Pages

Thursday, March 20, 2014

20/20 ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාව ජය ගනු ඇති - මුරලි

බංග්ලාදේශයේ ක්‍රියාත්මක පන්දුවාර 20/20 ලෝක කුසලාන තරගාවලිය ජය ගනු ඇතැයි සිතිය හැකි කණ්‌ඩායම් අතර ශ්‍රී ලංකා කණ්‌ඩායම ඉදිරියෙන්ම පසුවන බව ලොව සුපිරි දග පන්දු යවන්නා වශයෙන් සැලකෙන මුත්තයියා මුරලිදරන් සඳහන් කර සිටියි.

41 වැනි වියේ පසුවන මුරලිදරන්, මාස දෙකකට ආසන්න කාලයක්‌ ශ්‍රී ලංකා කණ්‌ඩායම බංග්ලාදේශයේ ගත කර තිබීම ඒ සඳහා මහත් රුකුලක්‌ වී තිබෙන බව තම විශ්වාසය බවද සඳහන් කර තිබේ.

''එයාලා (ශ්‍රී ලංකා කණ්‌ඩායම) දන්නවා බංග්ලාදේශ තණතීරු කොහොමද හැසිරෙන්න කියන එක. විශේෂයෙන්ම ආසියානු කුසලාන තරගාවලිය ජය ගැනීමට හැකිවීමත් සමග එය තවත් හොඳ අතට හැරිලා තියෙනවා'' යනුවෙන් පවසන මුරලි, ''වැදගත්ම දේ තමයි ඔවුන් කණ්‌ඩායමක්‌ ලෙස තරග ජය ගැනීමට සමත්වීම. ඔවුන්ගේ කණ්‌ඩායමේ පන්දු යවන්නන් මෙන්ම විශේෂයෙන්ම දග පන්දු යවන්නන් සහ පිතිකරුවන් දන්නවා මොනවද කළ යුත්තේ කියන එක'' යනුවෙන් අදහස්‌ දක්‌වයි.

ටෙස්‌ට්‌ කඩුලු 800 සීමාව පසුකර ලොව පළමු සහ එකම ක්‍රීඩකයා ද වන මුරලිදරන්, ''සෙසු කණ්‌ඩායම්වල දක්‍ෂතා කිසිවිටෙකවත් අවතක්‌සේරුවෙන් සලකන්න බැහැ. ඒත් මගේ තෝරා ගැනීම වන්නේ ශ්‍රී ලංකා කණ්‌ඩායම'' යනුවෙන් තම කණ්‌ඩායම පිළිබඳ වඩා වැඩි විශ්වාසයකින් අදහස්‌ දක්‌වා තිබේ. සමස්‌තයක්‌ ලෙස මෙම තරගාවලියේදී දග පන්දු යවන්නන්ගේ දක්‍ෂතා කැපී පෙනෙනු ඇතැයි තම විශ්වාසය බවද මෙහිදී මුරලි අදහස්‌ දක්‌වා තිබේ. ''බංග්ලාදේශ තණතීරු ඉතාමත් මන්දගාමී තණතීරු. ඒක නිසා මම හිතනවා මේ තරගාවලියෙදි ගොඩක්‌ වෙලාවට දග පන්දු යවන්නන්ගේ තරගාවලියක්‌ බවට පත්වෙයි කියලා'' යනුවෙන් ඉන්දීය මාධ්‍යයක්‌ හමුවේ මුරලි අදහස්‌ දක්‌වා තිබේ.

http://www.divaina.com/2014/03/20/sports04.html

0 comments: