Pages

Wednesday, March 12, 2014

සිරි දළදා ගමනය හදලා මම කළේ කල්ප ගණනාවක්‌ දිව්‍ය ලෝකයේ සැප ලබන පිංකමක් - අධ්‍යක්‍ෂ

සම්මා සම්බුදුරදුන්ගේ ශ්‍රී වාම දළදා වහන්සේ ඓතිහාසික සෙංකඩගල සිරි දළදා මැඳුරේ විරාජමානව මහත් අනුහසින් යුක්‌තව වැඩ සිටිති. සකල ලෝකවාසී බෞද්ධ බැතිමතුන්ගේ මුදුන් මල්කඩ වූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ මෙරටට වැඩමවීම පිළිබඳ ඓතිහාසික වෘතාන්තය වන්දනීය වූ සිනමා කාව්‍යයක්‌ ලෙස ඊ.ඒ.පී. මණ්‌ඩලයේ සිනමා ශාලා පනහක (වැල්ලවත්ත සැවෝයි ඇතුළුව) ඊයේ (06 දා) සිට අභිමානවත් ලෙස ප්‍රදර්ශනය කෙරේ.

බෝසත් ලංකා පදනම වෙනුවෙන් ශාස්‌ත්‍රපති පූජ්‍ය අකරවිට සංඝානන්ද හිමිපාණෝ, ඊ.ඒ.පී. චිත්‍රපට වෙනුවෙන් ආචාර්ය සෝමා එදිරිසිංහ මහත්මිය සම නිෂ්පාදකවරු ලෙස දායක වන "සිරි දළදාගමනය" චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා සනත් අබේසේකරය. ඔහු අතිශයින් ජනප්‍රිය වූ "මහින්දාගමනය" චිත්‍රපටයේද අධ්‍යක්‍ෂවරයාය.

ඉදිරියේ දී තිරගත වීමට නියමිත "අනගාරික ධර්මපාල" චිත්‍රපටයේත්, "අජාසත්ත" චිත්‍රපටයේත් අධ්‍යක්‍ෂවරයා වන්නේද සනත් අබේසේකරය. "අනගාරික ධර්මපාල" පූජ්‍ය කිරම විමලජෝති හිමියන්ගේ නිෂ්පාදනයකි. "අජාසත්ත" සුනිල් ටී. පෙරේරාගේ නිෂ්පාදනයකි.

ශ්‍රී ලංකාවේ දැවැන්තම නිෂ්පාදකවරු දෙදෙනකු ලෙස සැලකෙන සෝමා එදිරිසිංහ, සුනිල් ටී. පෙරේරා මෙන්ම බෞද්ධ භික්‍ෂුන් වහන්සේ දෙනමකගේද, චිත්‍රපට අධ්‍යක්‍ෂවරයා වන සනත් අබේසේකරද සමග "සිරි දළදා ගමනය" පිළිබඳ කළ සාකච්ඡාවක සටහන් මතු දැක්‌වේ.

ඔබේ පළමු චිත්‍රපටය "මහින්දාගමනය" දෙවැන්නත් ඓතිහාසික චිත්‍රපටයක්‌...?


ඔව්. ඇත්තටම මහින්දාගමනයට තේමාව වුණේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවීම. ඒ චිත්‍රපටයට අපේ රටේ විතරක්‌ නොවේ පිටරට සිටින ප්‍රේක්‍ෂකයන් පවා හොඳ ප්‍රතිචාර ලබා දුන්නා. ඒ නිසා තමයි ධම්මකිත්ති හාමුදුරුවෝ ලියූ ධාතුවංශය පාදක කරගනිමින් මගේ දෙවැනි චිත්‍රපටය නිර්මාණය කළේ. භාරත ඉතිහාසයේ ඇතැම් පොත් පත්වලිනුත් මම සිරි දළදා ගමනයට තොරතුරු ලබා ගත්තා.

සිරි දළදාගමනය තිර නාටකය රචනා කළේත් ඔබ. දන්ත ධාතූන් වහන්සේ මෙරටට වැඩම කරවීමේ කතාව නිවැරැදි ලෙස රචනා කළ බවට ඔබට සහතික විය හැකිද...?

ඇත්තටම පුළුවන්. ශ්‍රී ලංකාවේ අනන්තවත් පොත්පත් තියෙනවා. දන්ත ධාතූන් වහන්සේ ගැන ලියූ. ඒ අතරින් මහානාම හිමියන් ලියූ මහාවංශය තමයි සාක්‍ෂි සහිත එකම පොත. මහාවංශය සමග සසඳද්දී ධාතුවංශයේ ඇති කරුණුත් තහවුරු වෙනවා. දළදා වහන්සේ ගැන තවත් පොත්පත් තියෙනවා. ඒවා කියවද්දී පරස්‌පර තැන් තියෙනවා. පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් මට උපදෙස්‌ ලබා දුන්නා. ධාතාවංශය උපයෝගි කරගන්න කියලා තිර රචනයේ දී. 

ඒ කියන්නේ ඓතිහාසික කතා පුවතට ඔබ කිසිම හානියක්‌ කළේ නෑ...?

නෑ... නෑ... කිසිම හානියක්‌ කරලා නෑ. ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ගුණය, බලය සහ ශක්‌තිය ලොවට ප්‍රකාශ කරන්න ගන්න උත්සාහයක්‌ තමයි මේ චිත්‍රපටය. අනෙක මම මේ චිත්‍රපටය පෙන්වන්නේ දළදා වහන්සේගේ රැස්‌ විහිදීම, වර්ෂාව නැති කල වර්ෂාව ලබාදීම ආදී ආශ්චර්යයන් ගැන. ඒ වගේම දළදා වහන්සේ සම්බන්ධ කතා නිර්මාණයේදී භාරතීය ඉතිහාසයෙනුත් තොරතුරු ලබාගන්න පුළුවන්. භාරත ඉතිහාසය අනුව තමයි හේමමාලා දන්ත යුවතිපතීන් දෙදෙනා ශ්‍රී ලංකාවට එද්දී මුහුණ දෙන සිද්ධීන් ගැන කියෑවෙන්නේ. ඒ සිද්ධීන් ධාතුවංශයේ නෑ. ගුහසීව රජු තම දියණියට කියනවා දන්ත ධාතූන් වහන්සේ ලංකාද්වීපයට රැගෙන යන්න කියා. උදේනි රටේ රජුගේ පුතා තමයි දන්ත. හේමමාලා කුමරියත් දන්ත කුමාරයාත් විවාහ කරදී ශ්‍රී ලංකාවට දළදා වහන්සේ වැඩම කරවීමේ තොරතුරු. ඔවුන් පසුපස සතුරන් පන්නාගෙන එද්දී රත්තරං මාළුවෙක්‌ ශ්‍රී ලංකාවට එන්න මඟ පෙන්වීම, විශාල ගුරුලෙක්‌ ඔවුන් දෙදෙනාට ශ්‍රී ලංකාවට පැමිණීමට උදව් කිරීම වැනි සුවිශේෂී සිද්ධීන් භාරත ඉතිහාසයෙන් සොයා ගත්තා. 

මේ තිර රචනය ලියද්දී ඔබට කොතරම් කාලයක්‌ ගතවුණාද?

මාස හයක්‌ විතර ගතවුණා. ඉන් පස්‌සෙ දළදා මාලිගාවට ගිහින් තිර පිටපත පූජා කළා. පිටපත අවසන් චිත්‍රපටය කරන්න ඉඩ දෙන්න කියලා දළදා වහන්සේගෙන් ඉල්ලීමක්‌ කළා. ඒත් එදා රෑ නින්දේදී කිසියම් අදෘශ්‍යමාන බලවේගයක්‌ ඇවිත් සිහිනෙන් වගේ "මේක කරන්න දෙන්න බෑ..." කියා කිව්වා. මම පසුදාම පූජ්‍ය එල්ලාවල හාමුදුරුවන්ට මේ බව කිව්වා. උන්වහන්සේ උපදෙස්‌ දුන්නා, ආයෙත් දළදා මාලිගාවට ගිහින් භාවනා කරලා පිරිත් කියලා මොකක්‌ද වූ වරද කියා අහන්න කියලා. එදායින් පසුව හැම සිද්ධියක්‌ම ආශ්චර්යයක්‌ වගේ. හිතාගන්න බැරි විදිහට මට දඹදිව යන්න නොමිලේ ගුවන් ප්‍රවේශ පත්‍රයක්‌ ලැබුණා. මම දඹදිව ගියා. එතනදී තවත් ආශ්චර්යයක්‌ වුණා. ස්‌විට්‌සර්ලන්තයේ මහත්මයෙක්‌ එහිදී මට හමුවුණා. ඔහු හිමාලයට යමින් හිටියේ. ඔහු මා සමග කතා කළා. දඹදිව දළදා වහන්සේ වැඩසිටි පූජනීය ස්‌ථාන සියල්ලම නරඹන්න ඔහු ඔහුගේ වියදමෙන් මාව ගෙන ගියා. මට කන්න බොන්න දීලා නවාතැන් පහසුකම් පවා සලසා දුන්නා. මේ ගමනේදී මට ධාතු වංශයේ තිබූ සියලුම තොරතුරු හා ස්‌ථාන දැක බලාගත හැකි වුණා. බ්‍රහ්මදත්ත මාලිගාව මම දැක්‌කා. එහි ඡායාරූප අරගෙන ඇවිත් මිහින්තලේ දී ඒ මාලිගාව මම හැදුවා. මම යළිත් දළදා වහන්සේට මල් පහන් පූජා කරලා පිටපත උන්වහන්සේට භාර කරමින් මට පිංවන්ත නිෂ්පාදකයෙක්‌ ලැබේවා කියා ප්‍රාර්ථනා කළා. එදාට පසුදා මට අරලියගහ මන්දිරයට යන්න සිදු වුණා. එහිදී එල්ලාවල හාමුදුරුවෝ සහ ඔස්‌ටේ්‍රලියාවේ අකරවිට සංඝානන්ද හිමියනුත්, ජනාධිපති උපදේශක ධම්මරංසි හිමියනුත් හමුවුණා. එල්ලාවල හිමියෝත්, ධම්මරංසි හිමියෝත් යෝජනාවක්‌ කළා අකරවිට සංඝානන්ද හිමියන්ට මේ චිත්‍රපටය නිපදවන්න උදව් කරන්න කියලා. අකරවිට හාමුදුරුවෝ ලක්‌ෂ 500 ක්‌ වියදම් කරන්න කැමැති වුණා. ඉතිරි මුදල් සඳහා තවත් කෙනකු හොයාගමු කියා කිව්වා. ඉන්පසු අපි ආචාර්ය සෝමා එදිරිසිංහ මහත්මියට මේ යෝජනාව ඉදිරිපත් කළා. ඇය කැමැති වුණා. ඒ අනුව සම නිෂ්පාදකවරුන් ලෙස අකරවිට සංඝානන්ද හිමි සහ ආචාර්ය සෝමා එදිරිසිංහ මහත්මිය මේ පුණ්‍ය කටයුත්තට දායක වුණා.

කොහොමද මේ සඳහා නළු නිළියන් තෝරා ගත්තේ...?

මම බලාපොරොත්තු වුණා පිංවන්ත නළු නිළි පිරිසක්‌. අපිට එහෙම අය සොයා ගැනීම අපහසුනේ. ඒත් චිත්‍රපටය කෙරෙන කාලය තුළදී ඒ සඳහා පේවෙලා දළදා හිමියන්ට භාරවෙලා මේ නිර්මාණ කටයුත්ත කරන්න හැම කෙනෙක්‌ම එකඟ වුණා. තරුණයන් එකසිය පනහක්‌ අතරින් දන්ත කුමාරයාගේ චරිතයට හේෂන් මනුලව තෝරා ගත්තා. ඔහු ඒ වෙද්දි කිසිම නිර්මාණයකට දායක වී සිටියේ නෑ. මගේ හිතේ මැවී තිබූ රූපයක්‌ තිබුණා, හේමමාලා කුමරියට. ඒ රූපය හමුවන තුරු මම බලා සිටියා. බොහෝ අය අතුරින් මට සුදුසු රූපය හමුවුණා. ඇය ප්‍රසාදි සමරකෝන්. ඇයත් මීට පෙර රඟපා තිබුණේ නෑ. 

චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක... ඓතිහාසික චරිත. අලුත් දෙදෙනෙක්‌ යොදා ගැනීම ගැන හිතේ චකිතයක්‌ තිබුණේ නැද්ද?

නෑ. මට වුවමනා වුණේ මම කියන දේ කරන දෙදෙනෙක්‌. මේ දෙදෙනා මම කියන දේ කළා. දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදයත් මේ දෙදෙනාට ලැබුණා. රුවන්වැලිසෑයට මේ දෙදෙනා කැඳවාගෙන ගියා. පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි, එල්ලාවල මේධානන්ද හිමිගෙන් උපදෙස්‌ ලබා දුන්නා. හේෂානුත් ප්‍රසාදිත් අවබෝධයෙන් යුතුව මේ චරිත නිසි ලෙස කළා. ඒ වගේම තමයි ජීවන් කුමාරතුංග, ගීතා කුමාරසිංහ, ශ්‍රියන්ත මෙන්ඩිස්‌, මාක්‌ සැම්සන් වැනි ප්‍රවීණයෝත් බොහෝ සේ කැපවුණා. හැම කෙනෙක්‌ම තමන්ට හිමි දේ කළා. චිත්‍රපටය රූගත කරන්න කලින් අපි රුවන්වැලි සෑයට වැඳලා පටන් ගත්තේ. යුද්ධයේ දර්ශන හැර අනෙක්‌ සෑම දර්ශනයක්‌ම රූගත කළේ මිහින්තලේ. යුද්ධය රූගත කළේ හම්බන්තොට ලුණු ලේවාය පරිශ්‍රයේ. මිහින්තලේ දී අපි මාලිගා තුන හතරක්‌ හැදුවා. ඒවා හැදුවේ වෙලේගෙදර රණසිංහ, සුනිල් විඡේරත්න තමයි පසුතල අලංකරණය කළේ. සුනෙත් නන්දලාල් කලා අධ්‍යක්‍ෂණය, පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, පල්ලේගම හේමරතන හිමි, දෙනියායේ බුද්ධරක්‌ත හිමි සහ මම ගීත රචනා කළා. විශාරද නන්දා මාලිනී, සුනිල් එදිරිසිංහ, ඉෂාක්‌ බෙග්, උරේෂා රවිහාරි, ශානිකා මධුමාලි ගීත ගැයුවා. 

"සිරි දළදාගමනය" චිත්‍රපටය සියයට සියයක්‌ සාර්ථකව නිර්මාණය කළ බවට ඔබ සෑහීමකට පත්වෙනවාද?

ඔව්. මගේ මූලික හරය තමයි, දළදා වහන්සේගේ ආශ්චර්යය රටට ප්‍රකාශ කිරීම. මේ චිත්‍රපටය නැරැඹීමෙන් මිනිස්‌ හදවත් ශ්‍රද්ධාවටත්, ආනන්දයෙන් ප්‍රඥවටත් පත්වේවි කියා මට විශ්වාසයි. රාග, ද්වේශ, මෝහ අවුස්‌සන රංගනයන් සහ නිර්මාණ ඉදිරිපත් කළොත් එය කල්ප ගණනාවක්‌ සතර අපායේ දුක්‌ විඳින්න හේතුවක්‌ වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. ඒ වගේම කිසියම් නිර්මාණයකින් ශ්‍රද්ධාවත්, ආනන්දය හා ප්‍රඥවත් ලබා දෙනවා නම් ඒ නිර්මාණකරුවන් කල්ප ගණනක්‌ දිව්‍ය ලෝකයේ සැප විඳිනවා කියා බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. ඒ අනුව මම මේ කළේ මහා පිංකමක්‌. කල්ප ගණනාවක්‌ දිව්‍ය ලෝකයේ සැප ලබන තරමේ පිංකමක්‌ මේකට දායක වූ හැම දෙනාටමත් ඒ ආනිශංසය ලැබෙනවා. දළදා වහන්සේ දැන් වැඩ ඉන්නේ මහනුවර. මම කරන්නේ මහනුවර වැඩසිටින දන්ත ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාවේ සිනමා ශාලා පනහකට වැඩමවීමයි. මේ වැඩමවීම අනුව සිනමා ශාලා ධර්ම ශාලා බවට පත්වෙනවා. එවිට මේ ප්‍රේක්‍ෂකයෝ චිත්‍රපටය නරඹා ශාලාවෙන් එළියට එන්නේ ශ්‍රද්ධාව හිතේ ඇතිව. දළදා වහන්සේ කෙරෙහි අනේක වාරයක්‌ දැනුවත් වෙලා. පැය දෙකකදී දළදා වහන්සේගේ ඓතිහාසික තොරතුරු නිර්මාණයක්‌ තුළින් මම ප්‍රදර්ශනය කරනවා. ඉතින් මම අපේ රටේ ප්‍රේක්‍ෂකයන්ගෙන් ඉල්ලන්නේ මේ චිත්‍රපටය දෙස විතර්ක බුද්ධියෙන් බලන්න එපා. මේ චිත්‍රපටය නියම ගැමි සිංහලයෙක්‌ ලෙස බලන්න කියා. ඒකට හේතුව තමයි දළදා වහන්සේ කියන්නේ අපේ රටේ නිල නොලත් රජු ලෙසයි ගරු කරන්නේ. දළදා වහන්සේ ගැන ඇස්‌ දෙක වසාගෙන හිතුවත් පිං රැස්‌ වෙනවා. එහෙම නම් මේ චිත්‍රපටය නරඹද්දී ප්‍රේක්‌ෂකයාට මොන තරම් නම් පිං රැස්‌කර ගන්න පුළුවන්ද...

අජිත් අලහකෝන්
http://www.divaina.com/2014/03/07/cineart01.html

0 comments: