Pages

Wednesday, March 12, 2014

ලියාපදිංචි සහ සහකාර වෛද්‍ය නිලධාරීන්ට එම්. බී. බී. එස්‌. උපාධිය සඳහා වූ තුන් අවුරුදු පාඨමාලාව ඇරඹේ

ලියාපදිංචි සහ සහකාර වෛද්‍ය නිලධරීන්ට එම්. බී. බී. එස්‌. වෛද්‍ය උපාධිය පිරිනැමීම සඳහා වූ තුන් අවුරුදු පාඨමාලාව මේ මස 10 දා ආරම්භ කෙරෙන අතර අවසාන වර්ෂයේ පරීක්‍ෂණය 16 දා පැවැත්වෙනු ඇත.

කොළඹ උපාධි අධ්‍යාපන ආයතනයේදී පාඨමාලාව දිගටම පවත්වාගෙන යැමට අවශ්‍ය කටයුතු නිසියාකාරව සැලසුම් කර ඇති බව ද නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් දිමනීද සිල්වා මහත්මිය ඊයේ (07 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නාය.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එම තොරතුරු හෙළි කළේ එම්. බී. බී. එස්‌. වෛද්‍ය උපාධියට පෙනී සිටීමට අයිතිය ඉල්ලා සහකාර සහ ලියාපදිංචි වෛද්‍යවරු 61 ක්‌ ගොනු කර තිබූ පෙත්සම ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වැඩිදුරටත් සලකා බැලූ අවස්‌ථාවේදීය.

එම පාඨමාලාව කළමනාකරණය කිරීම සඳහා කමිටුවක්‌ ද පත්කිරීමට ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යෝජනා කර ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රධානි මහාචාර්ය මල්කාන්ති චන්ද්‍රසේකර මහත්මිය ඊයේ දැනුම් දුන් අතර ශ්‍රේෂ්ඨාධිකරණය එම යෝජනාවට අනුමැතිය පළ කළේය.

මහාචාර්ය මල්කාන්ති චන්ද්‍රසේකර (සභාපති), මහාචාර්ය ලිලන්ති ද සිල්වා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සුනිල් ද අල්විස්‌ සහ කොළඹ, රජරට, යාපනය වෛද්‍ය පීඨවල ප්‍රධානීන් ද එම කමිටුවට පත්කිරීමට යෝජනා කර ඇති බවද ඇය කීවාය.

එම්. බී. බී. එස්‌. වෛද්‍ය උපාධියට පෙනී සිටීමට අයිතිය ඉල්ලා නඩු පැවරූ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන් 61 න් උපාධි පාඨමාලාව හැදෑරීමට දැන් සූදානමින් සිටින්නේ 28 දෙනකු පමණක්‌ බවත් නඩුවෙන් සහනයක්‌ ලබාගැනීමට කල්ගතවීම, වෛද්‍ය සේවයෙන් විශ්‍රාම යැම යනාදී හේතූන් මත සෙසු අය අදහස අත්හැර දමා ඇති බව ඊයේ උසාවියට පැමිණ සිටි ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන් කීපදෙනෙක්‌ දැනුම් දුන්හ.

මෙම අවස්‌ථාවේදී ඔවුන් ඇමතූ අගවිනිසුරු මොහාන් පීරිස්‌ මහතා පැවසුවේ දැනට කරන සේවාවලින් බැහැර වී වෛද්‍ය උපාධිය සමත්වීම සඳහා පූර්ණ කාලය යොදවන ලෙසත් ඊට පසුව රජයේ වෛද්‍යවරුන් ලෙස පිළිගැනීමක්‌ ඇතිව වෘත්තීය කටයුතුවල යෙදීමට වාසනාව උදාකර ගන්නා ලෙසත්ය.

අගවිනිසුරු කේ. ශ්‍රීපවන් සහ රෝහිණී මාරසිංහ යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම් විභාග පැවැත්විණි.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ එස්‌. පර්තලිංගම් මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙනුවෙන් ද ජනාධිපති නීතිඥ සිබ්ලි අසිස්‌ මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් ද පෙනී සිටියහ.

සරත් ධර්මසේන
http://www.divaina.com/2014/03/08/news24.html

0 comments: