Pages

Saturday, March 1, 2014

විදෙස් මුසලුවන් කොල්ල කෑ උරුමය වල්ලාපට්‌ට ජාවාරම හඳුනාගත්තේ ඔහුයි - එච්. එම්. ඒ .බී. හේරත්

ඔහු නොවන්නට අදටත් අපට වල්ලාපට්‌ටා ශාකය විශේෂ නොවන්නට ඉඩ තිබිණි. ගම්වල මිනිසුන් බුලත් පාත්ති සහ වෙනත් වැල් සහිත භෝග සඳහා තනන පන්දලම්වලදී ලී දඬු ගැට ගැසීමට වල්ලාපට්‌ටා ශාකයේ පොත්ත ඉරා එහි ඇති පට්‌ට භාවිත කළා හැරෙන්නට මෙම ශාකයට ජාත්‍යන්තර වටිනාකමක්‌ ඇති බව රටට මුලින්ම හෙළිදරව් කළේ ඔහුය.

ඔහු නමින් එච්. එම්. ඒ .බී. හේරත්ය. වල්ලාපට්‌ටා ශාකය පිළිබඳ මුලින්ම සොයා ගන්නා අවස්‌ථාවේදී ඔහු සේවය කළේ රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ කලවාන ප්‍රදේශයට සම්බන්ධව වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අඩවි වන නිලධාරියා ලෙසිනි. දිනය 2012 වසරේ ජුලි 27 වැනිදා ය. එදින ඔහු විසින් කලවාන මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වල්ලාපට්‌ටා කිලෝ ග්‍රෑම් විසිපහ වර්තමානයේ වල්ලාපට්‌ටා පිළිබඳ කතා බහට මුලපිරුමක්‌ බවට පත්විය. වර්තමානයේ ඉංගිරිය අඩවි වන නිලධාරි ලෙස කටයුතු කරන හේරත් මහතාගෙන්ම එදා සිදු වීම පිළිබඳව අපි විස්‌තර විමසුවෙමු.

කිතුල්ගල පැත්තේ කැලේ ගස්‌ වගයක්‌ කපලා තැන් තැන්වල ගොඩ ගහලා තියෙන බව මට මුලින්ම ආරංචි වුණා. සමහරු ඒවා උරවල දාලා ගෙවල්වලට ගෙනත් තියාගෙන ඉන්න බවත් දැනගන්න ලැබුණා. තවදුරටත් හොයාගෙන යද්දී ඉන්දියාවෙන් ආව මුස්‌ලිම් ජාතික මිනිස්‌සු දෙන්නෙක්‌ ඒ ශාක කොටස්‌ එකතු කරලා දෙන අයට රුපියල් දෙතුන් සීය ගානේ දීලා වාහනයක දාගෙන ඒවා අරගෙන යන බවත් දැනගන්න ලැබුණා. ඒ මුස්‌ලිම් ජාතිකයන් දෙදෙනා ඒ පළාතට ඇවිත් තිබුණේ ඉන්දියාවේ ඉඳලයි. ඔවුන් ශාකයක පත්‍ර පෙන්නලා ගමේ මිනිස්‌සුන්ට කියලා ඒ වර්ගයේ ශාක කපලා කොටස්‌ එකතු කරවලා අරගෙන ගිහින් තිබුණා. මේ ශාකය වල්ලාපට්‌ටා බව මම හඳුනාගත්තා. ඊට පස්‌සේ ඒ ගැන තවත් හොයන්න පටන් ගත්තා. වඳවීමේ තර්ජනයට මුහුණ දෙන ශාකයක්‌ ලෙස වල්ලාපට්‌ටා ශාකය ඒ වනවිටත් නම් කර තිබුණා. ඒ අනුව එම ශාකය අන්තර්ජාතික වෙළෙඳාම සඳහා තහනම් ශාකයක්‌ ලෙස හඳුන්වා තිබෙනවා. අන්තර්ජාතික වෙළෙ¹ම තහනම් කළ ශාක හා සත්ත්ව සම්මුතියට 1980 දී ශ්‍රී ලංකාවත් අත්සන් කර තිබුණු නිසා ඒ නීතිය පාවිච්චි කරලා වල්ලාපට්‌ටා ගස්‌ කැපූ සහ නීති විරෝධී ලෙස විදේශ රටවලට රැගෙන යැමට උත්සාහ කළ අය අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමට මට හැකි වුණා. 

අද වෙන කොට කෝටි ගාණක වල්ලාපට්‌ටා නීතියේ රැහැනට හසු කරගෙන තිබෙනවා. ලැබෙන තොරතුරුවලට අනුව 2012 වසරටත් පෙර වසර කිහිපයක සිටම වල්ලාපට්‌ටා මේ ආකාරයට ඉතාම සුළු මුදලකට පිටරටවලට රහසිගතව අරගෙන ගිහින් තියෙනවා. 

හේරත් මහතා ඒ අයුරින් අපට පැහැදිලි කළේය. අපගේ දැනුමේ හැටියට නම් ඔහු කර ඇත්තේ වීර ක්‍රියාවකි. ගෞරව සම්මාන සහිතව අගය කළ යුතු ක්‍රියාවකි. ඖෂධයක්‌ ලෙසත් ලී දඬු ගැටගැසීමට පට්‌ටා ගැනීම සඳහාත් එතෙක්‌ භාවිත කළ වල්ලාපට්‌ටා ශාකය රැකගතයුතු සම්පතක්‌ බවත් ඔහු රටට ම හෙළිදරව් කළේය. ඔහු මේ පිළිබඳව නොසොයන්නට අදටත් ගජරාමෙට වල්ලාපට්‌ටා රට පටවනු ඇත.

මේවා මේ තරම් විදේශ රටවලට වටින්නේ මන්දැයි අපි විමසුවේ ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යාන අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සිරිල් විඡේසුන්දර මහතාගෙනි. 

පැරීසියේ ඉස්‌තරම් වර්ගයේ සුවඳ විලවුන් සෑදීම සඳහා අමුද්‍රව්‍යයක්‌ ලෙස වල්ලාපට්‌ටා ශාකයේ හටගන්නා රෙසින් නම් කොටස්‌ යොදා ගන්නවා. වල්ලාපට්‌ටා ශාකයේ කඳට තුවාල කිරීමෙන් එම ශාකයේ කඳෙහි ආරක්‌ෂාව සඳහා ගස විසින්ම මෙම රෙසින් වර්ගය නිපදවා ගන්නවා. තුවාලය එයින් ආවරණය වෙලා ශාකයට හානි වීම නවතිනවා. ගයිරිනෝප්ස්‌ වල්ලා (Gyrinops walla‌) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන වල්ලාපට්‌ටා ශාකය තිමෙයිසියා (Thymelaeaceae) ශාක කුලයට අයත් වෙනවා. මෙම කුලයට අයත් ශාක ගණ කිහිපය අතරින් "ගයිරිනෝප්ස්‌"ගණයට අයත් ශාක විශේෂ අටක්‌ පමණ තියෙනවා. එයින් ශ්‍රී ලංකාවේ දැකිය හැකි වන්නේ ගයිරිනෝප්ස්‌ වල්ලා නම් විශේෂය පමණයි. වල්ලාපට්‌ටා ලෙස හඳුන්වන්නේ එයයි. තෙත් කලාපීය හා අන්තර් කලාපීය වනාන්තරවල යටි ස්‌ථරයේ මේවා සරුවට වැඩෙනවා. ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, වියට්‌නාමය, මැලේසියාව වගේ රටවලත් වල්ලාපට්‌ටා ශාකය අයත් වන තිමෙලයිසියා කුලයට අයත් අක්‍යqලරියා ගණයේ ශාක බහුලව තිබෙනවා. මෙම ශාකවලට කෘත්‍රිම ව හානි කිරීමෙන් හැදෙන රෙසින් නැත්නම් අගාවුඩ් ලබා ගැනීම සඳහා ශාකයේ නියමිත කාලයට කලින් ශාක කපා දැමීම නිසා ඒවා වඳවීමේ තර්ජනයට මුහුණ පෑවා. මේ නිසා එම ශාකය අනවසරයෙන් අපනයනය කිරීම තහනම් කෙරුණා. ශ්‍රී ලංකාවටත් ඒ නීතිය බලපානවා. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වල්ලාපට්‌ටා කිලෝ ග්‍රෑම් 1ක්‌ රුපියල් එක්‌ලක්‌ෂ පනස්‌ දහසක්‌ පමණ වටිනවා. මේවා පිටරටවල නිෂ්පාදකවරු අඩුමිලට අරගෙන ගිහින් ලක්‌ෂ,කෝටි ගණනට අලෙවි කරනවා. යෑයි ඒ මහතා කීවේය.

ශ්‍රී ලංකාවේ වල්ලාපට්‌ටා ශාකය පිළිබඳ නීත්‍යනුකූල අයිතිය පවතින්නේ වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවටය. වනාන්තරවලින් ඒවා හොරෙන් කපාගෙන යන්නේ නම් එය වළක්‌වා ගැනීමේ බලය ඔවුන් සතුය. ඔවුන්ට ඒ සඳහා පහසුකම් සැලසීම බලධාරීන්ගේ වගකීම වනු ඇත. අපේ රටේ අහිංසක දුප්පත් මිනිසුන් රවටා ගනිමින් තුට්‌ටු දෙකට මේ රටේ සම්පත් පිටරටවලට රැගෙන යැමේ මහා පරිමාණ ජාවාරම් ක්‍රියාත්මක වූ පළමු අවස්‌ථාව මෙය නොවේ. එක්‌ අතකින් තහනම් කරද්දී පස්‌සා දොරෙන් ඒවා පිටමං කළ සූරවීර පුතුන් අපේ රටේ අඩු නොවීය. අදටත් ඕනෑ තරම් ඇත. එහෙත් රටේ ඉබේ වැවෙන ලක්‌ෂ කෝටි ගණනක්‌ මුදල් පිටරටින් මෙරටට ගෙන්වා ගැනීමට හැකි වල්ලාපට්‌ටා ශාකය පරම්පරා ගණනාවකටම මහඟු සම්පතකි. එසේ නම් මේ මොහොතේ රටට ආදරය කරන හරිහමන් ඔළුගෙඩි ඇත්තවුන් විසින් කළ යුතුව ඇත්තේ වනාන්තරවල ඇති වල්ලාපට්‌ටා තවදුරටත් වඳවී යැමට ඉඩ දීම නොවේ. මිනිස්‌ ශ්‍රමය යොදා ගනිමින් මහා පරිමාණයෙන් වල්ලාපට්‌ටා වගා කිරීම ආරම්භ කිරීමය. රටේ නිෂ්පාදන ක්‍රියාවලිය බිඳවැටෙමින් තිබෙන මෙවන් යුගයක දුප්පත් ශ්‍රී ලාංකික ගැහැනුන් තෙල් රටවල බාබලාට බිලි දෙමින් විදේශ විනිමය ඉපැයීම වෙනුවට එකවර වැඩි මුදලක්‌ අසරණ ජනතාව තලා පෙළා රිදවීමකින් තොරව ලබා ගන්නට වල්ලාපට්‌ටා වගාව මහත් පිටිවහලක්‌ වනු ඇතැයි අපි පෙන්වා දෙන්නෙමු. එය ක්‍රියාත්මක කිරීම බලධාරීන් සතුය. 

තුෂාරී කුළුබෝවිල 
http://www.divaina.com/2014/02/23/feature09.html

0 comments: