Pages

Saturday, March 22, 2014

උතුරේ මහ ඇමැති මට කෙනෙහිලිකම් කරනවා - පළාත් මහ ලේකම්වරියගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්‌

උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා තමාගේ රාජකාරි කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වන අතර තමා තනතුරෙන් ඉවත් කිරීමට ඔහු දැඩි උත්සාහයක යෙදී සිටින බවට පැමිණිලිකරමින් එම පළාත් සභාවේ මහ ලේකම්වරිය ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌ ගොනු කර ඇත.

විග්නේෂ්වරන් උතුරේ මහ ඇමැති ලෙස පත්වූ දවසේ සිටම තමාට විවිධාකාරයෙන් කෙනෙහිලිකම් කරන බවත් ඔහුගේ ක්‍රිය කලාපය හේතු කොටගෙන තමාට නිදහසේ වෘත්තිය රාජකාරි කටයුතු කරගෙන යැමට නොහැකි තත්ත්වයක්‌ උදාවී ඇතැයිද ඇය පෙත්සමේ සඳහන් කර ඇත.

පළාත් සභාවක සේවකයකු තනතුරින් ඉවත් කිරීමට මාරු කිරීමට කිසිදු අයිතියක්‌ නැති බවත් එම කටයුත්ත පවරා ඇත්තේ රාජ්‍ය සේවා කොමිසමට බවත් ලේකම්වරිය සිය පෙත්සමෙන් කියා සිටී.

විශේෂයෙන් පළාත් සභාවක මහා ලේකම් තනතුර ජනාධිපතිගේ අධීක්‍ෂණයට යටත් වන අතර එම තනතුර දරන පුද්ගලයා විසින් කරනු ලබන්නේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් පැවරුණු රාජකාරි කටයුතු බවත් ඒවාට කිසිදු ආකාරයකින් බාධා කිරීමට හෝ මැදිහත්වීමට මහා ඇමැතිට බලයක්‌ නැති බවත් මහලේකම් විජයලක්‍ෂමි මහත්මිය පෙත්සමෙන් වැඩිදුරටත් කියා සිටී.

විග්නේෂ්වරන් මහතා ඇතුළු වගඋත්තරකරුවන් උසාවි කැඳවීමේ පෙත්සම පිළිබඳව සම්පූර්ණ විභාගයක්‌ පවත්වන ලෙස ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 12(1) 12(2) සහ 14(1) ඒ වගන්තිවලින් සහතික කොට ඇති මූලික අයිතීන් මහ ඇමැති විසින් උල්ලංඝනය කර ඇති බවට හෝ උල්ලංඝනය කිරීමේ ආසන්න සූදානමක්‌ ඇති බවට තීන්දු කරන ලෙසත්, මහ ඇමැතිගෙන් වන්දියක්‌ අයකරදෙන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා ඇත.

උතුරු පළාත් මහා ඇමැති විග්නේෂ්වරන්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, රාජ්‍ය සේවා කොමිසමේ සභාපති ආචාර්ය දයාසිරි ප්‍රනාන්දු, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ.

මෙම පෙත්සම මීළඟ සඳුදා (24 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.

සරත් ධර්මසේන
http://www.divaina.com/2014/03/22/news19.html

Pic Source

0 comments: