Pages

Friday, March 14, 2014

මොකක්‌ද මේ එම්. ආර්. අයි පරීක්‍ෂණය...?

සිරුර අභ්‍යන්තරයේ පවතින රෝගාබාධ හඳුනා ගැනීම සඳහා ඇති පරීක්‍ෂණ අතර එක්‌ස්‌රේ, සීටී - ස්‌කෑන් සහ එම්. ආර්. අයි. පරීක්‍ෂණ වර්තමානයේ බහුලව භාවිත කෙරේ. එක්‌ස්‌රේ සහ සී. ටී. ස්‌කෑන් පරීක්‍ෂණ පිළිබඳ බොහෝ දෙනකු හොඳින් දනිති. නමුත් එම්. ආර්. අයි. පරීක්‍ෂණය පිළිබඳ තවම අප තුළ එතරම් අවබෝධයක්‌ නැත. අනෙක මෙම පරීක්‍ෂණය ආවාට ගියාට සිදු කරන්නේ ද නැත. විශේෂඥ වෛද්‍යවරයකුගේ නිර්දේශය මත මෙය සිදු කරනු ලබයි. එසේම මෙම පරීක්‍ෂණයක්‌ සඳහා දැනට රජයේ රෝහල්හි පහසුකම් ඇත්තේ කොළඹ ජාතික රෝහල, මහනුවර හා පේරාදෙණිය සහ ගාල්ල යන ප්‍රධාන රෝහල්හි පමණි.

මෙම පරීක්‍ෂණයක්‌ සඳහා රුපියල් දස දහසක්‌, විසි දහසක්‌ අතර මුදලක්‌ වැයවේ. එක්‌ පරීක්‍ෂණයක්‌ සඳහා රෝගියකු අඩුම තරමින් පැය භාගයක පමණ කාලයක්‌වත් එම්. ආර්. අයි. යන්ත්‍රය තුළ සිටිය යුතුය. නළයක්‌ වැනි වූ කුහරයක්‌ තුළ නිසොල්මන්ව හිඳිමින් මෙම පරීක්‍ෂණය සඳහා මුහුණදිය යුතුය.

එබැවින් එම්. ආර්. අයි. පරීක්‍ෂණයක තොරතුරු දැනගන්නට අපි කොළඹ ජාතික රෝහල වෙත ගියෙමු.

ජාතික රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙම පරීක්‍ෂණය ගැන පැවසුවේ මෙලෙසිනි.

"කොළඹ ජාතික රෝහලේ එම්. ආර්. අයි. යන්ත්‍ර දෙකක්‌ තියෙනවා. මෙම යන්ත්‍ර දෙකෙන් බහුලව පරීක්‍ෂණ පවත්වන්නේ ස්‌නායු පද්ධතිය ආශ්‍රිත රෝගාබාධවල තොරතුරු ලබා ගන්නයි. බාහිර රෝගී අංශය, සායන සහ නේවාසික යන අංශවලින් ප්‍රතිකාර ලබන රෝගීන්ගේ එම්. ආර්. අයි. පරීක්‍ෂණයක්‌ කළ යුතු විට මෙම යන්ත්‍ර දෙකෙන් අදාළ පරීක්‍ෂණ සිදු කරනවා. ඊට අමතරව ත්‍රිවිධ හමුදාව, කොළඹ අවට රජයේ ප්‍රධාන රෝහල්හි සහ පිට පළාත් රෝහල්හි රෝගීන් සඳහා එම්. ආර්. අයි. පරීක්‍ෂණ කළ යුතු වූ විට ඒ සඳහා පහසුකම් සපයනවා.

ඊට අමතරව හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කරන බරපතළ තුවාල ඇති වූ පුද්ගලයන් සඳහා එම්. ආර්. අයි. පරීක්‍ෂණයක්‌ අවශ්‍ය වූ විට වහාම ඒ සඳහා පහසුකම් සපයනවා. ඒ හින්දා සමහර අවස්‌ථාවලදී මෙම පරීක්‍ෂණය සඳහා යොමු වන්න, රෝගීන්ට පොරොත්තු ලේඛණයේ බලා ඉන්න වෙනවා. දිනකට අප මෙම යන්ත්‍ර දෙකෙන් රෝගීන් පනස්‌ දෙනකුගේ පමණ පරීක්‍ෂණ සිදු කරනවා.

දැනට අප සතුව තියෙන එම්. අයි. ආර්. යන්ත්‍ර දෙකෙහි වටිනාකම රුපියල් කෝටි 40 ක්‌ පමණ වෙනවා. නොමිලයේ පරීක්‍ෂණ සිදු කළත් සාමාන්‍යයෙන් මෙම පරීක්‍ෂණයක්‌ සඳහා එක්‌ රෝගියකු වෙනුවෙන් රුපියල් දස දහසකට වැඩි මුදලක්‌ ජාතික රෝහල වැය කරනවා.

ශ්‍රී ලංකාවේ රජයේ රෝහලක පළමුවරට එම්. ආර්. අයි. පරීක්‍ෂණයක්‌ කළා නම් එය සිදු කළේ ජාතික රෝහලේ. ඒ සඳහා මුලිකව ක්‍රියා කළේ ස්‌නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කොලින් සමරසිංහ මහතායි. එතුමාගේ උනන්දුව සහ කැපවීම මත පරිත්‍යාග ශීලීන්ගේ ආධාර සහ හිටපු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ නායක අර්ජුන රණතුංග මහතාගේ දායකත්වයෙන් පළමු එම්. ආර්. අයි. යන්ත්‍රය 2001 වසරේදී ජාතික රෝහලේ පිහිටුවනු ලැබුවා. කිසිදු වෙළෙඳ දැන්වීමකට පෙනී නොසිටිනා අර්ජුන රණතුංග මහතා පෙනී සිටි එකම වෙළෙඳ දැන්වීම වනුයේ ජාතික රෝහලට එම්. ආර්. අයි. යන්ත්‍රයක්‌ මිලදී ගැනීමට ආධාර ලබා ගැනීම සඳහා නිර්මාණය කළ වෙළෙඳ දැන්වීමට පමණයි.

ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් ලද එම තොරතුරුවලින් පසු අපි එම්. ආර්. අයි. පරීක්‍ෂණ සිදු කරන අංශයට ගියෙමු....

විකිරණ වෛද්‍ය විශේෂඥ අරුණ පල්ලෙවත්ත මහතා එහිදී අපට හමුවිය.

,ඵRෂ (ඵ්ටබැඑසජ Resදබ්බජැ ෂප්ටසබට) එසේත් නැතිනම් විද්යුත් චුම්භක ප්‍රතිලෝකන ප්‍රතිබිම්භකරණය ලෙසින් හඳුන්වන මෙම පරීක්‍ෂණය මගින් ශරීරයේ මෘදු පටකවල ඇති තොරතුරු පවා ඉතා පැහැදිලිව ලබාගත හැකියි.

විශේෂයෙන්ම ස්‌නායු පද්ධතියේ ඇති මෘදු පටක, සන්ධිවල ඇති මෘදු පටක මොළයේ ගැටිත්තක ඇතුළත ඇති රසායනික සංයුතිය ආදී තොරතුරු සැත්කමකින් තොරව ලබා ගැනීමට එම්. ආර්. අයි. පරීක්‍ෂණයකින් හැකියාව ලැබෙනවා.

එසේම අක්‌මාව, හෘදය, මොළය ආදි ඉන්ද්‍රියයන්හි අභ්‍යන්තර පටකවල යම් වෙනසක්‌ සිදුව ඇත්නම් එහි තොරතුරු ලබා ගැනීමට ද මෙම පරීක්‍ෂණය සිදු කරනවා.

එම්. ආර්. අයි. පරීක්‍ෂණය සඳහා භාවිත කරන්නේ ප්‍රභල චුම්බක ශක්‌තියක්‌, එනිසා මෙම පරීක්‍ෂණයේදී රෝගියාට ශරීරයට විය හැකි හානි අඩුයි. නමුත් මෙම පරීක්‍ෂණය සඳහා යම් රෝගියකු පෙනී සිටින විට තම ශරීරය තුළට ලෝහමය උපකරණ ඇතුළත් කර ඇත්නම් ඒ පිළිබඳව පරීක්‍ෂණයට පෙර වෛද්‍යවරයාට පැවසිය යුතුයි. උදාහරණයක්‌ ලෙස හෘදයේ ක්‍රියාකාරිත්වය සඳහා කෘත්‍රීම යන්ත්‍රයක්‌ (Faජැප්නැර) සම්බන්ධ කර ඇත්නම් ඒ ගැන වෛද්‍යවරයා දැනුවත් කළ යුතුයි. මොකද එවැනි ලෝහමය උපකරණයක්‌ තිබෙන විට එම්. ආර්. අයි. පරීක්‍ෂණයේදී යම් යම් බාධා ඇති වෙනවා. විශේෂඥ වෛද්‍ය අරුණ පල්ලෙවත්ත මහතා එම්. ආර්. අයි. පරීක්‍ෂණය ගැන එසේ පැහැදිලි කළේය.

මෙම පරීක්‍ෂණය අනතුරු සහිතද? අපි විශේෂඥ වෛද්‍ය අරුණ පල්ලෙවත්ත මහතාගෙන් විමසුවෙමු.

කිසිම අනතුරක්‌ නැහැ. අඩුම තරමේ එක්‌ස්රේ පරීක්‍ෂණයක්‌ තරම්වත් අතුරු ආබාධ නැහැ. මෙම පරීක්‍ෂණ සඳහා රෝගියා එම්. ආර්. අයි. යන්ත්‍රයේ කිසියම් වේලාවක්‌ එකම ඉරියව්වෙන් නිසොල්මන්ව සිටිය යුතුයි.

එසේ සිටිය නොහැකි රෝගීන් නිර්වින්දනය කරනවා. එසේත් නැතිනම් අර්ධ වශයෙන් නිර්වින්දනය කරනවා. කුඩා දරුවන් මෙම පරීක්‍ෂණය සඳහා යොමු වූ විට ඔවුනට එක දිගට පැය භාගයකට වැඩි කාලයක්‌ නිසොල්මන්ව සිටිය නොහැකි වූ විට නිර්වින්දනය කරනවා. මොකද ඉරියව් වෙනස්‌ වුවහොත් ලැබෙන තොරතුරුවල වෙනස්‌කම් ඇති වෙනවා.

එම්. ආර්. අයි. පරීක්‍ෂණයක්‌ මේ තරම් මිල අධික ඇයි? නැවතත් අපි පැනයක්‌ නැඟුවෙමු.

මෙම පරීක්‍ෂණය මගින් අදාළ රෝගය සම්බන්ධ තොරතුරු ඉතා පැහැදිලිව ලබා ගැනීමට ඨ්‌dදකසබසමප අඩංගු එන්නතක්‌ ශරීරගත කරනවා. එය ටිකක්‌ මිල අධිකයි. එසේම මෙම පරීක්‍ෂණයේදී පැති කිහිපයකින් අදාළ ස්‌ථානයේ ඡායා පිටපත් ගනු ලබනවා. එම එක්‌ පිටපතක්‌ මුද්‍රණය සඳහා රුපියල් දෙදහස්‌ පන්සියයක්‌ පමණ මුදලක්‌ වැය වෙනවා.

ශරීරයේ අභ්‍යන්තර තොරතුරු ලබාගත හැකි අති නවීන පරීක්‍ෂණය එම්. ආර්. අයි. පරීක්‍ෂණයද?

දැනට තියෙන පරීක්‍ෂණ අතර මෙය අති නවීන පරීක්‍ෂණයක්‌ වෙනවා. මෙහි ඇති විශේෂත්වය තමයි අප සිරුරේ යම් ගැටිත්තක්‌ හෝ ගෙඩියක්‌ හටගෙන ඇත්නම් එය සැත්කමක්‌ සිදුකර එහි ඇති අභ්‍යන්තර තොරතුරු පරීක්‍ෂා කරනු වෙනුවට මෙම පරීක්‍ෂණය මගින් අදාළ සියලු තොරතුරු ලබාගත හැකියි. ඒ අනුව එම ගැටිත්ත හෝ ගෙඩිය සැත්කමක්‌ මගින් ඉවත් කළ යුතු ද? නැත්ද? එහි අභ්‍යන්තරයේ ව්‍යහය කෙසේ ද? ආදි සවිස්‌තර තොරතුරු මෙම පරීක්‍ෂණය මගින් ලබාගත හැකියි.

එම්. ආර්. අයි. පරීක්‍ෂණය කරන්නේ ස්‌නායු රෝග සහ පිළිකා තොරතුරු ලබා ගැනීමටද?

නැහැ.... යම් සන්ධියක පටක අභ්‍යන්තරයේ ඇති වෙනසක්‌ හඳුනා ගැනීමට, ස්‌නායු පද්ධතියේ ඇති මෘදු පටකවල අසාමාන්‍ය තාවයක්‌ හඳුනා ගැනීමට, වකුගඩු, හෘදය වැනි ඉන්ද්‍රියවල ඇති මෘදු පටකවල හටගෙන ඇති අසාමාන්‍යතාවයක්‌ හඳුනා ගැනීම ඇතුළු ඉතා සියුම් පටකවල මතුව ඇති රෝගාබාධ මෙම පරීක්‍ෂණය මගින් ඉතා පැහැදිලිව හඳුනා ගත හැකියි. 

එම්. ආර්. අයි. පරීක්‍ෂණය සඳහා කොපමණ වේලාවක්‌ ගත වෙනවාද?

එය රෝගියාගෙන් රෝගියාට සහ රෝග පරීක්‍ෂාව අනුව වෙනස්‌ වෙනවා. සාමාන්‍යයෙන් එක්‌ රෝගියකු සඳහා පැයක පමණ කාලයක්‌ ගත කරන්න සිදුවෙනවා.

ඉතිං මෙම තොරතුරු වලින් අපට එම්. ආර්. අයි. පරීක්‍ෂණයක්‌ ගැන යම් අවබෝධයක්‌ ලබාගත හැකි වුණත් එවැනි පරීක්‍ෂණයක්‌ සඳහා අවස්‌ථාව උදා නොවේවා යෑයි ප්‍රාර්ථනා කරමින් අපි ජාතික රෝහලින් පිටව පැමිණියෙමු.

ජාතික රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ
උපාලි ද සේරම්, ඡායාරූප - සුජාතා ජයරත්න
http://www.divaina.com/2014/03/09/feature16.html

0 comments: