Pages

Wednesday, March 12, 2014

නඩු එකතු කිරීමට පමණක්‌ම ක්‍රියා කරමින් පොලිස්‌ නිලධාරීන් ජනතාව අපහසුතාවට පත් කරනවා - පුත්තලම මහෙස්‌ත්‍රාත්

රථ වාහන රාජකාරි කරන පොලිස්‌ නිලධාරීන් සුවිශේෂී බලයක්‌ ආරෝපණය කර ගනිමින් ක්‍රියා කරන බවත් බොහොමයක්‌ රථ වාහන රාජකාරි කරන පොලිස්‌ බලධාරීන් හුදෙක්‌ම නඩු එකතු කර ගැනීමේ කාර්යය සඳහා පමණක්‌ මුල්තැන දෙමින් නීතිය පිළිබඳව නිසි අවබෝධයකින් තොරව ඔවුන්ගේ අභිමතය මහා මාර්ගයේදී දැඩි ලෙස යොදා ගනිමින් පුද්ගලයන් අපහසුතාවට පත් කරන බවත් පුත්තලම මහෙස්‌ත්‍රාත් රංග දිසානායක මහතා පැවැසීය. පුත්තලම මහෙස්‌ත්‍රාත් රංග දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ ජංගම දුරකථනයකින් කතා කරමින් ලොරි රථයක්‌ පැදවූ බවට ආණමඩුව සංචාරක මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි නිකවැරටිය ලේක්‌ රවුන්ඩ් පාර මොහොමඩ් බාස්‌කාන් අහමඩ් පාරුක්‌ නමැති විත්තිකරු ඔහුට එරෙහිව තිබූ චෝදනාවෙන් නිදොස්‌ කොට නිදහස්‌ කර මුදාහැරීමට නියෝග කරමිනි. විත්තිකරුට එරෙහිව 67976 ඒ. දරන අංකය යටතේ මෙම නඩුව ආණමඩුව සංචාරක මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබුණේ පල්ලම පොලිසියේ ස්‌ථානාධිපතිවරයා විසිනි. 

මහෙස්‌ත්‍රාත්වරයා ලබාදී තිබූ තීන්දුව අනුව රථ වාහන අංශයේ ස්‌ථානාධිපතිවරයාද රථ වාහන අංශයේ සේවය කරන අනිත් නිලධාරීන් විසින්ද ලබාදෙන ලද සාක්‍ෂි අනුව එම සාක්‍ෂිකරුවන්ගේ නීතිය පිළිබඳව ඇති අල්ප දැනුම ප්‍රදර්ශනය කරන අතර සාක්‍ෂිකරුවන් සාක්‍ෂි ලබාදීමේදී පවා චූදිත විසින් කරන ලද වරද කුමක්‌ද යන්න හෝ එම වරද විස්‌තර කරනු ලබන්නේ කුමන පනතක කුමන රෙගුලාසි යටතේද යන්න පවා දැක්‌වීමට අපොහොසත් වී ඇතැයි ප්‍රකාශ කළේය. හුදෙක්‌ රථ වාහන නඩුවල සියලු චූදිතයන් වරද පිළිගැනීමක්‌ කරන්නේය යන පූර්ව නිගමනයක සිටිමින් කිසිදු අධ්‍යයනයකින් තොරව පල්ලම පොලිසියේ පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාගේ අත්සනින් යුතුව මෙම පැමිණිල්ල ගොනු කර ඇති බව එම තීන්දුවේ සඳහන්ව ඇති අතර වැඩිදුරටත් එහි දැක්‌වෙන්නේ, රථ වාහන රාජකාරිවල යෙදී සිටින පොලිස්‌ නිලධාරීන් හුදෙක්‌ම නඩු එකතු කර ගැනීමේ කාර්ය සඳහා පමණක්‌ නීතිය පිළිබඳව නිසි අවබෝධයකින් තොරව ඔවුන්ගේ අභිමතය මහා මාර්ගයේ ඉතා දැඩි ලෙස යොදා ගනිමින් පුද්ගලයන් අපහසුතාවට පත් කරන බව මෙම නඩුවේ නඩු විභාගය අතරතුර ලබාදුන් සාක්‍ෂි මගින් පැහැදිලි වෙන බවයි.

රථ වාහන අංශයේ ස්‌ථානාධිපතිවරයා සාක්‍ෂි ලබාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ 2013.04.24 වන දින පො.කො.(32266) සූරියබණ්‌ඩාර සහ පො.කො.(88849) සඳරුවන් යන නිලධාරීන් සමඟ රථ වාහන නඩු ලබාගැනීම සඳහා පොලිසියෙන් පිටව ගිය බවයි. සාක්‍ෂිකාර රථ වාහන අංශයේ ස්‌ථානාධිපතිවරයාගේ එම ප්‍රකාශයෙන්ම නඩු එකතු කිරීම සම්බන්ධයෙන් පොලිසියේ පවතින ක්‍රමවේදය මනාව පැහැදිලි වන බවත්ය. 

සාක්‍ෂිකාර පොලිස්‌ නිලධාරීන්ගෙන් අධිකරණයෙන් අසන ලද ප්‍රශ්නවලදී චූදිත විසින් කරන ලද වරද මෝටර් රථ පනතේ කුමන වගන්තියක්‌ යටතේ වන වරදක්‌ද යන්න සම්බන්ධයෙන් නිශ්චිතව කරුණු දැක්‌වීමට පවා සාක්‍ෂිකාර පොලිස්‌ නිලධාරීන් අසමත් වී ඇති අතර ජංගම දුරකථනයකින් අමතමින් රිය පැදවීම සහ අපරීක්‍ෂාකාරි ලෙස රිය පැදවීම යන චෝදනාවන් දෙකක්‌ එක්‌ කොට දඬුවම් නියම කරන වගන්තිය ලෙස 224 වගන්තිය ඇතුළත් කරමින් ඉතා වැරදි සහගත ලෙස පැමිණිල්ලක්‌ අධිකරණයට ගොනු කර ඇතැයි ප්‍රකාශ කළේය.

රථ වාහන රාජකාරිවල නිරත වන පොලිස්‌ නිලධාරීන් මහා මාර්ගයේදී අසීමිත අභිමතයන් පාවිච්චි කරති. එහිදී යම් චූදිතයෙකු රථ වාහන වරදක්‌ කළා යෑයි පොලිස්‌ නිලධාරීන් විසින් ප්‍රකාශ කිරීම ඔහු වරදකරුවකු කිරීමට තරම් ප්‍රමාණවත් වන බවට පොලිස්‌ නිලධාරීන්ගේ මතයක්‌ පවතී.

එම නිසා යම් රථ වාහන වැරැද්දක්‌ සිදුකළ බවට පොලිස්‌ නිලධාරියකු විසින් ප්‍රකාශ කළේ නම් එම වරද නොකළ බවට අදාළ රියෑදුරු විසින් කොපමණ ප්‍රකාශ කළද රථ වාහන පොලිස්‌ නිලධාරීන් එය පිළිනොගන්නා අතර ඒ අනුව ඔවුන් රථ වාහන රාජකාරිවලදී සුවිශේෂී බලයක්‌ ආරෝපණය කර ගනිමින් කටයුතු කරන බව පෙනේ. නඩුවේ චූදිත එම බලයට අභියෝග කර ඇති අතර ඒ සඳහා ඔහු මුල් අවස්‌ථාවේදීම එම චෝදනාව ප්‍රතික්‍ෂේප කර තිබීමත්, එසේම තමාට විරුද්ධව අසත්‍ය පැමිණිල්ලක්‌ සිදුකිරීම සම්බන්ධයෙන් පොලිස්‌පති සහන මැදිරියට පැමිණිල්ලක්‌ද කර ඇත.

ඒ අනුව කරුණු සොයා බැලීමකින් තොරව සහ වැඩිදුර විමර්ශනයක්‌ නොකර පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීම සහ එම පැමිණිල්ල කිසිදු සැලකිල්ලකින් තොරව ගොනු කිරීම පොලිසිය විසින් සිදුකරන බවට මෙම නඩුවේ කරුණු අනුව පැහැදිලි වේ. එසේම චූදිත විසින් කරන ලද වරද විස්‌තර කිරීමට සාක්‍ෂිකාර පොලිස්‌ නිලධාරීන් අසමත්වීමද, එසේම චූදිත විසින් කරන ලද වරද කුමන ස්‌ථානයකදී සිදුකළේද යන්න පැහැදිලි කිරීමට පැමිණිල්ල අපොහොසත් වීමද එහි දක්‌වා ඇත. ඒ අනුව මෙම නඩුවේ චූදිතට එරෙහිව වන කිසිදු චෝදනාවක්‌ පැමිණිල්ලේ සාක්‍ෂි මගින් ඔප්පු කර නොමැති බව විනිසුරුවරයා සඳහන් කර ඇත.

මෙම නඩුවේ සාක්‍ෂිකරුවන් ලෙස නම් කර සිටියේ පල්ලම පොලිසියේ රථ වාහන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක ඊබ්‍රහම් මොහොමඩ් නසීම් සහ එම පොලිසියේ රථ වාහන අංශයේ පොලිස්‌ කොස්‌තාපල්වරු වන (32286) සූරියබණ්‌ඩාර සහ (88849) සඳරුවන් යන මහත්වරු වෙති. විත්තිකාර පාරුක්‌ මහතා කිසිදු නීතිඥයකුගෙන් සහයක්‌ ලබා නොගෙන තනිවම පැමිණිල්ලේ සාක්‍ෂිකාර පොලිස්‌ නිලධාරීන්ගෙන් විවෘත අධිකරණයේදී ප්‍රශ්න අසා ඔහුට එරෙහිව තිබූ චෝදනාවන්ගෙන් නිදොස්‌ වීම කැපී පෙනුණ සිද්ධියක්‌ විය.

පොල්පිතිගම - වීරරත්න
http://www.divaina.com/2014/03/08/news11.html

Pic Source

0 comments: