Pages

Wednesday, March 12, 2014

කොළඹ නාගරික මන්ත්‍රීවරු ලයිසන් පිට රථගාල් ජාවාරමේ

පාර්ලිමේන්තුවට පළාත් සභාවට යන්න බැරි නම් අඩුම තරමින් කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරයකුවත් වීම පරම්පරා හතක්‌ සුපිරි ධනවතුන් කළ හැකි මහා ධන නිධානයක්‌ බවට අදහසක්‌ පවතී.

මෙවර "දිවයින ඉරිදා සංග්‍රහ"ය තුළින් අනාවරණය කරන්නේ කොළඹ මහ නගර සභාවේ හොරා පොලිස්‌ සෙල්ලමක්‌ පිළිබඳවයි. එනම් නගර සභාවේ මන්ත්‍රීවරුන්ට තමන්ගේ පක්‍ෂ කාර්යාල ඉදිරිපිට රථගාල් ඉදිකර ගැනීම සඳහා බලපත්‍ර ලබාදීම පිළිබඳවයි.

නගර සභාවේ මන්ත්‍රීවරයකුට තමන්ගේ පක්‍ෂ කාර්යාලය ඉදිරිපිට තමන්ගේ පුද්ගලික වාහනය නතර කර තැබීම සඳහා අවසර පත්‍රයක්‌ ලබා දුන්නාට අපේ විරුද්ධත්වයක්‌ නැත. ජනතාව විරුද්ධ වන්නේ, ජනතාව විවේචනය කරන්නේ කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග අවහිර වන පරිදි රථගාල් ඉදිකර පවත්වාගෙන යැමට කොළඹ මහ නගර සභාව ඉඩ ලබා දී තිබීම පිළිබඳවයි.

කොළඹ නගරය යනු ප්‍රධාන වාණිජ නගරයයි. එවැනි පසුබිමක්‌ තුළ කොටුව සහ පිටකොටුව ප්‍රදේශයේ ප්‍රධාන අතුරු මාර්ග අවහිර වන පරිදි රථගාල් ඉදිකර ගැනීමට කොළඹ මහ නගර සභාව මන්ත්‍රීවරුන්ට ඉඩ ලබා දී තිබේ.

පාර්ලිමේන්තු, පළාත් සභා මැති ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට රජය වාර්ෂිකව ලබාදෙන තීරුබදු රහිත වාහන බලපත්‍ර මන්ත්‍රීවරු සහ ඇමැතිවරු විසින් කිසිම හිරිකිතයක්‌ ලැඡ්ජාවක්‌ නැතුව රුපියල් ලක්‍ෂ ගණන්වලට විකුණාගෙන කන්නා සේ කොළඹ නගර සභාවේ මන්ත්‍රීවරුන් නගර සභාව විසින් තමන්ට ලබාදී ඇති රථගාලක්‌ ඉදිකර ගැනීම සඳහා වන බලපත්‍රය කිසිම හිරිකිතයක්‌ නැතුව කෝටිපති ව්‍යාපාරිකයන්ට විකුණා තිබේ.

මන්ත්‍රීවරුන් විසින් කෝටිපති ව්‍යාපාරිකයන්ට මෙම රථගාල් බලපත්‍ර විකුණා තිබෙන්නේ රුපියල් ලක්‍ෂ 2 1/2 - 5 අතර මිලකටයි.

කොළඹ - කොටුව දෙවැනි හරස්‌ වීදිය සහ ඒ අවට ප්‍රදේශ තුළ පමණක්‌ මෙවැනි රථගාල් දාහතරක්‌ පමණ මේ වන විටත් ඉදිකර තිබේ.

දෙවැනි හරස්‌ වීදිය සහ ඒ අවට ප්‍රදේශ තුළ සම්පූර්ණයෙන්ම තිබෙන්නේ කෝටිපති ව්‍යාපාරිකයන්ට අයත් තොග සහ සිල්ලර කඩ ඇතුළු ව්‍යාපාරික ස්‌ථානයි. මෙහි දේශපාලන පක්‍ෂ කාර්යාල දක්‌නට නැත. නමුත් එම්. එම්. සී. ලෙස සටහන් කර ඇති රථගාල් තිබේ.

මෙම රථගාල් ඉදිකර තිබෙන්නේ ප්‍රධාන මාර්ග අවහිර වන පරිදි මාර්ගයෙන් කොටසක්‌ බලහත්කාරයෙන් අල්ලාගෙන ලණු ඇදීමෙනි. නැත්නම් නාට්‌ටාමිලා බඩු පටවාගෙන ඇදගෙන යන කරත්ත හරස්‌ කිරීමෙනි.

කෝටිපති ව්‍යාපාරිකයන් රුපියල් ලක්‍ෂ ගණන් මුදල් වැය කර මෙම රථගාල් බලපත්‍ර මන්ත්‍රීවරුන්ගෙන් ලබාගෙන තිබෙන්නේ ජනතාවට ආදරයට නොවේ. තමන්ගේ ව්‍යාපාරික අරමුණු ඉටුකර ගැනීම සඳහායි. එනම් තමන්ගේ පුද්ගලික වාහන සහ තමන්ගේ ව්‍යාපාරික ස්‌ථානය වෙත භාණ්‌ඩ රැගෙන එන හා රැගෙන යන වාහන නතර කිරීම සඳහායි.

කොටුව ප්‍රදේශය තුළ පිහිටි මෙම හරස්‌ වීදි හරහා දිනකට ජනතාව දහස්‌ ගණනක්‌ සහ රථවාහන විශාල ප්‍රමාණයක්‌ ගමන් කරයි. උත්සව සමයට මෙම ප්‍රදේශය තනිකරම හිස්‌ ගොඩක්‌ බවට පත් වේ. ඒ වෙන කිසිවක්‌ නිසා නොවේ භාණ්‌ඩ මිලදී ගැනීමට පැමිණෙන ජනතාව හේතුවෙනි.

ඕනෑම භාණ්‌ඩයක්‌ ලංකාවේ අනෙකුත් ස්‌ථානවලට වඩා රුපියලක්‌ දෙකක්‌ හරි අඩුවෙන් කොටුව ප්‍රදේශයේ හරස්‌ වීදි තුළ පිහිටි වෙළෙඳ සල්වලින් මිලදී ගත හැකි යෑයි ජනතාව තුළ ලොකු විශ්වාසයක්‌ තිබේ. එමනිසා ජනතාව සහ ව්‍යාපාරිකයන් දිනපතාම මෙම ප්‍රදේශයට පැමිණේ. එහි ප්‍රතිඵලයක්‌ ලෙස සතියේ සෑම දිනකම දැඩි තදබදයක්‌ මෙම ප්‍රදේශ තුළ පවතී. එවැනි පසුබිමක්‌ තුළ දෙවැනි හරස්‌ වීදිය ඇතුළු මාර්ග අවහිර වන පරිදි රථගාල් ඉදිකිරීමට අවසර ලබාදුන් නිලධාරීන්ගේ මොළය පරීක්‍ෂා කළ යුතු වේ.

කොළඹ නගරය තුළ තියා අතුරු මාර්ගයකවත් වාහනයක්‌ නතර කිරීමට පොලිසිය අද ඉඩ දෙන්නේ නැත. හදිස්‌සියකට බෙහෙත් පෙත්තක්‌ ගන්නට ෆමසියක්‌ ඉදිරිපිට ත්‍රිරෝද රථයක්‌, යතුරුපැදියක්‌ නතර කළත් පොලිසිය දඩ කොළයක්‌ නම් නොදී යවන්නේ නැත. එම දඩ කොළයද දෙන්නේ පොළවේ අඩි හප්පා පොලිස්‌ පාට්‌ එකකුත් දමාය.

නමුත් කොළඹ නගරයේ පාරවල්වලින් කොටසක්‌ බලෙන් අල්ලාගෙන වැටවල් ගසා රථගාල් හදන විට පොලිසිය කටවත් අරින්නේ නැත. පොලිස්‌ නිලධාරීන් මෙම රථගාල් අසලින් යන්නේ දැක්‌කා නොදැක්‌කා ගානටය.

ජනතාව පවසන්නේ තියෙන දෙයක්‌ කාලා වෙන දෙයක්‌ බලාගෙන ඉන්නවා හැර වෙන කරන්නට දෙයක්‌ අද අපිට ඉතිරි වී නැති බවයි.

මේ රටේ නීති දෙකක්‌ නැති වුණත් නීතිය ක්‍රියාත්මක කිරීමේදී නීති දෙකක්‌ තිබෙන බව තහවුරු කළ හැකි උදාහරණ ඕනෑ තරම් තිබේ.

කොළඹ මහ නගර සභාව අද පාලනය කරන්නේ මේ රටේ ආණ්‌ඩු බලය ලබාගැනීමට සටන් කරන එක්‌සත් ජාතික පක්‍ෂයයි. නගර සභාවේ විපක්‍ෂය ලෙස කටයුතු කරන්නේ රට පාලනය කරන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයයි. නමුත් ජනතාවගේ අවාසනාවට මේ පක්‍ෂ දෙකෙන් එකක්‌වත් මේවා පිළිබඳව කටක්‌ ඇර වචනයක්‌වත් කතා කරන්නේ නැත.

ඒ වෙන කිසිවක්‌ නිසා නොවේ මේ දෙපාර්ශ්වයේම මන්ත්‍රීවරු රථගාල් ලයිසන් විකුණාගෙන කෑමේ ජාවාරමට දායක වී සිටින නිසාය. පාර්ලිමේන්තුවේ වේවා පළාත් සභාවේ නැත්නම් නගර සභාවේ වේවා ජනතා නියෝජිතයෙක්‌ නම් තීන්දු තීරණ ගැනීමට පෙර පළමුව සිතිය යුත්තේ රට සහ ජනතාව ගැනයි. නමුත් අද මහ ලොකුවට බෙරිහන් දෙමින් ජනතා නියෝජිතයන් ලෙස පෙනී සිටින පිරිස්‌ කටයුතු කරන්නේ රටට සහ ජනතාවට හෙණ ගැහුවත් කමක්‌ නැහැ තමන්ගේ සාක්‌කුව පිරෙනව නම් යන මතයේ සිටයි.

සල්ලි තිබෙන, බලය තිබෙන ව්‍යාපාරිකයන් මන්ත්‍රීවරුන්ට සල්ලි දී මන්ත්‍රීවරුන් සතු රථගාල් ලයිසන් එක ලබාගෙන තමන්ගේ වෙළෙඳසල් ඉදිරිපිට රථගාල් ඉදිකිරීම නිසා එම වෙළෙඳසල් අසල ව්‍යාපාරික කටයුතු කරන ව්‍යාපාරිකයන්ට තමන්ගේ ව්‍යාපාරික කටයුතු නිදහසේ කරගෙන යැමට මෙතෙක්‌ කල් තිබූ නිදහස දැන් අහිමි වී තිබේ.

ඒ සඳහා සෘජු ලෙසම හේතු වී තිබෙන්නේ රථගාල් ඉදිකිරීම නිසා අනෙකුත් වෙළෙඳ සල්වල ඉදිරිපස ප්‍රදේශය වාහනවලින් වැසී යැම සහ අවහිර වීමයි. මෙම තත්ත්වය ව්‍යාපාරික කටයුතුවලට අහිතකර ලෙස බලපා ඇත.

කොටුව ප්‍රදේශයේ හරස්‌ වීදි තුළ පදික වෙළෙඳුන් වෙළෙ¹ම් කරන්නේ පණ බයේය. ඒ වෙන කිසිවක්‌ නිසා නොවේ. පොලිසිය විසින් අල්ලා උසාවි දමන නිසාය. මෙනිසා පොලිස්‌ නිලධාරියෙක්‌ හෝ පොලිස්‌ ජීප් රථයක්‌ දුටුවිට මෙම වෙළෙඳුන් දුවන්නේ බඩුමුට්‌ටු පොදි බැඳගෙනයි.

පොලිසිය එම ස්‌ථානයෙන් පිට වී ගිය පසු නැවතත් මෙම වෙළෙඳුන් පූස්‌ පැටව් වගේ වෙළෙඳසල්වලින් ඉවතට විත් සුපුරුදු පරිදි වෙළෙ¹මේ නිරත වේ.

නමුත් ව්‍යාපාරිකයන් විසින් වෙළෙඳසල් ඉදිරිපිට රථගාල් විශාල ප්‍රමාණයක්‌ ඉදිකර තිබීම නිසා පදික වෙළෙඳුන්ටත් දැන් පොලිසිය සමග හොරා පොලිස්‌ සෙල්ලම කරමින් හෝ වෙළෙ¹ම් කිරීමට නොහැකි තත්ත්වයක්‌ උදාවී තිබේ.

ප්‍රධාන මාර්ග, අතුරු මාර්ග, අධිවේගී මාර්ග ඉදිකර තිබෙන්නේ ජනතාවට සහ රථවාහනවලට ගමන් කිරීමටයි. එසේ නැතුව අල බතල හිටවන්නවත් දේශපාලන හෙංචයියන්ට අනවසර වෙළෙඳසල් හදන්නවත් රථගාල් ඉදිකරන්නවත් නොවේ.

කොළඹ නගරය තුළ රථවාහන නතර කිරීම සඳහා වෙනම රථගාල් ඉදිකර තිබේ. එවැනි පසුබිමක්‌ තුළ කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරුන්ට රථවාහන නතර කිරීම සඳහා වෙනම රථගාල් ලබාදීමේ කිසිම අවශ්‍යතාවක්‌ නැත.

මන්ත්‍රීවරයකු යනු රජවරු හෝ දෙවිවරු නොවේ. ඔවුන් ජනතාවගේ සේවකයන් පමණය. ඔවුන් සිටින්නේ ජනතාවට සේවය කිරීමටයි. ඒ සඳහා ඔවුන් ඉදිරිපත් වී සිටින්නේ ද සිය කැමැත්තෙන්මය. එම නිසා සාමාන්‍ය ජනතාව රථවාහන නතර කරන ස්‌ථානවල තමන්ගේ රථවාහන නතර කිරීමට මන්ත්‍රීවරුන්ටද හැකියාව තිබිය යුතුවේ.

කොළඹ නගර සභාව විසින් නාගරික මන්ත්‍රීවරුන්ට ලබාදී ඇති රථගාල් බලපත්‍ර ලබාදීමේ වරප්‍රසාදය මේ රටේ අනෙකුත් පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන්ට හිමි වන්නේ නැත.

කොළඹ මහ නගර සභාව ආදර්ශයට ගෙන රට පුරා පිහිටි අනෙකුත් පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු තමන්ටත් ප්‍රධාන නගර ආශ්‍රිතව රථගාල් ඉදිකර ගැනීම සඳහා බලපත්‍ර ලබාදෙන ලෙස ඉල්ලා සිටිය හොත් රට තුළ අවාසනාවන්ත තත්ත්වයක්‌ උදා වේ.

එමනිසා පළාත් පාලන අමාත්‍යංශයත් පළාත් සභාවල ප්‍රධාන අමාත්‍යවරුත් මහ නගර සභාවල, නගර සභාවල, ප්‍රාදේශීය සභාවල වැඩ ගැන නිරන්තරයෙන්ම සොයා බැලිය යුතුවේ.

කොටුව - දෙවැනි හරස්‌ වීදියේ ව්‍යාපාරිකයන් සඳහන් කරන්නේ වහාම මේ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතු බවයි. පොලිසියට මේ පිළිබඳව පරීක්‍ෂණයක්‌ පැවැත්විය නොහැකි නම් රහස්‌ පොලිසිය ඒ සඳහා ඉදිරිපත් වී කටයුතු කළ යුතු බවද "දිවයින"ට අදහස්‌ දැක්‌වූ ව්‍යාපාරිකයන් රැසක්‌ම පැවසූහ.

මන්ත්‍රී වරප්‍රසාදවලට මුවාවී මහා මාර්ග බලහත්කාරයෙන් අල්ලා ගැනීමට කිසිම පුද්ගලයකුට ඉඩ ලබා නොදිය යුතු වේ.

එම නිසා නගරාධිපතිවරයා මැදිහත් වී වහාම මෙම නීති විරෝධී රථගාල් ප්‍රධාන මාර්ගයෙන් ඉවත් කර ගත යුතු වේ. නැත්නම් පොලිසිය මැදිහත් වී මෙම රථගාල් ඉවත් කළ යුතු වේ. නැත්නම් සිදුවන්නේ කොළඹ නගරයේ දැනට ඉතිරි වී තිබෙන මාර්ග ටිකත් දේශපාලන ගෝලබාලයන් විසින් අල්ලා ගැනීම පමණි.

ප්‍රියදර්ශන ලියනගේ
http://www.divaina.com/2014/03/09/politics05.html

0 comments: