Pages

Saturday, March 1, 2014

නොමියන කවියා සේකර

මහගමසේකර මියගොස්‌ ජනවාරි 14 වනදාට වසර 38 ක්‌ සපිරිනි. දශක හතරකට ආසන්න කාලයක්‌ සාහිත්‍යකාමී තරුණ පරපුර ඔහුගේ කලා භාවිතය පිළිබඳ නව කෝණයකින්, නව ආරකින්, නව දැක්‌මකින් නැවත නැවත කියවීම තුළ, සංවාද ගතවීම තුළ සේකරයන් සාහිත්‍ය ලෝකයේ ජීවමාන චරිතයක්‌ බවට පත්විය. විශේෂයෙන් සිංහල කවිය විෂයෙහි සේකරයන්ගේ සම්ප්‍රාප්තිය කෙතරම් බරසාර ද යත් ඔහු මිය ගියද නොමියෙන කවියෙකු වීය.

ජී.බී. සේනානායකයන්ගෙන් ඇරඹුණු නිදහස්‌ කවිය ගුණදාස අමරසේකරගේ 'භාවගීත' සිරිගුණසිංහයන්ගේ 'මස්‌ ලේ නැති ඇට' වැනි නිර්මාණ කාර්යයන්ගෙන් වඩ වඩාත් ශක්‌ති සම්පන්න විය. භාෂාමය, ආකෘතිමය මෙන්ම දෘෂ්ටිමය වෙසෙසක්‌ කුළුගන්වන්නට අපේ සිංහල කවිය සමත්වූවේ ඉන් අනතුරුවය. පැවති සම්ප්‍රදායික කවි මඟට නව දැක්‌මක්‌ එක්‌කරන්නට වූ නිදහස්‌ කවිය වඩාත් යථාර්ථවත් රීතියක්‌ කරා එළඹෙන්නේ මහගමසේකරයන්ගේ නිර්මාණ කාර්යයන් තුළින් බව පිළිගත යුත්තකි. ඔහුගේ නිර්මාණ වෘක්‍ෂයෙහි අග්‍රතම ඵලය 'ප්‍රබුද්ධ' කාව්‍ය සංග්‍රහයයි. සිංහල කවිය විෂයෙහි නව කවි පරපුරක්‌ මේ කවිය අනුදත් මාර්ගයට ප්‍රවිශ්ට වූ බව මෑත කාලීන කවිය හැදැරීමෙන් හ`දුනාගත හැකිය. ඔහු අපේ යුගයේ කලාත්මක භාවිතයේ පුරෝගාමියෙකු වන්නේ ඒ නිසාය.

විශේෂයෙන් අපේ රටේ කලා ක්‌ෂේත්‍රයේ පුරෝගාමියෙකු වීම දුෂ්කරය. මන්ද කලාව ධනෝපායන මාර්ගයක්‌ වීම තුළ, කලාව මිනිසුන් සිහින ලෝකවල තනිකරන, ජීවිතයෙන් විගලිත කරවන, මත්ද්‍රව්‍යයක්‌ බවට පත්වීම තුළ, මානව දයාව වෙනුවට මිනිස්‌ මනසට කුණුකන්දල් පිරවීමේ මෙවලමක්‌ බවට පත්වීම තුළ, ඉන් බැහැරව තමන් ඉදිරියේ ඇති ව්‍යාජය හෙළිදරව් කිරීමෙහිලා සිය නිර්මාණ ප්‍රතිභාව යොදාගනිමින් නව පරපුරකට පරමාදර්ශයක්‌ වීම සැබැවින්ම අභියෝගයක්‌ බැවිනි. සේකර ඒ අභියෝගය ජයගත්තේ බොහෝ දේවල් එකතුකරමින් නොව කැපකරමිනි.

''මා කවි ලියන අතර - මගේ මිතුරෝ
පොළොව බෙදා වෙන්කර ගෙන - ඒ මත රන් රිදියෙන්
ඇත්, අස්‌, රිය පිරිවර සෙන් මහ මන්දිර ගොඩනැගුවෝ'' 

නොමියෙමි

හො`ද කවියෙකුට තිබිය යුතු ජාති ලක්‌ෂණයන් සියල්ල ඔහු ළ`ග විය. යථාර්ථය ග්‍රහණය කරගැනීම, එය ගැඹුරින් විනිවිදිය හැකිවීම, තමා අත්දුටු යථාර්ථය සෞන්දර්යාත්මකව ප්‍රතිනිර්මාණය කිරීමට ඇති හැකියාව මෙන්ම දෘෂ්ඨිමය නිරවද්‍යතාවයයි. කලාකරුවෙකු සම්බන්ධයෙන් අවබෝධය ලබාගැනීමේදී සමාජයට වඩාත් වැදගත් වන්නේ ඔහුගේ දැක්‌ම,දෘෂ්ඨිය පිළිබඳ කාරණයයි. ලාංකිය සමාජය තුළ ඇතැම් කලාකරුවෝ ආකෘතිමය සමත්භාවයක්‌ මෙන්ම තාක්‌ෂණය හැසිරවීමේ ලා ඉතා පරිනතභාවයක්‌ පෙන්නුම් කළද, සිය සමාජමය දෘෂ්ඨිය පිළිබඳ කාරණයේදී ඔවුහු බෙහෙවින් දුගී වෙති. එවිට ඔවුන්ගේ නිර්මාණවල අර්ථය බිංදුවකින් කෙළවර වේ.

විපරිත තත්ත්වයන් සමාජය ප්‍රගමනයේ ලකුණු ලෙස මතු කෙරෙන පසුබිමක නිර්මාණකරුවා තම සමාජය දකින ආකාරය අතිශය වැදගත්ය. තමන් ඉදිරියේ ඇති ව්‍යාජය හෙළිදරව් කිරීම නිර්මාණකරුවකුට මගහැරිය නොහැකි වගකීමකි. මේ කාර්යයෙහි ලා මහගමසේකරයන් සිය නිර්මාණ හැකියාව යොදාගත් ආකාරය අපූර්වය.

''රත් දෙතොල් අතරෙහි පිරි තිබුනේ අමන රාගය
අඳුන් ගෑ නෙත්වල රැඳී තිබුනේ ඊර්ෂ්‍යාවය
සතුටු සාමිචි පිළිස`දර තුළ කැපී පෙනුනේ වෛරයක්‌මය'' 

'ප්‍රබුද්ධ' 

කාල්මාක්‌ස්‌ පැවසූ ලෙස ''ඝන වූ සියල්ල වාෂ්ප'' බවට පත්වන යුගයක බිඳී විසිරී යන්නේ මානව සබඳතා පමණක්‌ නොවේ. සෑම කෙනෙකු තුළ මෙන්ම සෑම දෙයකම ඇත්තේ 'උපයෝගිතා' වටිනාකම පමණි. පරම උත්කෘෂ්ඨ දිවියක අරමුණ වෙනුවට දැන් මිනිසාගේ අරමුණ දවසින් දවස ගෙවා ගැනීමය. ඒ සඳහා සියල්ල මිල කෙරේ. කලාකරුවාට ද මෙය පොදුය. ඔහුටද හිමි වන්නේ වෙළඳපලේ අල, පරිප්පුවලට හිමි වූ තැනමය. ඔහු වෙළෙඳ භාණ්‌ඩයක්‌ වී අවසන්ය.

''හෙලුවෝ ගිජුනෙත් ව්‍යාපාර හිමිකරුවෝ 
නොව ඔහුගේ කටහඬට ඉන් ලද හැකි ලාහයට
පානා සූකිරි ප්‍රේමයට හරවා අනුරාගයට 
පෙරුවේය ඔහු තම කටහඬ සංගීත තැටිවලට
විකිණිනි දහස්‌ ගණනින් ඒ සුරාතැටි'' 

ඉන් පසුව බිහිවන්නේ කලාකෘති නොවේ. සේකරයන් ඉතා නිවැරදිව වටහා ගන්නා පරිදි ඒ ජනතාව මත් කරවා සිහින ලෝකවල තනි කරන 'සුරාතැටිය'.

අප මේ මොහොතේ අත්විඳින යථාර්ථය වූ ධනපති ක්‍රමයේ කෲරත්වය, ම්ලේච්ඡත්වය, විෂමතාවය පිළිබදව සහෘදයා සංවේදී කිරීමට සේකරගේ පන්හිඳ සතුව පැවැතියේ විශ්මිත කුසලතාවයකි.

''දිස්‌විනි ඔහු නෙතට 
කුරා කුහුඹුවන් ලෙස
පඩංගු, පකිස්‌ ලෑලි, බෙලෙක්‌ක, තහඩු, ගෝනි 
අස්‌සෙන් එබී බලන
මුඩුක්‌කු. දහජරාව පැටව් ගැසුව
වැරැහැලි, කාලකණ්‌ණි, මිනිස්‌ ප්‍රාණි''

'ප්‍රබුද්ධ' 

සේකර මෙවන් විෂමතාවයෙන් පිරුණු ලොවකට, මානව සමාජයකට වඩාත් යහපත් හෙට දිනක්‌ වෙනුවෙන් ලිව්වේය. මානවවාදී කලාකරුවකු ලෙස ඔහුගේ ඒකායන ප්‍රාර්ථනය වූයේ අසමානතාවයෙන් හා පීඩාවෙන් තොර මනුෂ්‍යත්වය සුපුෂ්පිත සුපසන් සමාජයකි. ඒ කවි හෘදයංගමය ජීවිත ලාලසාවන් දන්වන සුළුය.

''වෙසක්‌ පහන් වලින් ගලන
සවණක්‌ ගණ රැසින් වැසී
පොළොව බෙදා තාප්ප හා කටුකමිබි ද
මොහොතින් අතුරුදහන් වී ගොසින්ය.
ලෝකය තනි යායකි.
අහස පොළාව හා ගහකොළ
මුළු ලෝකය පොදු දේපලයක්‌ බවට පත් වී ඇත.''

'ප්‍රබුද්ධ' 

ඒ සඳහා කළයුතු පළමු කර්තව්‍යය කුසගින්න නොමැති සමාජයක්‌ බිහි කිරීම බව ඔහු අවබෝධ කරගෙන සිටියේය.

''යසෝදා පසක්‌ කළා මම තවත් සත්‍යයක්‌
සාගතයෙන් පෙළෙන තැනක වගා නොවන බව ධර්මය
ධර්මය වටහා ගත හැකි 
සත්‍ය, සුන්දර බවට දැකගත හැකි
උත්තර සමාජයක්‌ ගොඩ නැගුමේ මුල් පියවර
කෑමෙන්, බීමෙන්, ඇඳුමෙන්, ගෙයින්, දොරින් 
තෘප්තිමත් වූ ලොවක්‌ තැනීමය'' 

'ප්‍රබුද්ධ' 

සේකරයන්ට බොහෝ දෙනා විසින් එල්ලකරනු ලබන සාම්ප්‍රදායික විවේචනයක්‌ වන්නේ ඔහුගේ කවි සෞන්දර්යාත්මක නොවන බවයි. සුන්දරත්වය නොමැති බවයි. නමුදු ඔහු සෞන්දර්යය යනු යථාර්ථයට බව, මානව ප්‍රේමයම බව අවබෝධ කරගෙන සිටියේය.

''සෑම තැනකම මම සෙව්වෙමි - සුන්දරත්වය කොතැනක වේ දැයි
ජෝර්- කිට්‌ ගෑ සායම ඇතුලත - අමරදේව ගැයූ ගීයක
තිස්‌සගෙ ශිව ප්‍රතිමාවක අවුකන, අනුරපුර, නටඹුන් මැද
අහස්‌ පැහැය උකුව මැවුණ - ඈත නිල කඳුවැටි මත
පාට පාට සැ`දෑ වලා කැලුම් අතර - දුන්හිඳ දියලුම ඇළි තුළ 
අන්තිමේදී මට හමුවිය මිනිසාගේ හද තුළ එය''

'මක්‌ නිසාද යත්' 

අව්‍යාජ කලාකරුවා රසිකයාගේ ආදරයේ ඉතාම තීව්ර තැන හිමිකර ගන්නේය යන්න ඔප්පු කිරීමට ලාංකීය කලාවෙහි ගතහැකි හොඳම සාධකය මහගමසේකරයන්ය. ඔහු තමාටද කලාවටද අවංක වූ සොඳුරු මිනිසෙකි. සුවහසක්‌ දුක්‌වි`දින මිනිසුන් සුවපත් කිරීමේ ව්‍යායාමයට උරදීම සඳහා මරණින් පසුවද නැවත මෙලොවට ඒමට ඔහු ප්‍රාර්ථනා කළේය. ඔහු මහගමසේකර නැමති පුද්ගලයා ලෙස නැවත නොඑනු ඇත. නමුත් අනාගත කවි කිවිඳියන්ගේ කවි දහස්‌ ගණනක්‌ තුළින් ඔහුගේ දෘෂ්ටිය නැවත ඒ නම්, ඒ ඔහුගේ අවසන් ප්‍රාර්ථනාව මල්ඵල ගැන්වීමයි. අපේ යුගයේ නවක කවි කිවිඳියන්ට ඒ රික්‌තය ඉතිරිව තිබේ.

''මට බෑ දැන් මම මැරෙන්න
බියෙන් සැකෙන් අයුක්‌තියෙන්
අධර්මයෙන් පිරී තිබෙන
මිනිස්‌ ලොවට මා නැවතත් ආ යුතුමය''

නොමියෙමි

සුජාතා අලහකෝන්
http://www.divaina.com/2014/02/23/scholast02.html

0 comments: