Pages

Saturday, March 1, 2014

රජිව් යළි ඝාතනය කිරීම

රජිව් ගාන්ධි විශාකාපට්‌නම් හි පැවැති රැළියකට සහභාගි වීමෙන් අනතුරුව චෙන්නායි වෙත ගුවනින් පැමිණියේය. එතැන සිට සුදු පැහැති වෙඩි නොවදින ඇම්බැසඩර් රියකට ගොඩවුණු හෙතෙම ශ්‍රීපෙරුම්බුදුර් බලා පිටත් විය. කොංග්‍රස්‌ රැළිය පැවැත්වෙන ස්‌ථානයට පැමිණි පසු දහස්‌ ගණනක්‌ ඔල්වරසන් දෙන්නට වූ අතර පා ගමනින්ම වේදිකාව දෙසට පියනඟන්නට විය. මේ ගමන අතරතුර පාසල් ශිෂ්‍යයින් මෙන්ම කොංග්‍රස්‌ ආධාරකරුවන්ද රජීව් ගාන්ධිට මල්මාලා දමමින් පිළිගත්හ. ඒ පිරිස අතර තෙන්මෝෂි රාජරත්නම් හෙවත් ධනුද විය. රාත්‍රි 10.21 ට ඇය හිටපු ඉන්දීය අගමැතිවරයාට මල් මාලයක්‌ දමා පිළිගෙන ඔහුගේ කකුල් අල්ලා ආචාර කරන්නට නැමෙන අවස්‌ථාවේදී සිය මරාගෙන මැරෙන බෝම්බය ක්‍රියාත්මක කළාය. මේ අධිබලැති බෝම්බයෙන් ඉන්දිරා ගාන්ධිගේ පුත්‍රයා කෑලි කෑලිවලට කැඩී ගියේය. නිදහස්‌ ඉන්දියාවේ ආත්මය කඩා වැටිණි. තවත් පුද්ගලයන් 14 දෙනකුද මැරී වැටුණාහ.

එදා 1991 මැයි 21 වැනිදා වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ අණ පරිදි රජීව් ගාන්ධි ඝාතනය කෙරුණු විට සමස්‌ත ඉන්දියාවම වික්‌ෂිප්ත විය. මේ ඝාතනයෙන් වසර 23 කට පසුව එනම් ඉකුත් 19 වැනිදා යළිත් වරක්‌ රජිව් ගාන්ධි ඝාතනය කෙරිණි. එය කවරක්‌ද? ජයලලිතා ජෙයරාම් මේ ඉන්දීය අගමැතිවරයාගේ ඝාතනයට සම්බන්ධ චූදිතයින් සත්දෙනා නිදහස්‌ කිරීමට ගත් තීරණය මගින් ඉන්දිරා ගාන්ධිගේ පුත්‍රයා නැවත වරක්‌ ඝාතනය කෙරිණි. උත්තර් ප්‍රදේශයේ "ඇමැති" හි මැතිවරණ රැළියක්‌ අමතමින් රාහුල් ගාන්ධි තමිල්නාඩු මහ ඇමැතිනියගේ ක්‍රියා කලාපය දැඩි සේ විවේචනය කළේය. "ඉන්දියාවේ අගමැතිව මරා දාපු අය නිදහස්‌ කරනවා නම් සාමාන්‍ය මිනිහාට ලැබෙන රැකවරණය මොකක්‌ද? නීතියේ සරණ කුමක්‌ද? ටේ අගමැතිව මරාදාපු අය නිදහස්‌ කිරීම ගැන මම කණගාටු වෙනවා. මගේ පියා නැවත ආපසු එන්නේ නැහැ. තමුන් මේක මගේ පවුලේ ප්‍රශ්නයක්‌ නොවෙයි. රටේ ප්‍රශ්නයක්‌. යෑයි රාහුල් ගාන්ධි ප්‍රකාශ කර ඇත.

එදා රජිව් ගාන්ධි ඝාතනයෙන් පසු ඇති වූ අනුකම්පාව නිසා කොංග්‍රසය සමග සන්ධානගත වූ ජයලලිතාට තමිල්නාඩු මහ ඇමැතිනිය වීමට හැකි විය. එදා වේලුපිල්ලේ ප්‍රභාකරන්ව අත්අඩංගුවට ගත යුතු යෑයි පවසමින් මැතිවරණ වේදිකාවල කෑ මොර දුන් ජයලලිතා ඉකුත් බදාදා රජිව් ඝාතකයින් නිදහස්‌ කරන බව නිවේදනය කළාය. අනූව දශකයේදී සෝනියා ගාන්ධිටත් වඩා උනන්දුවෙන් කොටි සංවිධානය විවේචනය කළ ජයලලිතා දැන් ශාන්තන්, මුරුගන්, පෙරිවාලන්, නාලිනි ඇතුළු චූදිතයින් හත්දෙනාව නිදහස්‌ කිරීමට තීරණය කළේ දේශපාලන වාසි ලබා ගැනීමට බව පැහැදිලිය. ඉදිරියේ එන මැතිවරණයේදී අගමැති සිහිනයද සිතේ දරාගෙන සිටින 66 හැවිරිදි මහ ඇමැතිනිය දෙමළ ඡන්දදායකයින් සතුටු කිරීමට මෙම තීරණය ගෙන ඇති බව පැහැදිලිය. මුම්බායි ප්‍රහාරයේ එක්‌ චූදිතයෙක්‌ වූ අඡ්මාල් කසාබ්ව එල්ලා මරා දැමිණි. ඉන්දීය පාර්ලිමේන්තුවට ප්‍රහාර එල්ල කිරීමේ වරදට කාශ්මීර වැසි අන්සාල් ගුරු එල්ලා මරා දැමිණි. එහෙත් රජිව් ගාන්ධි ඝාතකයන්ව නිදහස්‌ කරනුයේ මන්ද? මෙය ඉන්දීය ආත්මයටම බරපතළ නිග්‍රහයක්‌ නොවන්නේද? දේශපාලන වාසි ලබා ගැනීමට මිනීමරුවන් ශාන්තුවරයින් කිරීමේ වගකීම ජයලලිතා භාරගෙන ඇති බව පැහැදිලිය. පුරා වසර 23 ක්‌ සිරගතව සිටි නිසා මුරුගන්, ශාන්තන් හා පෙරිවාලන්ගේ මරණ දඬුවම ජීවිතාන්තය දක්‌වා සිරදඬුවමක්‌ බවට පත් කිරීමට ඉන්දීය ශේ්‍රෂ්ඨාධිකරණය තීරණය කළේ ඉකුත් 18 වැනිදාය. ඉන්දීය අගවිනිසුරු ජී. සතාසිවම්ගේ ප්‍රධානත්වයෙන් යුතු විනිසුරු මඬුල්ලක්‌ විසින් මෙම තීරණය ප්‍රකාශයට පත්කරනු ලැබීය.

1998 දී රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධව ශ්‍රී ලාංකික හා ඉන්දීය දෙමළ ජාතිකයන් 26 දෙනකුට මරණ දඬුවම නියම විය. කෙසේ නමුත් ධනු 1991 පුපුරුවා හැරි බෝම්බයට වඩා වැඩි ප්‍රබලත්වයෙන් යුත් බෝම්බයක්‌ තමිල්නාඩු මහ ඇමැතිනිය විසින් පුපුරුවා හැර ඇත. එයින් නිග්‍රහයට ලක්‌වන්නේ සමස්‌ත ඉන්දීය රාජ්‍යය බව පැහැදිලිය. කවරක්‌ නමුත් ඉන්දීය ශේ්‍රෂ්ඨාධිකරණය නිවැරදි ලෙස ක්‍රියාකරමින් තමිල්නාඩු ආණ්‌ඩුවේ හිතුවක්‌කාරි තීරණය එනම් රජිව් ගාන්ධි ඝාතකයින් නිදහස්‌ කිරීම නතර කර ඇත. ඉන්දීය මධ්‍යම රජය තමිල්නාඩු මහ ඇමැතිනියගේ ක්‍රියා කලාපය දැඩිව විවේචනය කර ඇත. සෝනියා ගාන්ධි විසින් මෙහෙයවන කොංග්‍රස්‌ ආණ්‌ඩුවකට බලය තිබියදී රජිව් ගාන්ධි ඝාතකයින් වෙල්ලෝර් බන්ධනාගාරයෙන් නිදහස්‌ වී පිටව යනු බලා සිටිය හැක්‌කේ කවරකුටද. එය රජීව්ට පමණක්‌ නොව ජවහර්ලාල් නේරුටත් නිග්‍රහයකි. 1991 මැයි 21 වැනිදා රජිව් ගාන්ධි ඝාතනය වූ පුවත ඇසූ සැනින් ඉන්දියාව පුරා ප්‍රචණ්‌ඩ ක්‍රියා පැතිරිණි. මදුරාසියේත් දිල්ලියේත් ප්‍රචණ්‌ඩ ක්‍රියා උත්සන්න වූ අතර කොංග්‍රස්‌ පාක්‍ෂිකයන් එවක අගමැති චන්ද්‍රසේකරන් හා හිටපු අගමැති වී. පී. සිංට එරෙහිව ගිනි පන්දම් පත්තු කරගෙන පෙළපාලි ගියහ. මේ නින්දිත හා අමානුෂික ඝාතනය නිසා ඉන්දීය රජය සතියක ශෝක කාලයක්‌ ප්‍රකාශයට පත්කරන ලදී.

රජිව් ඝාතනය වන විට 46 හැවිරිදි වියේ පසුවිය. 1991 දී ඉන්දියාව නිදහස ලබා වසර 44 ක්‌ ගෙවී තිබුණු අතර එයින් අවුරුදු 38 ක්‌ම රට පාලනය කර තිබුණේ නේරු පෙළපත විසිනි. එදා රජිව් ගාන්ධි ඝාතනය කළ දා සාහසිකව හැසිරුණු ඉන්දියානුවෝ මේ ඝාතකයින් නිදහස්‌ කිරීමට ජයලලිතා සූදානම් වන විට නිහඬව සිටින්නේ මන්දැයි යන්න අපට ප්‍රශ්නයකි.

ඉන්දිරා ගාන්ධි ඝාතනයට ලක්‌ වීමෙන් පසුව රජිව් ගාන්ධිගේ ආරක්‍ෂාව සඳහා 1500 ක භට පිරිසක්‌ යොදවා තිබිණි. 1986 ඔක්‌තෝබර් 2 වැනිදා උදැසන රජිව් ඝාතනය සඳහා යම් පුද්ගලයකු උත්සාහ කළේය. නවදිල්ලිය අසල යමුණා ගංතීරයේ භාරත නිදහස්‌ සටනේ නායක මහත්මා ගාන්ධි අනුස්‌මරණ පූජාවකට සහභාගි වෙමින් සිටියදී වෙඩි හඬක්‌ ඇසිනි. ආරක්‍ෂක භටයෝ මේ ගැන උනන්දු වූයේ නැත. තවත් වෙඩි පහරක්‌ නිකුත් විය. රජිව් එවිට ඒක වෙඩි හඬක්‌ අන්න අරපැත්තෙන් ආවේ යෑයි තම ආරක්‍ෂකයින්ට ප්‍රකාශ කළේය. එවිට ආරක්‍ෂක භටයෝ දුවගොස්‌ පඳුරක සැඟවී සිටි සාහසිකයා අත්අඩංගුවට ගත්හ. සාහසිකයා බට පඳුරක රෙද්දක්‌ එළාගෙන සැඟවී සිටි බව පසුව හෙළිවිය. වෘත්තියෙන් ගුවන් නියමුවෙකු වූ රජිව් ගාන්ධි දේශපාලනයට පිවිසියේ සිය සොහොයුරු සන්ඡේ ගාන්ධිගේ හදිසි වියෝව නිසාය. ඉන්දිරා ගාන්ධිගේ දේශපාලන සහකරු ලෙස ක්‍රියා කළේ සන්ඡේ ගාන්ධිය.

රජිව් ගාන්ධි ඝාතනයෙන් පසු කෝප වූ පිරිස්‌ තමිල්නාඩුවේ වෙසෙන ලංකා ද්‍රවිඩයින් 30 දෙනකු කපා කොටා මරා දැමූ බව 1991 මැයි 25 වැනිදා "දිවයින" පුවත්පතේ ප්‍රධාන පුවතින් වාර්තා කර තිබිණි. එසේම එම පුවත්පතේ මුල් පිටුවේම තවත් එක්‌ වැදගත් පුවතක්‌ පළ වී තිබිණි. එහි සඳහන්ව තිබුණේ ජයලලිතා ජෙයරාම්ගේ ප්‍රකාශයයි. ඇය පවසා තිබුණේ තමිල්නාඩුවේ සිටින සියලුම ශ්‍රී ලංකා ද්‍රවිඩයන් නැවත සිය රටට පැටවිය යුතු බවකි. එදා ලංකා ද්‍රවිඩයන්ට එරෙහිව පොලු අමෝරාගත් ජයලලිතා අද කරන්නේ කවරක්‌ද? මෙය බරපතළ විහිළුවකි. 1991 දී ජයලලිතා කළ කී දැ ගැන ඇයට යළි සිහිපත් කර දෙන්නට කිසිවකු නැති වීම කනගාටුවට කරුණකි.

චතුර පමුණුව
http://www.divaina.com/2014/02/23/forign.html

Pic Source

0 comments: