Pages

Saturday, March 22, 2014

ඊළමක් හදන්න බ්‍රිතාන්‍ය දෙමළ ඩයස්පෝරාවෙන් නව පක්ෂයක්

ශ්‍රී ලංකාවේ දෙමළ ඊළාම් රාජ්‍යයක්‌ පිහිටුවීම සඳහා මූලික වී කටයුතු කිරීමට හා ඒ වෙනුවෙන් බ්‍රිතාන්‍ය ආණ්‌ඩුවට සහ එරට ප්‍රධාන දේශපාලන පක්‍ෂවලට බලපෑම් කිරීමේ අරමුණින්, දෙමළ ඩයස්‌ පෝරාවේ ප්‍රධානීන් පිරිසක්‌ විසින් පසුගියදා ලන්ඩනයේදී නව දේශපාලන පක්‍ෂයක්‌ පිහිටුවාගෙන ඇතැයි බ්‍රිතාන්‍යයෙන් වාර්තා වේ.

"නැෂනල් ලිබරල් පාටි" යනුවෙන් නම්කොට ඇති මෙම නව දෙමළ දේශපාලන පක්‍ෂය දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින අතර ශ්‍රී ලංකාවේ දෙමළ ඊළාම් රාජ්‍යයක්‌ පිහිටුවීම සඳහා උතුරේ දෙමළ ජනතාව පෙළගැස්‌වීමට කටයුතු කරන බව එහි සංවිධායකයෙක්‌ බ්‍රිතාන්‍යයේ දෙමළ ගුවන් විදුලියකට පවසා ඇත.

ලන්ඩන් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ග්ලෝබල් ටැමිල් ෆෝරම් සහ 'ග්ලෝබල් පීස්‌ සපෝට්‌ ගෲප්' යන ඩයස්‌ පෝරාවට අයත් සංවිධාන මෙම පක්‍ෂය ආරම්භ කිරීම සඳහා අනුග්‍රහය ලබාදී ඇති බවයි

"බ්‍රිතාන්‍යයේ ඡන්ද බලය හිමි දෙමළ ජනතාව ලක්‍ෂ ගණනක්‌ එරට ජීවත් වෙනවා. දැනට ඔවුන් ලේබර් හා කොන්සර්වෙටිව් යන බ්‍රිතාන්‍යයේ ප්‍රධාන දේශපාලන පක්‍ෂවලට බැඳී දෙමළ ජනයාගේ අයිතීන් වෙනුවෙන් කටයුතු කරනවා. එහෙත් නැෂනල් ලිබරල් පක්‍ෂයේ අරමුණ බ්‍රිතාන්‍යයේ මැතිවරණවලට තරගකොට සෑහෙන මන්ත්‍රී ආසන සංඛ්‍යාවක්‌ ජයගෙන දෙමළ ජනතාවගේ ඉල්ලීම් වෙනුවෙන් ආණ්‌ඩුවට බලපෑම් කිරීමයි.' යනුවෙන් ඉහත කී සංවිධායකයා දෙමළ ගුවන් විදුලිය සමඟ පැවැති සාකච්ඡාවේදී පවසා තිබිණි.

මෙම පක්‍ෂයේ සාමාජිකයන් ස්‌විට්‌සර්ලන්තයට ගොස්‌ මේ දිනවල ජිනීවා නුවර එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරය පැවැත්වෙන ගොඩනැඟිල්ල ඉදිරිපිටදී ශ්‍රී ලංකාවට එරෙහිව උද්ඝෝෂණයක්‌ පැවැත්වීමටද කටයුතු යොදා ඇතැයි ලන්ඩන් ආරංචි මාර්ග සඳහන් කරයි.

දයා ලංකාපුර
http://www.divaina.com/2014/03/23/news05.html

Pic Source

0 comments: