Pages

Tuesday, March 18, 2014

කෝටි තිස්‌දහසක්‌ වැය කරන ඉන්දීය මැතිවරණය

ඉන්දීය මහ මැතිවරණය පිළිබඳව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වඩාත් උනන්දුවෙන් බලා සිටින බව රහසක්‌ නොවේ. එනිසාම ඇමරිකානු පර්යේෂණ ආයතනයක්‌ විසින් 16 වැනි ලෝක්‌ සභා මැතිවරණය පිළිබඳ මත සමීක්‍ෂණයක්‌ සිදුකර තිබිණි. එම සමීක්‍ෂණයට අනුව ඉන්දියානුවන් 78% ක්‌ නරේද්‍ර මෝඩි අගමැති වියයුතු යෑයි පවසද්දී රාහුල් ගාන්ධි අගමැති විය යුතු බව පවසන්නේ 50% ක්‌ පමණි. ඉන්දියානුවන් තිදෙනෙක්‌ භාරතීය ජනතා පක්‍ෂය ඊළඟ ආණ්‌ඩුව තැනිය යුතු යෑයි පවසද්දී කොංග්‍රස්‌ ආණ්‌ඩුවක්‌ ගැන පවසන්නේ එක්‌ අයෙක්‌ පමණි.

මෙම සමීක්‍ෂණය සඳහා ඉන්දීය ප්‍රාන්ත 15 ක පුද්ගලයන් 2464 ක්‌ සහභාගි කරගෙන ඇති අතර එයට සහභාගි වූවන්ගෙන් 70% ක්‌ ම වර්තමාන රාජ්‍ය තන්ත්‍රය ගැන සිය අප්‍රසාදය පළකර තිබේ. මේ අප්‍රසාදය කෙළින්ම ප්‍රකාශ වන්නේ වත්මන් මන්මෝහන් සින් ආණ්‌ඩුව වෙත බව රහසක්‌ නොවේ.

16 වැනි ලෝක්‌ සභා මැතිවරණය ලබන අප්‍රේල් 07 වැනිදා ආරම්භ වන අතර එය මැයි 12 වැනිදා දක්‌වා කොටස්‌ 09 කට පැවැත්වෙනු ඇත. ආසන 543 ක්‌ සඳහා මන්ත්‍රීන් තේරීමට පැවැත්වෙන මෙම මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය මැයි 16 වැනිදා එරට මැතිවරණ කොමසාරිස්‌ වී. කේ. සම්පත් විසින් ප්‍රකාශයට පත් කරනු ඇත. ලෝකයේ පැවැත්වෙන විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය මෙය වන බව අමුතුවෙන් කිවයුතු නැත. ඉන්දීය ඉතිහාසයේ වැඩිම වියදමක්‌ දරා පවත්වන මැතිවරණය ද මෙය වේ. මැතිවරණය පැවැත්වීම සඳහා පමණක්‌ එරට මැතිවරණ කොමසාරිස්‌ දෙපාර්තමේන්තුව ඉන්දීය රුපියල් කෝටි 3500 ක්‌ වැය කරයි. මේ වියදමට මැතිවරණ ආරක්‍ෂාව වෙනුවෙන් වැය කරන මුදල අතුළත්ව නැත. ඇත්තෙන්ම ඉන්දීය මාධ්‍ය පවසන ආකාරයට මෙම මැතිවරණය වෙනුවෙන් එරට දේශපාලනඥයන් වැය කරන මුදල ඩොලර් බිලියන 05 කි. එය දෙවැනි වන්නේ 2012 ඇමරිකානු ජනපතිවරණයට වැය කළ මුදලට පමණි. 2012 දී පැවැති ඇමරිකානු ජනාධිපතිවරණයේදී වැය කළ මුදල ඩොලර් බිලියන 07 ක්‌ බව ගණන් බලා ඇත. ඉන්දීය මැතිවරණ නීතිය අනුව පාර්ලිමේන්තු අසුනක්‌ සඳහා තරග කරන අපේක්‍ෂකයකුට සිය මැතිවරණ ව්‍යාපාරය සඳහා වියදම් කළ හැකි වන්නේ රුපියල් මිලියන 7 ක්‌ එනම් ලක්‍ෂ 70 ක්‌ පමණි. නමුත් සැබෑ මුදල මිලියන 70 ව ද ඉක්‌මවයි. ඉන්දීය දේශපාලකයන් ඡන්ද කාලයේදී තම ජයග්‍රහණය වෙනුවෙන් පාක්‍ෂිකයන්ට නොමිලයේ අරක්‌කු බෙදති. සල්ලි බෙදති. උදැසන පුවත්පත් බෙදද්දී ඒවා ඇතුළට මුදල් දමා ඡන්දදායකයන්ට බෙදූ අවස්‌ථා එමටයි. එමෙන්ම හෙලිකොප්ටරයෙන් ගොස්‌ සල්ලි විසි කළ අවස්‌ථා ද ඇති බව එරට හිටපු මැතිවරණ කොමසාරිස්‌වරයකු ප්‍රකාශ කර තිබිණි. ඉන්දීය මැතිවරණ අවසන් ප්‍රතිඵල කෙරෙහි මුදල් බලය තීරණාත්මක ලෙස බලපාන බව එරට මැතිවරණ කොමසාරිස්‌ සම්පත් මහතා පසුගියදා දිල්ලියේදී පුවත්පත් සාකච්ඡාවක්‌ කැඳවමින් ප්‍රකාශ කර තිබිණි.

ඉන්දීය දේශපාලනඥයන් මෙවර මැතිවරණයට වැය කරන්නේ යෑයි ගණන් බලා ඇති ඩොලර් බිලියන 05 ඉන්දීය රුපියල්වලට හැරවුවහොත් එය කෝටි 30,000 කි. මෙම ගණන් බැලීම සිදුකර ඇත්තේ ඇමරිකානු ඩොලරයක්‌ වෙනුවෙන් ගෙවන මුදල ඉන්දීය රුපියල් 61 වන බැවිනුයි. ඇත්තෙන්ම මෙම ඉන්දීය රුපියල් කෝටි තිස්‌දහස 2009 දී මැතිවරණ ව්‍යාපාරයට වැය කළ මුදල මෙන් තුන් ගුණයකි. 2012 ඇමරිකානු ජනාධිපතිවරණට වැය කළ මුදල ඉන්දීය රුපියල්වලට හැරවුවහොත් එය කෝටි 42,700 කි. කෝටි තිස්‌දහසක්‌ වැය කිරීම ලේසි පහසු කටයුත්තක්‌ ද, ඉන්දීය මැතිවරණ කොමසාරිස්‌ පවසන මුදල් බලය මෙය නොවේද? මුදල් බලයෙන් ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදය යට වෙයිද? කවරක්‌ නමුත් කෝටි තිස්‌දහසක මුදලක්‌ ඉන්දීය ආර්ථිකයේ සංසරණය වීම මගින් ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව වර්ධනය වන බව ආර්ථික විශේෂඥ රජීව් බිෂ්වාස්‌ ප්‍රකාශ කරයි. ඒ අනුව 2014 දෙවැනි කාර්තුවේදී ඉන්දීය ආර්ථිකයේ වර්ධනයක්‌ පෙන්නුම් කරනු ඇත. ඉන්දීය මාධ්‍ය මෙන්ම ප්‍රචාරණ ආයතන මේ මැතිවරණ කාලය තුළ තමන් වෙත කෝටි 4900 ක මුදලක්‌ ගලා එනු ඇතැයි අපේක්‍ෂා කරති. එහෙත් මැතිවරණය වෙනුවෙන් වැය කරන බොහෝ මුදල් කළු ආර්ථිකය මගින් උපයා ගනු ලැබූ ධනයයි.

2009 දී එනම් 15 වැනි ලෝක සභා මැතිවරණය වෙනුවෙන් ලියාපදිංචි ව සිටි ඉන්දීය ඡන්දදායකයන් ප්‍රමාණය මිලියන 714 ක්‌ වන අතර මෙවර එම ප්‍රමාණය මිලියන 814 කි. වසර පහක්‌ ඇතුළත ඉන්දීය ඡන්දදායකයන්ගේ ප්‍රමාණය මිලියන 100 කින් එනම් කෝටි දහයකින් ඉහළ ගොස්‌ ඇත. ඇත්තෙන්ම මේ ප්‍රමාණය යුරෝපා සංගමය හා ඇමරිකාවේ ඡන්දදායකයන් දෙපිරිසම එකතු කළ විට ලැබෙන ගණනටත් වඩා වැඩිය. 2009 දී ඡන්දය කොටස්‌ 05 කට පැවැත්වුවත් මෙවර එය කොටස්‌ 09 කින් පැවැත්වෙන ඉන්දියාව පුරා ඡන්ද මධ්‍යස්‌ථාන 930,000 ක්‌ පිහිටුවනු ලබන අතර, එය 2009 ප්‍රමාණයට වඩා ලක්‍ෂයකින් වැඩිවීමකි.

ඉන්දීය මැතිවරණය ජයග්‍රහණය කිරීමට නම් ආසන 272 කට වඩා ලබා ගත යුතුය. 2009 දී බහුතර බලය හිමිකර ගත්තේ කොංග්‍රස්‌ පක්‍ෂය ප්‍රධාන සන්ධානයය. එනිසා 2009 මැයි 22 වැනිදා මන්මෝහන් සින් මහතා එවක ඉන්දීය ජනපතිනිය වූ ප්‍රතිභා පටෙල් මහත්මිය ඉදිරිපිට රාෂ්ට්‍රපති භවනේ අශෝකා ශාලාවේදී දිවුරුම් දුන්නේය. 2014, 16 වැනිදා ලෝක්‌ සභා මැතිවරණයේදී පත්වන අගමැතිවරයා දිවුරුම් දීමට නියමිතව ඇත්තේ ලබන ජූනි 01 වැනිදා ය.

2009 මහ මැතිවරණයේදී ඉන්දීය ඡන්දදායකයන්ගෙන් 59% ක්‌ සිය ඡන්දය ප්‍රකාශ කළහ. මෙවර ඡන්දපොළට යන ඡන්දදායකයන්ගේ ප්‍රමාණය ඉහළ යනු ඇතැයි එරට දේශපාලන විචාරකයෝ පවසති. විශේෂයෙන්ම කාන්තා ඡන්ද මගින් මැතිවරණ ප්‍රතිඵලවලට වඩාත් බලපෑමක්‌ එල්ල කරනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු වෙති. විශේෂයෙන් ම ඉන්දියාවේ ජනගහනය බහුලම ප්‍රාන්ත දෙක වන උත්තර් ප්‍රදේශ් හා බිහාරයේ ඡන්ද දීමට යන කාන්තාවන්ගේ ප්‍රමාණය පිරිමින්ට වඩා වැඩිය. මේ ප්‍රාන්ත දෙකට වෙන්වන මන්ත්‍රී ආසන ප්‍රමාණය 120 කි. එයින්ම කාන්තා ඡන්දයේ වැදගත්කම හෙළි වේ.

චතුර පමුණුව
http://www.divaina.com/2014/03/16/forign.html

0 comments: