාවෙන් දුම්බර ගැන කතාකර ඉවත්ව යන මොහොතේ එහි අඩුවක්‌ තිබෙන්නට බැරි නිසයි. කෙසේ හෝ මෙම සංචාරයේදී අපට නිබඳ සහාය ලබාදුන් "දුම්බර මිතුරෝ" නම් වන දුම්බරට සැබෑම ලැදි හිතවතුන්ටද කෘතගුණ පුද කිරීමට අප අවස්‌ථාවක්‌ කර ගන්නේ ඉදිරියේදී මහනුවර දිස්‌ත්‍රික්‌කයෙන් දුම්බර අසිරිය විඳීමේ බලාපොරොත්තුවෙන්.

සටහන ඡායාරූප - ජගත් කණහැරආරච්චි
http://www.divaina.com/2014/03/16/feature04.html

0 comments: