Pages

Friday, March 14, 2014

නාමල් උයන දෙනවද ගල් මෝලෙකුට

ජාතික නාමල් උයන පිහිටි සංරක්‍ෂිත වනාන්තර ප්‍රදේශයට අයත් සුදු තිරිවානා පාෂාණ නිධියක්‌ කඩා රට පටවන්නට හදන සිද්ධිය පරිසර ක්‍ෂේත්‍රයේ නවතම කතාවයි. ඉකුත් දිනෙක එහි පැමිණි ප්‍රදේශයේ ගුරුවරයකු ප්‍රමුඛ කණ්‌ඩායමක්‌ අදාළ තිරිවානා නිධිය මතුපිටින් පරීක්‍ෂාකර, ගල්වෙඩිල්ලක්‌ (බෝරයක්‌) දමා කොටසක්‌ පුපුරුවා හැර තිරිවානා නිධියේ වටිනාකම තක්‌සේරුවකට ලක්‌කර ඇතැයි කියන පුවත දැනටමත් මාධ්‍ය මගින් ප්‍රචාරය කර ඇත. හානියට ලක්‌ කළ තිරිවානා නිධියේ ඡායාරූප මගින්ද ඒ බව තහවුරු වේ. ආරම්භයේදී මෙම තිරිවානා නිධිය පිළිබඳ ගනුදෙනුව රාජපක්‍ෂවරුන්ගේ ගිණුමට බැරකරන්නට ජාවාරම්කරුවන් උත්සාහ ගෙන තිබූ නමුත් මේ පිටුපස රඟ දැක්‌වූ ප්‍රදේශයේ ගුරුවරයකුගේ සහ පාෂාණය පිහිටි ප්‍රදේශයට ආගන්තුක පිරිසක්‌ කැඳවා ගෙන ආ ගැමියකු පිළිබඳවද දැන් හෙළිදරව් වී අවසානය. විදේශිකයන්ගෙන් සමන්විත මෙම පිරිස අතර ලංකාවේ නියෝජිතයන්ද සිට ඇත. මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක්‌ හිමිවූ මෙම සම්පත් විනාශයේ සිද්ධියට නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන් ප්‍රමුඛ ගම්වැසියන් දැඩි සේ විරෝධතාව ප්‍රකාශ කළහ. රාහුල හිමියන් වහ වහා මාධ්‍ය දැනුවත් කර තම ප්‍රබල හඬ මෙම විනාශයට එරෙහිව නැඟීමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වහාම මේ පිළිබඳව අවධානය යොමු කර මෙහි සැබෑ තත්ත්වය සොයා බලන්නට සංරක්‍ෂණ අංශවෙත දැනුම්දී ඇති අතර, රාහුල හිමියන් වෙත පෞද්ගලිකවම කතා කර දැනුම්දී ඇත්තේ මෙම විනාශයට තමන් ඉඩ නොදෙන බව හා මේ පිළිබඳව සොයා බලන බවයි. තුන් වැනිදා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය හමුවේ අදහස්‌ දක්‌වමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

ජාතික නාමල් උයන බෞද්ධ සේනාසනය පිහිටා ඇත්තේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ කැකිරාව මැතිවරණ බලප්‍රදේශයට අයත් පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළය. එය මාතලේ දිස්‌ත්‍රික්‌කයේ ගලේවෙල ප්‍රදේශයට සම්බන්ධව පවතී. මෙම ප්‍රදේශය මීට දශක දෙකකට පමණ ඉහතදී වනාන්තරයෙන් සමන්විත බෞද්ධ නටබුන් වෙහෙර විහාර වලින් සමන්විත භූමි ප්‍රදේශයක්‌ වූයේය. දැඩි වන විනාශයකට ගොදුරුව තිබූ මෙම නාකැලේ ප්‍රදේශයට පැමිණි පූජ්‍ය වනවාසී රාහුල හිමියන් විසින් 1991 දී මෙම ප්‍රදේශයේ සංරක්‍ෂණ අභියෝගය භාරගනිමින් එහි නාමල් උයන නමින් බෞද්ධ චිත්ත විවේකාශ්‍රමයක්‌ ගොඩ නගන ලදී. මේ අනුව වසර 25 ට ආසන්න කාලයක්‌ උන්වහන්සේ මෙහි වනවාසීව වැඩවසමින් නාකැලේ වනාන්තරය ප්‍රමුඛ ආරාමික නටබුන් පරිශ්‍රය ආරක්‍ෂා කරමින් හා එය යළිත් ප්‍රතිෂ්ඨාපනය කරමින් මෙම ස්‌ථානය ජාතික සහ අන්තර්ජාතික වශයෙන් ප්‍රකට පුණ්‍ය භූමියක්‌ බවට පත් කළහ. මෙහිදී උන්වහන්සේගේ බලවත් ඉල්ලීම හා පරිශ්‍රමය මත මෙම නා වනාන්තරයට සිදුවූ යහපත්ම කටයුත්ත නම් එකල මහවැලි යටතේ අනාරක්‍ෂිතව පාලනය කෙරුණු මෙම වනාන්තරය වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සංරක්‍ෂිත වනාන්තරයක්‌ බවට ගැසට්‌ මගින් ප්‍රකාශයට පත්කර වීමය. ඒ සඳහා 2005 වසරේදී එහි කැඳවා ගෙන ගිය එකල පරිසර අමාත්‍යවරයා වූ ඒ. එච්.එම්. µවුසි මහතා අතින් මෙම සංරක්‍ෂිතය ප්‍රකාශයට පත් කරන ලද්දේද නාමල් උයනේදී පැවැති උත්සවයකදීය.

අක්‌කර 1500 ක්‌ තරම් වූ මෙම වනාන්තරය ඒ අනුව සංරක්‍ෂිත වනාන්තරයක්‌ බවට පත්වූ අතර එහි වෙසෙන ගහකොළ, සතා සිවුපාවාට පමණක්‌ නොව, දැවැන්ත ගල් කඳුවලට පවා මේ අනුව ආරක්‍ෂාව සැලසුණේය. රාහුල හිමියන් විසින් ජාතියට හඳුන්වා දුන් අක්‌කර දහසක තරම් ප්‍රදේශයක්‌ වසා පැතිර ඇති රෝස තිරිවානා නිධියට මෙන්ම අද අප කතා කරන සුදු තිරිවානා නිධියටද ඒ අනුව ඉතා ඉහළ රැකවරණයක්‌ හිමිවිය.

නාමල්උයන වන අසපුවේ අභ්‍යන්තරයේ ඇති රෝස තිරිවානා කඳුයායත් උල්පතගම මොරෙන්තේගම මාර්ගයෙන් ළඟාවිය හැකි සුදු තිරිවානා නිධියත් අතර ඇත්තේ එතරම් විශාල පරිතරයක්‌ නොවේ. බොහෝ විට මෙම පාෂාණ කඳු දෙකම එකම පාෂාණයක්‌ ලෙස පිහිටා තිබීමට බොහෝ සෙයින් ඉඩ ඇත. එනම් රෝස තිරිවානා නිධියට සිදුවන බලපෑමක්‌ වෙතොත් එය සුදු තිරිවානා නිධියටද සුදු තිරිවානා නිධියට යම් බලපෑමක්‌ වෙතොත් රෝස තිරිවානා නිධියටද එසේ නම් මුළු මහත් නාමල් උයනේ ශාක, සත්ත්ව පුරාවිද්‍යාත්මක හා ශාසනික වැදගත්කමටද මේ මගින් අනර්ථයන් සිදුවන බවකි මේ අප කියා සිටින්නේ.

අප ගත කරන්නේ රක්‍ෂිත වනාන්තර, ගස්‌ ගල් පමණක්‌ නොව, දරුමල්ලන් හා තමන්ගේ අම්මා තාත්තාත් විකුණාගෙන කන පාදඩයින් වෙසෙන කාලවකවානුවකි. පාරිසරික අර්බුද පිළිබඳ මාධ්‍යකරණයේ යෙදෙන අපට නිරන්තරයෙන් අසන්නට ලැබෙන්නේ ස්‌වාභාවික සම්පත් පිළිබඳ මහා විනාශයන් ගැන වාර්තාය. රුක්‌ දෙවිවරු බඳු මහා වෘක්‍ෂ පොරෝ පහරට, දම්වැල් කියත්වලට ගොදුරුව මිහිමව සිපගන්නා වාර්තා මෙන්ම වැලි, මැටි, ගල්, බොරළු නිධි පිටින්ම වනසා මුදල් බවට පත්කර ගන්නා අධමයෝ සුරසැප විඳින්නේ මේ සියලු කටයුතු කුසල් බවට හරවා ගනිමිනි. සංවර්ධනයේ නාමයෙන් මෙරට ස්‌වාභාවික සම්පත් විනාශයේ උපරිමයට අද අප පැමිණ සිටින අතර පරිසර බලධාරීන් තෙපලන තිරසාර සංවර්ධනයක්‌ මෙහි දැක ගැනීම උගහටය. මේ සංවර්ධන කඩතුරාවට මුවාවී මහ දවල්ම සම්පත් කොල්ලයේ යෙදෙන ජාවාරම්කරුවන් රට යන අතටම යමින් වාසිය තමන්ට හරවාගෙන "සම්තින්" සොයා ගන්නට සැරසෙන්නේ රටේ උරුමය යකාට ගියත් තමන්ට ඉන් ඵලක්‌ නැත යන්න පසක්‌ කරවමිනි. නාමල් උයනේ සුදු තිරිවානානිධියේ සිදුවීමත් එවැන්නකි.

නාකැලේ වනාන්තරයත්, රෝස තිරිවාන නිධියත් මෙතෙක්‌ කලක්‌ ආරක්‍ෂිතව පවතින්නේ නාමල් උයන නිසා සහ එහි සැබෑ සංරක්‍ෂකයා වන වනවාසී රාහුල හිමියන් නිසාත් බව අපට පිළිගන්නට සිදුවේ. එසේ නොවූයේ නම් දැනටමත් මෙවන් වනාන්තරයක්‌ හා මෙහි ඇති අමිල සම්පත් "බහිරවයින්" විසින් ගිල දමනු ලැබ බොහෝ කල් ගතවන්නට ඉඩ තිබිණි.

එහෙත්, මෙපමණ ආරක්‍ෂාවක්‌ සහ අවධානයක්‌ තිබියදීත් නාමල් උයනට අයත් සුදු තිරිවානා නිධියට කවරකු හෝ අත ගැසීම විටෙක පුදුමඑලවන කාරණයකි. එසේනම් ඒ පිටුපස කුමන බලවතා ඇත්දැයි ජනතාවට කුකුසක්‌ ඇතිවීම වැළැක්‌විය නොහැකිය. නමුත් දැන් අනාවරණය වී ඇති පරිදි රාජපක්‍ෂවරුන්ගේ නම විකුණා මෙම පාෂාණය තිරිවාන ලෙස රට පැටවීමට කටයුතු කර ඇත්තේ ධනවත් පිරිසකි. ඒ පිටුපස සිට ඇත්තේ ප්‍රදේශයේ ඉංගී්‍රසි ගුරුවරයකු ඇතුළු ගම්වැසියන් කිහිප දෙනෙකි. දැනටමත් මෙම පිරිස පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පිළිබඳව විමර්ශනයද කරගෙන යනු ලැබේ.

දැනගන්නට ඇති පරිදි වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම සුදු තිරිවානා පාෂාණය අදාළ පුද්ගලයන්ට ලබාදීම සඳහා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් සීමා මායිම්ද සලකුණු කරදී තිබී ඇත. අක්‌කර දෙසීයක්‌ පමණ ප්‍රදේශයක්‌ මේ සඳහා වෙන්කර ඇති බවට පැතිර ගිය රාවය පරිදි ඒ පිළිබඳව වැඩිදුර විස්‌තර ලබා ගැනීම සඳහා අප කතා කළේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌ වන නිලධාරි ලලිත් ගමගේ මහතාටය. ඒ මහතා මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූයේ මෙලෙසිනි.

"ජාතික නාමල් උයන සහිත රණව කන්ද (රෝස තිරිවානා සහිත) සංරක්‍ෂිත වනාන්තරයක්‌ ලෙස වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් 2005 දී ගැසට්‌ මගින් ප්‍රකාශයට පත්කරනු ලැබුවා. මෙහි ප්‍රමාණය හෙක්‌ටයාර් 603 ක්‌. මෙම වනාන්තරයට යාබදවයි මොරවකන්ද රජයේ වනාන්තරය පිහිටා තිබෙන්නේ. මෙම වනාන්තරය තුළ ඇති සුදු තිරිවානා නිධි දෙකක්‌ කැඩීම සඳහා පුද්ගලයකු විසින් සහ සමාගමක්‌ මගින් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඉල්ලීම් ලැබිල තිබෙනවා. ඒ අනුව අදාළ ප්‍රදේශයේ අදාළ නිධි පිහිටි ස්‌ථාන සලකුණු කර ඒවායේ ජී.පී.එස්‌. මිනුම් ගැනීම සඳහා කැකිරාව අඩවි වන නිලධාරීවරයා කටයුතු කර තිබෙන්නේ ඔහුගේ නිර්දේශය ප්‍රධාන කාර්යාලයට යෑවීම සඳහායි. ඒ නැතිව වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ සඳහා කිසිදු ලෙසකින් අවසර ලබාදී නැහැ. නිර්දේශ මත අවසානයේදී අවසර ලබා දෙන්නට තීන්දු වුණත් තවත් කාරණා රැසක්‌ ඒ සඳහා බලපානවා. මීටර් 500 ක්‌ තරම් ආසන්නයේම තියෙන්නේ සංරක්‍ෂිත නාමල් උයන වනාන්තරය නිසා පරිසර ඇගයීම් තක්‌සේරුවක්‌ කළ යුතුමයි. රෝස තිරිවාන නිධියට දුර කිලෝ මීටර් 1.5 ක්‌. මේ වගේ ගල් වැඩපළක්‌ හෝ මොනයම් හෝ සංවර්ධන කටයුත්තක්‌ සඳහා ඒ වගේම පුරාවිද්‍යා වටිනාකම් වැනි බොහෝ නිර්නායක ගැන තීන්දු ගත යුතුව තිබෙනවා. ඒ කියන්නේ මගේ දැක්‌මේ හැටියට කිසි ලෙසකින්වත් මෙම ස්‌ථානයේ ගල් වැඩපළක්‌ සඳහා ඉඩකඩ ලැබෙන්නේ නැහැ. වටපිටාවේ ඇති වැදගත්කම නිසා.

කෙසේ හෝ මෙම ගල් කොරිය කිරීමට ඉල්ලුම්පත් යොමු කර තිබූ පුද්ගලයා තවත් විදේශික පිරිසක්‌ සමග ඇවිත් අනවසරයෙන් මෙම ස්‌ථානයේ වෙඩි බෙහෙත් යොදා පිපිරීමක්‌ සිදුකිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී කටයුත්තක්‌. ඒ නිසා අප ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු ගල් වැඩපළ ඉල්ලා තිබී ඇත්තේ ඔහුගේ බිරිඳගේ නමින්. නමුත් එහි අත්සන ලෙස යොදා ඇත්තේ ඔහුගේ අත්සන. එයත් මේ විමර්ශනයේදී අනාවරණය කරගනු ලැබුවා. ඒ අනුව අත්අඩගුංවට ගත් සැකකරු වෙනත් ගල්වළකින් නීති විරෝධීව වෙඩි බෙහෙත් ලබාගෙන විත් කරනලද වරදට කැකිරාව මහෙස්‌ත්‍රාත්වරයා හමුවට අංක 228/17 දරණ බී වාර්තාව යටතේ පැමිණවීමෙන් පසු රුපියල් 10,000 ක සහ ලක්‍ෂ දෙකක ශරීර ඇපමත මුදා හරිනු ලැබුවා යෑයිද දිස්‌ත්‍රික්‌ වන සංරක්‍ෂකවරයා පැවැසීය.

අත්අඩංගුවට පත් සැකකරු ප්‍රදේශයේ ඉංගී්‍රසි ගුරුවරයකු වන අතර ඔහු කලක්‌ සේවයකර ඇත්තේ මතුගම ප්‍රදේශයේ ගල් වැඩපළ කිහිපයක්‌ සිදුකරගෙන ගිය නෙදර්ලන්ත ජාතිකයකුගේ පරිවර්තකයකු වශයෙන් බවද මෙහිදී අනාවරණය වී ඇත. ඔහු මෙම ව්‍යාපාරය පිළිබඳව හසල අත්දැකීමක්‌ ඇත්තකු බැවින් අදාළ සුදු තිරිවානා නිධිය කඩා රට පැටවීමට නිත්‍යානුකූල ලෙස අයෑදුම්පත් යොමුකර ඇතත් ඉන්පසු සිදුකර තිබෙන්නේ නීති විරෝධී ක්‍රියාකාරකම් රැසකි. ඒ අනුව අදාළ පුද්ගලයා දැන් නීතිය හමුවට කොටුකරගෙන ඇත.

එමෙන්ම මෙම ගල් වැඩපළ සඳහා වනවාසී රාහුල හිමියන් ප්‍රමුඛ විරෝධතාකරුවන් දැක්‌වූ දැඩි විරෝධය හේතුවෙන් මෙම ගල්කැඩීමේ ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම නවතා දැමීමට තමන්ට නීතිමය බලය ලැබී ඇතැයිද එම අවස්‌ථාව ප්‍රයෝජනයට ගෙන මොරවාකන්ද වනාන්තරයද ජාතික නාමල් උයන සහිත රණවකන්ද සංරක්‍ෂිත වනාන්තරයට ඒකාබද්ධ කිරීමේ මහඟු අවස්‌ථාව උදාවී ඇති බවද දිස්‌ත්‍රික්‌ වන නිලධාරී ලලිත් ගමගේ මහතා පැවැසීය. මේ සම්බන්ධයෙන් වනවාසී රාහුල හිමියන්ද ලලිත් ගමගේ මහතා සමග සාකච්ඡාකර ඉතිරි වනාන්තර ගැසට්‌ මගින් සංරක්‍ෂණ කර ප්‍රකාශයට පත්කර දෙන ලෙස ඉල්ලා ඇත

සිද්ධියට සම්බන්ධව වෙඩි බෙහෙත් නිකුත් කළ පුද්ගලයන් මෙන්ම ආධාර අනුබල දුන් පුද්ගයන්ද නීතියේ රැහැනට කොටුකර ගැනීමට වන නිලධාරීන් කටයුතු කරගෙන යයි.

වනවාසී රාහුල හිමියන් මාධ්‍ය වෙත අදහස්‌ දක්‌වමින් කියා සිටින්නේ "දිවයින" ප්‍රමුඛ මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය සියල්ලම පසුගිය වසර 25 තුළ තමන්ට නාමල් උයන රැක ගැනීමටත් එය ජාතික හා ජාත්‍යන්තරය ප්‍රචලිත කරන්නට කටයුතු කළා සේම සුදු තිරිවානා ප්‍රශ්නයේදී ද තමන් සමග හිඳ එය ජයග්‍රහණ දක්‌වා ගෙන යන්නට දක්‌වන ලද සහායට තම කෘතඥතාව පුදකරන බවයි.

ජගත් කණහැරආරච්චි
http://www.divaina.com/2014/03/09/feature01.html

0 comments: