Pages

Friday, March 14, 2014

අධිවේගී මාර්ග වංශ කතාව - කඩුවෙල සිට මාතරට පැය එකහමාරයි

මෑත කාලයේ අප රටේ ලියෑවුණු අධිවේගී මාර්ග වංශ කතාවට තවත් සුවිශේෂී පරිච්ඡේදයක්‌ කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය විවෘත වීමත් සමග එක්‌ වේ.

කොළඹ පිටත වටරවුම් අධිවේගී මගේ පළමු අදියර ඊයේ 8 වැනි සෙනසුරාදා පස්‌වරුවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් ජනතා අයිතියට පැවරුණි.

අප රටේ තෙවැනි අධිවේගී මාර්ගය වන මෙය මෙයට පෙර විවෘත වූ දක්‍ෂිණ හා කොළඹ කටුනායක අධිවේගී මාර්ග දෙකට වඩා සුවිශේෂීය.

මෙම අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන් ඉදිවීමෙන් පසු කොළඹ නගරය හරහා යන වාහන වැඩි සංඛ්‍යාවක්‌ එම මාර්ගය භාවිත කෙරෙනු ඇතැයි අපේක්‍ෂා කරන අතර ඒ තුළින් කොළඹ නගරයේ පවතින වාහන තදබදයට විසඳුමක්‌ ගෙන දීම මෙහි ඇති විශේෂත්වයකි.

කොළඹ සීමාවට දිවයිනේ සතර දිග් භාගයෙන් දිනකට ඇතුළුවන වාහන සංඛ්‍යාව ලක්‍ෂ පහළොව ඉක්‌මවයි. මේ හේතුවෙන් කොළඹ නගරයේ දිනපතා අධික වාහන තදබදයක්‌ පවතී. මේ වාහන තදබදය අවම කිරීමට විකල්ප විසඳුම් සෙව්වේ අද ඊයෙක පටන් නොවේ. විවිධ ආණ්‌ඩු විසින් විසඳුම් යෝජනා ඉදිරිපත් කළත් ඒවා ක්‍රියාවට නැගුණේ නැත. 

ජනතාවගේ සිහිනයක්‌ බඳු වූ මෙම බලාපොරොත්තුව සැබෑ කරන්නට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මහින්ද චින්තන වැඩපිළිවෙළට හැකිවීම ජනතාවට මහත් වූ ආශ්වාදයකි.

ඒ අනුව දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කොට්‌ටාව අන්තර් හුවමාරුවේ සිට කෙරවලපිටිය දක්‌වා වන කොළඹ පිටත වටරවුම් අධිවේගී මග අදියර තුනකින් නිම කිරීමට සැලසුම් කෙරුණි.

කොළඹ නගරය තුළ වාහන තදබදය අවම කිරීම, අධික ජනගහනයක්‌ සිටින බස්‌නාහිර පළාතේ නාගරික ප්‍රදේශයන්ගෙන් බැහැර ප්‍රදේශ සංවර්ධනය සඳහා දිරිගැන්වීම, දිවයිනේ උතුර සහ දකුණ අතර ගමන් ගන්නා වාහනවලට කොළඹ නගරය මගහැර යා හැකි විකල්ප මාර්ගයක්‌ ඇති කර ඒ ඔස්‌සේ කොළඹ නගරයට ඇතුළු නොවී කෙටි ගමන් කාලයකින් නියමිත ස්‌ථානයට ළඟාවීමට සැලැස්‌වීම හා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට දිවයිනේ අනෙකුත් ප්‍රදේශ කරා මගීsන් මෙන්ම භාණ්‌ඩ ප්‍රවාහනයට කඩිනම් ප්‍රවේශ මාර්ගයක්‌ ලබාදීම මූලික පරමාර්ථ කරගෙන මෙම වටරවුම් අධිවේගී මඟ ඉදිවේ.

කිලෝ මීටර් 29.2 ක දිගින් යුත් මෙම අධිවේගී මාර්ගයේ පළමු අදියර යටතේ දක්‍ෂිණ අධිවේගී මාර්ගය ආරම්භ වන කොට්‌ටාව අන්තර් හුවමාරුවේ සිට කඩුවෙල දක්‌වා කිලෝමීටර් 11 ඉදිකිරීමටත්, දෙවැනි අදියර යටතේ කඩුවෙල සිට කඩවත දක්‌වා කිලෝමීටර් 8.9 ක්‌ ඉදිකිරීමටත්, තෙවැනි අදියර යටතේ කඩවත සිට කෙරවලපිටිය දක්‌වා කිලෝමීටර් 9.3 ක්‌ ඉදිකිරීමටත් සැලසුම් කර වැඩ ආරම්භ විය.

මෙම මාර්ගය කොට්‌ටාව අන්තර් මාරුවෙන් දක්‍ෂිණ අධිවේගී මාර්ගයටත් කෙරවලපිටියේදී කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයටත් සම්බන්ධ කෙරෙනු ඇත. ඉදිරියේදී යෝජිත උතුරු අධිවේගී මාර්ගයට ද සම්බන්ධ කෙරේ.

2009 දෙසැම්බර් 1 වැනි දින පළමු අදියරේ වැඩ ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ (ජයිකා) ආධාර මත ඉදිකෙරුණි. මේ සඳහා වැය වූ මුදල රුපියල් බිලියන 27 ක්‌ බව මහාමාර්ග හා වරාය ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල මහතා සඳහන් කළේය. 

පළමු අදියර හුවමාරු මධ්‍යස්‌ථාන දෙකකි. අතුරුගිරිය හුවමාරු මධ්‍යස්‌ථානය පසුව යෝජනාව වී ඇති අතර එහි වැඩ අවසන් කිරීමට තවත් මාස 9 ක පමණ කාලයක්‌ ගෙවෙනු ඇත.

මෙම මාර්ගය සෙසු මාර්ගවලට වඩා තවත් සුවිශේෂී වන්නේ පරිසර හිතකාමීව ජලාපවහන පද්ධතිය කෙරෙහි විශේෂ අවධානයක්‌ යොමු කර තිබීමය.

මාර්ගය වගුරු බිම් ආශ්‍රිතව දිව යන බැවින් එම වගුරු බිම් ගොඩකර ඉදිකිරීමෙන් සිදු විය හැකි ගංවතුර තර්ජනය වළක්‌වා ගැනීමට වගුරු බිම් පස්‌ පිරවීමකින් තොරව කුලුනු ඉදිකර ඒ මත ගුවන් පාලම ඉදිකර තිබේ. කොළඹ පිටත වටරවුම් මාර්ගයේ අදියර තුනට ගුවන් පාලම් තුනක්‌ ඉදි වේ.

පළමු අදියර යටතේ කොට්‌ටාව සිට කඩුවෙල දක්‌වා කිලෝමීටර් 11 කින් යුත් මගෙහි කඩුවෙල කොතලාවලපුර පිවිසුම හා අතුරුගිරිය පිවිසුම අතර මහවෙල ප්‍රදේශයේ කුඹුරු හා වගුරු බිම් මතින් කිලෝමීටර් 3.3 කින් යුත් ගුවන් පාලමකි. එහි විශේෂත්වය වන්නේ ලංකාවේ දැනට ඉදිවී ඇති දිගම ගුවන් පාලම වීමෙනි. දෙවැනි අදියර යටතේ එම වාර්තාව බිඳ හෙළමින් කිලෝ මීටර් 4.9 කින් යුත් ගුවන් පාලමක්‌ ඉදිවේ. එය 2015 වන විට ලංකාවේ ඉදි වූ දිගම ගුවන් පාලම ලෙස නම් දරනු ඇතත් 2017 අවසන් වීමට නියමිත මාර්ගයේ අවසන් කොටස වන කඩවත සිට කෙරවලපිටිය දක්‌වා කිලෝමීටර් 9.3 කින් යුත් මාර්ගයේ මුතුරාජවෙල ස්‌වාභාවික තෙත් බිම් හරහා කිලෝ මීටර් 5.9 කින් යුත් ගුවන් පාලම ඉදිවීමෙන් ලංකාවේ තිබෙන දිගම ගුවන් පාලම ලෙස නම් දරනු ඇත.

පහත් බිම් ගොඩකිරීමේ පලවිපාක විඳීමට සිදු වන්නේ ජනතාවට බැවින් ජනහිතකාමී ආණ්‌ඩුවක්‌ ලෙස ඒ ගැන වැඩි අවධානය යොමු කර වැඩි පිරිවැයක්‌ දැරීමට සිදු වුවත් ගුවන් පාලම් මගින් මෙම මාර්ග ඉදිකිරීමට තීරණය කළ බව මහාමාර්ග ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල මහතා පැවසීය.

පළමු අදියර යටතේ ඉදි වූ කොට්‌ටාව සිට කඩුවෙල අන්තර් හුවමාරුව දක්‌වා කොටසේ ඉදි වූ ගුවන් පාලමට රුපියල් බිලියන 7 1/2 කට අධික පිරිවැයක්‌ දැරූ බව ඇමැතිවරයා සඳහන් කළේය.

මංතීරු හතරකින් සමන්විත කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය ඉදිරියේදී මංතීරු 6 ක්‌ දක්‌වා සැලැසුම් කර ඇත. මෙම මාර්ගයට මහනුවර හරහා ඉදිකෙරෙන උතුර අධිවේගී මාර්ගය, අනෙකුත් සෙසු ප්‍රධාන මාර්ග බොහොමයක්‌ සම්බන්ධ වේ. යෝජිත උතුරු අධිවේගී මග ඉදිකර දක්‍ෂිණ අධිවේගී මාර්ගයට එක්‌ කිරීමෙන් පැය කිහිපයකින් උතුරටත් දකුණටත් ගමන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.

කොළඹ පිටත වටරවුම් මාර්ගය 2017 ඉදිකිරීම් සම්පුර්ණ කිරිමෙන් පසු දක්‍ෂිණ අධිවේගී මාර්ගය ඔස්‌සේ මාතර සිට කටුනායක දක්‌වා පැය දෙකක්‌ වැනි කෙටි කාලයකින් ගමන් කිරීමේ අවස්‌ථාව උදාවීම වැඩි ඈතක නොවේ. මෙම මාර්ගය භාවිත කිරීමෙන් කොට්‌ටාව සිට කඩුවෙල දක්‌වා ගමන් කිරීමට ගත වන්නේ විනාඩි 10 ක්‌ වැනි සුළු කාලයකි.

දෙවැනි සහ තෙවැනි අදියර සඳහා රුපියල් බිලියන 115 ක මුදලක්‌ ඇස්‌තමේන්තු කර තිබෙන අතර දෙවැනි අදියර ජපන් අන්තර්ජාතික සහයෝගිතා (ජයිකා) ආයතනයේත්, තෙවැනි අදියර චයිනා එක්‌සිම් බැංකුවේ ණය ආධාර මගින් ඉදිකෙරෙනු ඇත. කොළඹ පිටත වටරවුම් මාර්ගය ප්‍රවේශ මාර්ග හයකින් සමන්විතය.

හුවමාරු මධ්‍යස්‌ථාන ආශ්‍රිත කලාපීය සංවර්ධනයට දිරිගැන්වීමක්‌ ඇති කිරීම වත්මන් හා අනාගත වර්ධන මධ්‍යස්‌ථාන අතර කෙටි දුර ගමන් වේගවත් කිරීම, යටිතල පහසුකම් දියුණු වීම මගින් විදේශ ආයෝජකයන් දිරිගැන්වීම, හුවමාරු මධ්‍යස්‌ථාන සහ අවට ප්‍රදේශවල ඇතිවන සංවර්ධනය සහ එහි දේපළ වටිනාකම ඉහළ යැම, වාහන තදබදයක්‌ හේතුකොට ගෙන ඇති වන්නා වූ පරිසර දූෂණය අවම කිරීම හා වාහන ධාවන පිරිවැය අවම කිරීම මින් ලැබෙන ප්‍රතිලාභයන් බව ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල මහතා සඳහන් කළේය

මෙම අධිවේගී මාර්ගය දෙපස නිවාස දේපළ සඳහා ප්‍රවේශ මාර්ග පහසුකම් ද අවශ්‍ය පරිදි ඉදිකරමින් අතුරුගිරිය, කඩුවෙල, කඩවත, වත්තල නගර ආශිත්‍රව මාර්ගය දිවයන බවද හෙතෙම පැවසීය.

ඉතිහාසයේ සිහිනයක්‌ව තිබූ අධිවේගී මාර්ග අද සැබෑවක්‌ බවට පත්වීමත් සමග දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්‌වා පැය කිහිපයක්‌ තුළ ගමන් කිරීමේ අවස්‌ථාව නුදුරු දිනයකදීම උදාවනු නොඅනුමානය.

අනුර බාලසූරිය
http://www.divaina.com/2014/03/09/feature20.html

0 comments: