Pages

Tuesday, March 18, 2014

ජංගම දුරකථන භාවිත කරන ඔබ මේ ගැන සිතුවාද?

ඇතැම් පළිබෝධනාශක, සමහර බැර ලෝහ, ඩීසල් එන්ජිං දුම, ජංගම දුරකථන මගින් විමෝචනය කෙරෙන රේඩියෝ සංඛ්‍යාත තරංග ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාත්‍යන්තර පිළිකා පර්යේෂණායතනය (International Agency for Research on Cancer) විසින් සැලකිය යුතු මානව පිළිකාකාරකයන් ලෙස එකම කාණ්‌ඩයකට ඇතුළත් කර ඇත."

අපේ රටේ ගර්භණි මාතාවන් සහ අතදරුවන් රැගත් මවුවරු හැමෝම පාහේ ජංගම දුරකථන තම අත් බෑගයේ හෝ සාක්‌කු වල බහා, ගෙන යන ආකාරයත්, ඒවායින් දීර්ඝ ඇමතුම් ලබා ගන්නා ආකාරයත් සුලභව දකින්නට පිළිවන. එමෙන්ම, ජංගම දුරකථන සමඟ හුරතල් වීමට ඒවා, තම සිඟිත්තන්ට ලබා දෙන දෙමවුපියන්ද මෙරට දුලභ නොවේ. 

එහෙත් ජංගම දුරකථන යනු එසේ ආවාට ගියාට භාවිත කළ හැකි මෙවලමක්‌ නොවන බවට වන අවවාද, උපදෙස්‌ යුරෝපා රටවල් වල පොදු වැසිකිළිවල පවා ප්‍රදර්ශනය කර ඇත. මෙරට ඇතැම් පෞද්ගලික රෝහල් හා චැනල් සෙන්ටර් වල, ඉපදෙන්නට සිටින දරුවන්ගේ බුද්ධිය වර්ධනය කෙරෙනවා යෑයි කියන, ඊනියා ළදරු ආහාර, බේබි සබන් වර්ග වල දැන්වීම් ප්‍රදර්ශනය කෙරුණත්, ජංගම දුරකථන අවභාවිතයේ පවතින අවදානම පිළිබඳව අඩුම තරමින් වචන කිහිපයක දැනුවත් කිරීමක්‌වත් සිදු කෙරෙන බවක්‌ දැක ගන්නට නැත. එබැවින් ජංගම දුරකථන මගින් සිදු විය හැකි සෞඛ්‍ය අනතුර, බොහෝ දෙනකුගේ නිසි අවධානයට ලක්‌ නොවී පවතී.

අනාගත දරුවන් වඳභාවයට..?

ජංගම දුරකථන හා "වයෆයි" වැනි රැහැන් රහිත අන්තර්ජාල සම්බන්ධතා සහිත පරිගණක භාවිත කරන ගර්භනී මාතාවන්, තම කුසේ සිටින දරුවා අන්තරාදායක මට්‌ටමක රේඩියෝ සංඛ්‍යාත තරංග (Radiofrequency waves) වලට නියත වශයෙන්ම නිරාවරණය කර ගන්නා බව, විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත.

විශේෂයෙන් ස්‌ත්‍රීන්ගේ ශ්‍රොණි කුහරයේ පිහිටීම (Pelvic structure) හා කලලාවරණය (කලලය වටා තිබෙන ආරක්‌ෂිත තරලය) මගින් මෙම හානිකර ක්‌ෂ්‍රද්‍ර තරංග වලට ගැඹුරු විනිවිද යැමකට රුකුල් දෙන නිසාවෙන්, මෙම අවදානම වඩාත් තීව්‍ර කෙරෙන බව විද්‍යාඥයන් වැඩි දුරටත් ප්‍රකාශ කරයි. මෙම රේඩියෝ සංඛ්‍යාත තරංග වලින්, මානව සෛල වල ජාන ව්‍යහයට පවා බරපතළ හානියක්‌ සිදු කරනු ලබන බව පැවසේ. මානව වර්ගයාගේ සියලුම පැටිකිරිය, මෙන්ම අනාගත පැවැත්ම, නොපැවැත්මද රඳා පවතින්නේ මෙම ජාන මතය. මෙම නූතන විද්යුත් උපකරණ හා උපාංග වැරදි ලෙස භාවිත කිරීම නිසාවෙන්, අනාගත මානවයා බරපතළ සහ අද්භූත රෝගාබාධයන් වලට මෙන්ම, වඳභාවයට ගොදුරු වීමේ අවදානමකට මුහුණ පා ඇතැයි විද්‍යාඥයන් බිය පළ කරනවා. 

2004 වර්ශයේදී යුරෝපා කොමිසම විසින් එළි දක්‌වන ලද The-REFLEX-Project නමින් හැඳින්වූ පර්යේෂණ වාර්තාවකින් පසු, (http://www.scribd.com/doc/27389581/The-REFLEX-Project)

මේ පිළිබඳ යුරෝපා රටවල්වල බලධාරීන්ගේ අවධානය බරපතළ ලෙස යොමු වූ අතර, ජංගම දුරකථන වලින් සිදු වන හානිය අවම කිරීම සඳහා ක්‍රමෝපායන් සහ දැනුවත් කිරීම් වඩා වැඩි වේගයකින් (යුරෝපා රටවල් වල) ප්‍රවර්ධනය කෙරුනේ ඉන් අනතුරුවය.

නූපන් දරුවාගේ මොළයට සිදුවන හානි

ගැබිනි සමයේ දී ජංගම දුරකථනවලින් සහ රැහැන් රහිත විදුලි උපාංග වලින් නිකුත් කෙරෙන විකිරණවලට නිරාවරණය වීම, උපත ලබන දරුවන්ගේ මොළයේ වර්ධනයට ද ස්‌ථිර ලෙසම හානිකර ලෙස බලපාන බව, අධ්‍යයන රාශියකින්ම හෙළි වී තිබේ. 

ගර්භනී සමයේදී වැඩි කාලයක්‌ ජංගම දුරකථන භාවිත කළ කාන්තාවන්ගේ දරුවන් වැඩි දෙනකුට, එසේ භාවිත නොකළ සහ කලාතුරකින් ජංගම දුරකථන භාවිත කළ මවුවරුන්ගේ දරු වන්ට සාපේක්‌ෂව හැසිරීමේ අසා මාන්‍යතා, මතකයේ අඩු ලුහුඬුකම්, නොසංසුන්කම, තරහ යැම, වැනි ADHA රෝග ලක්‌ෂණ (අවධාන ඌණතා අධි ක්‍රියාකාරී සංකූලතාවය) මතු වීමේ වැඩි ප්‍රවණතාවක්‌ තිබෙන බවත්, (රෝග ලක්‌ෂණ පෙන්නුම් කරන්නේ දරුවාට වයස අවුරුදු 5 - 7 ක්‌ පමණ වන විටය.) ගර්භනී කාලයේ දී ජංගම දුරකථන රේඩියෝ සංඛ්‍යාත තරංග වලට හානිකර ලෙස නිරාවරණය වූ දරුවන්, කුඩා කල සිටම ජංගම දුරකථන භාවිත කරනවානම්, ඉහත කී රෝග ලක්‌ෂණ සියයට අසූවකින් පමණ තීව්‍ර වන බවත් සොයා ගෙන ඇත. (http://articles.mercola.com/sites/articles/archive/2012/07/04/cellphoneradiationmaycause-adhd.aspxලියුකේමියාව සහ මොළයේ දරුණු පිළිකා වැළඳීමේ අවදානම ද ඉහළට

ජංගම දුරකථන වලින්, රැහැන් රහිත අන්තර්ජාල සම්බන්ධතා සහ වෙනත් රැහැන් රහිත උපාංග හා විදුලි උපකරණවලින් (දුරස්‌ථ පාලක වැනි) විමෝචනය කෙරෙන ක්‌ෂ්‍රද්‍ර තරංග වලට හානිකර ලෙස නිරාවරණය වීම, එක්‌ අතකට ළමා වියේ ඇති වන ලියුකේමියා රෝග තත්ත්වයට ළමයින් ගොදුරු වීමට පවතින අවදානමද ඉහළ යන බව තවත් පර්යේෂණ කිහිපයකින්ම තහවුරුව තිබේ. (http://safeschool.ca/Cancerr®andr®Leuk emia.html)

ජංගම දුරකථන හා පරිගණක උපාංග වලින් නිකුත් කෙරෙන අහිතකර විකිරණ වලට වැඩි කාලයක්‌ නිරාවරණය වන නූතන තරුණ පරම්පරාව එසේ නොවන ඈයින්ට වඩා මොළයේ සෑදෙන දරුණු පිළිකා තත්ත්වයක්‌ වන, ග්ලයෝමා (Glioma) පිළිකා තත්ත්වයට ගොදුරු වීම සඳහා පස්‌ ගුණයක අවදානමක්‌ දරන බව, ස්‌වීඩන් විද්‍යාඥයන් පිරිසක්‌ මෑතකදී අනාවරණය කර ඇත.

අපේ රටේ ගැබිනි කාන්තාවන් ජංගම දුරකථනය දමා ගෙන යන්නේ කරේ එල්ලාගෙන යන හෑන්ඩ් බෑගයේ හෝ ගවුමේ සාක්‌කුවේය. එවිට ජංගම දුරකථනය පිහිටන්නේ කොහෙද කියා නිකමට හිතා බලන්න. සමහර විට එය, කුසේ සිටින දරුවාගේ හිසට, හදවතට ආසන්නව තිබෙනවා වන්නටද පිළිවන.

ඇතැම් පළිබෝධනාශක, සමහර බැර ලෝහ, ඩීසල් එන්ජිං දුම, ජංගම දුරකථන මගින් විමෝචනය කෙරෙන රේඩියෝ සංඛ්‍යාත තරංග ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාත්‍යන්තර පිළිකා පර්යේෂණායතනය (International Agency for Research on
Cancer) විසින් සැලකිය යුතු මානව පිළිකාකාරකයන් ලෙස එකම කාණ්‌ඩයකට ඇතුළත් කර ඇත. ඉදින් පළිබෝධනාශක, බැර ලෝහ සහ එන්ජිං දුමෙන් ඔබේ දරුවාව, ගර්භනී බිරිදව ආරක්‌ෂා කර ගන්නා ඔබ, ජංගම දුරකථන සමග සෙල්ලං කරන්නට ඉඩ දෙන්නේ ඇයි?

(පෙර කී පර්යේෂණ සඳහා උපයෝගි කර ගෙන ඇත්තේ, ප්‍රමිතියෙන් තොර, කසි කබල් චීන, ඉන්දියන් ජංගම දුරකථන සහ අනෙකුත් පරිගණක උපාංග නොවන බවත්, පාරිභෝගිකයන්ගේ සුරක්‌ෂිතතාවය උදෙසා ශක්‌තිමත් නීති රීති සහ ප්‍රමිතීන් ක්‍රියාත්මක වන රටවල් වල භාවිත කෙරෙන නිෂ්පාදන බවත් අප මතකයේ තබා ගත යුතු වේ.)

පරිසරයට සහ මිනිසාට හානි විය හැකි යෑයි සැක කෙරෙන වාණිජ නිෂ්පාදනයන් පිළිබඳ ඇත්ත යථාර්ථය හෙළි නොකිරීම සඳහා සහ එවැනි හෙළිදරව් කිරීම් යටපත් කිරීමේ, මර්දනය කිරීමේ දුෂ්ඨ ක්‍රියාදාමයක ද, ඩොලර් බිලියන 100 ඉක්‌මවන වාර්ෂික ආදායමක්‌ සහිත අති දැවැන්ත ජංගම දුරකථන ව්‍යාපාරික ක්‌ෂේත්‍රයේ නිරත වන බහුජාතික සමාගම් තම නිෂ්පාදනයන් ප්‍රවර්ධනය කරනවා හා සමාන වුවමනාවකින් යුතුව කටයුතු කරන බවද අප තේරුම් ගත යුතුය. එම නිසා මෙම තොරතුරු තව දුරටත් පොදු මහජනතාවගෙන් වසන් කෙරී පවතිනු ඇත.

පූර්ණ තරගකාරී වෙළෙඳාමේ ආනුභාවයෙන් අපේ රටේ සෑම ගම් දනවුවකම තිබෙන පෙට්‌ටි කඩ පවා ලෝකයේ තිබෙන නා නා ප්‍රකාරයේ බඩු භාණ්‌ඩ වලින් පිරී ගොසිනි. එහෙත් ඒ බඩු භාණ්‌ඩ පිළිබඳව වන දැනුමෙන් අපේ රටේ මිනිසුන්ගේ මොළ පිරී ගොස්‌ නැත. ලෝකයේ නිෂ්පාදනය කෙරෙන තුට්‌ටු දෙකේ කුණු කසළ වලට අපේ රට කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පත් වුවද, එම නවීන නිෂ්පාදනයන් හෝ කසළ පිළිබඳව වන දැනුමේ කේන්ද්‍රස්‌ථානයක්‌ බවට අපේ රට පත් වූයේ නැත. බඩු භාණ්‌ඩවලින් පොහොසත්, දැනුමෙන් දුගියන් සිහි ගන්වන්නේ නූතන නාන කාමරයකට ගිය ඇබොරජියන්වරයෙක්‌වය. එක්‌කෝ ඔහු කොමඩ් එකෙන් මුහුණ සෝදනු ඇත, නැතිනම් හොට්‌ වෝටර් ෂවරය බෙල්ලේ ඔතාගෙන මිය යනු ඇත. අපේ රටේ දැන් සිදුවන ඇතැම් දේවල් දකින විට මෙවැනි උපමාවන් සිහිපත් වීම නොවැළැක්‌විය හැකිය. තාක්‌ෂණික මෙවලම් වලින් කළ යුත්ත, නොකළ යුත්ත සහ කළ යුතු ආකාරය පිළිබඳ නිසි දැනුවත් කිරීමක්‌, දැනුවත් වීමක්‌ සිදු නොවෙන සමාජයක ඉරණම එසේ නොවන්නේ නැත.

විකිරණ අවදානම අවම කර ගැනීමට මේ උපදෙස්‌ පිළිපදින්න.

අනවශ්‍ය තැති ගැන්මක්‌ ඇති කිරීම හෝ කලුම කලු යකෙක්‌ මැවීම මෙම ලිපියේ අරමුණ නොවූවත්, යකා යකෙකු බැවින් ඌ සුදු පාට වෙන්නට බැරිය. යක්‌කුන්ගෙන් වැඩ ගන්නටනම් පූර්ව ආරක්‌ෂාව තර කර ගත යුතුය. එබැවින් මේ පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයන්ගේ සහ විශේෂඥයන්ගේ උපදෙස්‌ පිළිපැදීම කා හට උවද නියත වාසියක්‌ අත්වනු නිසැකය. 

එවැනි උපදෙස්‌ කිහිපයක්‌ මෙසේය.

* හැකි සෑම අවස්‌ථාවකදීම ජංගම දුරකථන වෙනුවට රැහැන් සහිත දුරකථන භාවිත කරන්න.

* ජංගම දුරකථනයකින් ඇමතුම් ලබා ගැනීමේදී ඇමතුමේ කාලය මිනිත්තුවකට වඩා අඩු කරන්න. (විශේෂයෙන් ගැබිනි මාතාවන්)

* හැකි සෑම විටම ඇමතුම් වෙනුවට කෙටි පණිවිඩ භාවිත කරන්න.

* ජංගම දුරකථනයක්‌ ක්‍රියාත්මක කිරීමේදී වඩාත් ආරක්‌ෂාකාරී ක්‍රමය වන්නේ, එහි ස්‌පීකරය ඔන් කර ඇමතුම් ලබා ගැනීමයි. නොඑසේනම් හෑන්ඩ් ප්‍රී උපාංග භාවිත කිරීමයි (speaker phone)

* ඇමතුම් ලබා ගැනීමේදී කනට තරමක්‌ ඈතින් ජංගම දුරකථනය තබා ගැනීම වඩා ප්‍රවේශම්කාරී වෙයි. (ඔබේ මාපට ඇඟිල්ල දුරකථනය සහ කන අතර තබා ගැනීම වැදගත් වේවි.)

* ඇමතුමක්‌ ලබා ගැනීමේදී ඔබේ දකුණු කනෙන් නොව, වම් කනින් ශ්‍රවණය කරන්න.

(දකුණු මොළය ජංගම දුරකථන විකිරණ වලට දක්‌වන සංවේදීතාව වැඩිය.)

* ජංගම දුරකථනයේ බැටරියේ බලය අවම වන අවස්‌ථාවලදී දුරකථනය භාවිත කිරීමෙන් වළකින්න. මේ අවස්‌ථාවේදී ද වැඩි විකිරණ ප්‍රමාණයක්‌ දුරකථනය මගින් නිකුත් කෙරෙනු ඇත.

* ළමයින්ගෙන් සහ ගර්භනී මාතාවන්ගෙන් අඩුම තරමින් අඩි 2 ක්‌ වත් දුරකින් ජංගම දුරකථනය තබන්න.

* ක්‍රියාත්මක වෙමින් (on) පවතින ජංගම දුරකථනයක්‌ වැඩි වේලාවක්‌ ඔබේ සිරුරට සමීප වන සේ තබා නොගන්න. නොවැළක්‌විය හැකි ලෙස එසේ තබා ගන්නට සිදු වෙනවානම්, අඩුම තරමේ දුරකථනයේ තරංග ග්‍රහණය කර ගන්නා ඇන්ටෙනාව තම සිරුර දෙසට නොව ප්‍රතිවිරුද්ධ දිසාවට දිසාගත වන සේ තබා ගන්න. (දුරකථනයේ ඉලක්‌කම් පුවරුව තම සිරුර දෙසට වන්නට තබා ගන්න.)

* අනවශ්‍ය වේලාවල් වලදී ජංගම දුරකථනය අක්‍රිය කර තබන්න.

* සංඥා දුර්වල අවස්‌ථාවලදී, කිසි විටෙකවත් ජංගම දුරකථනයකින් ඇමතුම් ලබා ගැනීමෙන් වළකින්න. (මේ අවස්‌ථාවේදීද ජංගම දුරකථනය වැඩි විකිරණ ප්‍රමාණයක්‌ විමෝචනය කරන බව සොයා ගෙන තිබේ.)

* දුම්රියක්‌, බස්‌රථයක්‌, ගුවන් යානාවක්‌ හෝ වෙනත් යම් වාහනයක්‌ තුළදී හෝ, සෝපානයක්‌ (Lift) තුළදී ජංගම දුරකථනයකින් ඇමතුම් ලබා ගැනීම සිදු නොකරන්න. (ලෝහ ආවරණයක්‌ තුළදී ජංගම දුරකථනයෙන් වැඩි විකිරණ ප්‍රමාණයක්‌ නිකුත් කරනු ලබයි.)

* නිවසේ සිටින අවස්‌ථාවලදී ජංගම දුරකථන අක්‍රිය කර, ගෘහස්‌ථ රැහන් සහිත දුරකථනයක්‌ භාවිත කරන්න. 

* රැහැන් සහිත දුරකථන වලට සම්බන්ධ කර තිබෙන රැහැන් රහිත දුරකථන භාවිත නොකරන්න. (ඒවායින්ද ජංගම දුරකථන වලින් නිකුත් කෙරෙන ප්‍රමාණයකින්ම විකිරණ පිට කෙරෙන බව සැලකිල්ලට ගන්න.)

* ජංගම දුරකථනය ආරෝපනය ගැන්වෙමින් (Charge) තිබියදී ඇමතුම් ලබා ගැනීමෙන් වළකින්න.

* හැකිනම් ඔබේ ජංගම දුරකථනය, විකිරණ ප්‍රමාණය මැන බලනා උපකරණයක්‌ මගින් පරීක්‌ෂා කරවා ගන්න. (rf field meter)) 

* ජංගම දුරකථන රැගෙන යැම සඳහා ලෝහ මිශ්‍ර ආවරණයක්‌, බෑගයක්‌ (Pouch) භාවිත නොකරන්න. දුරකථනය හා සංඥා කුලුන අතර සම්බන්ධතාවට බාධකයන් ඇති අවස්‌ථා වලදී, ඔබේ දුරකථනයෙන් වැඩි විකිරණ ප්‍රමාණයක්‌ නිකුත් කෙරෙනු ඇත. (විශේෂයෙන් අපේ රටේ උදවිය ජංගම දුරකථනය සාක්‌කුවේ හෝ අත් බෑගයේ දමා ගෙන යන විට, ඒවායේ තිබෙන කාසි මුදල් හා යතුරු කැරලි වැනි දේවල් නිසාවෙන්ද මෙම තත්ත්වයම ඇති විය හැකිය.)

* ගර්භණී සමයේ මුල් මාස 06 තුළදී ජංගම දුරකථන හා රැහැන් රහිත උපාංගවලින් නිකුත් කෙරෙන ක්‍ෂුද්‍ර විකිරණ වලින් කලලයට තදින්ම හානි සිදු වන බව සොයා ගෙන තිබෙන බැවින්, එකී සමය තුළ දැඩි අවධානයකින් පසු වීම වැදගත්ය. 

* ඔබේ නිවසේ වයර්ලස්‌ රවුටරයක්‌ තිබෙනවානම්, එය පවුලේ සාමාජිකයන් නිතර නොගැවසෙන කාමරයක හෝ ස්‌ථානයක තබන්න. 

* කිසි විටෙකත් ඔබේ නිදන කාමරය තුළ ජංගම දුරකථන, පරිගණක, රවුටර්, රැහැන් රහිත අන්තර්ජාල සම්බන්ධතා, (වයෆයි හා ඩොංගල් සම්බන්ධතා වැනි) ක්‍රියාත්මක අවස්‌ථාවේ නොතබන්න. (On mode) රාත්‍රි කාලයේදී ඒවා අක්‍රිය කරන්න. 

මෙවැනි පූර්වාරක්‌ෂණ ක්‍රම පිළිබඳ නොසලකා දවස පුරාම ජංගම දුරකථනය තම ශරීරයේම කොටසක්‌ සේ සලකා කටයුතු කොට, හෙට දිනයේ අවධි වීම සඳහාද ජංගම දුරකථනයේම එලාම් එක තබා, පිරිත් හෝ සිංදුද දමා, ජංගම දුරකථනයට තුරුළුව නිදා ගන්නා මෙරට ඇත්තන්, තම වටිනා කියන පුරුෂ බීජ, ස්‌ත්‍රී බීජ, තම කුස හොත් නූපන් දරුවන් මෙන්ම, තම සිරුරේ අතිශයින්ම වැදගත් ඉන්ද්‍රයයන්ද ක්‌ෂුද්‍ර තරංග පිසීමකට (micro - cooking) ලක්‌ කර ගනිමින් සිටින බවනම් කනගාටුවෙන් වුව කිව යුතුව තිබේ.

ගැමුණු සාලිය පෙරේරා
http://www.divaina.com/2014/03/16/feature01.html

Pic Source

0 comments: