Pages

Saturday, March 1, 2014

ගැහැට දුක්‌ මැද්දෙන් සිගරැට්‌ පැකට්‌ටුවට රූපමය අවවාද එයි!

රටේ ජනතාව, අනාගත ජීවනාලිය නැසීම අරමුණු කර ගනිමින් සතුරු ප්‍රහාරයක්‌ එල්ලවේනම් ඊට එරෙහිව සටන් කිරීමට දේශපාලනයක්‌ අවශ්‍ය නොවේ. පොදු සතුරෙක්‌ පරාජය කිරීමට පක්‍ෂ, පාට, ජාති, ආගම් භේද පසෙක ලා ක්‍රියාත්මක වීම, රටට... ඒ රටේ ජනතාවට වාසනාවකි.

සිගරට්‌ටුව, බීඩිය සහ සුරුට්‌ටුව කාලාන්තරයක සිට අපේ රටේ ජීවනාලිය බිලි ගන්නා සතුරෙකි. මේවා දුම්කොළ නිෂ්පාදනයන්ය. අති භයානක ඇබ්බැහි වීමකි. මේ පොදු සතුරාට එරෙහිව වර්තමාන සෞඛ්‍ය ඇමැතිවරයා අවි අමෝරා ගත්තේ වසර කීපයකට පෙරය. බාධක තර්ජන මැද්දේ... ඇමැතිවරයා මේ වන විට මේ සටනින් ජය ලබා ඇත. මෛත්‍රිපාල සිරිසේන ඇමැතිවරයාට මේ පොදු සතුරාට එරෙහි සටනින් ජය ගැනීම සඳහා පක්‍ෂ පාට භේද නොබලා සෑම දේශපාලන පක්‍ෂයක්‌ම පාර්ලිමේන්තුවේදී පසුගිය බදාදා සහාය දීම එක්‌තරා ආකාරයකින් රටේ වාසනාවකි.

දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනත 2006 දී නීතිගත කරනු ලැබීය. මෙම පනතේ 34 වගන්තිය සමග කියවිය යුතු 30 වගන්තිය යටතේ සෞඛ්‍ය ඇමැතිවරයා විසින් සාදන ලද නියෝගයක්‌ අතිවිශේෂ ගැසට්‌පත්‍රයක්‌ මගින් 2012 අගෝස්‌තු මාසයේ 08 වැනිදා ප්‍රසිද්ධ කළේය. මෙය අපේ රටේ පමණක්‌ නොව ජාත්‍යන්තර වශයෙන් ද සෞඛ්‍ය ක්‌ෂේත්‍රය තුළ දැඩි අවධානයකට, ආන්දොලනයකට තුඩු දෙන්නක්‌ විය. ඒ, මේ නියෝගයේ නැතිනම් ගැසට්‌පත්‍රයේ ඇති රෙගුලාසි අතුරින් එක්‌ රෙගුලාසියක්‌ නිසාය. එමෙන්ම ගැසට්‌ නියෝගය හඳුන්වන නාමය නිසාය.

2012 අංක 01 දරන දුම්කොළ නිෂ්පාදන (ලේබල් කිරිමේ සහ ඇසුරුම් කිරීමේ) නියෝග ලෙස මෙය හඳුන්වයි.

මේ ගැසට්‌ පත්‍රයේ රූප සටහන් අටක්‌ මුද්‍රණය කර ඇත. ඒවා සිගරැට්‌ පැකැට්‌ටුවක, සුරුට්‌ටු හා බිඩි පැකැට්‌ටුවල මුද්‍රණය කළ යුතු රූපමය සෞඛ්‍ය අවවාදයන්ය. අදාළ දුම්කොළ නිෂ්පාදන ඇතුළත් පැකැට්‌ටුවේ ඉඩ ප්‍රමාණයෙන් සියයට අසූවක්‌ ආවරණය වන සේ මෙම රූපමය සෞඛ්‍ය අවවාදවලින් එකක්‌ මුද්‍රණය කළ යුතුය. මාස හයෙන් හයට මෙම රූපසටහන් අට මාරු කරමින් අදාළ පැකැට්‌ටු මත මුද්‍රණය කළ යුතුය. පළමු සහ දෙවැනි රූප දුම්බීම දරුවන් රෝගී කරවන බවට කෙරෙන අවවාදයන්ය. තුන්වැනි රූපය දුම්බීම හෘද රෝග ඇති කරවන බව පෙන්වන්නකි. හතර පහ හය හත රූප මගින් කියන්නේ දුම්බීම පිළිකා ඇති කරවන බවය. අටවැනි රූපය දුම්බීම ලිංගික අප්‍රාණිකත්වය ඇති කරවන බවට අනතුරු අඟවයි.

ගැසට්‌ නිවේදනය ක්‍රියාත්මක වූවොත් විශාල පිරිසක්‌ දුම්බීමෙන් ඈත්වන බවට සැකයක්‌ නැහැ. එනිසා දුම්කොළ නිෂ්පාදන සමාගම් ගැසට්‌ නිවේදනයට එරෙහිව නීති මාර්ගයට ගොස්‌ සිටී.

මේ ගැසට්‌පත්‍රයේ තවත් රෙගුලාසි ඇත. සිගරැට්‌, බීඩි, සුරුට්‌ටු හෝ වෙනත් දුම්කොළ නිෂ්පාදන භාවිතය මගින් පිටවන දුම නිසා සෞඛ්‍යයට සිදුවන බලපැම් හෝ උපද්‍රව සම්බන්ධයෙන් නොමග යවන සුලු හෝ රැවටිලි සහගත පණිවිඩ එම නිෂ්පාදන ඇතුළත් පැකැට්‌ටුවක හෝ ඇසුරුමක අඩංගු නොවිය යුතුය.

එමෙන්ම විකිණීම සඳහා තිබෙන තවත් දුම්කොළ නිෂ්පාදනයකට වඩා තම (නිෂ්පාදන අඩු හානියකින් යුක්‌ත බව සෘජුව හෝ වක්‍රාකාරව හැඟෙන පරිදි "අඩු" සැර නැති, අධික සැර නැති, හෝ මෘදු යන වචන මෙම ඇසුරුම් මත සලකුණු නොකළ යුතුය.

විකිණීම සඳහා භාවිත කරන යම් දුම්කොළ නිෂ්පාදනයක්‌ සහිත සෑම පැකැට්‌ටුවක්‌ ඇසුරුමක්‌ හෝ ලේබලයක්‌ තුළ එම නිෂ්පාදනයෙහි අඩංගු නිකොටින්, තාර, ෙµdaමල්ඩි හයිඩ් හා අනෙකුත් විෂ ද්‍රව්‍ය හා සංඝටක සහ විමෝචන පිළිබඳ විස්‌තර ඇතුළත් විය යුතුය.

මේ ආදී රෙගුලාසි කිහිපයක්‌ සහිත 2012 අංක 01 දරන දුම්කොළ නිෂ්පාදන (ලේබල් කිරීමේ සහ ඇසුරුම් කිරීමේ) නියෝග සහිත අති විශේෂ ගැසට්‌ නිවේදනය දැන් ව්‍යවස්‌ථාදායකයේ අනුමැතිය මත දැන් නීතියක්‌ බවට පත්ව ඇත.

මේ නීතිය ක්‍රියාත්මක කිරීමේ අභියෝගයට මුහුණ දීමට දැන් ඇමැතිවරයාට සිදුවනු ඇත. අපේ රටේ නීති ඕනෑ තරම් ඇත. එහෙත් ඒ නීති නිසි ලෙස ක්‍රියාත්මක වන්නේද යන්න ගැටලුවකි.

දුම්කොළ නිෂ්පාදනයන් භාවිත කරන්නන් අතුරින් බහුතරය ඇබ්බැහි වී තිබෙන්නේ සිගරැට්‌ටුවටය. සිගරැට්‌ අලෙවියේදී අපේ රටේ තිබෙන්නේ ඒකාධිකාරයෙකි. එංගලන්ත සහ ඇමරිකානු දුම්කොළ සමාගමේ සුජාත දරුවකු වුවත් ලංකා දුම්කොළ සමාගම නමින් හඳුන්වන දේශීය සමාගමක්‌ යෑයි පවසන තරමට සමාගමට මේ ඒකාධිකාරි බලය ලබා දී තිබේ.

අද අපේ රටේ රජයේ රෝහල් 1084 ක්‌ ඇත. පෞද්ගලික රෝහල් 206 කි. මේ රෝහල් සියල්ල තුළ තිබෙන ඇඳන් සංඛ්‍යාව 79945 කි. මෙම ඇඳන් සංඛ්‍යාවෙන් සියයට 20 ක්‌ම පිරී තිබෙන්නේ සිගරැට්‌, අරක්‌කු සහ මත්කුඩු නිසා රෝගීන් බවට පත් වූවන්ගෙනි. දුම්පානය නිසා දිනකට මියයන සංඛ්‍යාව හැට දෙනකුට අධික බව සංඛ්‍යාලේඛන තහවුරු කරයි. එසේ නම් වසරකට මියයන සංඛ්‍යාව විසි එක්‌ දහසකට අධිකය. මේ සා විශාල පිරිසක්‌ දුම්පානය නිසා මියයන්නේ නම් එය ජාතික ප්‍රශ්නයක්‌ නොවන්නේද... මේ මරණ සඳහා වගකිව යුත්තේ කවුද... මෙය එල්. ටී.ටී.ඊ. ය අපේ රටට, ජනතාවට කළ විනාශය හා සම කිරීමට යමෙකු උත්සාහ කරන්නේ නම් එහි වරදක්‌ නොමැත.

එක්‌සත් ජාතික පක්‍ෂයේ තරුණ මන්ත්‍රීවරයකු වන බුද්ධික පතිරණ මහතා පසුගිය අයවැය විවාදයේදී මෙන්ම අද අප කතාකරන ගැසට්‌ නිවේදනය පසුගියදා මැතිසබයේ අනුමැතිය සඳහා පැවති විවාදයේදීද වැදගත් තොරතුරු රැසක්‌ හෙළි කළේය. ඒ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති මහාචාර්ය කාලෝ ෙµdන්සේකා සහ එහි උපදේශක ආචාර්ය නිශාන්ද මෙල් මහතා කළ පර්යේෂණ වාර්තාවක්‌ පාදක කර ගනිමිනි.

දුම්කොළ සහ මත්පැන් මත සියයට 10 ක බද්දක්‌ පනවන්නේ නම් ඒ පනවන සෑම අවස්‌ථාවකම සියයට පහක්‌ මත්පැන් සහ දුම්වැටි භාවිතයෙන් ඉවත් වන බව එකී වාර්තාවේ සඳහන් කර ඇතැයි කියන බුද්ධික පතිරණ මහතා මෙසේද කියා ඇත.

2005 සිට 2011 දක්‌වා අවුරුදු හයක කාලය තුළ සිගරැට්‌ එකක්‌ තිබෙන්න ඕනෑ රුපියල් 29 ට. ඒත් ඒ වනවිට සිගරැට්‌ එකක මිල තීරණය කර තිබෙන්නේ රුපියල් 22 ට. මේ තත්ත්වය තුළ රජයට ලැබිය යුතු බදු මුදල් රුපියල් බිලියන 100 ක්‌ අහිමිවෙලා තිබෙනවා. භාණ්‌ඩාගාරයට ලබාගත යුතුව තිබූ මේ රුපියල් බිලියන 100 රටේ සිදුවූ විශාලතම වැට්‌ බදු වංචා මුදල වන රුපියල් බිලියන 3.52 ට වඩා අඩුයි. මහවැලිය සඳහා ආයෝජනය කර තිබෙන්නේ රුපියල් බිලියන 73 යි. විශ්‍රාම වැටුප ගෙවීමට අපට වසරකට වැයවන්නේත් රුපියල් බිලියන 99 යි. මාගම්පුර වරායේ දෙවැනි අධියර සඳහා ඇස්‌තමේන්තු මුදලත් රුපියල් බිලියන 90 යි. අපට සිගරැට්‌ බද්දෙන් අහිමි වෙලා තියෙනවා බිලියන 100 ක්‌. දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ පළමු කොටස වගේ දෙගුණයක්‌ ඉදිකිරීමට වැයවන මුදලක්‌ අපට අහිමි වී තිබෙනවා. පොහොර සහනාධාරය වගේ පස්‌ගුණයක මුදලක්‌ අහිමි වෙලා. පාසල් නිල ඇඳුම් ලබා දෙන්නත් 2011 ඇස්‌තමේන්තුවට රුපියල් බිලියන 1.3 යි.

හැන්සාඩ් වාර්තාව (2013.11.23)

දුම්කොළ සමාගමෙන් ලබාගත යුතු බදු මුදල් නිසියාකාරව ලබා ගැනීමේ ක්‍රියාවලිය යථාර්ථවාදී ලෙස සිදුවනවා දැයි මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය මත ඕනෑම කෙනෙකු තුළ සැකයක්‌ උපදී. දුම්කොළ නිෂ්පාදකයන්ට එරෙහිව පනවන නීති රීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට සිදුවන්නේද මෙවැනි නිලධාරීන් පිරිසක්‌ හරහා බවද අමතක නොකළ යුතුය. 

මෙවැනි රෙගුලාසි පැනවීම නොවේ කළ යුත්තේ සිගරැට්‌ ගෙන්වීම සහ බෙදාහැරීම නතර කිරීමයි... අද රටේ මත්පැන්, මත්ද්‍රව්‍ය බෙදා හරින්නේ කවුද... ආණ්‌ඩුවේ ඇමැතිවරුන් මේවාට සම්බන්ධයි. ඉතින් කොහොමද මේවා නතර කරන්නේ... යෑයි විජිත හේරත් මහතාද පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

2014 මත්ද්‍රව්‍යවලින් තොර සමාජයක්‌ ගොඩනගන වසර ලෙස නම් කර ඇත. ඒ වසර තුළදී දුම්වැටි සහ අනෙකුත් දුම්කොළ නිෂ්පාදන පෙට්‌ටි මත මෙවැනි රූපමය අවවාද සලකුණු කිරීමේ රෙගුලාසි නීතිගත කිරීම වැදගත්ය. 

ඔස්‌ටේ්‍රලියාවේ සිගරැට්‌ පෙට්‌ටි මත මෙම රූපමය අවවාද ඇරෙන්නට වෙනත් කිසිවක්‌ ප්‍රදර්ශනය කළ නොහැක. උරුගුවේ සිගරැට්‌ පැකට්‌ මත සියයට අසූවක ඉඩ ප්‍රමාණයක, කැනඩාවේ සියයට 75 ක්‌, බෲනයිහි සියයට 75 ක මෙම රූපමය සෞඛ්‍ය අවවාදයන් ප්‍රදර්ශනය කෙරේ. දුම්කොළ සමාගමේ හාම්පුතුන් සිටින ඇමරිකාවේ සිගරැට්‌ පෙට්‌ටි මත රූපමය අවවාද ඇතුළත් කෙරේ. යුරෝපා පාර්ලිමේන්තුවද මෙම නීතිය සම්මත කර ඇත. 

දුම්කොළ පාලන සම්මුතිය සඳහා රටවල් 153 ක්‌ එකඟ වී ඇති අතර දුම්කොළ පාලනය සඳහා ක්‍රියාත්මක වූ ආසියාවේ ප්‍රථම රට ශ්‍රී ලංකාව වීමද ආඩම්බරයට කරුණකි.

මෙවන් තත්ත්වයන් මත අප තවත් අපේ රටේ ජනතාව මේ අදිසි ත්‍රස්‌තවාදය නිසා අකාලයේ මියයන්නට ඉඩ දෙනවාද යන්න ගැන සිතා බැලිය යුතුය.

සිගරැට්‌ පෙට්‌ටි වශයෙන් මිලදී ගන්නන් හැරෙන්නට සිල්ලර වශයෙන් මිලට ගන්නන්ට මෙම රූපමය සෞඛ්‍ය අවවාදයන් ඇස නොගැටේ. ඒ සඳහාද උපායක්‌ කල්පනා කිරීමට සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාට හැකිවනු ඇතැයි අපි සිතමු.

අජිත් අලහකෝන්
http://www.divaina.com/2014/02/23/feature12.html

සබැඳි ලිපි කිහිපයක් -
[

රට රැකුණේ මහා සංඝරත්නය නිසා - මතින් තොර සමාජයක්‌ යටතේ සඟ රුවනට සුව දැහැත් වට්ටියක් - මෛත්‍රීhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_5164.html
එංගලන්තයේ සහ ඇමෙරිකාවේ සුදු මහත්වරුන්ට අයිති සමාගම් අපේ අධිකරණයට ඇවිල්ලා සාකච්ඡා කරනවා. ගැසට් නිවේදනයට දෙයියන්ගේ පිහිටයි – මෛත‍්‍රීhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_5398.htmlදුම්කොළ අධිරාජ්‍යයේ යටත්වැසියන් වන අපි...http://denethharinna.blogspot.com/2013/11/blog-post_9187.htmlමේ ලෝකෙ පාලනය කරන්නෙ දේශපාලකයෝ නොවේ, බහු ජාතික සමාගම්! - මතට එරෙහි සටනේ රජරට විරුවා මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_8370.html80%ක් දුන්නොත් වෙළඳ ලකුණ පේන්නෙ නැහැලු. නියෝගය ඉවත්කරන්න. මුස්තාපාගෙන් ගල් පැලෙන තර්ක. සිගරට් සමාගම් වෙනුවෙන් ෆායිස් මුස්තාපා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි. 80% නියෝගය ශේ්‍රෂ්ඨාධිකරණය අත්හිටුවයි!http://denethharinna.blogspot.com/2013/09/80-80-80.htmlසිගරැට්‌ පැකට්‌වල රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීම ඉක්‌මන් කරන්න - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_5670.htmlහැම අතකම සිගරැට්‌ - ඇත්ත සඟවන දුම්වැටි මාෆියාව - දිවයින කතුවැකියhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9229.htmlදුම්වැටි විරෝධී සටන ජාතික අරගලයක් කරන සටනේ නායකයා මමයි - රටරටින් බිහිවූ දෙවන විශිෂ්ට මෛත්‍රීපාලයන්http://denethharinna.blogspot.com/2013/09/blog-post_6542.html
]

0 comments: