Pages

Friday, March 14, 2014

රෑට බත් අගුණ ද? බර වැඩි ද?

සියළුම ප්‍රශ්න වලට විසඳුම් සෙවීමේදී බටහිර පොත මත පමණක්‌ නොයෑපෙන රටට දැයට හිතැති වෛද්‍යවරුන් සහ විද්වතුන් විසින් රාත්‍රී ආහාරයද ඇතුළු තුන් වේල සඳහාම අපට සුදුසුම ප්‍රධාන ආහාරය බත් බව සැකයෙන් තොරව ඔප්පු කොට පෙන්වා දී ඇත. එය එසේ නොවේ යෑයි ඔප්පු කරන්නටද බටහිර ආහාර පමණක්‌ කන ඒවාම කන්නට අන් අයටද උපදෙස්‌ දෙන කොතරම් බටහිර ගැත්තෙකුට වුවද හැකි වී නැත.

සැබෑ තත්වය එසේ වුවද අප රටේ බොහෝ පිරිසක්‌ තවමත් බත් රාත්‍රී ආහාරයට සුදුසු නැති දෙයක්‌ සේ සළකති. බත් රාත්‍රියට බර වැඩි ආහාරයක්‌ සේ සළකති. විශේෂයෙන් දියවැඩියාව කොලෙස්‌ටරෝල් වැඩිබව අධිරුධිර පීඩනය සහ හෘද රෝග වලින් පෙළෙන උදවිය රෑට බත් අගුණ යෑයිද ඔවුන්ගේ රෝගී තත්වයන් සඳහා රාත්‍රියට බත් ඉඳුරාම බර වැඩි යෑයිද අදහති.

එවැනි රෝගීන් විශේෂයෙන්ද සාමාන්‍ය ජනතාව පොදුවේද බත් රාත්‍රියට සුදුසු නැති බර වැඩි ආහාරයක්‌ සේ සැළකීමේ ඛේදජනක තත්වයට මෙරට සිටින බටහිර වෛද්‍යවරුද සෑහෙන පමණකට වගකිව යුතුය. මක්‌ නිසාද යත් කාලයක්‌ තිස්‌සේ ඉහත කී ආකාරයේ නූතන බටහිර පන්නයේ ලෙඩ රෝග වලින් පෙළෙන අයට බටහිර ආහාර වට්‌ටෝරු අනුවම යමින් බතින් තොර වන්නට උපදෙස්‌ දී ඇත්තේ එකී වෛද්‍යවරුන් වන බැවිනි. බතින් තොර වී ඒ වෙනුවට එම රෝග තව තවත් ඇති කරන සහ උත්සන්න කරන පාන් ඇතුළු පාන්පිටි ආහාර සහ විවිධාකාර කිරිපිටි වර්ග ආහාර ලෙස ගන්නට එම රෝගීන්ට කාලයක්‌ තිස්‌සේ උපදෙස්‌ දී ඇත්තේද එම වෛද්‍යවරුන් විසින් වන බැවිණි. සුද්දාගේ බටහිර ආහාර වට්‌ටෝරුවේ නැතත් වේල් තුනටම සුදුසුම ප්‍රධාන ආහාරය බත් බව සියල්ලම නැතත් බොහෝ වෛද්‍යවරුන් අද පිළිගනිති. ඒ අනුව රෝගීන්ට තුන් වේලටම බත් ආහාරයට ගන්නට උපදෙස්‌ දෙති.

එයින් පැහැදිලි වන්නේ වෛද්‍යවරුන් අතින් අතීතයේ බතට ගරහමින් සිදුවූ වැරැද්ද නිවැරදි කර ගන්නට ඔවුන් අද කටයුතු කරන බවයි. එය පැහැදිලි ලෙසම ඉතා යහපත් ප්‍රවණතාවයකි. නමුත් අතීතයේ ලැබුන තවමත් බොහෝ තැන්වලදී ලැබෙන බතට පහරදෙන වැරදි වෛද්‍ය උපදෙස්‌ කාලයක්‌ තිස්‌සේ සමාජ ගත වී ඇති බැවින් සමාජයේ බොහෝ දෙනා තවමත් අප මුලින්ම කී පරිදි බත් රෑට නුසුදුසු බර වැඩි ආහාරයක්‌ සේ සළකති. එය වහ වහා සෝදා හැරිය යුතු හානිකර මනෝභාවයක්‌ වෙයි.

පාන් බනිස්‌ පේස්‌ටි්‍ර ආදියේ මෙන්ම පාන් පිටි ඉඳිආප්ප ආදියේද ප්‍රමාණය සහ බර ප්‍රමාණය සැළකූ විට නම් ඒවායේ සැහැල්ලු බවක්‌ තිබෙන බව සැබෑය. මන්ද යත් අප කුඩා කලදී දුටු පාන් ගෙඩියට වඩා අද දකින පාන් ගෙඩිය කුඩා බැවිණි. අප එදා දුටු බනිසයට වඩා අද ඇති බනිස්‌ බෙහෙවින් කුඩා බැවිණි. එදා දුටු ඉඳි ආප්පයට වඩා අද කඩ වල තිබෙන ඉඳිආප්ප ඉතා කුඩා බැවිනි. මෙම ඉඳි ආප්ප කොතරම් කුඩාද යත් ඒවා විකුණන වෙළඳසැල් හිමියෝ විදුලිපංකාව ක්‍රියාත්මක කිරිමේදී බෙහෙවින්ම ප්‍රවේසම් වෙති. විදුලි පංකාව වේගයෙන් කැරකීමට දැමුවහොත් එම ඉඳි ආප්ප සුළඟේ පාවීම නියත බව එනම් එතරම්ම සැහැල්ලු බව මේවා විකුණන වෙළසසැල් හිමියෝ දනිති. පාන්පිටි ආදී මේවායේ නිෂ්පාදන අමුද්‍රව්‍ය වල මිල ඉහළ යාම නිසාත් අද සියළුම වෙළඳාම් වැඩි ලාභයක්‌ උපයාගැනීම පමණක්‌ අරමුණු කරගෙන සිදුකරන නිසාත් මෙම සැහැල්ලුව හෙවත් සුළඟේ පවා පාවී යාමට තරම් බර අඩු ආහාර නිෂ්පාදන, අධික මිළට අද වෙළඳ පොළේ සුලබව දැකිය හැකිය.

නමුත් එම සැහැල්ලුව කිසිසේත්ම පෝෂණ විද්‍යාත්මක හෝ වෛද්‍ය විද්‍යාත්මක සැහැල්ලුවක්‌ නම් නොවේ. හුදු බර අඩු කමෙහි සැහැල්ලුවක්‌ පමණි. දියවැඩියාව තරබාරු බව හෘද රෝග සහ කොලෙස්‌ටරෝල් වැඩිවීම අධිරුධිර පීඩනය ඇතුළු රෝගාබාධ සම්බන්ධයෙන් ආහාර වල සැහැල්ලුව විය යුත්තේ ඒවා හොඳින් පාලනය කර දෙන ගුණයයි. එම රෝග වලට බර වැඩි ආහාර යන්නෙන් අදහස්‌ කෙරෙන්නේ ඒවායේ පාලනය අහිමි කරන සහ උත්සන්න කරන ගුණයයි. (එය සැබවින්ම අගුණයකි). 

දියවැඩියාව, තරබාරු බව හෘද රෝග, කොලෙස්‌ටරෝල් වැඩිවීම, අධිරුධිර පීඩනය ආදී රෝග සැළකූ විට ඒවා පාලනයට ඉහළින්ම උදව් කරන්නේත් කිසිසේත්ම ඒවා උත්සන්න නොකරන්නේත් බත්ය. එවැනි රෝග ඇති කරන්නේත් එම රෝග වල පාලනය අහිමි කරන්නේත් එම රෝග තත්වයන් උත්සන්න කරන්නේත් පාන් ඇතුළු පාන්පිටි ආහාර සහ කිරිපිටි අඩංගු ආහාරයි. එසේනම් වෛද්‍ය විද්‍යාත්මකව පෝෂණ විද්‍යාත්මකව මෙන්ම තර්කානුකූලව සැළකූ විටද බත් එකී රෝගයන් සම්බන්ධයෙන්ද සාමාන්‍ය අයටද බෙහෙවින්ම සැහැල්ලු ආහාරයක්‌ වෙයි. පාන්පිටි ආහාර සහ කිරිපිටි ආහාර එකී රෝග වලටද සාමාන්‍ය අයටද බෙහෙවින්ම බර වැඩි ආහාර වෙයි.

පසුගිය වසර ගණනාවක්‌ තිස්‌සේ වතුපිටිවල මූලික රෝහලේ වෛද්‍ය සායනයේදීත් බර පාලනය කරන සායනයේදීත් දියවැඩියා රෝගීන් සම්බන්ධව අප කළ අත්හදාබැලීම් සහ සමීක්‌ෂණයන්ගේ ප්‍රතිඵල වලින් එය තවදුරටත් මැනවින් තහවුරු වෙයි. දියවැඩියාව ඉතාම හොඳින් පාලනය කිරීමට සමත් රාත්‍රී ආහාර වේලක්‌ එසේ අත්හදා බලන්නට අපට හැකි වූ අතර වෙනත් රෝහල් වල දියවැඩියා සායන වල සහ දියවැඩියා මධ්‍යස්‌ථාන වල උපදෙස්‌ පිළිපැදි අයට වඩා අප හඳුන්වා දුන් රාත්‍රී ආහාර වේල ලබාගත් අයගේ දියවැඩියා පාලනය බෙහෙවින්ම සාර්ථක විය. අපි එසේ මැනවින් අත්හදා බලා නිර්දෙශ කරන රාත්‍රී දියවැඩියා ආහාරය කෙටියෙන් විස්‌තර කරමු. 

* ඇට ලොකු තම්බපු රතු හාලේ බත් හෙවත් රතු නාඩු බත් අඬු කෝප්ප භාගයක්‌ (මෙය මධ්‍යම ප්‍රමාණයේ පොල්කටු හැඳි භාගයකටද සමාන වේ).

* තම්බන ලද සහ දිය කිරට උයන ලද එළවළු සමඟ පලා මැල්ලුම් සලාද ආදිය. මැල්ලුම් සහ සලාදවලට පොල් එකතු කිරීමේදී වරක්‌ මිරිකා කිරි ඉවත් කරන ලද පොල් භාවිතා කළ යුතුය.

එසේ අහිතකර නොවන සේ පිළියෙල කරගත් එළවළු සහ පලා වැඩි ප්‍රමාණයක්‌ භාවිතයෙන් බඩ පුරවා ගැනීම එම බත් ප්‍රමාණයෙන් සෑහීමට පත් විය නොහැකි අයට ඇති විසඳුමයි.

* මෙයට අමතරව ඇට වර්ග හෙවත් මාංශ බෝගයකින් සාදා ගත් ව්‍යාංජනයක මේස හැන්දෙන් දෙකක්‌ පමණ එකතු කර ගත හැකිය. ආහාරයේ ප්‍රොටීන්වල ගුණය සහ ප්‍රමාණය යන දෙකම ඉහළ නංවා ගැනීමට එමගින් හැකිය. 

* සත්ත්ව ආහාරයක්‌ එක්‌කර ගැනීමට තීරණය කරණ අයට මධ්‍යම ප්‍රමාණයේ මාළු කැබැල්ලක්‌ හෝ කුඩා මාළුවෙක්‌ එක්‌ කර ගත හැකිය. 

* අතුරු පසක්‌ ලෙස භාගෙට ඉදුණු මධ්‍යම ප්‍රමාණයේ කෙසෙල් ගෙඩියක්‌, මධ්‍යම ප්‍රමාණයේ පැපොල් ගෙඩියකින් කාලක්‌, අඹ ගෙඩියකින් භාගයක්‌ හෝ තරමක අන්නාසි කැබැල්ලක්‌ එකතු කර ගත හැකිය.

* ආහාරයට පසුව ජලය වැඩි ප්‍රමාණයක්‌ පානය කිරීම ඉතා යහපත් වන අතර එම ආහාර වලින් බඩ පිරුණා මදි යෑයි සිතන අයටද එය මහත් පිටිවහලකි.

උදේට සහ දවල්ට දියවැඩියා රෝගියෙක්‌ ගත යුතු රතු නාඩු බත් ප්‍රමාණය දැනගැනීමට බොහෝ පාඨකයන් උනන්දු වන නිසා අපි එයද මෙසේ දක්‌වමු. උදේට රතු නාඩු බත් අඬු කෝප්පයකින් කපාපු එකක්‌ දවල්ට එවන් කෝප්ප එක හමාරක්‌. එක්‌ එක්‌ පුද්ගලයා එක්‌ එක්‌ වේලට ගන්නට පුරුදු වී ඇති ආහාර ප්‍රමාණයන්ට අනුරූපව මෙය හැඩ ගසා ගත හැකි නමුත් දවසේ බත් ප්‍රමාණයේ එකතුව අඬු කෝප්පයෙන් කපලා තුනකට නොවැඩි විය යුතුය.

මෙම ආහාර පිළිවෙත් දියවැඩියාව රෝගීන්ට පමණක්‌ නොව තරබාරු අය සඳහාද කොලෙස්‌ටරෝල් වැඩි අය සඳහාද හෘද රෝගීන් සඳහාද එසේම අදාළය. හෘදයාබාධ වැළඳුන රෝගීන්ට බත් ආහාරයට ගත නොහැක්‌කේ කිසිම ගණ ආහාරයක්‌ ගැනීමට ඉඩක්‌ නැති මුල් දින දෙක තුනේදී පමණි. ඔවුන්ට අපහසුවකින් සහ හානියකින් තොරව ක්‍රමානුකූලව බත් ආහාරයට ගැනීමට හුරුවිය හැකිය.

අප එසේ වසර ගණනාවක්‌ තිස්‌සේ ඔප්පු කොට පෙන්වා දී ඇත්තේ දියවැඩියා රෝගීන්ටත් තරබාරු අයටත් කොලෙස්‌ටරෝල් වැඩි අයටත් හෘද රෝගීන්ටත් සුදුසුම රාත්‍රී ආහාරය බත්, බවයි. එවැනි රෝගීන්ටත් සුදුසුම රාත්‍රී ආහාරය බත් නම් එවැනි රෝගවලින් නොපෙළෙන අයට සුදුසුම ආහාරය වන්නේද බත් මිස වෙන කිසිවක්‌ නොවේ. රෝගී අවස්‌ථාවන් සහ නිරෝගී අය සඳහා බත් පාන් ඇතුළු පාන්පිටි ආහාර වලට සහ මෝල්ට්‌ අඩංගු කිරිපිටි ඇතුළු කිරිපිටි ආහාර වලට වඩා දහස්‌ සංඛ්‍යාත වාර ගණනක්‌ හොඳය සුදුසුය. 

එසේනම් අපි රාත්‍රී ආහාරය සඳහා පාන් හෝ පාන්පිටි වලින් සාදන නුඩ්ල්ස්‌, පැස්‌ටා, ඉදිආප්ප, පිට්‌ටු, කොත්තු රොටී, රොටී ආදී ආහාර පස්‌සේ යා යුතු නැත. මොල්ට්‌ අඩංගු කිරිපිටි සහ කිරිපිටි අඩංගු පාන සහ ආහාර පස්‌සේ යා යුතු වන්නේද නැත. විවිධත්වය සඳහා හෝ රුචිකත්වය ආදී කරුණු නිසා වෙනත් කිසිම ආහාරයක්‌ රාත්‍රියට සුදුසු නැතිදැයි කෙනෙකු මෙහිදී අපෙන් ප්‍රශ්න කළ හැකිය. එම ප්‍රශ්නයට පිළිතුරු වන්නේ ඒ සඳහාද පාන්පිටි සහ කිරිපිටි මත නොයෑපෙන විවිධත්වයෙන් යුතු කදිම විසඳුම් අප සතුය යන්නයි. රොටී, පිට්‌ටු, ඉඳිආප්ප ආදිය සහල් පිටිවලින් කුරහන් පිටිවලින් හෝ ඒවා මිශ්‍ර කරගැනීමෙන් සාදා ගෙන බත් අතරට ආහාරයට ගත හැකිය. එසේ නැතහොත් ඒ සඳහා වෙනත් දේශීය අමුද්‍රව්‍යයක්‌ යොදා ගත හැකිය. කොස්‌, දෙල්, අල, බතලද රුචිකත්වය පරිදි බත් අතරට හෝ බත් සමඟ රාත්‍රී ආහාර සඳහා යොදා ගත හැකිය.

රෑට බත් ආහාරයට ගැනීමේ අනෙක්‌ පෝෂණමය සහ ආර්ථිකමය අතුරු වාසිය වන්නේ උදේට හීල් බත් ආහාරයට ගැනීමට හැකිවීමයි. හීල්බත් කෑම යනු කිසිම මුදලක්‌ වැය කළ යුතු නැති පෝෂණ ගුණයද වඩා උසස්‌ රාත්‍රියට ඉතුරුවන බත් ටික ආහාරයට ගැනීමේ ක්‍රම වේදයයි. විශාල පවුලක්‌ සඳහානම් රාත්‍රියට වැඩිපුර සහල් ටිකක්‌ ලිප තැබීමට සිදුවන අතර කුඩා පවුලක්‌ සඳහානම් රාත්‍රියට ඉතුරුවන බත් ටික උදේට හොඳටම සෑහෙයි. උදේට බත් කෑම සහ හීල් බත් කෑම පිළිබඳව අප මීට පෙර ලිපියකදී සාකච්ඡා කර ඇති බැවින් මෙම ලිපියේදී වැඩි විස්‌තර දක්‌වන්නේ නැත.

බහුජාතික සමාගම් ඇතුළු අධිරාජ්‍යවාදී බලවේග විසින් අපේ සාමාන්‍ය ජනතාවගෙන් සඟවා ඇති සැබෑ පෝෂණ විද්‍යාත්මක සහ වෛද්‍ය විද්‍යාත්මක තතු එසේ වන බැවින් රාත්‍රියට බත් ආහාරයට ගැනීමට ඔබ කිසි සේත්ම බිය විය යුතු නැත. ඔබ අතිශයින්ම බිය විය යුත්තේ පාන් ඇතුළු පාන්පිටි ආහාර සහ මෝල්ට්‌ අඩංගු කිරිපිටි ඇතුළු කිරිපිටි ආහාර රාත්‍රියට ගැනීමටය. 

වෛද්‍ය පාලිත සමන් ජයකොඩි
http://www.divaina.com/2014/03/09/feature09.html

0 comments: