Pages

Monday, March 31, 2014

ජංගම දුරකථනයේ හෝ පරිගණකයේ රහස්‍ය තොරතුරු ගබඩා කිරීම භයානකයි

කෙනෙකුගේ අතිශය පෞද්ගලික තොරතුරු හා ඡායාරූප  තවත් අයකු වෙත යෑම තුළින් සිදුවිය හැකි බරපතළ  අනර්ථකාරී සිදුවීම් පිළිබඳ  සිද්ධීන් පසුගිය කාලය පුරාවට අපට බහුලව   අසන්නට ලැබිණි. මෙවැනි සිද්ධීන්වලදී කාන්තාවන්ට සිදුවිය   හැකි හානිකර තත්ත්වය අතිශයින් බරපතළ  අතර එවැනි තොරතුරු හෝ ඡායාරූප සමාජය හමුවේ නිරාවරණය වීම තුළින් තමන් විසින් කාලයක් තිස්සේ ගොඩනඟාගෙන තිබුණු  ප්‍රතිරූපය සමාජය ඉදිරියේ  සුණු විසුණු විය හැක. මේ නිසා විශේෂයෙන්  කාන්තාවන් මේ කාලයේ තමන්ගේ පෞද්ගලික තොරතුරු හා ඡායාරූප (තවත් කෙනෙක් දැකීමෙන් අපහසුතාවයට පත් විය හැක)  ආරක්ෂාකාරී අන්දමින් තබා ගැනීමට කටයුතු කිරීම බෙහෙවින් වැදගත් වේ.

අද කාලයේ ජංගම දුරකතන භාවිතය ඉතා ඉහළ මට්ටමක පවතී. එසේම නවීන තාක්ෂණයෙන් යුතු බහුතරයක් ජංගම දුරකථනවල ඡායා රූප ලබා ගැනීමට හා වීඩියෝ ගත කිරීමේ පහසුකම් ද ඇත. වඳුරන්ට දැලිපිහි අහු වුණාසේ මේ සමාජයේ  ඇති වැඩිදෙනකු  තැනක් නොතැනක්  ඉවක් බවක් නැතිව තම ජංගම දුරකථනවලින් ඡායාරූප ලබා ගැනීම හෝ වීඩියෝ ගත කිරීම් කරනු දැකිය හැක.

බොහෝ දෙනකු සිතන්නේ   ජංගම දුරකථන තමන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා ඇති භාණ්ඩයක් වන හෙයින් ඒ තුළ තමන්ගේ තොරතුරු හෝ ඡායාරූප ගබඩා කර තබා ගැනීම  අතිශය සුරක්ෂිත බවය. මේ නිසා ඇතැම් විට තවත් කෙනෙක් නොබැලිය යුතු තමන්ගේ හෝ තම පෙම්වතියගේ ඡායාරූප හෝ වීඩියෝ ගත කිරීම් තම ජංගම දුරකථනයේ තබා ගැනීම වර්තමානයේ බහුලවම සිදු වන්නකි. විශේෂයෙන් තම පෙම්වතුන්  පෙම්වතියන් තම තමන්ගේ අතිශය පෞද්ගලික ඡායාරූප තම ජංගම දුරකථන තුළ ගබඩා කර තබා ගන්නේ නැවත නැවත නරඹමින් රසාස්වාදයක් ලැබිමේ අපේක්ෂාව  විය හැක. එකි’නෙකාගේ විශ්වාස  මත එවැනි දෑ ඡායාරූප ගත කර ගැනීම හෝ වීඩියෝ ගත කර තබා ගැනීමේ වරදක් ඔවුනට නොතේරේ. නමුත් පෙම්වතා කිසියම් හේතුවක් මත විරසක වී ඈත් වුවහොත්   ඉන්පසුව ඇතිවිය  හැකි තත්ත්වය  ඉතා ශෝචනීය විය හැක.

ඒ එක් පැත්තකි. ඊට අමතරව ජංගම දුරකථන පහසුවෙන් අස්ථානගත විය හැක. ඇතැම් විට සොරා ගැනීමට ලක්වීමටද පුළුවන. එවිටද එහි ඇති තොරතුරු හා ඡායාරූප  පහසුවෙන් පිටස්තරයන් වෙතට යා හැක. ඊට අමතරව ජංගම දුරකථන පහසුවෙන්  ක්‍රියා විරහිත වීමට ද පුළුවන.  එවිට එය  යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා තාක්ෂණික ශිල්පියෙකුගේ සේවය ලබා ගත යුතුවේ. විශ්වාසදායි නොවන  ස්ථානයකට ඔබේ ජංගම දුරකථනය ලබා දුනහොත් ඉතා පහසුවෙන් එහි ඇති පෞද්ගලික ඡායාරූප හෝ වීඩියෝ දර්ශන තවකෙක් වෙත යා හැක. මේ නිසා තමන්ගේ අතිශය පෞද්ගලික තොරතුරු හෝ  ඡායාරූප ජංගම දුරකථනයේ තබා ගැනීම  සුදුසු  නොවන බව මතක තබා ගත යුතු ය.

කෙනෙකුගේ පෞද්ගලික තොරතුරු තවත් කෙනෙක් වෙත යෑමේ අනික් ප්‍රධානතම මෙවලම වන්නේ පරිගණකයයි. බොහෝ දෙනෙක් පරිගණකය තුළ විශාල  මතක ගබඩාවක් ඇති නිසා  තමන්ගේ සියලු තොරතුරු ඡායාරූප වීඩියෝ පට ගබඩා කරන්නේ පරිගණකය තුළය. විශේෂයෙන්ම මිතුරු  සමාජ වබේ අඩවි (FaceBook) විද්‍යුත් තැපෑල (Email) වැනි තොරතුරු  හා ඡායාරූප හුවමාරු කර ගන්නා අංගයන් භාවිතයේදී එය පහසුවක් වේ. නමුත් අන්තර් ජාලය භාවිත කිරීමේදී අප නොදැනුවත්ම පරිගණකය තුළට ඇතුළු වී පරිගණකය තුළ ඇති සියලු රහසිගත තොරතුරු හා ඡායාරූප ලබා ගන්නා මෘදුකාංග වර්ගද පරිගණක ලෝකය තුළ තිබේ. විශේෂයෙන්  අන්තර්ජාලයේ  යම් යම් වබේ අඩවිවලට පිවිසීමට උත්සහ කිරීමට  යාමේදී විවිධ  බාගත කිරීම්  ලබා දෙයි. මෙවැනි  මෘදුකාංග  කෙනෙකුගේ පරිගණකය තුළට ඇතුල් වී එහි ඇති දත්ත හා තොරතුරු  පිට කර   ගැනීමට පිටුපස දොරක්  විවර කර ගනී. මේ නිසා  අන්තර්ජාලය භාවිතයේදී  ස්ථාපනය කිරීමට (Install) භාවිතා කරන සීරියල් නොම්මර ලබා ගැනීමට පාවිච්චි කරන විවිධ මෘදුකාංග (Key Genarater, Crak)  හොඳින්  කියවා ඒවා තමන්ට අවශ්‍යනම් පමණක් ලබාගත යුතුය.

ඊට අමතරව අප යම් යම් මාදුකාංග පරිගණකය තුළට ඇතුළත්  කිරීමේදී ව්‍යාජ පිටපත් යොදා ගැනීම තුළින් ද සයිබර් හොරුන්ගේ ගැටවලට පහසුවෙන් හසුවීමේ අවදානමක් පවතී. බොහෝ විට ඒ තුළින් ඔවුන් අපගේ  විද්‍යුත් තැපෑල  හෝ මිතුරු සමාජ  වබේ අඩවිවල රහස්‍ය  අංක හා ලිපින  සොරකම් කර එම ලිපින යොදා  ගනිමින්   විවිධ අපරාධ සිදුකළ හැක. මේ නිසා කිසියම් මෘදුකාංගයක් තමන්ට අවශ්‍ය නම් එහි නියමිත  පිටපතකට ලබා ගැනීම වඩා ආරක්ෂාකාරී පිළිවෙතය. ඊට අමතරව නියමිත කාලයේදී පරිගණක වෛරස්  හා ආරක්ෂක මෘදුකාංග යාවත්කාලීන (Update) කර  ගැනීම ඉතා වැදගත් වේ.

Skype මෘදුකාංග  බහුතරය භාවිත කරන මෘදුකාංගයකි. විශේෂයෙන් තමන්ගෙන්  දුරස්ව  හිඳින  සැමියා, බිරිඳ හෝ පවු‍ලේ  වෙනත් යහළු මිත්‍රයන් සමග අදහස් හුවමාරු කර ග‘ැනීම සඳහා මෙම මෘදුකාංගය භාවිතයට ගැනේ. නමුත් මෙම මෘදුකාංගය  පරිගණකය තුළ ක්‍රියාත්මක කරවා ගැනීම කළ හැක්කේ පරිගණක දැනුමක්  ඇති අයෙකුට පමණි. නමුත් සාමාන්‍ය කෙනෙක් මෙය ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා පරිගණකය පිළිබඳ දැනුමක් ඇති අයෙකුගේ  සහය පතයි. එවැනි අයෙකු අවංක  කෙනෙකු නොවන අවස්ථාවලදී Skype ක්‍රියාත්මක   කරන විට මතක ගබඩාව   තුළ තැන්පත් වීමට ක්‍රමවේද  සකසා තමන් පැවැත්වූ සංවාද පටිගත කොට සොරා ගැනීමට කටයුතු කළ හැක. විශේෂයෙන් Skype වබේ අඩවිවල අතිශය  පෞද්ගලික තොරතුරු  කතාබහ කෙරෙන බැවින් ඒවා තවත් කෙනෙක් වෙත ගියහොත්  සිදුවිය හැකි අනර්ථකාරි තත්ත්වය භයානකය. මේ නිසා එවැනි  මෘදුකාංග තමන්ට හෝ තමන්ට විශ්වාසවන්ත  අයෙකු මගින් සකසා ගත නොහැකි නම් වගකීමක් සහිත ආයතනයකින් සේවාව ලබා ගැනීම වඩා උචිත ය.

ඊමේල් ෆේස් බුක් භාවිත කිරීමේදී ශක්තිමත් මුර පදයක්  (Password) භාවිත කිරීම  ඉතා වැදගත් ය. සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුට අනුමාන කළ හැකි මුරපද භාවිත  කිරීම තුළින් කෙනෙකුට පහසුවෙන් තමන්ගේ ගිණුමට ඇතුල්වී එහි ඇති පෞද්ගලික තොරතුරු සොරා ගත හැක. (නම, ගම, මාවත, වැනි) එනිසා ශක්තිමත් (සිම්පල් කැපිටල් අකුරු ඉලක්කම් හා සලකුණ භාවිත කොට) මුර පදයක් නිර්මාණය කර ගැනීම ඉතා වැදගත්වේ.

ඊට අමතරව කාර්යාලයක වැනි ස්ථානයක හෝ ඉන්ටර්නෙට් කැෆේ වැනි ‍පොදුවේ ඊමේල්  හෝ ෆේස් බුක් භාවිත   කරන ස්ථානවල දී  තමන් අවශ්‍ය කටයුතු සිදු කරගත් පසු ගිණුමෙන් ඉවත් වීම (Sing out, Log out) වීම අනිවාර්යෙන්ම කළ යුතුය. එසේ කළත් හැකි ඉක්මනින් ඔබගේ, සුරක්ෂිත, විශ්වාසදායි පරිගණකයක් මගින් අන්තර්ජාලයට පිවිස මුරපදය (Password)  නැවත මාරු කිරීම වඩාත් සුදුසුය.  එසේ නොවුණහොත් කෙනෙකුට  ඔබේ ගිණුම්වලට පහසුවෙන් ඇතුළු වී  අකටයුතුකමක් සිදු කළ  හැක.

අවසන් වශයෙන් සඳහන් කළ යුතු විශේෂම කාරණය වන්නේ පරිගණකද ඔබේ රහස්‍ය  තොරතුරු ඡායාරූප ගබඩා කර තැබිමට සුදුසු ස්ථානයක්  නොවන බවය. එයට හේතුව එයද අස්ථාන ගත වුවහොත් හෝ අලුත්වැඩියාවේ කටයුත්තක් සඳහා වෙනත් කෙනෙකුට භාර දෙන්නට  සිදු වුවහොත් එහිදීද ඔබගේ අතිශය පෞද්ගලික දේ තවත් කෙනෙක්  වෙත යැවීමේ අවදානමක් පැවතීමය.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ‍‍‍ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත අවධාරණය කරයි

සටහන සුරංජිත් ගුණසේකර
ලක්බිම

Pic Source

0 comments: