Pages

Saturday, March 1, 2014

නැටුම් ලොව සක්‌විති පණීභාරත ඇදුරිඳුය වික්‌මැති

ශ්‍රී ලාංකේයවූ අපට ආවේණිකව පවත්නා අභිමානවත් සජීවී සංස්‌කෘතිකාංගයක්‌ ලෙස නර්තන කලාව හැඳින්විය හැකිය. එයින් උඩරට නර්තන සම්ප්‍රදායය වූ කලී සත් කෝරළය, සතර කෝරළය සහ මහනුවර ආශ්‍රිත ප්‍රදේශවල භාවිත නර්තන ශෛලියකි. මෙයින් කෑගලු දිස්‌ත්‍රික්‌කයේ සතර කෝරළයට අයත් අල්ගම පරම්පරාවට සුවිශේෂත්වයක්‌ හිමිවේ. අතීතයේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට අයත් නින්දගමක්‌ ලෙස සැලකෙන "අල්ගම" නාමය දේශීය කලා ක්‍ෂේත්‍රයේ නොමැකෙන සටහනක්‌ තැබූ පරපුරක්‌ බිහි කළ ග්‍රාමයකි. අතිශයින් දේශීය සංස්‌කෘතියට නැඹුරුව මෙම ග්‍රාමයෙහි ප්‍රධානියා ලෙස කටයුතු කළ පබංචි අල්ගම නොහොත් පබා ගුරුතුමාට සහ ඩිංගිරි උක්‌කු මාතාවට දාව දූ පුතුන් සය දෙනෙක්‌ වූහ. ඒ අතුරින් දෙවැනියා හැඳින්වූයේ "පාණිස්‌" හෙවත් "පණී" යනුවෙනි. වර්ෂ 1920 පෙබරවාරි 24 දින ජන්ම ලාභය ලැබූ තම දෙවැනි පුතු අනාගතයේදී දේශීය වෛද්‍යවරයෙක්‌ කිරීමට දෙමවුපියන්ගේ එකම අභිලාෂය විය. දෙමවුපියන්ට අවනත වෙමින් වෙද පොත හැදැරුවද සිත වැඩිපුරම යොමුවී තිබුණේ නැටුම් කලාව වෙතය. දිනක්‌ රත්නපුරේ සමන් දේවාලයේදී සිය බාප්පා වූ කිරි ගණිත ගුරු විසින් ඉදිරිපත් කරන්නට යෙදුන චිත්තාකර්ශනීය නැටුම් විලාශයෙන් වශීකෘත වූ කුඩා පණී වෙදකමට ආයුබෝවන් කීමට සිතා ගත්තේය. තම බාප්පා වෙතින් නැටුම පමණක්‌ නොව බෙර වාදනය ද මනාලෙස උගත් පණී වෙල්ගම ගිනිතේරිස්‌ ගුරුතුමා වෙතින් පහතරට නැටුම් කලාවද උගත්තේය. වාදනයෙහි අති දක්‍ෂයකු වූ කුඩා පණීට ඡේ. ඩී. ඒ. පෙරේරාගේ බිරිඳ වූ චන්ද්‍රලේඛාවන්ගේ බෙරවාදකයා ලෙස කටයුතු කිරීමට ආරාධනා ලැබිණි.

පණීගේ නර්තනය, වාදනය සහ ගායන යන ක්‍ෂේත්‍රයන්හි තිබූ සුවිශේෂ දක්‍ෂතාවය කෙරෙහි ඡේ. ඩී. ඒ. පෙරේරා බෙහෙවින් පැහැදුණේය. කොළඹ ලෝරන්ස්‌ විද්‍යාලයේ අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළ හෙතෙම පණීට එහි ශිෂ්‍යයකු ලෙස කටයුතු කරගෙන යාමට ඉඩ සලසා දුන්නේය. එපමණක්‌ද නොව ඉගෙනුම ලබන අවදියේදීම එහි නර්තන ආචාර්යවරයා ලෙස කටයුතු කිරීම ඔහුට අවස්‌ථාවක්‌ ලබා දුනි. පසු කාලයේ විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් වූ පණීට සංස්‌කෘත භාෂාව හා සාහිත්‍ය යන විෂයයන් පිළිබඳවද පුළුල් දැනීමක්‌ රඹුක්‌වැල්ලේ ශ්‍රී සිද්ධාර්ථ නාහිමියන් වෙතින් ලබා ගැනීමට අවස්‌ථාව උදාවිය. ඔහුට වයස 18 සිපිරෙන මොහොතේ එනම් වර්ෂ 1938 දී කොළඹ නාලන්ද විද්‍යාලයේ නැටුම් ආචාර්යවරයා වශයෙන් කටයුතු කිරීමට පත්වීමක්‌ ලැබිණි. වසර කීපයක්‌ එසේ ගුරුවරයකු ලෙස කටයුතු කළ පණීට වර්ෂ 1944 දී ශිෂ්‍යත්වයක්‌ ලැබ බටහිර බෙංගාලයේ පිහිටි ශාන්ති නිකේතනයට ඇතුළත් වීමට වාසනාව උදාවිය. එහිදී භාරතීය සම්භාව්‍ය නර්තන සම්ප්‍රදාය වූ කථකලි, මණිපුරී යන නැටුම් ශෛලීන් ද තබ්ලා, මෘදංග හා පඛාවාඡ් යන අවනද්‍ය භාණ්‌ඩද ඉගෙනුමට අවකාශ ලැබිණි. එපමණක්‌ද නොව තාගෝර්තුමාගේ නෘත්‍ය නාට්‍යයන්හි රඟපෑමට ද ඔහුට අවස්‌ථාව උදාවී ඇත.

වසර හතරක කාලයක්‌ භාරතයේ ඉගෙනුම් කටයුතු කළ පණී පෙරළා දිවයිනට පැමිණි අතර එහිදී ඡේ. ඩී. ඒ. පෙරේරා මහතා ප්‍රමුඛ විද්වත් මඩුල්ලක්‌ විසින් ඔහුට උපහාරයක්‌ වශයෙන් "පණීභාරත" යන නාමය පුදනු ලැබිණි.

එතෙක්‌ රජයේ කලායතනයේ පාඨමාලාව චිත්‍ර විෂයයට පමණක්‌ සීමාවී පැවැති අතර ඡේ. ඩී. ඒ. පෙරේරා මහතා විසින් සංගීත සහ නැටුම් විෂයය ඉගැන්වීම ආරම්භ කරනලදී. නර්තන අංශය සඳහා ප්‍රධානියකු පත්කර ගැනීමට පවත්වන ලද පරීක්‍ෂණයෙන් නැටුම් විද්‍යාලයේ ප්‍රථම අංශ ප්‍රධානි ලෙස කටයුතු කිරීමේ භාග්‍යය පණීභාරතට හිමිවිය. 1974 මැයි මස 1 වැනි දින ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය යටතේ සෞන්දර්ය ආයතනය නමින් විශ්වවිද්‍යාලයීය ආයතනයක්‌ බවට පත්වූ අතර, එහි නැටුම් අධ්‍යයනාංශයේ ප්‍රධානියා, පණීභාරත මහතා වීම විශේෂත්වයක්‌ විය. 1979 වර්ෂයේ ජනවාරි 1 වැනි දින සිට සෞන්දර්ය අධ්‍යයන ආයතනය කැලණිය විශ්වවිද්‍යාලයේ අනුබද්ධිත ආයතනයක්‌ බවට පත්වූ අතර එහි ප්‍රථම අංශාධිපති ලෙස පත් වූයේද පණී භාරතයන්ය. නැටුම් අධ්‍යයනාංශයේ ප්‍රධාන පරිපාලක ලෙස කටයුතු කරමින් ආයතනික දියුණුව උදෙසා කටයුතු කළ හෙතෙම මීට අමතරව නර්තන නිර්මාණ කටයුතුවලද නියෑලී සිට ක්‍ෂේත්‍ර දියුණුවේ අභිවෘද්ධිය සඳහා ඔහු කැපවී කටයුතු කළේය. ඔහු විසින් ග්‍රහ අපලය, බතේ උපත, කෝච්චිය, පොර පොල්පිටිය, හත් පත්තනි, දිට්‌ඨ මංගලිකා යන මුද්‍රd නාට්‍ය නිර්මාණය කරනලදී. ඔහුගේ සුවිශේෂ නිර්මාණයක්‌ වශයෙන් සැලකෙනුයේ "නාරිලතා" නමැති නර්තනාංගයයි. එහි අන්තර්ගත "සිරිදැරු මල් උයනේ" නමැති ගීතය ගැඹුරු හඬින් යුතුව කර්ණරසායන ස්‌වරයෙන් ගායනාකරන ලද ආකාරය තවමත් අප මතකයේ රැඳී ඇත. එවන් ගැමි හඬක්‌ කිසිදු අයුරින් අප සවනතට ගෙන ඒමට මේ දක්‌වා වෙනත් කිසිවකු සමත්වී නැත.

එවකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදෙස්‌ ගත වූ සියලුම සංස්‌කෘතික ප්‍රසංගවල නායකත්වය පණී භාරත විසින් උසුලනු ලැබීම විශේෂත්වයකි. වර්ෂ 1953 දී ජර්මනියට යවන ලද නැටුම් කණ්‌ඩායම, 1958 රුසියාවේ පැවැති ලෝක තරුණ සම්මේලනයට යවන ලද සාම විජය" මුද්‍ර නාට්‍යයේ අධ්‍යක්‍ෂණයෙන් සහ රංගන දායකත්වය 1965 දී පොදු රාජ්‍ය මණ්‌ඩල කලා උළෙල, 1966 පාකිස්‌ථානය, 1967 කැනඩාවේ පවත්වන ලද "එක්‌ස්‌පෝ" ප්‍රදර්ශනය, 1974 රුසියාව, 1975 ජපානය යනාදී රටවල් වල ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් කළ ප්‍රසංගවල ප්‍රධානියා ලෙස කටයුතු කළේ පණී භාරතය. හෙතෙම චිත්‍ර කලාව හා නැටුම් කලාව පිළිබඳ පාරම්පරික පවුලකට උරුමකම් ලත් පියුමචාරී ප්‍රේමලතා නම් නැටුම් ගුරුවරිය සමග 1954 දී විවාහයට පත්විය. මෙම දෙපළට දාව දරුවන් තිදෙනෙක්‌ මෙලොව ජන්මලාභය ලැබූ අතර දෛවයේ සරදමකට මෙන් එයින් වැඩිමල් පුතනුවන් උපන් ගෙයිම ආබාධිත අයකු විය. උපුලී පණීභාරත සහ ජයවන්ති පණීභාරත සෙසු දියණියන් වූහ. උපාධිධාරිනියක්‌ වූ උපුලී පණීභාරත, චන්න විඡේවර්ධන සමග විවාහ පත්වූ අතර තම පියාගේ අඩිපාරේ යමින් දේශීය කලාවේ අභිවෘද්ධිය සඳහා මහත් කැපවීමෙන් ඇය දැනට කටයුතු කරන්නීය. පවුලේ බාලයා වූ ජයවන්ති පණී භාරත විවාහ පත්වූයේ වත්මන් දේශපාලන ක්‍ෂේත්‍රයේ ඓතිහාසික සටහනක්‌ තබමින් වයඹ මහ ඇමැති පදවි ප්‍රාප්තිය ලත් දයාසිරි ජයසේකර මහතා සමගය. පණීභාරතයන් නර්තන කලා ක්‍ෂේත්‍රයට කරන ලද අනුපමේය සේවය ඇගයීම් වස්‌ කලාසූරී ජනාධිපති සම්මානයද 1996 කැලණිය විශ්වවිද්‍යාලය පිරිනමන ලද දර්ශන සූරී සම්මාන ඇතුළු දෙස්‌ විදෙස්‌ සම්මාන රැසකින් පුද ලබා ඇත. 2006 වර්ෂයේ එවකට ජාතික නර්තන හා මුද්‍ර නාට්‍ය අනුමණ්‌ඩලය මගින් එතුමාගේ ජන්මෝත්සවය යෙදෙන පෙබරවාරි 24 දින ජාතික නර්තන දිනය වශයෙන් නම්කරන ලද අතර එදා මෙදාතුර එම දිනය සැමරීම රාජ්‍ය මට්‌ටමෙන් සිදු කරනු ලබයි.

(ආචාර්ය එස්‌ පණීභාරත සූරීන්ගේ ජන්මෝත්සවය පෙබරවාරි 24 දිනට යෙදේ. දේශීය නර්තන කලා ක්‍ෂේත්‍රයට ඔහුගෙන් සිදුවූ අමිල සේවාව ඇගයීම්වස්‌ පළ කෙරෙන විශේෂ ලිපියකි.)

මහාචාර්ය ආරියරත්න කලුආරච්චි, සභාපති, ජාතික නර්තන අනුමණ්‌ඩලය.
http://www.divaina.com/2014/02/23/scholast01.html

0 comments: