
"දිනූදා"ගේ කොරියා ගමන දැක්‌කොත් "බුවා" නොදැක්‌කොත් "එබුවා" වර්ගයේ මහා සොරකමකි. අද සත්වෝද්‍යාන විෂය භාර අමාත්‍ය ජයරත්න හේරත්ගේ කතාබහෙන්ද අපට තේරෙන්නේ ඒ බවය. කොරියාවට යවන්නට සිටි මෙම අලි පැටවා යුද ජයග්‍රහණයේ සංකේතය වශයෙන් නම්කළ යුද්ධය නිමාකළ දින ඉපදුණු පැටියා බව තමා නොදැන සිටි බවත්, මෙම පැටවුන් දෙදෙනා වයස අවුරුදු පහට අඩු, නීතියෙන් රට යෑවිය නොහැකි වයසේ සතුන් දෙදෙනකු වශයෙන් සිටි බව තමන් නොදන්නා බවත් හේ කියයි. සත්වෝද්‍යාන නිලධාරීන් මේ බව තමාට සඟවා ඇතැයිද, මෙහි වගකීම භාරගත යුත්තේ සත්වෝද්‍යාන බලධාරීන් බවද ජයරත්න හේරත් ඇමැතිවරයා වගකීම නිලධාරීන්ට "පටවමින්" කියයි. නමුත් අලි පැටවුන් දෙදෙනකු රට යවන්නට කටයුතු කළ බව තමන් නොදන්නා බවත් යවන්නේ කිනම් තැනකටද බව නොදන්නා බවත් එම වගකීමද සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂවරයා ඇතුළු නිලධාරීන් භාරගත යුතු බවත් ඔහු නොකියයි. අලින් රට පටවන බව ඔහු දනී. නමුත් උන්ගේ තරාතිරම ඔහු නොදනී. හොඳ මටය, නරක උන්ටය. මෙය "පුහුල් හොරා කරෙන් දැනේ" කියන්නා සේ කතාවකි.
ජාතික සංකේතය රට පැටවීම පමණක් නොව, දකුණු කොරියාවේ "සැම්සුන්" නමැති බිලියන ගනුදෙනු සමාගමේ "එවර් ලෑන්ඩ්" නමැති පෞද්ගලික සෆාරි උද්‍යානයට ශ්‍රී ලංකාවෙන් අලි පැටවුන් දෙදෙනකු ලබාදීමත් විශාල ගනුදෙනුවක් බව දැන් පවතින රාවයයි. එය "අතයට ගනුදෙනුවක්" බවටද ඇතැම්හු හඳුන්වති.

පසුගිය 12 වැනි බදාදා රාත්‍රී කොරියාව බලා පිටත්ව යැමට සිටි "උදාර" සහ "දිනූදා" නමැති අලි පැටවුන් දෙදෙනා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රදානයක් සඳහා කොරියානු රජයට භාර දීමට ගිය සතුන් දෙදෙනකු නොවන බව දැන් විශ්වාසය. මෙය පැහැදිලිsවම "ගනුදෙනු" පදනම යටතේ එහි රැගෙන යැමට සිටි සතුන් බව දැන් අනාවරණය වී අවසන්ය.
කොරියාවේ ලෝ ප්‍රකට "සැම්සුන්" සමාගමට අනුබද්ධිත "එවර් ලෑන්ඩ්" සෆාරි උද්‍යානය සඳහා අලි පැටවුන් දෙදෙනකු ශ්‍රී ලංකාවෙන් ලබාගන්නට උත්සාහ දරන්නේ මීට කලකට ඉහත පටන්ය. එම ඉල්ලීම සත්වෝද්‍යාන බලධාරීන් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය අවධානයට යොමුකරන්නේ පූජ්‍ය කිරම විමලජෝති හාමුදුරුවන් වහන්සේ හරහාය. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පොදු ප්‍රදානයක් ලෙස බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානයක් සහ වෘත්තීය පුහුණු අභ්‍යාස ආයතනයක් ලබාදීමට එකඟ වී යෑයි "දිනූදා" ගේ ඇත්ත කතාව අනාවරණය වී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නියෝගයකින් අලි පැටවුන්ගේ ගමන නතර වී ඇති මෙවන් මොහොතක කිරම හිමියෝ තම හඬ මාධ්‍ය හමුවේ අවදි කරති. උන්වහන්සේ විසින් එකල සත්වෝද්‍යාන බලධාරීන් වෙත යොමුකරන ලද ලිත ඉල්ලීම අදත් එහි ලිපි ගොනුවේ ඇත. එහෙත් කාලයාගේ ඇවෑමෙන් එකල ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සෘජු අධීක්‍ෂණය යටතේ තිබූ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහා වෙනමම අමාත්‍යාංශයක් හා අමාත්‍යවරයකු පත්වීමත්, එවක සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂවරයා මාරු වී යැමත් නිසා කිරම විමලජෝති හිමියන්ගේ උත්සාහය සඵල වන්නේ නැත. එහිදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබූ කෝටි ගණනක් වටිනා පොදු දේපළක් අහිමි වූ බව අප විශ්වාස කරන්නෙමු.
වත්මන් සත්වෝද්‍යාන භාර අමාත්‍යවරයාගේ සහ සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂවරයා ඇතුළු නිලධාරීන්ගේ හිස මත කඩා වැටෙන්නේ මේ "පරණ පිනය" "සැම්සුන්" වැනි බිලියන් කම්පැණිකරුවගේ ඉල්ලීම ඉවත දමන්නට නොහැකි නිසාදො මේ "පරණ පින" දොaතින්ම බදාගන්නා සත්වෝද්‍යාන බලධාරීහු මෙම "ගනුදෙනුව" කරන අයුරු කතාකරගන්නට කොරියාවේ දින ගණන් ගතකර තිබේ. ඒ අතර ජයරත්න හේරත් ඇමැතිවරයා, සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂ අනුරද සිල්වා, නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා ධම්මිකා මල්සිංහ, පින්නවල අලි සංරක්‍ෂණාගාරයේ ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරි චන්දන රාජපක්‍ෂ ඇතුළු පිරිස් වරින් වර එකතු වූ බව සත්වෝද්‍යාන අමාත්‍යාංශ ආරංචි මාර්ග කියා සිටී. කොරියානුවන්ද මේ සඳහා කිහිපවිටක්‌ම ලංකාවේ සංචාරය කර තිබේ.
මෙම සංචාර සිදුවූයේ සත්ව හුවමාරු පදනම යටතේ "කුමන සතුන්ද මෙම අලි පැටවුන්ට හුවමාරු කරන්නේ" යන්න සොයා බැලීම සඳහා මිස මුදල් ගනුදෙනුවක් සඳහා නොවන බවද අප විශ්වාස කරමු.
කෙසේ හෝ සැම්සුන් සමාගමෙන් ලංකාවට ලැබීමට නියමිත වූ වෘත්තීය පුහුණු මධ්‍යස්‌ථානය හෝ බෞද්ධ මධ්‍යස්‌ථානය වෙනුවට මෙම ගනුදෙනුවේදී අලි පැටවුන් යෑවීමට නියමිත දිනට දිනකට කළින් සිංහයන් ජෝඩුවක් ලංකාවට ලැබුණු අතර, මුල් ගනුදෙනුවේ කිරම විමලජෝති හිමියන්ගේ නමද මෙම සම්බන්ධීකරණයෙන් කපා දමා තිබිණි.
අවසානයේදී පසුගිය 2013 වසරේ නොවැම්බර් මාසයේ දිනෙක "දිනූදා" නමැති මෙම ජාතික සංකේතය සහ "උදාර" රට පැටවීමට දින නියමකර ගෙන තිබිණ. එහෙත් කුමන හෝ බාධකයක් අනුව එදින පැටවුන් යෑවීමට නොහැකි විය. එය 2014 මාර්තු මස 12 වැනිදා දක්‌වා මාස 4 කින් කල් ගියේ රටේ වාසනාවකට යෑයි අපට කල්පනා කළ හැකිය. එහෙත් මෙම කාලය තුළදී ද කිහිපවරක් ලංකාවට පැමිණි අදාළ සමාගමේ කොරියානුවෝ අලි පැටවුන් දෙදෙනා රැගෙන යැමේ උත්සාහය අතහැරියේ නැත. "අප මේ සඳහා හුඟාක් වියදම් කරල තියෙනවා" යෑයි ඔවුන් සත්වෝද්‍යානය තුළදීම ප්‍රකාශ කළ බව ආරංචි මාර්ග කියා සිටී. ඒ වියදමේ ප්‍රතිඵල ලබන්නට කොරියානුවෝ ඉකුත් 12 දා රාත්‍රිය එළැඹෙන තෙක් "දත මැදගෙන" බලා සිටියහ. ගුවන් යානාවක් මේ සඳහා වෙන්කරගත් මෙම ව්‍යාපෘතියේ අතරමැදියන් පින්නවලින් අලි පැටවුන් දෙදෙනා රැගෙන විත් ගුවන් යානයට පටවන තෙක් ගුවන් තොටේද රැඳී සිටියහ. එහෙත් මේ රහසිගත ගනුදෙනුව පරිසරවේදීන් අතට පත්විය. යුද ජයග්‍රහණයේ ජාතික සංකේතය පිටරටට විකුණා ඇති බවට මෙන්ම එය රට පටවන බව මාධ්‍ය මගින් අනාවරණය කරන ලද්දේ ඒ අනුවය. එපමණක් නොව "දිනූදා" විශේෂයෙන්ද "උදාර" ද බේරාගැනීමේ නොනවතින අරගලයට 11 වැනිදා රාත්‍රිය පුරා පරිසරවේදීන්ද, පාරිසරික ජන මාධ්‍යවේදීන්ද දායක වූහ. රජයේ ප්‍රබල අමාත්‍යවරු එම ලේකම්වරු, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රබලයන් පමණක් නොව ජනමාධ්‍යවේදීහු සෘජුවම ජනාධිපතිවරයාටද මේ සහගහන ජාතික අපරාධය පිළිබඳව කතාකර කියා සිටියහ. මෙහි සැබෑ තත්ත්වය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දැන සිටියේ මේ කරුණු දැන්වීමත් මාධ්‍ය ප්‍රචාරයත් සමගය. "දිනූදා" උපන්නේ යුද්ධය "දිනපු දා" නොහොත් මිනීමරු ප්‍රභාකරන්ගේ මළගම සිදුවූ දා බවත් එතුමන් දැන ගත්තේ මෙම සිදුවීමේදීය. එතුමා වහාම තීරණයක් ගෙන "දිනූදා" පමණක් නොව "උදාර" ද රට යෑවීම තහනමට ලක් කළේය. නිලධාරීන්ට වහාම මේ ගැන සොයාබලා තමන්ට වාර්තා කරන්නට නියෝග ලබා දුන්නේය. මේ අනුව "දිනූදා" ද "උදාර" ද 12 දා ඔවුන් වෙනුවෙන් වෙන්කර තිබූ ගුවන් යානයේ කොරියාවට ගියේ නැත. ඒ වෙනුවට "ගලේ පහරපු" බළලුන්ට සිදුවූ දේ සත්වෝද්‍යාන භාර අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන්ට අද සිදුව තිබේ. කරගන්නට දෙයක් නැතිව අරයාට මෙයාට ඇඟිල්ල දිගු කරගන්නා අතරේ උන්ගේ ඇඳුම් ගැලවී නිරුවත ලෝකයටම පෙනෙන බව උන් තාමත් නොදන්නා සේ හැසිරෙනු පෙනේ. අවසානයේදී ඇමැති ජයරත්න හේරත් කියන පරිදි වරද සත්වෝද්‍යාන බලධාරීන්ගේය. ඔවුන් ඔහුට කරුණු වසන්කර ඇත. පැටවුන්ගේ වයස අවුරුදු 5 ට වඩා අඩු බව හා "දිනූදා" ජාතික සංකේතයක් යෑයි ඔහුට පවසා නැත. ඇමැතිවරයාගේ බෝලය සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂවරයාට "පාස්‌කර" තිබේ. අධ්‍යක්‍ෂවරයා දැන් එය කවුරුත් ඉදිරියේ පින්නවල අලි අනාථාගාරය සහ අලින්ගේ කටයුතු භාර නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකාව වෙත "පාස් කර" ඇඟ බේරා ගැනීමේ උත්සාහයක නිරත වේ. දැන් කවුරුත් බබාලාය. මුන්ට අලි සූප්පුවෙන් කිරි දෙන්නට අප යෝජනා කරන්නේ ඒ නිසාය.
මේ පින්බර අලි පැටවා "දිනූදා" උපන්නේ 2009 මැයි මස 18 වැනිදාය. ඒ ඊළාම් යුද්ධය අවසන් වී ජාතික ධජය මෙරටේ හතර කොණම ළෙලදෙන්නට පටන්ගත් මොහොතේදීය. 1991 දී දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී ඉපදී 1995 දී පින්නවලට ගිය "ජයතු" නම් පියාට හා 1995 දී පින්නවලදී උපන් "සඳලි" නම් මවට දාව උපන් මේ පින්බර අලි පැටවාට තවමත් වයස අවුරුදු 5 සම්පූර්ණ වී නැත. "උදාර" නම් අලි පැටවාද තවමත් වයස අවුරුදු 4 යි මාස 9 ක් වන කිරිබොන වයසේ පැටියෙකි. මෙසේ වයස අවුරුදු 5 ට අඩු (එසේම අවුරුදු 15 ට වැඩි) අලි පැටවුන් රට පැටවීම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් තහනමට ලක්‌කර ඇත්තේ 2009 වසරේදී මෙවැනිම අලි පැටවුන් දෙදෙනකු ආමේනියාවට යෑවීමට පිරිසක් උත්සාහ දැරූ අවස්‌ථාවේය. එවන් තීන්දුවක් තිබියදී මෙසේ ලාබාල අලි පැටවුන් දෙදෙනකු රට යෑවීමට උත්සාහ දැරීම බරපතළ වරදක් මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයද හෑල්ලුවට ලක්‌කිරීමකි. නීතිය නොසලකා හැරීමකි. එයින්ද බේරීමට කරුණු කීමට කිසිවකුටත් නොහැකිය.
ජගත් කණහැරආරච්චි
http://www.divaina.com/2014/03/16/feature19.html
0 comments:
Post a Comment